“මෙයා කොහොමද අක්කා ප්‍රෙග්නන්ට් කියලා දන්නේ?”
සඳරැස්ගේ ආවේගශීලි කටහඬ කාමරය පුරා පැතිර ගියේ ය. ඔහු මල් කළඹ දුලන්‍යාගෙන් ලබා ගත්තේ උදුරාගෙන මෙනි. එහි ඇති වචන කියවන්නට ඇයට සිතුණේ ඒ මොහොතේදී ය.
එය එවන්නට ඇත්තේ ඔහුගේ පැරණි පෙම්වතියක් ද? ඒ සිතුවිල්ල දුලන්‍යාගේ හදවත පාරවන්නට විය. නැත! ඔහුට එක එක කෙල්ලන් සමීප වන්නට ඕනෑම නැත. අනෙක් අතට ඔහුගේ පවුලේ කාරණා දැන් පැරණි පෙම්වතියන්ට අදාළ වන්නට ඉඩක් නැත.
දුලන්‍යා කාඩ්පත කියෙව්වේ ඒ හැඟීමෙනි.
මගේ දූ,
ඔයා අම්මා කෙනෙක් වෙලා. මට හරිම සන්තෝසයි. මේ වෙලාවේ ඔයා ළඟ ඉන්න බැරි වුණත් මං සදහටම ඔයා ගාව ඉන්නවා. මගේ හදවත ඔයා එක්කමයි
ඒ කාඩ් පත ලියා ඇත්තේ ව්‍යක්ත ඉංග්‍රීසි භාෂාවෙනි. එය කාගෙන් කොහොම එන්නට ඇත්දැයි දුලන්‍යාට සැක සිතිණ. අම්මා වෙන්නට නොහැකි ය. ඇය මේ මල් එවන වැඩ නොදන්නී ය. අනෙක් අතට ඇය කොළඹ එන අතර ය.
“අක්කාගේ යාලුවෙක්ගෙ අම්මෙක්?”
දුලන්‍යා ඇසුවේ වඩාත් නරක දේ පසුවට අසන්නට ඉතිරි කරමිනි. සඳරැස් හිස සැලී ය. ඔහු මේ වන්නට ඇති දේ හොඳින් දනියි.
“මේක එවලා තියෙන්නෙ අර මනුස්සයා.”
ඔහු මේ වචනය පාවිච්චි කරන්නේ අම්මා වෙනුවෙන් ය. අතරමඟදී අත අත්හැර දැමුවත් සඳරැස් අම්මාට අම්මා නොකියා සිටීම ගැන දුලන්‍යා අකමැති ය. සදහටම තරහ වී හිඳින්නට ඕනෑ අය හිඳියි. ඒත් අම්මා කෙනෙකු සමඟ සදහටම තරහ වන්නට ඕනෑ නැති බව ඇය විශ්වාස කරන්නී ය.
“අක්කා මට හොරෙන් එයා එක්ක කන්ටැක් තියාගෙන.”
මල් පොකුර අක්කා අසල මේසයෙන් තැබූ ඔහු කාමරයෙන් පිට වූයේ එසේ කියමිනි. ඔහු වේගයෙන් රෝහල් කොරිඩෝව දිගේ ඇවිද යයි. ඔහුගේ දිග අඩි සමග සමාන්තර වඩිය තියන්නට නොහැකි වුණත් දුලන්‍යා ඔහු පසුපස දිව ගියා ය. කොහොමටත් තව වසර හතර පහකින් උදාවන්නේ රෝහල් කොරිඩෝවල දිග අඩි තබමින් ඇවිද යන දවස් ය. ඒ හන්දා ඇය සඳරැස් පසුපස දුවන්නට තීරණය කළා ය.
“මට හරිම හරිම අවුල්.”
ඔහු දේවල් ගැන ඕනෑවට වඩා සිතන්නෙකු බව දුලන්‍යාට පැහැදිලි ය. සෑම කාරණයක්ම ගැන දිගුදුර සිතන්නෙකු සමඟ ජීවිතය පහසු නොවන වග ඇයට හදිසියේ සිතිණ. නමුත් මේ රතු එළි හෝ වෙනත් කිසිවක් ගැන සිතන්නට වෙලාවක් නොවේ. තාරකා අක්කාට ආදරය අවශ්‍යම මොහොතක ඇයට සඳරැස්ව අහිමි වන්නට ඉඩ දෙන්නට ඕනෑ නැත.
“අක්කා මෙච්චර කාලෙකට ඔයාලගෙ අම්මත් එක්ක කිසිම සම්බන්ධයක් තිබ්බෙ නැහැ කියලා අපි දන්නවනෙ. එහෙම එකේ එකපාරටම එයා චූටි දූව ගෙනාවා කියලා කියන්න විදියක් නෑ.”
දුලන්‍යා වහාම තාරකාව සාධාරණීකරණය කරන්නට පටන් ගත්තා ය. සැබෑවටම එසේ වන්නට ඉඩ නොමැති බව ද ඈට සිතේ.නමුත් එසේ වුවත් සඳරැස් මේ සම්බන්ධයෙන් කෝප වන්නට ඕනෑ නැත.
“අම්මා කෙනෙක් වෙනවා කියන හැඟීම ලේසි හැඟීමක් නෙමෙයි අයියේ. ඔයාටවත් මටවත් ඒක තේරෙන්නේ නෑ. මං ඇත්තටම හිතන්නේ නෑ අක්කා එයාලගේ අම්මට කතා කරන්න ඇති කියලා..ඒත් එහෙම කතා කරත් අපිට ඒකෙ වැරැද්දක් කියන්න බෑ. ඇත්තටම එයාට අම්මව හරියටම ඕනේ කියලා දැනෙන වෙලාව මේ. “
සඳරැස් මෘදු වන්නට පටන් ගෙන තිබිණ. නමුත් ඔහුට මෙය දරන්නට තරම් ශක්තියක් නැත. අක්කා තමන්ට රහසක් සැඟවූ බව සිතද්දී දරා ගන්නට අපහසු බව ඔහුට හොඳින්ම වැටහේ.
“මගේ ජීවිතේ මෙහෙම එකක්. සතුටින් හිටියොත් දුකින් ඉන්න මොකක්ම හරි හේතුවක් හම්බ වෙනවා.”
ඔහු කියන්නේ ළතැවීමෙනි. නමුත් දුලන්‍යා එය නොපිළිගත්තා ය. එවැනි කාරණා වහාම පිළිගන්නට වටින ඒවා නොවේ. අනෙක් අතට සඳරැස් කියන්නේ ඕනෑවටත් වඩා කලබල වෙන ඕනෑවටත් වඩා දේවල් හිතන ඉක්මනින් කෝපයට පත් වෙන තරුණයෙකු බව දැන් ඇය වටහා ගෙන අවසන් ය. ඒ හන්දාම ඔහුට ඕනෑවට වඩා හැඟීම්බර වන්නට දෙන්නට ඇය නොසිතුවා ය.
“අයියේ, අපි වැඩියෙන්ම විශ්වාස කරන්න ඕන අපි ළඟ ඉන්න අය. ඒ හන්දා අක්කා ගැන මොකුත්ම අහිතක් හිතන්න එපා. මේ වගේ වෙලාවක අපිව අවුල් කරන වැඩ කරන අයත් ඉන්නවා. සමහරවෙලාවට ඔයාලගෙ කතාව හොඳටම දන්න නෑයෙක් කරපු කැත වැඩක් වෙන්නත් පුලුවන් මේක. ලස්සන මල් පොකුරක කැත අදහසක් ඔතලා එවන්න හිතන මිනිස්සු වුණත් මේ ලෝකේ ඉන්නවා.”
ඒ වචන යුවතියට බර වැඩි බව ඔහුට සිතිණ. නමුත් ඇය කියන්නේ ඇත්තකි. සඳරැස් පුටුවෙන් නැඟී සිටියේ ඇයට අතක් දිගු කරන ගමන් ය. දුලන්‍යා අහිතකින් තොරව ඒ අත අල්ලාගෙන නැගිට්ටා ය.
මේ ඇය අල්ලා ගන්නට ආශාවෙන් හිඳින අත ය. අහඹු මොහොතක හෝ එහි පැටලෙන්නට ඇය කැමති ය.
මල් කළඹ එවන්නට සිතූ මිනිසා ඔහුගේ කාර්යාල කාමරයට කාර්ය මණ්ඩල යුවතියක කැඳෙව්වේ ය. ඒ කටයුත්ත සාර්ථකදැයි නැවත දැන ගත යුතු ය. ඒ කමල් විජේවර්ධනගේ ස්වභාවය ය.කරන ලද දෙයක් සාර්ථක වූවේදැයි දැන ගැනීමට ඔහු අනිවාර්යයෙන් පසු පරීක්ෂණ කැඳවයි.
“මල් පොකුර ගිහින්ද භාග්‍යා?”
භාග්‍යා හිස සැලුවා ය. අලුත උපන් දැරියකට සහ ඇගේ අම්මාට මල් කළඹක් යැවීම සුන්දර දෙයකි. එහෙත් කමල් විජේවර්ධන එහි ලියන්නට ඕනෑ කරන දේ කියද්දි ඇයට ආවේ පුදුමයකි.
“මේ බබා ලැබුණු අම්මාගෙ අම්මා එයාගෙන් ඈත් වෙලා ඉන්නේ. ඒ අම්මාට හිතෙන දෙයක් ඉංග්‍රීසියෙන් ලියන්න භාග්‍යා.”
ප්‍රධානියා පැවසුවේ එබන්දකි. රන් සන්නාම අතර ඉහළ නමක රැඳෙන ආයතනයකින් දැරියකට පංචායුධයක් සහ කරාබු යුගලයක් යවන්නට ද ප්‍රධානියා අණ දී තිබේ.
මේ වෙන්නේ කුමක්දැයි භාග්‍යා දස අත සිතුවා ය.
(ඉරුවාරදය උත්සන්න වී ලියූ හන්දා අද කොටස වැඩි ලස්සනක් නැතුව ඇති. සමා වෙන්න.)