කවීන් විසින් තෑගි කරනු ලැබූ රසකැවිලි පෙට්ටිය අතට ගත් ආරාධ්‍යාගේ දෙනෙත් දිළිසිණ. ඇය එහි දවටන සීරුවෙන් ඉවත් කරන අන්දම කවීන් බලා සිටියේ තෙත් වූ දෙනෙතින් යුතුවය. ඉඳහිට දිනෙකවත් දියණියන්ට ත්‍යාගයක් රැගෙන දුන් අවස්ථාවක් ඔහුට මතකයට නගා ගත නොහැකි විය.
“තෑන්ක් යූ තාත්තෙ.”
පෙට්ටිය විවෘත කළ ආරාධ්‍යා දෙවන වතාවටත් පැවසුවාය. ඇය පළමුව කැවිලි පෙට්ටිය ඔහු වෙත දිගු කළාය.
“ඔයා කන්න. නංගිත් ආස ඇතිනෙ.”
ආරාධ්‍යා අදහා ගත නොහැකිව පියා දෙස බලා සිටියාය. ඔහු හදිසියේම වෙනස් වුයේ කෙසේදැයි ඇයට සිතිණ. ආරාධ්‍යා රසකැවිල්ලක් ගෙන එහි රස බලන ආකාරය දෙස කවීන් සතුටින් බලා සිටියේය.
“එක එක ස්වීට් එක එක රසයි තාත්තෙ.”
ආරාධ්‍යා පැවසුවේ දැරියක ලෙසිනි.
“ඔව්. හරියට මිනිස්සු වගෙයි.”
ආරාධ්‍යා දෑසින් සිනාසුනාය. නීතීඥයකු වශයෙන් තාත්තා මිනිස් ජීවිත වල විවිධත්වය හොඳින් අත්විඳ ඇතැයි ඇයට සිතිණ.
“ඒ දවස් වල අම්මත් බොම්බෙ ස්වීට්ස් වලට හරිම ආසයි.”
කවීන්ට කියවිණ.
“අපි මැරි කරපු දවස් වල ඉන්දියාවෙ ගියා. අම්මා අරගෙන ආවෙ සාරි විතරක් නෙමෙයි. ගෙනාපු ස්වීට්ස් ගොඩ දැක්කම මටත් හිනා ගියා.”
තාත්තා පවසන්නේ අම්මා කෙරෙහි අනාදරයකින් නොවේ. අම්මාගේ දැඩි ගති පැවතුම් ඔහු ඉවසා සිටින උපේක්ෂා සහගත බව ආරාධ්‍යාට පුදුමයට කරුණක් විය. ඇය තමා අසළට පැමිණි ‘බ්ලැක් ෂූස්’ ට කැවිල්ලකින් කොටසක් කඩා බිමට දැමුවාය. එය ඉව කළ පූසා කවීන් අසළට ගියේය. කවීන් පහත් වී උගේ හිස අත ගෑවේය.
“බ්ලැක් ෂූස්… ඔයා මෙව්වට කැමති නැද්ද?”
ආරාධ්‍යා ඇසුවේ දැරියක මෙනි.
“බ්ලැක් ෂූස්… හරි අපූරුයි.”
කවීන් සිනාසුනේය.
“කෝ නංගි?”
“නංගි… නංගි… තාත්තෙ… එළියට ගිහින්.”
ආරාධ්‍යා තැතනුවාය.
“හ්ම්…”
කවීන් හිඳගෙන සිටි පුටුවෙන් නැගී සිටියේය.
“මම වොෂ් එකක් දාගෙන එන්නම්. රංජනීට කියන්න මට ගොඩක් රස්නෙන් තේ හදන්න කියලා.”
“තාත්තෙ… අර ආව කෙනා විසිටින් කාඩ් එකක් දීලා ගියා.”
“මම ඇවිත් කෝල් කරන්නම්.”
කවීන් ගෙතුළට ගියේය. ආරාධ්‍යා තුළ ඇති වුයේ නිම්හිම් නොමැති ප්‍රීතියකි. තාත්තා වෙනස් වී ඇත්තේ කෙසේදැයි ඇය කල්පනා කළාය. අම්මා මෙන් දැඩි ගති පැවතුම් වලින් යුක්ත වූ අයකු නොවුව ද, තාත්තා සහ දියණියන් අතර හෝ පුතු අතර දැඩි සම්බන්ධතාවයක් නොවීය. සියලු දෙනා එක්වන කෑම මේසයේදී ඉඳහිට විහාරාට අවවාදයක් දෙනු විනා ඔහු දරුවන් සමග සුහද සම්බන්ධතාවයක් පවත්වා ගත් අයකු නොවේ. තාත්තා මෙසේ වෙනස් වීමට හේතුව කුමක්දැයි ඇය කල්පනා කළාය.
“බේබි… අද වහියි නේද?”
ආරාධ්‍යා අසළට පැමිණි රංජනී පැවසුවේ වටපිට බලමිනි.
“වහින විදියක්වත් නෑ. පේනවද අහස… නිල්ම නිල් පාටයි.”
“වහිනවට නෙමෙයි බේබි මං කිව්වෙ. සර් අද හරි වෙනස්. අනේ… ඔහොම හැමදාමත් ඉන්නවනම් කොච්චර එකක්ද?”
“ඒකම තමයි මං කල්පනා කළෙත්.”
ආරාධ්‍යා රසකැවිලි පෙට්ටිය රංජනීට දිගු කළාය. ඇය ඉන් කැවිල්ලක් අතට ගත්තාය.
“නිකම්ම වෙනස් වෙන්න නම් හේතුවක් නෑ. විශ්වාසෙන් ළඟින් හිටිය කෙනෙක්ගෙන් හොඳ පාඩමක් ඉගෙන ගන්න ඇති.”
“තාත්තට ගොඩක් රස්නෙන් තේ එකක් හදලා තියන්න කිව්වා රංජනී.”
“කේතලේ තියලා තියෙන්නෙ. බේබිටත් තේ ගේන්නද?”
“ස්වීට්ස් කෑවනෙ. ප්ලේන්ටි එකක් බොමු.”
රංජනී පිටව ගියාය. ආරාධ්‍යාට හසිත් සිහියට නැගිණ. ඔහුට ද මින් කොටසක් තබා ගත යුතු යයි ඇය කල්පනා කළාය.
“හසිත් හරිම පව්… අම්මා හසිත්ව ආශ්‍රය කරනවට කැමැත්තක් නැති වුනාට හසිත් මට දැනෙන්නෙ අපේ මලීෂ වගේම තමයි. හරිම ආදරණීයයි.”
රසකැවිලි පෙට්ටිය ද රැගෙන නිවස තුළට යන ආරාධ්‍යාට සිතිණ.
*
සුහර්ෂා සූරියබණ්ඩාර, දිසාලා නම් තරුණ සේවිකාව සේවයෙන් ඉවත් කිරීම පිළිබඳව ඇසූ හසිත් තුළ ඇති වූයේ මහත් කම්පනයකි. කිසිදු පැහැදිලි හේතුවක් නොමැතිව ඇය සේවයෙන් ඉවත් කිරීම මොන තරම්නම් අසාධාරණයක්දැයි සිය කාර්යාල කාමරය තුළ හිඳගෙන සිටි ඔහු කල්පනා කළේය. තමාට දක්වන ආදරය හා සැලකිල්ල මෙම ආයතනයේ අනෙකුත් සේවක සේවිකාවන්ටද දක්වන්නේ නම් ඔවුන් මොන තරම් නම් ඇයට ගෞරවයක් සහ ආදරයක් දක්වනු ඇත්දැයි හසිත්ට සිතිණ.
“මැඩම් හරියට එයාගෙ තාත්තා වගේමයිලු. මැඩම්ගෙ තාත්තා නීතිගරුක දැඩි පොලිස් නිලධාරියෙක් කියලයි ආරංචි.”
එක්තරා සැන්දෑවක තමා සමග පිළිසඳරෙහි යෙදී සිටි මැදිවියේ ආරක්ෂක නිලධාරියා පැවසූ අයුරු ඔහුට සිහිපත් විය.
“මැඩම් කොහොම කෙනෙක්ද?” යන්න තමා විමසු බව මතකයේ නොමැති වුව ද, ආරක්ෂක නිලධාරියා පැවසූ වදන් තවමත් දෙසවන් තුළ දෝංකාර දෙන්නාක් මෙන් විය.
“මිනිස්සු මහ ගොඩක් ආශ්‍රය කරනවා. විවිධාකාර මිනිස්සු… ලොකුයි පොඩියි කියලා වෙනසක් නෑ. හැබැයි අතේ දුරින්… මේ වෙනකම් නම් මැඩම් ගැන වැරදි දෙයක් ගැන නම් අහන්න ලැබිලා නෑ. තාත්තා වගේම නැතෑ දුවත්. එකක් කියන්නම් පුතේ…”
මැදිවියේ ආරක්ෂක නිලධාරියා තමා වෙත වඩාත් සමීපව පැවසූ වදන් හසිත්ට සිහියට නැගිණ.
“හසිත් සර්ට මැඩම් දක්වන වැඩි සැලකිල්ල ගැන නම් එක එක කසුකුසු මේක ඇතුළෙ යනවා. පරෙස්සමෙන් කල්පනාවෙන් ඉන්න එක නම් හොඳයි. ඒත් කවුරු කොහොම කිව්වත් මම මැඩම් ගැන කවදාවත් වැරදි විදියට හිතලත් නෑ. හිතන්නෙත් නෑ.”
සුහර්ෂා තමා කෙරෙහි දක්වන වැඩි සැලකිල්ල පිළිබඳව හසිත් තුළ කැමැත්තක් නොවීය. ඇය දිසාලා සේවයෙන් ඉවත් කිරීමට හේතුව තමා සමග ආපන ශාලවෙහි කතා කරමින් සිටීමද? සිය පියා අසනීපයෙන් පසුවන බව පැවසූ දිසාලා, සුහර්ෂාට පවසා ණය මුදලක් ලබා ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටීම මිසක වෙනත් සුහද කතා බහක් ඇය හා තමා අතර සිදු නොවීය.
“පව් අසරණී… මට මොනවා කිව්වත් බැන්නත් මම ගිහින් මැඩම්ට කියනවා ඒ කලේ අසාධාරණයක් කියලා. සමහරවිට මාවත් අයින් කරලා දාවි. කමක් නෑ. මම වෙන රස්සාවක් හොයා ගන්නවා.”
හදිසියේ ගත් තීරණයක් අනුව හසිත් කාර්යාලයෙන් පිට විය.
“දිසාලා ගැන සාධාරණ තීන්දුවක් නොගත්තොත් ඇත්තමයි හෙට ගෙදර ගියාම මම ආයෙ එන්නෙ නෑ.”
අවසාන තීන්දුවකට එළඹුණු ඔහු සුහර්ෂාගේ කාර්යාලයට ගියද, ඇගේ කාර්යාලයෙහි දොර වසා තිබිණ. ඇගේ ජීප් රථය ද දක්නට නොවීය. හසිත් ආපසු සිය කාර්යාලයට යන්නට හැරුණේ සිත් වේදනාවෙන් යුතුවය.
සේවක සේවිකාවන් මහත් වූ උද්‍යෝගයකින් යුතුව එක් එක් කාර්යයන් වල නිරතව සිටින්නේ මන්දැයි ඔහු කල්පනා කළේය. ඇතැමෙක් ගොඩනැගිලි හා අවට පිරිසිදු කරන අයුරුත්, මල් පාත්ති වලට වතුර යොදන අයුරුත් ඔහු කුතුහලයෙන් යුතුව බලා සිටියේය. ශාලාවක් පසු කර යද්දී එතුළින් සේවිකාවන් පිරිසකගේ සිනා හඬක් ඇසිණ.
“මොකක්ද මේ හිනාව? මැඩම්ට ඇහුනනම් ඒගොල්ලන්ගෙත් ඉරණම තීරණය වේවි.”
හසිත් ශාලාව තුළට පිවිසියේය. සේවිකාවන් පමණක් නොව සේවකයින් කිහිප දෙනෙකු ද එක්ව පාර්සල් සකස් කරමින් සිටින අයුරු ඔහු දුටුවේය. සහකාර මුදල් කලමනාකරු වන වරුණ ද ඔවුන් අතර විය.
“මොනවද මේ?”
හසිත් ඇසුවේය.
“අවුරුදු ගැන හසිත් සර්ට අමතක වෙලා. ස්ටාෆ් එකට දෙන තෑගි අපි පාර්සල් කරන්නෙ.”
හසිත්ගේ මුහුණ අඳුරු විය. අවුරුද්ද… අලුත් අවුරුද්ද සැමරීමක් තම ජීවිතයේ කිසිදු දිනයක සිදු වී නොමැති බව ඔහුට සිහිපත් විය. දෙවන දරු උපතේදී අම්මා මියගියේ අලුත් අවුරුදු දිනයකදී බැවින් තාත්තා අලුත් අවුරුදු දිනයට වෛර කළ බව මෙහි සේවයට පැමිණි මුල්ම දිනයේදී සුහර්ෂා සූරියබණ්ඩාර සමග පැවසූ බව ඔහුගේ සිහියට නැගිණ. එය සිත තබා ගත් ඇය ආයතනයේ අලුත් අවුරුදු සැමරුම් පිළිබඳව තමා සමග සාකච්ඡා නොකරන්නට ඇත. චෙක්පතක් මුදල් කරගන්නට වරුණ යවන්නට ඇය සැලසුම් කරන්නට ඇත්තේ ද එබැවින් විය යුතුය. සුහර්ෂා තමා සමග සාකච්ඡා කලේ හෙට දිනයේ පැවැත්වෙන ප්‍රගති සමාලෝචන රැස්වීම පිළිබඳව පමණකි.
“අම්මා නැති වුනේ අලුත් අවුරුදු දවසෙ කියලා කිව්ව එක මැඩම් මතකයේ තියාගෙන ඉඳලා.”
සුහර්ෂා සූරියබණ්ඩාර කෙරෙහි පැහැදීමකට සමාන හැඟීමක් හසිත් තුල ඇති වූයේ නිතැතිනි. ඔහු නිහඬවම ශාලාවෙන් පිට විය. වරුණ තමාගෙන් කිසිවක් විමසූ බව ඔහුට සිහිපත් වූයේ කාර්යාලයට පැමිණ හිඳ ගත්තාටද පසුවය.
*
නව දවසක නව බලාපොරොත්තු සමගින් පරණ අවුරුදු දිනය උදා වී තිබිණ. උදෑසන සිටම මහත් ප්‍රබෝධයෙන් සිටි ආයතනයේ සේවක පිරිස ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගි වූයේද එම ප්‍රබෝධමත් බවින් යුතුවය. අලුත්ම සාරියකින් සැරසී රැස්වීමට සහභාගි වූ සුහර්ෂා සූරියබණ්ඩාර රැස්වීම අවසානයේදී ආයතනයේ සේවක සේවිකාවන් සියලු දෙනාටම අලුත් අවුරුද්ද වෙනුවෙන් ත්‍යාග සහ මුදල් ලබා දුන්නාය. සේවිකාවන්ට සාරිය බැගින් ද, සේවකයින්ට කලිසම් රෙද්දක් සහ කමිසය බැගින් ද ත්‍යාග අතර වූ බව හසිත් දැන සිටියේය. අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබා දෙන සතියක නිවාඩු කාලය සතුටින් සපිරි සහ අර්ථවත් නිවාඩු කාලයක් වේවා යි ත්‍යාග පිරිනැමීමෙන් පසු සුහර්ෂා සියලු දෙනාටම සුබ ප්‍රාර්ථනා කළාය.
සේවක සේවිකාවන් සියලු දෙනාම බුලත් දී සුහර්ෂාට ආචාර කරද්දී හසිත් එදෙස බලා සිටියේ සිත් වේදනාවෙන් යුතුවය. ඔහුට සේවයෙන් ඉවත් කළ දිසාලා සිහිපත් විය. ඇය පසු වූයේ දැඩි මුදල් අවශ්‍යතාවයකිනි. දෙමසක වැටුප් ලබා ගැනීමෙන් පසු එම මුදල් අවශ්‍යතාවය සපිරෙන්නට ඇතත් ඇගේ රැකියාව අහිමි වීම වේදනාවට කරුණකි. මෙම නිවාඩු දින කීපය තුළ දිසාලාගේ නිවස සොයා ගොස් ඇයට හැකි සෑම උපකාරයක්ම කරන්නට අදිටන් කරමින් හසිත් බුලත් අත ද ගෙන සුහර්ෂා සූරියබණ්ඩාර වෙත ගියාය.
“සුබ අලුත් අවුරුද්දක් වේවා මැඩම්.”
බුලත් අත පිරි නැමූ ඔහු පැවසුවද සුහර්ෂා අනෙක් අයට මෙන් ඔහුට පෙරලා සුබ පැතුවේ නැත. ඇගේ දෑස් කඳුලින් පිරී ඇති බව ඇගේ මුහුණ දෙස බැලූ ඔහු දුටුවේය.
“පුදුමයි.”
හසිත්ට සිතිණ.
“මම ඔයාට සුබ පතන්නෙ නැත්තෙ ඇයි කියලා හසිත් හිතනවා ඇති. ආයතනයේ සේවයට ආව මුල්ම දවසෙ හසිත් කියපු දේ මට තවම මතකයි.”
අත් බෑගය තුළින් ගත් ටිෂියු කඩදාසියකින් දෑස් වල තෙත මාත්තු කළ සුහර්ෂා පැවසුවාය.
“මම අම්මා ගැන ඇහුවම හසිත් මට කිව්වෙ අම්මා ඇස් දෙකෙන් දැකලාවත් නෑ කියලා. අලුත් අවුරුද්ද දවසෙ අම්මා මැරුනු එක ගැන තාත්තා තවම දුක් වෙනවා කියලා. ජීවිතේ කවදාවත්ම අලුත් අවුරුද්ද දවසෙ ගෙදර කිරිබතක් ඉදුනෙ නෑ කියලා. ඒනිසා අලුත් අවුරුද්දට සුබ පැතුවෙ නැතිවට මම හසිත්ගෙ ජීවිතේටම සුබ පතනවා. තව ටිකකින් මගේ ඔෆිස් එකට එන්න හසිත්.”
සුහර්ෂා පැවසුවේ සංවේදී කටහඬින් යුතුවය. ඇය රැස්වීම් ශාලාවෙන් පිටව ගිය පසු සියලු දෙනාගේ සුබ පැතුම් වලට හසිත් පෙරලා සුබ පැතුවේ සිත තුළ වූයේ අවුල් සහගත සිතිවිලි සමූහයකින් යුතුවය.
ඔහු සුහර්ෂාගේ කාර්යාලයට යනවිට දුරකතන ඇමතුමක සිටි ඇය ඔහුට හිඳගන්නා ලෙස අතින් සන් කළාය. හසිත් ඇය ඉදිරියෙන් හිඳ ගත්තේය. දුරකතන ඇමතුම නිමා කළ සුහර්ෂා සිනාමුසු මුහුණින් යුතුව හසිත් දෙස බලා සිටියාය.
“හසිත් දැන්මම ගෙදර යනවද? එහෙම නැත්නම් අපේ ගෙදර ගිහිල්ලම යනවද?”
සුහර්ෂා ඇසුවාය. හසිත්ට ආරාධ්‍යා සිහියට නැගුනේ නිතැතිනි. තමා අද නිවසට යන බව ඇයට පවසන්නට ඔහුට අමතක වී තිබිණ. සැන්දෑවට ඇයට දුරකතන ඇමතුමක් දී තමා නිවසට යන බව පැවසිය යුතු යයි ඔහු කල්පනා කළේය.
“මොකද කල්පනාව? මං ඇහුවෙ දැන්මම ගෙදර යනවද? අපේ ගෙදර ගිහිල්ලම යනවද කියලා.”
සුහර්ෂා පුලුල් සිනාවක් පෑවාය.
“ගෙදර යනවා මැඩම්. තාත්තා ඉන්නෙත් අසනීපෙන්. වයසයිනෙ.”
“වයස කියන්නෙ ඉලක්කමක් විතරයි හසිත්.”
සිනාසුන සුහර්ෂා පසෙක ව පාර්සලයක් අතට ගත්තාය.
“මේක හසිත්ට මගෙන් අවුරුදු තෑග්ගක්.”
ඇය දෑතින්ම පාර්සලය හසිත්ට පිරිනැමුවද ඔහු එය අතට නොගත්තේය.
“මට මැඩම් තෑගි දුන්නනේ.”
“ඒ හැමෝටම දෙන එකක් වුනාට මේක විශේෂයි. මොකද හසිත් කියන්නෙ මගේ ජීවිතේ විශේෂ කෙනෙක් නිසා.”
“තෑන්ක් යු මැඩම්.”
හසිත් ත්‍යාගය අතට ගත්තද, එහි බරට වඩා වැඩි බරක් ඇගේ වදන් වලින් ඔහුගේ හදවතට දැනිණ.
“අලුත් අවුරුද්දෙ අපට ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. මගේ අලුත් ප්‍රොජෙක්ට් එක ගැන. නෙදර්ලන්ඩ් ටුවර් එක ගැන. තව ගොඩක් දේවල්…”
සුහර්ෂා මේසය මත වූ යතුරක් ගෙන එය හසිත් අත තැබුවේය. ඔහු ඇය දෙස බැලුවේ කුතුහලය පිරුණු දෑසින් යුතුවය.
“මේක හසිත්ට මගෙන් තෑග්ගක්. ඔය ඉස්සරහ නවත්තලා තියෙන නිල්පාට කාර් එක ඇතුළෙ අවශ්‍ය කරන ඩොකියුමන්ට්ස් ඔක්කොම ඇති. එහෙමනම් පරෙස්සමෙන් ගිහින් එන්න.”
සුහර්ෂා ඉවතට හැරුණාය. හසිත්ට සිය සවන්පත් අදහා ගත නොහැකි විය. ඇයට ස්තුති කරන්නට උවමනා වුව ද, ඒවනවිට ඇය සිය කාර්යාල කාමරයට යාබද ඇගේ විවේක කාමරයට ගොස් සිටියාය.