සඳරැස්ගේ දෙතොල් පෙති ලිහී සිනාවක් නැඟී ආවේ ය. ඇගේ නෝක්කාඩු බැල්ම කම්මුලක් මත හාද්දක් තවරන්නට සිතෙන මට්ටමේ බැල්මකි. ඒ බැල්ම තවතවත් ජීවිතයට ඔහුට උවමනා වෙද්දි සිනාවේ කිමිදෙන්නට ඇයට උවමනා වෙමින් තිබිණි. එහෙත් ඉක්මන් වන්නට සිතක් නැත.
ප්‍රේමයක් ගැන සිහින මවමින් ඒ හැඟීම විඳින කාලය තරමට ජීවිතයේ කිසිම කාලයක් සුන්දර නැති බව දුලන්‍යා සිතී ය. සඳරැස්ට ද තිබුණේ එවැනිම අදහසකි. ඔහු ප්‍රේමයක් අයදමින් යුවතියක පසුපස ගියේ එකම එක වතාවකි. නෙත සහ සිත පුරා යුවතියක විඳගත්තේ එකම එක වතාවකි. ඇය ද පාසල් පෙම්වතියක නොකරන ආකාරයෙන් තරුණයන් දෙදෙනකුට පෙම් කරමින් සඳරැස්ට චපල වූයේ ය. එතැන් පටන් ක්ෂණික නූඩ්ල්ස් පන්නයේ ආදර කතා මිස කැප වී ආදරයෙන් බැඳුණු කතා ඔහුට නොවූ තරම් ය. මේ කතාව අවසාන කතාව විය යුතු වේ. ඒ හන්දා ඕනෑ තරමට කාලය ගන්නට ඔහු තීරණය කළේ ය. වයසට යන්නට තව සෑහෙන කාලයක් තිබේ. ඒ නිසා මේ ප්‍රේමය වෙනුවෙන් මග බැලීම කොහොමටත් කළ හැකි දෙයකි.
“ලස්සන කෙල්ලෙක් දැක්කම ඒ කෙල්ලව බලහත්කාරෙන් හරි අයිතිකරගන්න එක අතකට කොල්ලන්ට හිතෙනවා තමයි.සහස් ඒක තර්ජනයක් විදියට කියපු එකනෙ තියන වැරැද්ද. කැම්පස් එකට ආපු දවසෙ ඉඳල ඔයාට හීන දැක්කා කියලා හරි ලස්සනට ඔයාට කිව්වා නම් මේ වෙද්දි ඌ පැය ගානක ලව් ස්ටෝරියක අයිතිකාරයෙක්.”
සඳරැස් එසේ කියද්දි දෙනෙතට කඳුළු පිරෙන්නේ ඇයිදැයි ඇය සිතුවා ය. ඇය දැනටමත් ප්‍රේමයක අයිතිකාරියකි. ආදරයෙන් පිරී ඇති බව ඔහුට කියන්නට නොහැකි වුවද ඇය ඔහුට ප්‍රේම කරමින් හිඳින්නී ය. ඒ නිසා වෙනත් තරුණයෙකුට ඇය දිනා ගන්නට තිබූ හොඳ විදිය ගැන ඔහු පැවසීම ඇයගේ තරහ අවුස්සන්නට හේතුවක් විය.
“මං අහන්න දුන්නු සින්දුව ඇහුවද?”
පාඩම් කරන්නට අප්‍රමාණ දේ තිබියදී කොලුවෙකුට ගීත අසවමින් හිඳින්නට ඇති උවමනාව ගැන දුලන්‍යාට වැටහෙන්නේ නැත. නමුත් ඇය ඒ ගැන අසන්නට සිතුවා ය. ඔහු හිස සැලී ය. දෙතොල් මුව තුළට ගෙන ඔහු හිස සලන්නේ තාලයකට ය. කෙල්ලන් වහ වැටෙන්නේ ඔහුගේ මේ විකාර වැඩවලට වන්නට ඇති බව දුලන්‍යා සිතුවා ය.
“අද දවසම ඇහුවෙ ඒ සිංදුව.”
එහෙත් ඊළඟ තත්පරයේම ඒ කතාව බොරුවක් කරන්නට ඔහු සමත් විය. ඔහු ඇයට අලුත්ම ගීතයක් වට්ස් ඇප් කළේ ය. බොරු දාහක් කියා ඇගේ දුරකථන අංකය ඉල්ලා ගන්නට තිබුණා නම් අපූරු ය. නමුත් හදිසියකදී උවමනා වුවහොත් පාවිච්චි කරන්නැයි කියා අක්කා සඳරැස්ට දුලන්‍යාගේ දුරකථන අංකය ලබා දී තිබිණ. එකම ගෙදරක ජීවත් වෙද්දී ඕනෑවට වඩා කෝලං කරන්නට අපහසු ය.
“අද දවසම ඇහුවෙ මම දීපු සින්දුවනම් මේ සින්දුව මතක් උනේ කොහොමද?”
දුලන්‍යා අසන්නේ කොල්ලන්ගේ භාෂාවෙන් කියන්නේනම් “ගේම ඉල්ලන” කටහඬකිනි. මේ ඇබිති කෙල්ලට ගේම තබා කාමරයක්වත් දිය යුතු නොවේ.
“මම ගිය සතියේ ඔය ෆිල්ම් එක බැලුවා.”
පිපී එන සිනාවෙන් ඊළගට කියන්නට තවත් කතාවක් තිබේ.
“ඔයාවත් එක්කන් යන්න අහල මම අක්කගෙන් බැනුනුත් ඇහුවා.”
එය අපූරු කතාවකි. ඔහු එතරම් පරිත්‍යාගශීලී වන්නට ඇත්තේ සහෝදරකමට ම නොවන බව ඇයට ද හොඳින් වැටහේ. “පස්සේ යං” කියන්නට ඕනෑ වුව ද තමන් හැදිච්ච ගෑනු දැරිවියක බව සිහි වූ ඇය මුහුණ රතු කරගනිමින් කාමරයට යන්නට ගියා ය.
ඇය කියවමින් හිඳ යන්නට ගිය පසු විශාල රික්තයක් ඇති වන්නේ කෙසේදැයි සඳරැස් කල්පනා කළේ ය. තාවකාලික ප්‍රේම සම්බන්ධතා කිසිවක් අවසන් වූ පසු පවා ඔහුට දුකක් දැනී නැත. නමුත් එකම වහලක් යය ජීවත්වෙන දුලන්‍යා ඇගේ කාමරයට යන්නට ගිය පසු පවා ඔහුට තනිකමක් දැනේ. ප්‍රේමයමේ තරමට බර හැඟීමක් නම් ආදරය නොකර හිඳීම හොඳ බව ඔහුට සිතෙන තරම් ය.
ඇයට අසන්නට දුන් ගීතය අසන්නට ඔහු ඉයර් ෆෝනය පැළඳ ගත්තේ ය.
“පිච්ච මල් වැස්සකින් අපේ ආදරේ තෙත් වුණා.” රිද්ම ගයයි. සඳරැස් නිසොල්මන්ව අසා සිටියේ ය.
“ජීවිතේ මොහොතකින් වෙනස් වී හැරෙද්දී
අරමුණක් සිතුමිණක් දෝතෙහි රැඳෙද්දී..”
ඒ කතාව ගජමෑන් විසින් පද්මාවතීට කියන්නට ඕනෑ කතාවක් වන්නට පුලුවන. නමුත් මේ මොහොතේ නම් ඒ පද පේලිය වඩාත් ගැළපෙන්නේ තමන්ට බව සඳරැස් සිතුවේ ය.සෙල්ලක්කාරයෙකු සදාකාලිකවම ආදරය කරන්නට සිහින දකිමින් සිටියි. ඔහුට දැන් උවමනා සදාකාලික ප්‍රේමයක් මිස වෙන කිසිවක් නොවේ.
“ජීවිතේ ඔබ ළඟයි හැඳින්නේ සිතැත්තී
ආදරේ ඔබ නිසයි දැනෙන්නේ මුවැත්තී”
ඔහු එතැන නැවතී අසා හුන්නේ ය.ආදරය කියන්නේ මායාවක් බව සිතා සිටි සඳරැස් ආදරය කියන්නේ මොනතරමට සුන්දර දෙයක්දැයි සිහින දකින්නට පටන් ගෙන තිබේ. අම්මා සහ ප්‍රථම ප්‍රේමය මෙන් සෑම ගැහැනියකම ආදරයේදී ඉතා අසාධාරණ බව සිතූ ඔහු ප්‍රේමය ඉසියුම්ව හට ගන්නා බව සිතන්නට ගෙන තිබිණ.
“මොනතරම් සින්දු ආවත් මට මේ කෙල්ලව දැනෙන සිංදු කිව්වෙ උඹ තමයි රිද්මයා.”
ඔහු ගායකයා දෙස බලා මිමිණී ය. නියෝන් විදුලි බල්බ දසදහස් ගණනකින් අලංකාර වී ඇති ප්‍රසංගයක නිස්කාංසුවේ හිඳගෙන ඇගේ අත අල්ලාගෙන රිද්ම වීරවර්ධන ගේ ගීත අසන දොළදුකකින් ඔහු පිරෙන්නට පටන් ගෙන තිබිණ. මෙවැනි ඉතා රෝමාන්තික වර්ග සිහින ඔහුට නොවූ බව ඇත්තම කතාව ය. නමුත් සැබෑ ආදරයක් පහළ වූ විට නොසිතනා රෝමාන්තික සිහිනවලින් පිරී යන බව දැන් ඔහුට වැටහේ.කාමරයට වී සිටි කාලය ඕනෑවට වැඩි බවත් රූපවාහිනිය නරඹන්නට හෝ ආලින්දයට ගොස් ඇය ඇස ගැටෙන්නට රැඳිය යුතු බවත් සඳරැස්ට සිතිණ. එහෙත් ඔහුට පෙර ඇය ඉක්මන් වී තිබිණ. දොරට සන් කිරීමකින් හෝ තොරව දුලන්‍යා සුළඟක් සේ කාමරයට කඩා වැදිණ. දොරට තට්ටු නොකර කොල්ලෙකුගේ කාමරයට එන්නේ ඇයි දැයි අසන්නටත් ඇයට තරවටු කරන්නටත් ඔහුට ඕනෑ වුවද ඇගේ බියජනක දෙනෙත් ඒ සිතුවිල්ල මැඩලන්නට සමත් විණ. ඇය බියෙනි; බියෙන් ගැහෙමිනි.
“ඇයි නංගි?”
ඔහුගේ කාරුණික කටහඬ දුලන්‍යා සැබෑ ලෝකය වෙත රැගෙන ආ අතර වෛද්‍යවරියක වීමේ මාවතක ගමන් කරමින් සිටින තමන් මෙවැනි මොහොතක බින්දුවක්වත් කලබල විය යුතු නැති බව ඉන් අනතුරුව ඇයට කල්පනා විය.
“අක්කගෙ වෝටර් බෑග් කැඩිලා. අක්කාව හොස්පිටල් ගෙනියන්නෝන අයියේ”
දරුවෙකු කුස දරා අසීරු අඩියක හිඳින්නිය තමන්ගේ දෙවැනි අම්මා ය. සඳරැස් අක්කා වෙත දිව ගියේ නැත. ඔහු ඒ වෙත ගියේ ඉගිලී ය.