සඳ ගංතෙර – 25

“මිස්ට සහස් ඇවිත් ඔයා අහනවා.”

කාර්යාලීය යුවතියක එසේ අසද්දී භාග්‍යා අහසට විසි වූවා ය. සහස් ඇයව විමසයි. එය මොනතරමට ආනන්දජනක ප්‍රවෘත්තියක් ද?  ඇගේ “ක්‍රෂ් එක” සහස් බව මේ කාර්යාලයේ බිත්ති පවා දන්නා කාරණාවකි. විහස්ට වඩා හැඩ කොල්ලා සහස් බවත් ඔහු ආකර්ෂණීය බවත් කියමින් ඇය දාහක් කතන්දර කියද්දී බිත්ති වලට පවා ඒවා අසා හිඳින්නට සිතී තිබිණ.

ඉතින් දැන් ඔහු පැමිණ තිබේ!  ඒ සුරංගනා කතාවල පරිද්දෙන් කුමාරයා කුමරිය සොයා ආ ගමනක් වන්නට ද පුලුවන.

“මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕන.”

ඔහු එසේ කියද්දී භාග්‍යා ලැජ්ජාශීලිව බලා සිටියා ය. එක්වරම පැමිණ ප්‍රේමාරධානාවක් කරන්නට ඉඩ නොවේ. එහෙත් සහස්ට “ටිකක් කතා කරන්නට සිතීම” ම අපූරු දෙයකි.

“සාමාන්‍යයෙන් තාත්තගෙ පර්සනල් දේවල් දන්නෙ ඔයානෙ.මට එයා ගැන දෙයක් දැන ගන්නනෝන”

භාග්‍යා සිටියේ කමල් විජේවර්ධනගේ සම්පූර්ණ ගිණුම් වාර්තා පවා ගෙඩි පිටින් සහස් අත තබන තරම් මානසිකත්වයක ය. ඇය ඕනෑම දෙයක් කියන්නැයි ඔහුගෙන් ඉල්ලුවා ය. ඒකපාර්ශ්වික ප්‍රේමයන් වෙනුවෙන් ඉර හඳ තරු පවා උගුල්ලාගෙන එන්නට යන තරුණියන් වේ. භාග්‍යා ද සිටියේ එවැනි තැනක ය. රස්සාවට හෙණ වැදුණද සහස්ගේ ඉල්ලීම ඉෂ්ට කරන්නට ඇය කැප වූවා ය.

“තාත්තා කාටහරි පවුලකට වියදම් කරනවද?”

එක පවුලක් නොවේ. විජේවර්ධන පවුල දුප්පත් යැයි සම්මත පවුල් විශාල ගණනකට ආධාර ලබා දෙයි. ඒවා රහස් ද නොවේ. පවුලම දැනුවත් කාරණා ය.

“එහෙම නෙවේ, අවුරුදු විසි හයක වගේ ඉන්ජිනියර් කෙනෙක්ට තාත්තා වියදම් කරනවද?”

ඒ පිරිමියෙකු වග ද සහස් අවසානයට එකතු කළේ ය. සඳරැස් ගැන හෝඩුවාවක් සොයා ගත යුතුම වේ.

“එහෙම කවුරුත්!”

අධ්‍යාපනය වෙනුවෙන් ආධාර ලබන සරසවි සිසුන් නම් බොහෝ වන බව භාග්‍යා වාගේම සඳරැස් ද දන්නා කාරණාවකි. නමුත් සඳරැස් ආධාර ලබන වර්ගයේ පවුලක නොවන බව සහතික කරන්නට පුලුවන. ඔහුගේ මෝටර් රථය පවා නවීන පන්නයේ එකකි.

“මේ ළඟදි අමුතු වැඩක් නම් වුණා.”

බෝම්බය ඉනික්බිතිව පුපුරා ගියේ ය. තමන්ව කාර්යාලයට කැඳවා ප්‍රකට පෞද්ගලික රෝහලක හිඳින අලුත උපන් බිළිඳෙකු ගැන තොරතුරු විමසූ ප්‍රධානියා ගැන භාග්‍යා හෙළිදරව් කළා ය. තොරතුරු පිටතට ලබා නොදෙන පෞද්ගලික රෝහලෙන් විස්තර ලබා ගත්තේ පවා විජේවර්ධනගේ ඇඳුනුම්කම් පාවිච්චියට ගනිමිනි.

“මට ඒ ලියපු එක තාම හිතා ගන්න බෑ”

අම්මා කෙනෙකු දුවකට ලියූ ඒ සටහනේ පිටපතක් භාග්‍යාගේ ලැප්ටොප් එකේ තිබිණ. ඇය එය පෙන්වූවා ය. අදහස විජේවර්ධන මහතාගේ ය. එය ව්‍යක්ත ඉංග්‍රීසියෙන් ලිවීම භාග්‍යාගේ ය. ප්‍රමුඛතම මල් අලෙවිසැලකින් විශාල මුදලකට ගත් ලිලී මල් පොකුර ද ඒ සමඟ යැවිණ. රන් පංචායුධය සහ කරාබු යුගලයක් ද දැරියට තිළිණ කෙරිණ.

“ඒ බබාගෙ අම්මා හරි පොඩියි සහස්. සර් එහෙම නරකනම්..”

භාග්‍යා කියන්නට යන දේ සහස් තේරුම් ගත්තේ ය.එහෙම වෙන්නට කොහොමටවත් ඉඩක් නොවේ. ඒ හන්දා ඔහු අදාළ තරුණියගේ විස්තර ඉල්ලා ගත්තේ ය.

භූමිකම්පාව අවසන් ය. අනතුරුව කුණාටුව ඇරඹෙන්නට විය.

තාරකා මල්වැන්න!!

ඒ දුලන්‍යාගේ නෑනන්ඩිය ය. ඇය හැඩකාර ගැහැනියකි. ඇයට කඩවසම් උගත් ධනවත් සැමියෙකු ද වේ. ඒ හන්දා ඇය තාත්තාගේ අනියම් බිරිය වන්නට නම් ඉඩක් නොවේ. නමුත් ලෝකයේ හැටියට වන්නට බැරි දෙයක් ද නැත.

තාත්තා සඳරැස්ට ඔහුගෙන් වරදක් වූ බව පැවසී ය. එහෙත් එය මොන අන්දමේ වරදක්දැයි පැහැදිලි නොවේ. සඳරැස් තාත්තාගේ කවුද? තාරකාට අම්මාගේ නමින් මල් කළඹක් යවන්නට හේතුව කුමක්ද? සහස් උභතෝකෝටිකයක පැටලී ගියේ ය.

“සඳරැස්ගේ පවුලේ විස්තර හොයලා දීපං”

සඳරැස්ගේ පාසල් මිතුරාට ඒ පණිවිඩය යැවූ ඔහු භාග්‍යාගෙන් සමු ගත්තේ ය. සඳරැස්ට තව මොනවා හෝ කියමින් ඉන්නට තිබුණානම් භාග්‍යා කැමති ය. නමුත් ඇයට උවමනා දේ කරන්නට ඔහුට වෙලාවක් නැත. නමුත් මේ කතාබහ මාස ගණනක් ගෙවා ගන්නට ප්‍රමාණවත් බව භාග්‍යා සිතුවා ය.

“සඳරැස්ට මේ වෙනකොට ඉන්නෙ අක්කා විතරයි. තාත්තා හාට් කේස් එකකින් නැති වෙලා ටික කාලයක්.”

මිතුරා සහස් අමතා පැවසී ය.නමුත් කෙනෙකුට ඉන්නේ තාත්තා පමණක් නොවේ.තාත්තා කෙනෙකු නැති ළමයින්ට ද අම්මා කෙනෙකු වේ.

බරපතලම කතාව මතු වූයේ ඉනික්බිතිව ය.

“සඳරැස් පොඩි කාලෙ ඉඳලම අම්මා නැති වෙලා කියලයි කිව්වෙ බං. ඒත් ඒ පවුලට කිට්ටු සමහරු කියනවා ඒක බොරුවක් කියලා.”

ඕපාදූප කියන්නේ ගැහැනුන් බව සම්මත වීම විකාරයකි.කොල්ලන් ද ඕපාදූප කියන්නට සතුටු ය. මේ දිග හැරෙමින් තිබුණේ එහෙම මොහොතකි.

“සඳරැස්ගෙ අම්මා පොඩි කොල්ලෙක් එක්ක පැනලා ගිය කතාවක් කියනවා ඕයි. ඒ මනුස්සයා ටීච කෙනෙක්ලු. මියුසික්ද කොහෙද උගන්නපු.”

එතැනින් එහා අසන්නට සහස්ට ඕනෑ වූයේ නැත. අම්මා තාත්තාට වඩා වැඩිමහලු වීම යොවුන් වියට එළඹීමත් සමඟ අයියාටත් මල්ලීටත් හොඳ ඕපාදූපයක් විය. අම්මා කාලයකට ඉහතදී රජයේ ගුරුවරියක බව අම්මාගේ ලොකු කතා අතර මුලම ඇති දෙයකි. ඇය විජේවර්ධන මහත්මිය වන්නට පෙර මල්වැන්න මහත්මිය වී හිඳ තිබේ.

එය උසුලා ගැනීම අපහසු නැත. නමුත් අර්ධ සහෝදරයෙකු සමඟ එකම යුවතියකට පෙම් කිරීම කිසිම අයුරකින් පහසු හැඟීමක් නොවේ.

“අම්මත් මගේ මිස උඹේ නෙවෙයි. එහෙනම් දුලන්‍යාත් උඹේ වෙන්නේ නෑ අයියේ.’

සහස් මුමුණා ගත්තේ ය. ලස්සනම කතාන්දරය දැන් සඳරැස් ඔහුගේ නෑනා ය. නෑනා හිමි කරගන්නේ පොඩි මස්සිනා මිස ලොකු මස්සිනා නොවේ!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles