මවකගේ ලෝකය – 10 වන කොටස

දූ දැන් කණ්ණාඩි මේසෙ ඉස්සරහ හැඩ වෙනව වැඩි ද කියල මට හිතුණා. ඒත් මං ඒ ගැන මොනවත් කියන්න ගියෙ නෑ. නව යෞවනයේ ගෑනු දැරිවියකගෙ ශරීරයෙ වෙන හෝමෝන ක්‍රියාකාරිත්වයන් ගැනත්, ඒ නිසා ම එයාලගෙ මනසෙත්, ක්‍රියාකාරිත්වයන්ගෙත් ඇති වෙන වෙනස ගැනත් නොදන්නා අම්ම කෙනෙක් නෙවෙයි මං. ඒත් ඕනම අම්මා කෙනෙක්ගෙ හිතක් මේ වගේ  අවස්ථා වල ගැස්සෙන එකේ වෙසක් නෑ.

මට මගේ අතීතය අමතක නෑ. මගේ ම නව යෞවනය ගෙවුණා විතරයි වගේ ළඟ ළඟ ම මතකයි. කාලය ඒ තරම් ඉක්මනට ගෙවිලා ගිහින්. ඔය වයසෙදි සපු කැකුළක් වගේ මෝරා වැඩෙන  තමන්ගෙ සිරුර ගැන හැම යොවුන් දැරියක් ම උනන්දු වෙන්න ගන්නව. හැඩ රුව ගැන ජීවිතේ පළමු වතාවට හිතන්න පටන් ගන්නෙ මේ කාලෙදි වෙන්න ඇති. කැඩපතෙන් දකින, දවසක් ගානෙ සොඳුරු වෙන රුවට තනිවම හිනවුණ යුගයක් මටත් තිබුණා දුවේ. අන්න ඒ නිසාම තමයි මට ඔයා ගැන වැඩියත් ම බය.

“ඔය ගවුම ක්ලාස් ඇඳං යන්නෑ”

ඔයා පන්ති යන්න ලෑස්ති වෙනකොට මං කෑ ගැහුව. දූගෙ ඇස ් ගැස්සිලා ගියා.

“ඇයි…”

“ඉගෙනගන්න යන තැනකට අඳින්න ඕනෙ එහෙම තැනකට සුදුසු ඇඳුමක්. ෆැෂන් ශෝ එකකට යනව නෙවෙයිනෙ”

“මේක මං කලිනුත් ඇඳල තියෙන්නෙ අනේ”

“කලින් ඇන්දට දැන් අඳින්න ඕන නෑ. කියන දේ අහනව”

මං එච්චර හයියෙන් කෑ ගැහුවෙ ඇයි මන්දා. දුව මූණ නරක් කරගෙන ඇඳුම මාරු කරල පන්ති ගියේ හිත හොඳකින් නෙවෙයි.

“මොකද්ද අවුල”

දූගෙ තාත්තා මං ළඟට ඇවිත් ඇහුවෙ ටික වෙලාවකට පස්සේ, මගෙ තරහ අඩු වෙලා ගිහින් කියල හිතුණහම වෙන්නැති. ඇත්තටම ඒ කේන්තිය ගැන මට ම මං ගැන ලැජ්ජ නො හිතුණා නෙවෙයි. ඒත් වැඩිවිය පත් වෙච්ච දුවෙක් ඉන්න අම්ම කෙනෙක් ගෙ හිතේ විතරම කුණාටු සුළඟක් හමනව කියන එක එ කාලෙ මට වුණත් තේරුණෙ නෑ. තේරෙන්නෙ දැන්.

“නෑ. මං දකිනවනෙ ඔය ටියුෂන් යන ළමයිව. ඉගෙන ගන්න යන බවක්වත් කිසිම ළමා පාටක්වත් නෑ ඒ ළමයින්ගග”

තවමත් මගෙ හිතේ නො රිස්සුමක් තියෙන්න ඇති. තාත්තා හිත නිවෙන සිනහවක් හෙළුවා.

“හරියට නිකං ෆැෂන් ශෝ එකකට වගේ ඇඳං යන්න තමයි ඕනෙ. පොත පත ගැන පාඩං ගැන කිසි උනන්දුවක් නෑ”

“කලබල වෙන්න එපා. ඔයාගෙ දුව එහෙම නෑ”

“දැක්ක නේද…ඒ වෙලාවට මගෙ දුව. ඔහොම තමයි. තව කොහෙද මොනා හරි වුණොත් එහෙම…එතකොට දුව මගෙ විතරයි”

තාත්තා හයියෙන් හිනා වුණා.

“හරි හරි අපේ දුව”

අම්ම කෙනෙක් දුවෙක්ගෙ මේ විදිහෙ හැසිරීම් ගැන බය වෙන්නෙ නිකං ම නෙවෙයි. ඒ අම්මත් යොවුන් වියක් ගෙවල ඇවිත් තියෙන නිසා. ඒ අතීතයේ එකතු කර ගත්ත අත්දැකීම් ගොඩකුත් ඒ අම්මගෙ මතකයේ නිදන්ගත වෙලා තියෙන නිසා. ඔය වයසෙදි දරුවො හරි ආසයි වයසට වඩා ලොකුයි කියල පෙන්නන්න. ළමා පාට ඉස්මතු වෙන ඇඳුම් වෙනුවට වැඩිහිටි ඇඳුම් අඳින්න. වැඩිහිටි ස්වභාවයක් අනුකරණය කරන්න. ඒත් ඒ වයසට ආවට පස්සෙ හිතෙනව අර ළමා විය, නව යෞවනය මොන තරම් අගේ ද කියල.

ජීවිතේ ඉදිරියට එන කාල වලදී ඔයාට ළමයෙක් විදිහට හැසිරෙන්න බෑ දුවේ. එහෙම කරන්න ගියොත් ඒක සමාජයේ විහිළුවට ලක් වෙනව. ඒ නිසා සොබා දහමෙන් ලැබිල තියෙන මේ නව යොවුන් කියන ඉතාමත් කෙටි කාලයෙදි උපරිමයෙන් ඒ වයස විඳින්න. ඒ සතුට විඳින්න. ඒ නිදහස විඳින්න.

හිතේ තිබුණ කාංසා හැඟීම නිසා ම මං දූගෙ පුංචි කාලෙ එක එක වයස් වල පින්තූර ඇල්බම අරගෙන පෙරළ පෙරළ බලන්න ගත්තා. කාලයේ වෙනස අවුරුදු දෙක තුනක් වුණාට ඔයාගෙ පෙනුමේ වෙනස ඊට වැඩිය ගොඩක් වැඩියි. දරුවො ලොකු වෙන්නෙ ඇස් පිය සලන පමාවෙන් ද කියල මට හිතුණා.

දූ පන්ති ගිහින් එනකොටත් මං හිටියෙ ඒ පරණ ඇල්බම් ගොඩ වට කර ගෙන.

“මොනාද අනේ ඔය..”

දූත් මං ගාව ඇඳේ වැතිරුණේ හෝරා දෙකකට කලින් වෙච්ච සිදුවීම මතක ම නැති කරල වගෙයි. මං දෙතොල් මත්තට සිනහවක් ගත්තා.

“කවුද මේ…”

දූ අහන්නෙ ඒ කවුද කියල නොදැන නෙවෙයි කියල මං දන්නව”

“කවුද කැත කෙල්ලෙක්”

මාත් ඒ සුරංගනා ලෝකෙ, ඔයා පුංචි කාලෙදි වගේම තව මොහොතක් නතර වෙනව.

“අනේ මේ…මං කැත නෑ හොඳේ”

එතකොට ඔයා කියන්නෙ හයියෙන් හිනා වෙවී. මං ඔයාගෙ ඇස් දෙකෙන් දකින්නෙ  මගෙ දෑත් මත නැළවුණ පුංචි පැටියව පුතේ. මට ඔයාව හයියෙන් බදා වැළඳගන්න හිතෙනව. ඒ අතීතය තද කරල මිට මොළව ගන්න හිතෙනව.

“ඔය ඉතිං”

මගෙ ඇහෙන් ගිළිහුණ කඳුළක් දූ එයාගෙ ඇඟිල්ලකින් පිහිදුවා. මං ඒ අත මගෙ දෙතොල් වලට තියල තද කර ගත්තා. මං දන්නව දුවේ කාලය නතර කරන්න අපිට බෑ. දැන් දැන් කාලයේ වේගය වෙන කවදටත් වැඩිය වේගවත්. ඔයා ඉක්මනින් මීටත් වැඩිය ලොකු වෙයි.

“මේ කාංචනා ටීච නේද…නර්සරි එකේ…”

එක පෙර පාසල් පින්තූරයක් ළඟ දූ ඇඟිල්ල තිබ්බා. දුවගෙ පළමු ගුරුතුමී. අම්ම ඕන කියල අඬද්දි, මං ඔයාව පෙර පාසලේ තනි කරල එද්දි, ලස්සන හිනාවක් තියන දූගෙ පළමු ගුරුතුමී ඔයාව වඩාගෙන නලවපු හැටි මගෙ ඇස් ඉස්සරහ මැවිල පේන්න ගත්තා. අද ඔයා ඒ ගුරුතුමීටත් වඩා උසයි!

කාලය ටිකකට නතර කර ගන්න ඇත්නම් මං එහෙම කරනව පුතේ..ඒත් එහෙම බැරි නිසා අපි මෙහෙම අනාගතේට යමු. ඒත් අමතක කරන්න එපා. ඔයාගෙ මුල් අදින්න පටන් ගත්තෙ අතීතයේ. අනාගතය, සරුවට වැඩුණ ඔයාගෙ සිසිල, සෙවන, මල්, ඵල ආදරෙන් වැළඳ ගනීවි. ඒත් හැදෙන ගහක දෙපෙති අඳුනගන්න උදව් කළ ඒ අතීතයටයි මං වැඩියෙන් ම ආදරේ.

More Stories

Don't Miss




Latest Articles

සැරිසරන්නී -16

මගේ වත මතට සිනහවක් එන්නටත් ඒ සිනහව වියැකී යන්නටත් ඒ හැටි වෙලාවක් ගියේ නැත. ඒ කාලය පුරා රවීන් මදෙස ම බලා සිටියේ...

අතීත සුළඟ.

බිනරි බොහෝ වෙලාවක් තමන්ගේ ඔන්ලයින් බිස්නස් පේජ් එකට ආව මැසේජ් එකක් දිහා බලාගෙන හිටියා.ඒ පණිවිඩය නාවානම් කියලා ඇය දෙසිය වෙනි පාරටත් හිතන්න...

මතක දිගහැරුම 103 – අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය තුන්වන දිගහැරුම ,කොළඹ ප්‍රදේශය පුරාම හෂාන් නොගිය තැනක් නැති තරම් විය.විශාල වශයෙන් ඡන්ද රැස්වීම් පැවැත්වුණු අතර ඇතැම්...

ගැබ් ගැනීමෙන් තොරව ලිංගිකව එක් වීමට සුදුසු දින යෝනි ශ්‍රාව ඇසුරෙන් හඳුනා ගනිමු.

ආර්ථව චක්‍රයේ එක් එක් කාලයේදී කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් විවිධ ශ්‍රාවයන් පිටවෙනවා. මෙම ශ්‍රාවයන් සරු දින ඇසුරෙන් හඳුනාගෙන, ඒවා මග හැර...

නිලැසි -24

" බබා එහෙනම් ලෑස්ති වෙන්න ගෙදර යන්න.."තිසරු එසේ පැවසුවේ රාත්‍රී ආහාර ගන්නා අතර ය.හදිසියේ හටගත් රණ්ඩුවක නිමාව එසේ...