සඳ ගංතෙර -28

“චූටි මිස් මුණ ගැහෙන්න කැම්පස් එකේ යාළුවෙක් ඇවිල්ලා.”

නිවසේ අත් උදව්කාරිය එසේ කියද්දී දුලන්‍යා සිටියේ නෙත්මි එවූ මඟ හැරුණු සටහන් කියවමිනි. ඇය අත් උදව්කාරිය දෙස බැලුවේ පුදුමයෙනි. සටහන් එවද්දී නැවත මුණ ගැසෙන්නට එන කතාවක් නෙත්මි පැවසුවේ නැත.කාමරයෙන් එළියට යන්නට සැරසෙද්දී හොඳම කතාව පැවසුවේ ද අත් උදව්කාරිය ය.

“පිරිමි ළමයෙක් ඇවිත් ඉන්නේ මිස්.”

පිරිමි ළමයෙක්? ප්‍රබෝධට ඇය බලන්නට එන්නට හිතෙන්නට ඇත. කොහොමටත් ප්‍රබෝධ ඇය සමඟ පමණක් නොව සඳරැස් සමඟ පවා හිතවත් ය. ඒ හන්දා “මස්සිනා” ගෙදර එන වෙලාව කිට්ටු කර එන්නට ප්‍රබෝධට සිතෙන්නට ඇත.කාමරයෙන් එළියට එද්දී අම්මා ඇය දෙස බැලුවේ මල් ඉහිරෙන හිනාවකිනි. අම්මා එහෙම ය. මෙවැනි දේවල් මුහුණ කොරහක් කරගන්නට කාරණා නොවේ. දුලන්‍යා ලොකු කෙල්ලකි. ඇයට ඇගේම වූ ලෝකයක් හදා ගන්නට දැන් කාලය එළඹ තිබේ.

“ප්‍රබෝධ ද අම්මා?අර මං කියන්නේ.මගෙ ගාල්ලේ යාළුවා.”

ඔහුට පාසැල් කාලයේ පටන් පැවත එන ප්‍රේමයක් ඇති බව ඇය තුන්සිය වතාවකටත් වඩා අම්මාට පවසා තිබේ.ලහිරු නෙත්මිගේ ප්‍රේමවන්තයා ය. එහි කපුතැන පවා දුලන්‍යා ය. ඒ හන්ද ළඟින්ම ඇසුරු කරන මිතුරන් දෙදෙනා ම ඇගේ ප්‍රේමවන්තයන් වන්නට ඉඩ නැති බව ඇය අම්මාටත් අක්කාටත් ඕනෑවටත් වඩා පවසා තිබේ.

“ඒ ළමයා කිව්වේ නම් ඒ නම නෙවේ”

අම්මා එසේ කියද්දී දුලන්‍යා සාලයට ගියා ය. ඇය ගල් ගැසී ගියේ ඒ මොහොතේ ය.මල් පොකුරක්ද රැගෙන සහස් එහි වේ.

“ඉක්මනින් සනීප වෙන්න.”

ඇය මල් පොකුර ගත්තේ අකමැත්තෙනි. අතක් යන්තම් සීරීම මල් පොකුරක් රැගෙන එන්නට කාරණාවක් දැයි ඔහුගෙන් අසන්නට ඇයට ඕනෑ විය. ඔහු මේ ඇතිකළේ සුළුපටු භූමිකම්පාවක් නොවේ. දැන් ඔහු තමන්ගේ ප්‍රේමවන්තයා නොවෙන බව බිම පෙරළී පැවසුවත් අම්මාත් අක්කාත් පිළිගන්නේ නැත.

“මල් අරන් ආවේ?”

ඇය එසේ ඇසුවා නොවේ ඇසුණා ය. ගෙවල්වලට පැමිණ විකාර කිරීම එතරමට ගුණදායක නැත. සේරෝටම වඩා ගැටළුව තව ටික වෙලාවකින් සඳරැස් නිවසට එන්නට ඉඩ තිබේ.

“අපේ කෙල්ලව බලන්න කොල්ලෙක් මල් පොකුරකුත් අරන් ඇවිල්ලා”

හැම රහ කතාවක්ම ලොකු දූ සමඟ බෙදා ගන්නට පුරුදු දුලන්‍යාගේ අම්මා සාලයෙන් ළදරු කාමරයට එබුණේ එසේ කියමිනි. තාරකා වහා නැඟී සිටියා ය. අම්මාට දියණිය බලා ගන්නට දී අලුත් මල්ලී බලන්නට සාලයට යා යුතු වේ.

එහෙත් ඇය ගල් ගැසුණේ ඉනික්බිතිව ය. පැමිණ සිටින තරුණයා සඳරැස්ගේ ම අනුරුවකි. සමහර කාරණා ඉතා ඉක්මනින් වටහා ගන්නේ ලේ හන්දා ඇගේ ලෙයට මොකක්දෝ අමුත්තක් දැනෙමින් තිබිණ.

ජීවිතයේ පළමු වතාවට දුටු වැඩිමහල් සහෝදරිය වැළඳගන්නා ආශාවක් සහස්ට ආවේ නැත. ඒවා චිත්‍රපට වල ඇති කාරණා ය. එවැනි දෙයක් වෙනුවෙන් ඔහු මෙහි පැමිණියේ නැත. අම්මා ඔවුන් අතැර දැමුවා නම් සහස්ට ඔවුන් ලං කර ගන්නට ඕනෑද නැත.අක්කාට සමීප විය යුතු එකම කාරණාව නම් වඩා හොඳ මල්ලි තමන් බව පෙන්වා සඳරැස්ගේ ළකුණු කපා දමන්නට ය. තාරකාට සඳරැස් දරා ගැනීම අපහසු වන්නට ඇති බව ඔහුගේ අතීත සිදුවීම් හාරා අවුස්සා බැලීමේ දී  සහස් තේරුම් ගත්තේ ය. ඒ හන්දාම වඩා හොඳ සහෝදරයෙකු ලෙස පෙනී සිටින්නට ඔහු ඉටා ගත්තේ ය.  

“මල්ලිගෙ ගෙවල් කොහෙද?”

තාරකා ඇසුවේ හදවත ගැහෙන හන්දා ය. නිවෙස ඇත්තේ රාජගිරියේ බව පැවසූ තරුණයා ප්‍රකට ව්‍යාපාරික ජාලයක නමක් පැවසී ය. තාරකා ගිනි ඇවිළුණා ය.

“පොඩි මල්ලී!!”

මේ ඔහු ය!!

නමුත් මල් පොකුරක අභිරහස ඇත්තේ ඔහු අත බව සිතන්නට තාරකා තීරණය කළා ය.දුලන්‍යාට සමීප වීමෙන් පසුව ඔහු තාරකා සහ සඳරැස් ගැන දැන ගන්නට ඇත. දැන් ඔහුට ඕනෑ කරන්නේ තමන්ට සමීප වන්නට ය. අර මල් පොකුර එවන්නට අම්මා සම්බන්ධයක් නැති බවත් එය මේ තරුණයාගේම වැඩක් වන්නට ඇති බවත් තාරකා තීරණය කළා ය.ඔහු සහ සඳරැස් එකම රුව දරන්නන් ය. එහෙත් අම්මා උදුරා ගත් කමල් විජේවර්ධනගේ දරුවෙක් සහෝදරයා වන්නේ කෙසේදැයි ඇය සිතුවා ය. අම්මා ඔවුන්ගේ නිවෙසින් පිටව ගියේ ද සහස්ලා කුසෙහි දරමිනි. ඒ අතීතය තාරකාට අමතක කරන්නට නොහැකි ය.

තාරකා ආගන්තුකව හිනැහෙමින් හිඳ නිවස තුළට ගියා ය. මේ නංගිගේ ප්‍රේමවන්තයානම් ඒවාට එරෙහි වීම යහපත් දෙයක් වන්නේ නැත. නමුත් කළ හැකි දේ කරන්නට ඇය සිතුවා ය. ඇය සඳරැස්ට ඇමතුමක් ගත්තේ එනිසා ය.

ඇමතුමෙන් පසු ආ වට්ස් ඇප් පණිවිඩය සඳරැස් විවෘත කළේ ය.බිළිඳිය වෙනුවෙන් ගෙන එන්නට බඩු ලැයිස්තුවක් වේ. ලෝකයේ සිටින හොඳම මාමා වන්නට කැමති ඔහු නැවත අග නගරය දෙසට රිය ධාවනය කරන්නට විය. දූට ගෙන යන්නට ඕනෑ මිලාධික හොඳම දේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles