විහස් ඔහුට ආසන්නයට වී ව්‍යායාමයේ යෙදෙන තරුණයා සමඟ සුහද සිනාවක් නැඟී ය. කායවර්ධන මධ්‍යස්ථානවලදී ඕනෑතරමට යාළුකම් ගොඩ නැඟේ. කොල්ලන්ට කතා කරන්නට මාතෘකා ද අපමණ ය. හොලිවුඩ්,බොලිවුඩ් මලයාලම් වලින් ඇරඹී වැඩිහිටියන්ට වෙන් වූ වෙබ් අඩවිවල චිත්‍රපට ගැන ද දසුන් ශානකට වඩා හොඳින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හැසිරවීමේ තම දක්ෂතා ගැන ද, වාහන ගැන ද, අරගලයේ සුන්දර මතක සටහන් සහ මෙතැනින් එහා රටේ අනාගතය ගැන ද දිගු සංවාද කරන්නට තරුණයන්ට අසීරු නොවේ.
“අර ඉන්නේ සඳරැස්. උඹ ඌ එක්ක කොක්කක් දාගන් නෑ කියලා පොරොන්දු වෙයං”
කායවර්ධන මධ්‍යස්ථානයේ හිමිකරු විහස්ගෙන් අසූවැනි වතාවටත් විමසී ය. රණ්ඩු කියන්නේ විහස්ට අතිශය සාමාන්‍ය කාරණා ය.
“අලුත් ද මචං?”
හිනාවක් තිළිණ කළ කොලුවාගෙන් සඳරැස් ඇසී ය. ඔහු මිතුරු වන්නට වටිනා කොල්ලෙකි. මොකක්දෝ හින්දි චිත්‍රපටියක මෙන් තමන් මචං නොව බාල මල්ලී වග කියා සඳරැස් වැළඳ ගන්නා ආවේශයකින් විහස් දැවෙන්නට විය. එහෙත් ජීවිතය චිත්‍රපටයක් නොවේ.
“මෙලෝ රහක් නැති කාලයක්. තඩි බූටක් කාලා ඉන්නේ. හිත හැදෙන්න යකඩ කන්න ආවා.”
ප්‍රේමයකින් පරාද වීම අසත්‍යයක් නොවේ. එවැනි පෞද්ගලික කතාවක් සඳරැස් සමඟ බෙදා ගන්නට හිතෙන්නේ ඔහු අයියා වීම නිසාදැයි විහස්ට සිතේ.
“මේ ගොනාට මැත්ස්වලට විසි දෙකයි. මං අනූ අටක් ගන්නකොට මූ එහෙම ලකුණක් ගන්න එක කොච්චර කැත ද?”
සහස් මල්ලීව ප්‍රතික්ෂේප කළේ හයේ හතේ පන්තියේ සිට ය. ළමා කාලයේ නම් සෙල්ලම් සගයා ලෙස හෝ බැඳීමක් ඉතිරි වී තිබිණ.
“මුන් අද ප්‍රින්සිපල්ගෙ ඔෆිස් එකට රතිඤ්ඤා දාලා. සතෙක්නෙ.”
සහස් මොරගාද්දී විහස් කරන්නේ හිනැහීම ය. අම්මා කෝට්ටක් රැගෙන පස්සට දෙකක් දුන්නත් තාත්තා ලෝබ නැතුව විහස්ගේ පැත්ත ගන්නට වග බලා ගත්තේ ය.
“ඌ විජේවර්ධන කොල්ලෙක්”
තාත්තා කියන්නේ එපමණකි. නිවුන් සහෝදරයන් ජීවිතය එක්ව බෙදා ගන්නා බව වෛද්‍ය විද්‍යාත්මක ලිපිවල තිබුණාට එය තමන්ට අදාළ කතාවක් නොවිණ. සහස් හොඳ පුතෙකි.ඉගෙනුමට පුදුමාකාර දක්ෂයෙකි. වෙනකක් තබා ඔහු අම්මාගේ රූපය ඇති ලස්සන කොල්ලෙකි. විහස් කමල් විජේවර්ධනගේ පුතා ය. සඳරැස් ද දරන්නේ අම්මාගේ රූපය ය.එහෙත් සහස්ගේ නැති අමුතු කඩවසම් බවක් සහ පෞරුෂයක් විහස්ට වැඩිමහල් සහෝදරයාගෙන් දිස් වේ.
විවේකයක් මැද වනිඳු හසරංගගෙන් ඇරඹී පාණ්ඩ්‍යාගෙන් අවසන් වෙමින් පැවති කතාවක් අවසානයේ විහස්ට ප්‍රශ්නයක් අසන්නට සිතිණ.
” ඉස්කෝලේ කාලෙවත් ක්‍රිකට් ප්ලේ කරාද? මාර නොලේජ් එකක්නෙ”
සඳරැස් පාසල් ක්‍රිකට් කණ්ඩායමට නැතිවම බැරි සාමාජිකයෙකි. පාසලේ බාහිර ක්‍රියාකාරකම් ඔහු තරම් කළ අයෙකු නැති තරම් ය.
“ඒලෙවල්ස් වලට ආවට පස්සෙ අක්කා ආස වුණේ මං ඉගෙන ගන්නවට. එයාට මෙඩිසින් යන්න බැරි වුණෙත් අපි බලාගන්න කාලේ කැප කරලා කියලා මට හිතුණා.”
අම්මා නැති ජීවිතය තුළ අක්කා අම්මා වූ කතාව අද හඳුනා ගත් මේ තරුණයාට කියන්නට හිතෙන්නේ ඇයිදැයි සඳරැස්ට පැහැදිලි නැත. නමුත් ඔහු ඒ කතාව දිගහරිමින් සිටියේ ය.ගැහැනියකට තමන්ගේ පවුල අතැර එන්නට හේතු ඇති බව වටහා නොගන්නට තරම් විහස් අඥාන නැත. නමුත් අම්මාට මෙසේ නොකරන්නට තිබිණ. ඇය මල්වැන්න මහතා අත්හැර දැමීම එක් කාරණාවකි. නමුත් අක්කාත් මල්ලීත් රැගෙන එන්නට ඕනෑ බව පැවසුවානම් කමල් විජේවර්ධන නම් යෝධ හදවතක් ඇති මිනිසා එය ප්‍රතික්ෂේප නොකරන බව ඔහු දනියි.
“ජීවිතේ එහෙම එකක් තමා. අපි දිගටම සෙට් වෙමු.”
තමන්ගේ කියා කුඩා ව්‍යාපාරයක් කරන බව පැවසූ තරුණයා සමුගෙන යද්දී සඳරැස් පැවසී ය. ඔහු කොහෙන්දෝ දුටු බවට මතකයක් තිබේ. ඒ කොතනදැයි ඔහුට මතක නැත. කතා කරන්නේ ලේ සුවඳ බව සඳරැස් දැන සිටියේ නැත.
විහස් තමන්ගේ මනුෂ්‍යත්වය එසේ පතුරද්දී සහස්ට තවත් තුරුම්පුවක් තිබිණ. ළමා කාලයේ සමහර වේදනාත්මක මතක ජීවිතය දිග රැගෙන විත් වැඩිහිටියන් වෙද්දී පරපීඩකයන් වන පුද්ගලයන් ගැන ඔහු දුලන්‍යා සමඟ විෂය කරුණු සහිත සංවාදයක් ආරම්භ කළේ ය. තවම මේවා ඉගෙන ගන්නට ඇයට කාලය තිබේ. ඔහුට ඕනෑ කරන්නේ වෙනම දෙයකි.
“සඳරැස්ගෙ අම්මා නෑ නේද? අම්මා නැතුව හැදිලා පොරටත් චයිල්ඩ්හුඩ් ට්‍රෝමාස් බරටම ඇති. ඕවා ඉතිං ගෑනිගෙ පිටින් යන්නේ දවසක.මට ඔයා පව් හිතෙනවා.”
විපක්ෂ නායකවරයාගේ ඉංග්‍රීසියෙන් සංවාදය රැගෙන යමින් සිටි සහස් සිංහලට මාරු වූයේම දුලන්‍යාට රිදවන්නට ය. ඇයට රැයක් එළිවෙනතුරු කල්පනා කරන්නට මාතෘකාවක් දිය යුතුම ය.
අහා! ඔහුගේ සැලසුම සාර්ථක ය. ඇය ඒ පණිවිඩයට ඇමතුමක්ම ගනිමින් හිඳියි.
“බය වුණාද?”
සහස් වඩා සරාගී ස්වරයකින් ඇසී ය. දුලන්‍යා හිනැහුණා ය.
“නෑ ලැජ්ජා හිතුණා.”
ඇය කියන්නී ය.
“එහෙම මිනිහෙක්ට ආදරේ කරාටද?”
සහස් අසයි. දුලන්‍යා මඳක් නිහඬව සිටියා ය. මේ කරන්නට යන්නේ පණ්ඩිත වැඩකි. නමුත් කමක් නැත.
“පොඩි දරුවෙක්ට එහෙම ට්‍රෝමාස් හදලා අත් ඇරලා දාපු, මගේ අක්කිව අඩු වයසින්ම ගෙදර දෙවෙනි අම්මා කරපු ඔයාගෙ අම්මා වගේ ගෑනු කෙනෙක් ගැන ලැජ්ජයි”
දුලන්‍යා ඒ වචන පවසා බර හුස්මක් ගත්තා ය. අනතුරුව ඇමතුම විසන්ධි කර දැමුවා ය.