ඔබ දකින තුරා – 44

වසරකටත් වැඩි කාලයකට පස්සේ හමඅ වෙන්නට අවසර ලද පෙම්වතුන් යුවලට මඳක් තනි වෙන්නට ඉඩ දී අජිත් ගෙතුළට යන්න හැරුණේ ය. උනුන් වෙත යොමු කර ගත් බැල්මෙන් සිටි අමාරසී හා දිසත් ඔවුනොවුන් වෙත යොමු වූයේ කාන්දම් ක්ශේත්‍රයකට ඇදී යන ලෝහ අංශු සේ ය. ඔහු ඇය ව සිය ළයෙහි හොවා දැඩි ව වැළඳ ගත්තේ ය.

කවුරුන් හෝ කතා කරනා හඬ ඇසී ඉස්සරහාට එන්න ආ නිර්මලා, කුස්සිය දෙසට යමින් සිටි අජිත් ඉදිරියේ නතර වූයේ විදා ගත් නෙතු වලිනි. පිටු පස හැරී බැලූ අජිත්, ඇගේ ඇස් එහෙම විසල් වෙන්නට හේතුව දුටුවේ ය. ඔහු වහා සිය එකතකින් ඇගේ දෑස් මුවහ කොට, අනිත් අතින් නිර්මලා ගේ උරහිසින් අල්ලා ඇය ව අනිත් පැත්තට හැරවූයේ ය.

“යමු යමු තේ එකක් හදන්න”

ආපසු හැරී බලන්නට ගිය නිර්මලා ගේ හිස අජිත් යළිත් අල්ලා ඉස්සරහාට යොමු කළේ ය. ඇය වතුර ළිප තැබූවේ නලියනා මඳහසකිනි.

“ඔයා මටවත් කිව්වෙ නෑ දිසත් එනව කියල”

“ඔයාට කිවුවනං කේලම රසීගෙ කනේ නොතියා ඉන්නෙ නෑනෙ”

“තීන්දුව ලැබිලද..”

“හ්ම්. ඒත් තීන්දුව නීත්‍යානුකූල වෙන්නෙ තව මාස තුනකට පස්සෙලු. තවත් මාස තුනක් දීල බලනවලු දෙන්නා කැමතිනං ආයෙත් ඒ පවුල එකලාසයක් වෙන්න”

“මට හරි පුදුමයි අජී”

“ඇයි..”

“ඔයා මෙහෙම වෙනස් වුණ එක ගැන…ඇත්තමයි. අවුරුදු තිහකට මට කරන්න බැරි වුණ දේ…අපේ දරුවන්ට කරන්න බැරි වුණ දේ…සතියකින් දෙකකින් දිසත් කළා”

අජිත් හඬ නගා හිනැහුණේ ය.ඒ සිනහව තුළ ඔහු නො කියා කියූ කතා බොහොමයක් විය. සැබවින් මිනිසෙකු ගේ පුරුදු ජීවන රටාව වෙනස් වන්නට එක තත්පරයක් ප්‍රමාණවත් ය. නමුත් ඒ තත්පරය ඉතා බලවත් එකක් විය යුතු වේ. එවැනි වෙනසක් කළ හැකි මිනිසෙකු යනු ජීවිතයට හමු වෙන දේවතා රුවක් වන් කෙනෙකි.

අමාරසී දිසත් ගේ තුරුලෙන් මිදුනේ මේ ගෙදර නේදැයි සිහිපත් වූ මොහොතේ ය. ඒ වන තෙක් ඇය වසරක සිත් පීඩා දිය වී යන තරම් හැඬුවා ය. දිසත් ඇය හිස පිරිමදිමින් සැනසුවා මිස, නො හඬන්නයි කීවා නොවේ.

ඔහු ගෙ උණුහුමෙන් මිදුණ ඕ මුලින් ම කළේ ගෙතුළ ට හැරී බලන එකයි. නමුත් අම්මා හෝ තාත්තා පේන්නට නොවීම ඇයට සැනසිල්ලක් විය. ඉන් අනතුරුව ඕ දිසත් ගේ මුහුණ දෙස බැලුවා ය. ඒ බටිති දෙතොලතර නලියනා මඳහසක් විය.

“තෑන්ක් යූ”

ඔහු හෙමිහිට කීවේ ය.

“ඇයි..”

“බලං හිටියට මෙච්චර කාලයක්”

“කොහොමත් මට වෙන බලන්නයි කියල අතක් තිබුණෙ නෑනෙ”

ඒ දවස සැනසිලි දායක එකකි. ගෙදර හැම අංශුවක ම සතුට තැවරී ඇත්තා සේ හැම කෙනෙකුට ම දැනිණ. දිවා ආහාරයෙන් පස්සේ ඔවුහු එදා යා නො හැකි වූ ගමන ගියහ. ඒ කැළණි විහාරයට ය.

“ඉස් ඉස්සරවෙලාම අපි මෙහෙම ගමනක් ආපු එක හොඳයි”

නිර්මලා කීවේ අවංක සතුටකිනි. දිසත් වාගේ කෙනෙකු ඔවුන් ගේ පවුලට අවශ්‍ය ව තිබුණා සේ නිර්මලා ට දැනේ. පබසරා ගේ සැමියා අමුතු විදිහේ කෙනෙකි. ඔහු ගේ ජීවිතාපේක්ෂාව වන්නේ මුදල් ඉපයීම ම පමණි. ඒ නැතත් ඔහු සිය බිරිඳ හා දරුවා පමණක් සිය ලෝකය කර ගත්තෙකි. ඉඳහිටවත් පබසරා සමග ඇගේ මහ ගෙදර විත් නැන්දම්මා මාමා ගේ සුව දුක් විමසීමක් හෝ නො කරයි. කලාතුරකින් යන විනෝද ගමනකට හෝ එක වතාවකටවත් ඔවුන් දෙදෙනා ව සහභාගී කර නො ගත් බව ඇය ට අමතක නැත. ලොකු පුතා රුක්ෂාන් ද කාලයක් තිස්සේ පවුලෙන් ඈත් ව සිටියදී පොඩි බෑණාත් එබඳු පුද්ගලයෙකු වීම අජිත් ගේ සිත්හි ශෝකය මුසු පාළුවක් ජනිත කරන්නට ඇත. පවුලට පුතෙකු නැති අඩුව, ඔවුන් වචන වලින් කතා නො කළ ද දැනෙමින් තිබිණ. දිසත් පැමිණියේ ඒ හිස් තැන් පුරවා ගෙන ය. විශේෂයෙන් ම ඔහු අම්මා තාත්තා පසෙකට විසි කොට අමාරසී ව පමණක් උස්සා ගෙන යන්නට ආ බෑණෙකු නොවීම, අජිත් ගේ සිත ඔහු වෙත ඇදී යන්නට හේතුවක් විය.අනිත් අතට ඔහු අජිත් ගේ හැඟීම් තේරුම් ගත හැකි පුද්ගලයෙකු සේ ක්‍රියා කළේ ය. කපටි වංචනික අදහසකින් තොර ව ඔහු පවුලේ කෙනෙකු වීමේ අදහසින් ක්‍රියා කිරීම, නිර්මලා ගේ සිත ද ඇද බැඳ ගැනීමේ ලා ඉවහල් විය.

වැඳ පුදා ගෙන හවස් වී විහාරයෙන් නික්මුණ ඔවුහු දිසත් ගේ ඇරයුමෙන් පවුලේ අවන්හලකට ගොඩ ව රාත්‍රී ආහාරය ගත්හ. නිර්මලා මේ එවන් තැනකට පැමිණියේ මතක ඇති කාලයකට පස්සේ ය. ලෑලි පිය ගැට පෙළ නැගෙත්දී දිසත් ඇගේ අතකින් අල්ලා ගත්තේ ය. නිර්මලා ගේ ඇසක් සතුටට තෙත් විය.

“මන්නං වැඩිය ලොකු වෙඩින් වලට ආස නෑ. ඒත් අමා කැමති විදිහකට වෙඩින් එක ප්ලෑන් කරමු”

කෑම කන ගමන්, පෙරුම් පුරා ගෙන බලා සිටි කතාව දිසත් ගේ මුවින් බැහැර විය. අමා වහා බිම බලා ගත්තා ය.

“අනේ ඉතින් පොඩියට හරි කීප දෙනෙක්ට එන්න කියල ලස්සනට වෙඩින් එකක් ගමු නේද පුතා…ආයෙ ඉතිං අපිට දුවල නෑනෙ මනමාලියක් වෙනව දකින්න. අපි මැරෙනකල් ම බල බල සතුටු වෙන්න ෆොටෝ ඇල්බම් එකකුත් කර ගත්තනං මට ඇති”

මංගල ඇඳුමක් හෝ නො ඇන්දා ට අමාරසී ට නම් කම් නැත. කොහොමත් විච්චූර්ණ මංගල උත්සව ගැන ඇගේ හිතේ කවදත් ආශාවක් වූයේ නැත. මනාල යුවල නික්ම ගිය පසු, මංගල උත්සවයක් යනු කෙතරම් නම් හිස් දෙයක්ද කියා කිහිප වතාවක් ම ඇය ට සිතී තිබේ. නමුත් සිය කැමැත්ත අම්මා ගේ ආශාව වෙනුවෙන් යටපත් කර ගන්නට ඇය ට පුළුවන. අම්මා නොවන්නට අමාරසී කියා කෙනෙක් ද නො වන්නට තිබිණ. තනිව තමන්ගේ වැඩ කර ගත හැකි ළමා විය ගෙවා පැමිණීමෙන් අනතුරුව ද අම්මා ඇගේ සියලු කටයුතු කළ හැටි, අදට ද කරනා හැටි අමතක කළ නො හැකි ය. හැන්දෑවට බස් එකේ තෙරපී විත් මහන්සියි කියා නිදන්නට නොදී පස්සෙන් විත් අදට ද රෑ කෑම ටික කවන්නේ ඇය ය. අළුයම සිට අවදිව සිය උදේ හා දිවා ආහාරය වෙනුවෙන් නිදි වරන්නේ ඈ ය. ඈ සේදූ තරම් සිය රෙදි, ලොව කොතනකවත් සේදී ඇත්දැයි ඉඳ හිට අමා ට සිතී තිබේ. එහෙව් අම්මා ට සිය දියණිය ගේ විවාහ මංගල දිනය දා ඇය කෙසේ සැරසිය යුතු දැයි තීරණය කරන්නට සම්පූර්ණ අයිතිය තිබිය යුතු ය කියා සිතන්නට අමා කැමති වූවා ය.

‘අමා කොහොමද කැමති’ කියා හෝ ‘රසී කොහොමද කැමති’ කියා විමසෙන විටෙක, ‘අම්ම කැමති විදිහකට කරමු. මට වඩා ඕව දන්නෙ අම්ම තමයි’ කියා ඒ වගකීම් නිර්මලා වෙත පැවරීමෙන්, ඇය සිය මව් කෙරේ වන අසීමිත ස්නේහය පිටතට ප්‍රකාශ වෙන්නට හැරියා ය.

“කොහොම වුණත් බැන්දට පස්සෙ ටික කාලෙකට හරි දෙන්න තනියම ජීවත් වෙන්න ඕන කියන එකයි මගෙ අදහස. රසී අපි එක්කම හැදුන කෙල්ල කියල පුතා දන්නවනෙ. ටොයිලට් එකට යද්දිත් මෙයා අම්මට කියලයි යන්නෙ. ඒත් පවුල් ජීවිතේකට ගියාට පස්සෙ එහෙම බෑ. දෙන්නෙක් තමන්ගෙ පවුල ඇතුළෙ වැඩෙන්න ඕන. මෝරන්න ඕන. එතකොට තමයි දෙන්නත් එක්ක එකතු වෙලා පවුලෙ ඕන ප්‍රශ්නයකට විසඳුං හොයන්න ඉගෙන ගන්නෙ. අනිත් එක දෙන්න අතරෙ පොඩි නොහොඳ නෝක්කාඩුවක් වෙච්ච ගමන් අකුලගෙන ගෙදර දුවන් එන්න පුළුවන් කමක් නෑ කියන එකත් දෙන්නම දැනගන්න ඕන. විශේෂයෙන් ම අපේ රසී. අම්මයි තාත්තයි එක්ක  වගේ හුරතල් වෙලා බෑ.. පවුලක වගකීම් දරා ගෙන පවුල් ජීවිතයක් ගත කරනවයි කියන එක ලේසි නෑ. හැබැයි අවබෝදයක් තියෙනවනං අමාරුත් නෑ. පවුල්  ජීවිතේක විතරක් තියන ලස්සන හැඟීම් ටික විඳින්නනං දෙන්නෙක් තනියම ගෙදරකයි ඒ පවුල් ජීවිතේ පටං ගන්නත් ඕන..කෑම වලට ලුණු වැඩි වෙන්න පුළුවන්…ලුණු මදි වෙන්නත් පුළුවන්. හැබැයි දෙන්නට පුළුවන් වෙන්න ඕන පදමට ලුණු දා ගන්න පුළුවන් වෙනකල් අනිත් කෙනාව ඉවසන්න”

අජිත් ඔවුන් ට විවාහ ජීවිතය ගැන සුවිශේෂී දේශනයක් පැවැත්වූයේ ය.

සඳුදා උදේ අමා කාර්යාලයට ගියේ දිසත් ගේ රියෙහි ය. අජිත් බලයෙන් ම වාගේ මගදී රියෙන් බැස බසයකට නැග ගත් පසු අමා ඉදිරි අසුනට ගොඩ වූවා ය. දිසත් රිය ඉදිරියට ගන්නේ නැතිව ඇගේ දෙස බලා සිටින්නට වූයේ ය. අමාරසී සිනහවක් නගා ගත්තා ය.

“අනේ…මොකද ඔහොම බලන්නෙ…”

“බුදු හාමුදුරුවො බුදු වුණාට පස්සෙ  සතියක්ම අනිමිස ලෝචනයෙන් ශ්‍රී  මහ බෝධිය දිහා බලං හිටිය වගේ මටත් බලං ඉන්න පුළුවන් අමා..ඒක විහිළුවක් නෙවෙයි. ඇත්තටම ඒක පුදුම හැඟීමක්”

අමාරසී යන්තම් පහත් වී ඔහු ගේ වම් උරය සිප ගත්තා ය. ඇත්තට ම මේ පුදුම හැඟීමකි. දෙපොලක සිටි නාඳුනන දෙදෙනෙක් අහම්බෙන් මුණ ගැසී එක ජීවිතයක් ගෙවන්නට උනුන් සුදුසු යයි තීරණය කිරීම ම පුදුම දෙයකි.

“මං එක ගමනක් ගියා. ඇත්තටම ඒ ගමන යන්න පටන් ගත්තෙ මොන තරං හිස් හැඟීමකින් ද…මං ඒක දැනං හිටිය. ඒත් මං හිතුව කේෂි ටික ටික ඒ හිස්කම පුරවයි කියල. හැබැයි එයාට කවදාවත් ඒක කරන්න පුළුවන් වුණේ නෑ. ඒත් මං මේ ගමන පටන් ගන්නෙ එහෙම හිස් හැඟීමකින් නෙවෙයි. සමහර විට ඔයාට තාම මේ ආදරේ ගැන ලොකු අයිඩියා එකක් නැතුවත් ඇති. ඒකට කමක් නෑ”

දිසත් රිය පෙරට ගත්තේ අමාරසී ගේ අතක් සිය කකුල මතට ගනිමිනි.

“දැං මං පිරිල ඉන්නෙ. ඔයා හිස් ම වුණත් මට පුළුවන් ඔයාව ආදරෙන් පුරවන්න”

අමාරසී රියෙන් බැස්සේ මගින් නොවේ. දිසත් කාර්යාලයේ දොරකඩට, පිය ගැට පෙළ ළඟට ම ගොස් රිය නතර කළේ ය. රියෙන් බට අමාරසී දුටුවේ පිය ගැට පෙළ ඉස්මත්තේ නිරෝෂන්, හේමන්ත, දමින්ද ඇතුළු තරුණයන් කිහිප දෙනෙක් ම කතා කරමින් සිටිනා බවයි.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

ශරදාකාසේ -34

"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ...

එයා වගේ යාළුවෙක්

“හායි! අසේලා” “හායි! හායි! ශානා ….ඔයාගේ ලස්සන…..” “ආ,ඔයා විතරයි මට ලස්සනයි කිව්වෙ.මග දිගට දකින දකින අය...

හිමගිරි අරණ -19

"එකට වැඩ කරන නිසා අයියේ අක්කේ නංගි මල්ලි කියා ගත්තෙ නැතුවට මම අක්කා තමයි." හිමාෂා කියන්නේ හිනැහෙමිනි.කාර්යාලයේ හිඳින වයසින්...

(අ)හිමි සිහින -123

මම මගේ ක්ෂේත්‍රයේ මට හැකි උපරිමයෙන් ඉදිරියට එන්නට වෙනකොට කටයුතු කරමින් සිටියා.හැබෑවටම මම ඒ වෙනකොට රටේ බොහෝ පිරිසක් දන්නා චරිතයක් බවට පත්වෙමින්...

ශරදාකාසේ -33

පංචලී පුතෙකු බිහි කළා ය. පෞද්ගලික රෝහලක සුව පහසු ලෙස ඒ අත්දැකීම විඳ ගන්නට ශාරද ඇය ට අවස්ථාව උදා කර දී තිබුණේ...