සඳ ගංතෙර – 10

“ආදරේ කරන්න ඕනෑ අපිට ආදරේ මිනිස්සුන්ට මිසක් අපි ආදරේ මිනිස්සුන්ට නෙවෙයි”

මධුනි එසේ කියන්නට වූවා ය.සහස්ගේ වීම ආශිර්වාදයක් බව ඇයට සිතේ. ඇය ඒ මතය ස්ථිර කරන්නට කැමති වූවා ය. ඒ හන්දා දුලන්‍යාව සහස්ගේ වීමට මෙහෙයවන්නට මධුනිට ඕනෑ විය.

“මං ආදරේ කරන්නේ ජීවිතේ එකපාරයි.”

එය දුලන්‍යාගේ තීරණයකි. ඇය එය සෘජුව කියන්නට සතුටු වූවා ය. නමුත් මධුනි සිතන්නේ මේ අප්‍රකාශිත ප්‍රේමය මිතුරියගේ ජීවිතය අනතුරකට හෙළන්නට ඉඩ ඇති බව ය. 

“අනිත් හැමදෙයක්ම වගේ ආදරේ එක පාරක් කියලා සීමා කරන්න බෑ. ආදරෙයි කියලා තෝරගන්න ඕන හොඳම දේ මිසක් පලවෙනි දේ නෙවෙයි.”

මධුනි එසේ කියද්දී දුලන්‍යා හිනැහුණා ය. ප්‍රේමයක් අවැසි බව ඇයට දැනෙන්නට වූයේ සඳරැස්ගේ හිනැහෙන නෙත් අතරේ කිමිදෙන විට ය. ඒ හන්දා ඇයට ඕනෑ ඔහු ය! ඔහු පමණකි!

“මං හිතන විදිය වැරදි ඇති. ඒත් මෙහෙම හොඳයි.”

සහස්ගේ මැසේන්ජර් පණිවිඩවලට ඇය බොහෝ ආචාරශීලීව ප්‍රතිචාර දැක්වූවා ය. එහෙත් ඔහුට බලාපොරොත්තු ඇති කරගන්නැයි නොකියන්නට ඇයට අමතක විය. එය ඇත්තටම වරදක් බව ඇය දන්නී ය. එහි කිසිම සාධාරණත්වයක් නැත. කෙනෙකුට බලාපොරොත්තු ඇති වන්නට ඉඩ දීම හොඳ දෙයක් නොවේ. බලාපොරොත්තු ඇති වෙන්නට ඉඩ දිය යුතු වන්නේ ඒ බලාපොරොත්තු ඉෂ්ට වනවානම් පමණක් බව ඇය තීරණය කළා ය. සහස්ගේ වන්නට ඇයට ඕනෑ නැත. ඇයට ඇත්තේ එකම සිහිනයකි.

සිහිනයක ජීවත් වීම පහසු බවත් සිහිනයකින් අවදි වීම ඉතා අමිහිරි බවත් ඇගේ හදවත පවසමින් තිබිණ. එහෙත් සඳරැස් කියන්නේ සිහිනයක් නොවන බව විශ්වාස කරන්නට දුලන්‍යාට ඕනෑ විය. ඔහු සිහිනයක් නොවේ. ලබා ගත හැකි බලාපොරොත්තුවකි. කරන්නට දේ අප්‍රමාණව ඇති මොහොතක පවා ඔහුගේ දෑස් විල මත කිමිදෙන්නටත් සිනාවක පැටලි පැටලී හිඳින්නටත් ඇයට ඕනෑ විය. ඔහුගේ වීම මොනතරමක මිහිරියාවක්දැයි සිතන්නට ඕනෑ වේ.

සඳරැස්ගේ තත්ත්වය ද වෙනසක් නොවී ය. කාලයකට පෙර ඔහු හදවතක් නැති මිනිසෙක් බව පවසා යුවතියක දොස් නැඟූ අන්දම සඳරැස් සිහි කළේ ය. හිතක් නැති මිනිසෙකු වී ජීවත් වීම පහසු බව ඒ දවස්වල ඔහු ද සිතී ය. හැඟීම්බර වී ආදරය කරන්නට යාම ලබා දෙන දෙයක් නැති බව ඔහුගේ අදහස ය. ඔහු ඒ තීරණයේම එල්බ ගෙන ජීවත් වූ දවස් තිබිණ.

නමුත් මේ නිවසට දැන් වසන්තය පැමිණ තිබේ. උදෑසන අවදි වී මුළුතැන්ගෙයට එබෙද්දී එහි පුටුවක කම්මැලිකමේ වැටී බාගෙට නිදි කිරන කෙල්ල තරමට ඔහුට අතීත පෙම්වතියන් ලස්සන නැත. පිජාමා ඇඳුමකින් සැරසී නිදි කුමරියක වෙස් ගෙන සිටින මොහොතක පවා ඇය එතරමට ලස්සනට පෙනෙන්නේ හිතක් නැති කොල්ලාට හිතක් ඇති වෙමින් පවතින හන්දාදැයි ඔහු සිතුවේ ය. එය වෙන්නට ඇති ඉඩ වැඩි ය.

“ඔයා මට හදවතක් තියන බව හොයා ගත්තා. ඒ හදවතට ආදරේ නමින් ගැහෙන්න පුලුවන් කියලා තේරුම් ගත්තා.ඊට වඩා වෙන මොනවද?”

ඔහු සිතන්නට විය. ඉඳහිට දුරකථනය දෙස බලා හිනැහෙන ඇය ඔහුගේ හිත රිදවුමට ලක් කරයි. ඇයට දැනටමත් ආදරවන්තයෙක් සිටින්නට ද ඉඩ තිබේ.

තාරකාගේ වෛද්‍ය හමුවීමකට ඉඩ වෙන් වූ දිනයක දුලන්‍යා සරසවියට ඇරලවීම සඳරැස් බාර ගත්තේ ඉතා කැමැත්තෙනි.

“ටැක්සියක හරි බස් එකේ හරි යන්නත් පුලුවන් නේද බබා?”

මල්ලීට කුකුළු කොටු බාර දෙන්නට බයෙන් තාරකා එසේ අසද්දී පවා සඳරැස් මෝටර් රථයේ දොර විවෘත කර අවසන්ව තිබුණේ ය. ඇය වහා රැගෙන යන්නට ඔහුට ඕනෑ ය. අවස්ථා මඟ හැර ගැනීම මෝඩකමකි.

“හැමදාම මාත් එක්ක යන්නත් පුළුවන් ඉතින්. අයියා ඔයාව මෙතනින් දානවා කියන්නේ සෑහෙන වටයක් යන එක.”

සඳරැස් ගේ අලුත් යෝජනාව පිළි නොගන්නට හේතුවක් දුලන්‍යාට නොතිබිණ. ඔහු වාහනය පදවන දෙස නොබලා ඇය හිස වැනුවා ය. ඔහු වාහනයේ පදවන්නේ ඕනෑවටත් වඩා කඩවසම් ලෙස ය. ඒ හන්දා ඔහු දෙස නොබලා සිටීම පහසුවක් බව ඒ තීරණය කළා ය. නමුත් හොරැහින් බැලීම නවත්වන්නට අපහසු ය.

කියන්නට අප්‍රමාණ කාරණා තිබියදී පවා නිහඬව සිටීම මොනතරමට අසීරුදැයි සිතුණේ සඳරැස්ට පමණක් නොවේ. දුලන්‍යා ද ඒ බව සිතමින් සිටියා ය.

(අද කොටස දිග නැති බව දන්නවා. සමාවෙන්න. හෙට දිග කොටසක් කියවමු) 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles