සඳ ගංතෙර – 15

කරන්නට කිසිවක්ම සිතා ගන්නට නොහැකි මොහොතක සිටියේ දුලන්‍යා ය. සැලසුම් සහගතව දරු උපත පෞද්ගලික රෝහලක සිදු කරන්නට සිටි තාරකා අක්කාට දැන් කුමක් වේදැයි ඇය දන්නේ නැත. අක්කා නිවස තුළ දරුවා ප්‍රසූත කරන්නට ඉඩ ඇති බවට පවා ඇය සිතී ය. බොළඳ කෙල්ලක එතරමට කලබල වී සිටියා ය. සඳරැස් අක්කා ඔසවා මෝටර් රථය තුළ තැබුවේ ප්‍රවේසමෙනි. බෑගය සූදානම් කර ඇති බවත් එය රැගෙන ආ යුතු බවත් අක්කා කියන හඬ සිහිනයෙන් මෙන් ඇසෙද්දී දුලන්‍යා හිස වැනුවා ය.

“කලබල වෙන්න එපා ළමයිනේ. අපි හෙමින් හොස්පිටල් එකට යං”

අක්කාගේ හඬ වේදනාබර ද කලබලකාරී ද යන්න සඳරැස් නොතේරුවේ ය. ඔහු මේ ජීවිතය තුළ වඩාත්ම ආදරය කරන ගැහැනිය ඇගේ ජීවිතයේ තීරණාත්මක මොහොතක ය. ඒ නිසා සන්සුන් වෙන්නට ඕනෑ ය.නමුත් රිය පැදවීමේ දී ඒ සංසුන්කම දරා ගන්නට ඔහුට නොහැකි විය .

“උඹ එක්ක ගමන් යනවට වඩා හොඳයි ගෙදර ඉන්නවා”

සඳරැස්ගේ රිය පැදවීමේ වේගය ගැන තාරකා නිරන්තරයෙන් එසේ දොස් නඟන්නී ය. ඔහු  සෑම විටම ඊයේ යන්නට ඇති ගමනක් අද යන්නෙකු බවට ඇය චෝදනා කරන්නී ය. නමුත් මේ මොහොතේ ඊයෙ යන්නට ඇති ගමනක් අද යෑමක් නොව ගිය සතියේ යන්නට තිබෙන ගමනක් අද යාමක් බව සඳරැස්ට සිතේ. පාරේ ඇති අනෙක් වාහන ගැන හිතන්නේ නැතිව ම ඔහු රිය පදවන්නට විය.

“අයියේ, අපි ටිකක් හෙමින් යං. කලබල වෙලා බෑනේ”

දුලන්‍යාගේ හඬ සිහින් ස්වරයකින් නැගී ආවේ ඒ මොහොතේ ය. දුලාජ්ට ඇමතුමක් දෙන මොහොතේ පවා ඇය අක්කාව දරා සිටින අන්දම ඔහු වාහනයේ කණ්නාඩියෙන් නුදුටුවා නොවේ. දුලන්‍යා ඔහුගේ රිය පැදවීම සම්බන්ධයෙන් බිය වී සිටින්නේ අක්කා සිටින තත්ත්වය මත බව සඳරැස් පියවි සිහියට එන අතර සිතුවේ ය.

මේ ලෙහෙසි මොහොතක් නොවේ!

නමුත් මේ මොහොතේ වාහනය තුළ සීරුවෙන් හිඳින්නී ඔහුගේ මුළු ලෝකයම වූ අක්කා ය.ඇයව සනසනවන්නී ඔහු ජීවිතය කරගන්නට සිහින දකින යුවතිය ය.අක්කාගේ කුස තුළ හිඳින්නී මුළු පවුලේම අනාගතය වර්ණ ගන්වන්නී ය. ගැහැණුන් ප්‍රිය නොකරන ඔවුන්ට අනුකම්පා නොකරන තරුණයා තමන්ගේ හැඟෙන කාන්තා චරිත ත්‍රිත්වය වෙනුවෙන් රථයේ වේගය පාලනය කර ගත්තේ ය.

“තව ටිකයි සුදු අක්කේ..”

දුලන්‍යා මුමුණන්නී ය. තමන් මෙතරමට සිහියෙන් හිඳීම පවා සඳරැස්ට පුදුමයකි. රෝහල් ආලින්දයේදී රෝද පුටුවක හිඳ වූ අක්කා දුලාජ් අයියාගේ භාරයටත් එතැනින් රෝහල් භාරයටත් පත්වන තුරුම සඳරැස් තමන්ව පාලනයකින් තබා ගන්නට වීර්යය ගත්තේ ය.සියල්ලම යහපත් ලෙස සිදුවෙමින් තාරකා ශල්‍යගාරය වෙත ගෙන යන අන්දම දුලන්‍යානම් බලා සිටියේ තෙත් වූ දෑසකිනි. ඇයට පවුලේ සුරතලිය වන්නට ලැබෙන අන්තිම මිනිත්තු කිහිපය මෙතරමට සංවේදනා පිරුණු එකක් වේයැයි ඇය සිතා තිබුණේ නැත.

“ඉස්සර අක්කට පීරියඩ්ස් හැදුණමත් හරී අමාරුයි. මං කෝපි හදලා දෙනවා. එහෙම හිටපු අක්කා ප්‍රෙග්නන්ට් වෙලා මාස නමයක් ඉන්නෙ හැටි මම බලාගෙන හිටියේ හරිම වේදනාවකින්. ඒ මාස නමය මොකක්ද කියලා හිතුණේ මේ ගෙවිලා ගිය පැයට දෙකට. අක්කා මොනතරම් ඉවසන්න ඇතිද? එයාට කොච්චර අමාරුවෙන්න ඇතිද?”

ශල්‍යාගාරය ඉදිරිපිට හිඳ බලා සිටින මොහොතේ දී සඳරැස් ගේ බිඳුණු හඬ නැගී ආවේ ය. ඔහු සිටින්නේ ආවේගයෙන් නොව වේදනාවෙන් බව  දුලන්‍යාට වැටහිණ.

“මේ වගේ වෙලාවක අක්කා ගාව ඉන්න අර මනුස්සයට තිබ්බා.”

ඔහු අනතුරුව කියන්නේ පසුතැවුණු හඬකිනි. අර මනුස්සයා කවුදැයි හොඳින්ම දන්නා හන්දා ඇය මාතෘකාව වෙනස් කරන්නට තීරණය කළා ය.වෙනස් කරන්නට ම නොවේ, එහි වඩා හොඳ අර්ථයක් සිහි කරන්නට ය.

“අපේ අම්මලා එන්න පිටත් වුණා කිව්වා අයියෙ.”

තාරකා අක්කාට ප්‍රසූත වේදනා ඇති වූ බව කියද්දී කාටත් වඩා කලබල වූයේ අම්මා බව දුලන්‍යා විස්තර කළා ය. කොහොමටත් අම්මාට ලේලියක් නැත. ඉන්නේ ලොකු දුව සහ සුදු දූ ය.

“ඔයාලගෙ අම්මා හොඳ මනුස්සයෙක් වෙච්ච හින්දා හොඳයි. ලංකාවේ සීයට අනුවක්ම ඉන්න නැන්දම්මලාගෙන් කෙනෙක් වුණානං.. අර මනුස්සයට සමාව දෙන්න මට කොහොමටත් බෑ.”

මේ ජීවිතයේ ඉතා සුන්දර මොහොතකි. මේ මොහොතේ කෝපයෙන් හිඳීන කමකට නැති බව ඔහුට කියන්නට තරම් ඇයට සිතේ. නමුත් ඒ වෙනුවට දුලන්‍යා ප්‍රශ්නයක් ඇසුවා ය.

“අයියලගෙ අම්මා ඉන්න තැනක් දන්නෙ නැද්ද?”

ඔහු හැරී බැලුවේ ඉක්මනින් ය. කාටවත්ම නොකී රහසක් ඇයට කියන්නට සිතේ. සැබෑව නම් මේ ගැන අක්කාවත් දන්නේ නැත.

“එයා ඉන්න තැන මම දන්නවා.”

එසේ නම් ඇයව මුණ ගැසී සිදු වූ කතන්දරය ගැන විමසන්නට නොහැකි ඇයිදැයි අසන්නට තරම් උවමනාවකින් දුලන්‍යා දැවී යයි. නමුත් මේ එවැනි දේ අසන්නට මොහොතක් නොවේ. ඇය කතාවේ මාතෘකාව වෙනස් කරන්නට සිතුවා ය.

“බබා ඇවිල්ලද දන් නෑ.”

වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නේ ඇය ය. ඒ හන්දා ඕවා දැන සිටියේ යුත්තේ ඇය බව ඔහු පවසන්නේ ඔහුගේ මනබඳින සිනාවට පිපෙන්නට ඉඩ හරිමිනි. තැනක් නොතැනක් නැතුව ඔහු හෙලන ඒසිනාව කෙල්ලන් කීදෙනෙක් දැලේ දමා ගන්නවා ඇතිදැයි දුලන්‍යා තිගැස්මෙන් සිතුවා ය. අයිතිවාසිකමක් නැති නමුත් අයිතියක් නැති ඒ සිනාව සදහටම අයිති කර ගැනීමේ දොළකින් ඇය දැවී යන්නට වූවා ය.

“දුලාජ් අයියා කොහොම ඉන්නවද දන් නෑ.”

ඔහු ඉන් අනතුරුව කියයි. මේ සිසේරියන් සැත්කමකි. සාමාන්‍ය දරු ප්‍රසූතියක් නොවේ. තිරයකින් වැසී ගිය කොටසට නොගොස් අක්කාගේ ඉහ ඉද්දරට වී ඉන්නට අයියාට හැකි බව දුලන්‍යා විස්තර කළා ය. ඒ හන්දා බිය වන්නට හෝ කම්පා වන්නට දෙයක් නැත. කොහොමටත් මේ වෙද්දී දියණිය ලෝකය දැක ඇති බව ද සහතික ය.

“මොකක් කරත්! මට කවදහරි බබා හම්බෙනවා නෝනට කලින්.”

ඔහු කියන්නේ සිනාවෙනි. දුලන්‍යාගේ මුහුණ සිනාවකින් එළිය වැටිණ. ප්‍රථම හාදුවක්වත් විඳ නැති ළපටි කෙල්ලක විශාල මට්ටමේ අනාගත සිහිනයක් දකින්නට පටන් ගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles