නවක වදය නිසා අමානුෂිකව ඝාතනය වූ සිසුවා

නවක වදය විශ්ව විද්‍යාල අධ්‍යාපනය සහමුලින්ම අවුල් කර දමන්නක්. අමානුෂික නවක වදය නිසා ජීවිතය අහිමි වූ තරුණ තරුණියන් අපේ රටේ ද ඕනෑ තරමට ඉන්නා බව පැහැදිලි සත්‍යයක්. නමුත් නවක වදය දරා ගන්නට නොහැකිව සියදිවි නසා ගන්නා අය තරමට ඝාතනයට ලක් වූ අය ගැන ද අපි කතා කළ යුතුයි. උසස් අධ්‍යාපනයට යොමු වී හීන දහසක් හිස දරා සිටියදී ජීවිතය අහිමිව යාම තරම් ඛේදවාචකයක් තවත් නැහැ.

මේ අපේ රටේ කතාවක් නෙවෙයි. ඉන්දියාවේ කතාවක්. ඒත් වේදනාවට වේදනාව මිස වෙනත් නමක් නැහැ.

පොන් නවරසු අන්නමලෙයි  රාජා මුත්තයියා වෛද්‍ය විද්‍යාලයේ පළමු වසරේ ශිෂ්‍යයෙක් වුණා. 1996 නොවැම්බර් 6 වැනි දින ඔහු ඝාතනය කරන ලදී. ඔහුගේ සිරුර කැබලි කර තමිල්නාඩුවේ විවිධ ප්‍රදේශවල විසිරී තිබුණා. ඔහුගේ පියා වන මදුරාසි විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය පී.කේ. පොන්නුසාමි නොවැම්බර් 10 වැනිදා පොලිස් පැමිණිල්ලක් ගොනු කළේ ඔහුගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන්. ඊළඟ දවසේ එම විද්‍යාලයේම ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙකු වූ ජෝන් ඩේවිඩ් අධිකරණ භාරයට භාර වූ අතර සතියක ප්‍රශ්න කිරීම්වලින් පසු ඝාතනය පිළිබඳව පාපොච්චාරණය කරන්නට වුණා. ඔහුගේ පාපොච්චාරණයට අනුව නවරසුට නවක වදය දෙමින් සිටියදී මෙම ඝාතනය සිදුව තිබෙනවා.

ඩේවිඩ් නවරසුට ඔහුගේ නේවාසිකාගාර කාමරයේ නවක වදය දීමේ අවස්ථාවක පාවහන් ගලවා ලෙවකෑමට අණ දී තිබුණා.එය නවරසු ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහුට පහර දී ඇති බව පොලිසිය පවසනවා.ඩේවිඩ්ගේ විද්‍යාලීය මිතුරන් සාක්‍ෂි දෙමින් කියා සිටියේ ඔහු හිරිහැර කරන්නෙකු සහ නින්දාසහගත අවමන් කරන්නෙකු ලෙස කීර්තියක් ඇති බවක්.

මේ නඩු තීන්දුව බොහෝ දෙනා බලා සිටි එකක්. නඩු තීන්දුව පිරීගිය උසාවි ශාලාවක ප්‍රකාශ කරමින්, කූඩලූර් විනිසුරු එස්.ආර්. සිංගාරවේලු පැවසුවේ ඝාතනයේ චේතනාව බොහෝ දුරට විය හැක්කේ, ‘අනෙකුත් කනිෂ්ඨයන් විත්තිකරුට බැඳී සහ බිය වී සිටියත්, උපකුලපතිවරයෙකුගේ පුත්‍රයෙකු වූ නවරසුගේ නොසලකා හැරීම සහ ප්‍රතික්ෂේප කිරීම චුදිතයා කෝපයට පත් කර ඔහු මංමුලා සහගත වීමට හේතු වන්නට ඇති බවක්. මමත්වය මිස අන් කවරක්වත් මේ ඝාතනයට බලපාන්නට නැහැ.

ඝාතනයේ බිහිසුණු ස්වභාවය මහජන කැළඹීමක් ඇති කළ අතර තමිල්නාඩු රජය නවක වදය සාපරාධී ලෙස සලකමින් නවක වදයට එරෙහි ආඥාපනතක් සම්මත කළා.පසුව මෙම ආඥාපනත තමිල්නාඩු නවක වදය තහනම් කිරීමේ පනත 1997 ලෙස විධිමත් කර තිබෙනවා. මේ අනුව අධ්‍යාපන ආයතන තුළ නවක වදය තහනම් කළ සහ එම ක්‍රියාව අපරාධයක් කළ ඉන්දියාවේ පළමු ප්‍රාන්තය බවට තමිල්නාඩුව පත් වෙනවා.

නවරාසුගේ ඝාතනය සම්බන්ධයෙන් ජෝන් ඩේවිඩ් වරදකරු වූ අතර, 1998 මාර්තු 11 දින, කූඩලෝර් දිස්ත්‍රික් සැසි අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරනු ලැබුවා. තමිල්නාඩු ප්‍රාන්තය ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළා 2011 අප්‍රේල් 20 වැනි දින, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මහාධිකරණය ඔහුව නිදොස් කොට නිදහස් කිරීම අවලංගු කර පහළ උසාවියේ වරදකරු බව තහවුරු කළා. ජීවිතාන්ත දණ්ඩනය සමගාමීව ක්‍රියාත්මක කරන ලෙසද නියෝග කළා 2001 දී නිදහස් කරන ලද ජෝන් ඩේවිඩ් දින කිහිපයකට පසුව නැවතත් සිරගත වී මේ වන විටත් ඔහුගේ සිර දඬුවම් විඳිමින් සිටිනවා.

නවරසුගේ දෙමාපියන් ඔහුගේ මතකය වෙනුවෙන් නවක වදයට එරෙහි සංවිධානයක් පිහිටුවා තිබෙනවා.

Related Articles

Don't Miss


Latest Articles