සඳ ගංතෙර – 33

සඳරැස් අවදි වූයේ පාන්දර ජාමයේ ය. කාමරයේ විදුලි බුබුළ පවා ඔහේ දැල්වී තිබේ. දුලන්‍යා මුළු රාත්‍රියම ගෙවා දැම්මේ දුරකථනය පවා අක්‍රීය කරගෙන ය. ඇය කතා කරන්නේ නැති වීමම ඔහුට වේදනාවකි. එහෙම ඉන්නට වූයේ මොකක්දැයි අසා ඇගේ කාමරයට යන්නට ආ ආවේගය ඔහු නවතා ගත්තේ අසීරුවෙනි. ඒ මහා රාත්‍රියේ කෙල්ලකගේ කාමරයට යාම දුලාජ් අයියා ඔහුව මේ මහ රෑම නිවසින් එළියට ඇද දමන්නට හේතුවක් වන්නට තිබිණ.

“ගුඩ් මෝනිං මල් කිරිල්ලි. මට ඔයාව බලන්න ඕන.”

ඔහු එසේ ලියා යැවී ය.නමුත් මල් කිරිල්ල ඒවා බලන්නේවත් නැත. අනාරාධිත සිප ගැනීම ඇයව සදහටම අහිමි කරන්නට ඇතැයි සිතද්දී ඔහුට ඇඳෙන් නැගිටින්නට සිතක් නැත. නමුත් එසේ හිඳීම ද කරන්නට නොහැකි දෙයකි. රස්සාවක් කරද්දී හිතෙන හිතෙන නිවාඩු ගැනීම අසීරු ය.

සඳරැස් යහනින් නැගිට ආවේ පවා කුසීතකමිනි. අක්කාගේ කාමරයට සන් කර ඔහු එවෙත පිවිසුණේ කුඩා දියණිය දකින්නට ය. දැන් දවස ඇරඹෙන්නේම ඇගේ රෝස ඇඟිල්ලක් පිරිමැදීමෙනි. ඉනික්බිති දවස සම්පූර්ණ වන්නේ දුලන්‍යාගේ මනබඳින සිනාවෙනි. නමුත් අද අඩුවක් තිබේ.ඇගේ සිනාව පෙනෙන්නට නැත. 

“මොකද නිකං අවුලින් වගේ.”

එසේ ඇසූ තාරකා වාක්‍යයේ ඉතිරි අඩ සම්පූර්ණ කළා ය. 

“සහස් ගැන ඕනෑවට වඩා හිතන්න එපා හලෝ”

එහෙත් එසේ නොසිතා හිඳීම පවා පහසු නැත. සඳරැස් කියන්නටම ඇති කාරණාව ගැන අක්කාට කියන්නට සිතී ය.

“මං දුලන්‍යාට කිව්ව.”

තාරකා ඒ වතාවේද වැරදි නිගමනයකට ආවා ය.

“සහස් අපේ…”

නමුත් සඳරැස් කතාව සම්පූර්ණ කරන්නට දුන්නේ නැත. සහස් ඔවුන්ගේ කවුරුත්ම නොවේ.

“නෑ.මං එයාට කිව්වා මං එයාට ආදරෙයි කියලා.”

දියණිය ද අවදි වෙන තරමේ සිනාවක් තාරකාගෙන් මතු විණ. දුලාජ් තවම නාන කාමරයේ වීම සහනයකි.

“කෙල්ල උණ ගත්තෙ තමුසෙගෙ ආදරේ ප්‍රකාශ කිරිල්ලටද? අම්මයි මායි දහ අතේ බස් ඩ්‍රයිවර්ට සාප කරනවා.”

එය හිනාවට කාරණාවක් නොවේ. සඳරැස් අක්කාට එරවූයේ සිනා නොවන්නැයි තර්ජනය කරන්නට ය.

“එක අතකට හලෝ. මං මෙච්චර කල් තමුසෙගෙ ලව් නිසා ඇඬුවනෙ. මට හිනා වෙන්න පුලුවන් නෑනා කෙනෙක් තෝරාගත්තම මදැයි”

එසේ පැවසූ තාරකා සඳරැස්ට ළං වූවා ය. දුලන්‍යා කැමැත්ත දුන්නාදැයි දැන ගත යුතුම ය. නමුත් ඇය පිළිතුරු දුන් බවක් සඳරැස්ට මතක නැත. සිප ගැනීමේ කතාව හෙළිදරව් කරන්නට ද නොහැකි ය. අක්කාගෙන් හොඳ දෙකක් අසා ගන්නට ද ඇතැම්විට ගුටි කන්නට ද හේතු වන්නට පුළුවන.

දුලන්‍යා සියළු වැඩ පසෙක තබා SmartLady.lk වෙබ් අඩවියේ සරන්නට වූවා ය. ආදරය ෂයිනි අක්කාත් නිබන්ධිකා අක්කාත් ලියන තරමට රෝමාන්තිකදැයි ඇයට සෑම දවසකම කුතුහලයක් තිබිණ. නමුත් අක්කලා දන්නා ඉටි ගෙඩියක් නැත. ආදරය ඔවුන් ලියනවාටත් වඩා බොහෝ රෝමාන්තික ය. සඳක් කළ සක්මන් කතාවේ ආකාශ් වැනි කොලුවෙකු පතමින් සිටි ඇය දැන් තෝරාගන්නට බැරිතරමේ ආදරවන්තයන් ගණනක් ගැන සිහින දකින්නට වූවා ය. නිබ්බුත ගීත කතාවේ නිබ්බුතා ද වෛද්‍යවරියකි. ඕනෑනම් සඳරැස්ට ලෝචන මදුරාපුර පන්නයේ කොල්ලෙකු ද විය හැකි ය.නැත!ලෝචන කාලයක් ජීවත් වූයේ සැඟවීගෙන ය. සඳරැස්ට තත්පරයක්වත් ඇස් මායිමෙන් මිදෙන්නට දෙන්නට ලෝබ ය.

“පොඩ්ඩක්වත් නොගැලපෙනකොට වගේම ඕනවට වඩා ගැලපෙන කොටත් ප්‍රශ්න වැඩි වෙන්න පුලුවන්.ඒක සොබාදහමින් කරනවා ඇත්තේ නොගැලපෙන අය ඈත් ම කරල දාන්න වගේම ගැළපෙන අයව ගොඩක් ළං කරන්න.”

එහෙම කියන්නේ සුහදිනී කතාවේ අහස් ය.අහස් වැනි ජනප්‍රිය කෙනෙකු නොවුණ ද සඳරැස් කියන්නේ ද එවැනි කතා ය. සහස්ට යම් ආකර්ෂණයක් හෝ තිබුණානම් එය සහමුලින්ම නැතිවන්නට ඇත්තේ සොබාදහමේ තීරණයක් ලෙස වන්නට නොහැකිදැයි දුලන්‍යාට සිතෙයි.

පිටතින් සඳරැස්ගේ කටහඬ ඇසෙද්දී පවා ඇය කාමරයේ දොර නොහරින්නට ප්‍රවේසම් වූවා ය. ඇත්තටම ඔහු දැකීමේ තදබල උවමනාවක් වේ.එහෙත් ලැජ්ජාව සේරටෝම වඩා ඉහළ තැනක ය. ඒ හන්දා උණ සහ අතේ අමාරුව පිටින් තබා දැන්ම අවදි නොවන්නට ඇය තීරණය කළා ය.

සඳරැස් නිවසින් පිට වූයේ දුලන්‍යා නොදුටු වේදනාවෙන් බව දැන සිටියේ තාරකා ය. කාමරයට ගොස් බැලූ සෑම වතාවකම දුලන්‍යා නින්දට වැටුණු ආකාරයට හිඳියි. ඇගේ වයස පසු කළ තාරකා ඒ හොර නින්ද ගැන නොදැන සිටියා ද නොවේ.දෙතොලේ මන්දස්මිතයක් තවරාගෙන තාරකා මල්ලීට සමු දුන්නා ය. ඔහුගේ ප්‍රථම ප්‍රේමය එක අතකට දුලන්‍යා ය. අනිත් කතන්දර ආදරයට ලඝු කළ හැකි නොවේ. මල්ලී ආදරය යන හැඟීම ඉගෙන ගනිමින් සිටින්නේ දුලන්‍යාගෙනි.

ප්‍රේමය පිපී අවසන් ය. පිපුණු ප්‍රේමය එලෙසම පවතින්නට ඉඩ හැර උයනෙහි පිපෙන මල් වලට එල්ලවිය හැකි උවදුරු වැලකීමේ ක්‍රමය ගැන සිතන්නට සඳරැස්ට ඕනෑ විය.ඔහු ඒ ගැන සිතන්නට වූයේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles