ලෝකයේම ගුරුවරුන්ට වටිනා පාඩමක් කියාදුන් අපූරු ගුරුතුමෙක්ගේ කතාව

මන්දගාමී අධ්‍යාපනයේ යෙදෙන දරුවෙක්, අයියා පාසලේ දක්ෂතම ශිෂ්‍යයෙක් වගේම ක්‍රීඩා තරුවක් වෙලා සිටිද්දි පාසලේ වැඩ සහමුලින්ම අවුල් කරගන්න දරුවෙක්.ඒ නිසාම මේ හැමදේකටම හේතුව කම්මැලිකම කියලා තීරණය වෙලා නේවාසික පාසලකට යන්න සිද්ධ වෙන දරුවෙක්.ඒ තීරණය නිසා අතිශය කම්පනයට පත් වෙන දරුවෙක්.

එහෙම කියවාගෙන යන විට ඔබට මතක් වෙන දරුවෙක් ඉන්නවා.ලෝකය පුරා සිටින සිනමා රසිකයින්ට මතක් වෙන්නේ ඔහුගේ අව්‍යාජ දෑස.Taare Zameen Par චිත්‍රපටිය ඉෂාන්.තමන් Dyslexia කියන රෝගයෙන් පෙළෙන බව පුංචි ඉෂාන් දන්නෙ නැහැ.දෙමාපියන් දන්නෙත් නෑ.තමන් තුළම අතරමං වුණු මේ පුංචි දරුවාගේ සුන්දර අහිංසක කතාව ඔබට අමතක වෙන්න කිසිම ඉඩක් නැහැ.

දෙදහස් හතේ දෙසැම්බර් විසි එක් වැනිදා නිකුත් වූ Taare Zameen Par චිත්‍රපටයට දැන් වසර දහහතරක් පිරිලා අවසන්.ඉෂාන්ගේ ජීවිතය මත ස්වර්ණමය පාටක් තවරන්න පාසලට එන ගුරුතුමා රාම් ශංකර්.රාම් ඉෂාන් අතර ඇතිවන අපූර්වතම ගුරුගෝල බැඳීමට මහා ජීවයක් එක් කරන්න අමීර් ඛාන්ට හැකි වුණා.ඉෂාන්ගේ රෝගය නිවැරදිව හඳුනා ගන්නේ රාම් ගුරුතුමා විසින්.විවිධ ආකර්ශනීය ක්‍රම උපයෝගි කරගෙන ඉෂාන්ට අකුරු උගන්වන්නේ ඔහු.ගුරු සිසු චිත්‍ර තරගයෙන් ඉෂාන්ට දෙවැනියා වෙන්නේ රාම්.

බම් බම් බෝලේ ගීතය ගයමින් නටමින් පන්ති කාමරය තුළට පිවිසෙන රාම් ගුරුතුමාව මේ සටහන කියවන මොහොතේ පවා ඔබට මැවී පෙනෙනවා ඇති.

taare zameen par

අමීර් ඛාන්!

Taare Zameen Par චිත්‍රපටිය ඔහු සමඟ කියැවිය යුතුම නමක්.ඒ රාම් නම් සුන්දර ගුරුවරයා අපේ සිත තුළ ඔහු ඒ තරමට තවරා අවසන් නිසා.පන්ති කාමරය තුළ කොන්වන දරුවන් ගැන කතාන්දරය වඩා හෘද සංවේදී නිර්මාණයක් හැටියට අධ්‍යක්ෂණය කරන්නට ඔහු ක්‍රියා කළ නිසා.ඉෂාන් වැනි උදව් අපේක්ෂාවෙන් කලබලයෙන් වටපිට බලන කුඩා තාරකාවන් පොලොවට කඩා වැටෙන්නට ඉඩ දිය යුතු නොවන බව බොහෝ ගුරුවරුන් ද වැඩිහිටියන් ද මේ චිත්‍රපටිය නිසා වටහා ගන්නට ඇති.ළමා මනස මොනතරම් ඉසියුම් එකක් ද යන බව මේ චිත්‍රපටිය හරහා වටහා ගන්නට ඇති.

taare zameen par

බොලිවුඩයේ එක්තරා යුගයක ආදරවන්තයා වූ ප්‍රේමණීය සිනාවකින් සහ විශිෂ්ටතම රඟපෑමකින් ලෝකයම වසඟයට ගත් අමීර් ඛාන් අද පනස් හත්වැනි උපන්දිනය සමරනවා. අමීර් ඛාන් තවමත් බොලිවුඩය තුළ පැළද ගත් කිරුළ බිම තබා නැහැ.Perfectionist ලෙස අන්වර්ථ නාමයක් පවා ඔහුට ක්ෂේත්‍රය තුළ තිබෙනවා.3 Idiots,Dangal,Gajini,PK,Lagaan,Ghajini,Fanaa,Doom සහ තවත් බොහෝ චිත්‍රපටි තුළ ඔහු තම දක්ෂතාවය මනාප ඔප්පු කළා.ඉදිරියටත් එය නොනැවතීම ඔප්පු කරාවි.

එහෙත් අසරණ වී පන්ති පන්ති කාමරයේ නොසෙල්වී හිඳින, අම්මා සිහි කරමින් රාත්‍රියේ හඬා වැළපෙන,හිස තුළ පෙරළි කරන අකුරු සහ ඉලක්කම් වලට බියෙන් ගල් ගැසෙන කුඩා ඉෂාන්ට ජීවිතය ගැන විශ්වාසයක් ඇති කරන ආදරණීය දෑස,රාම් ශංකර් ගුරුතුමා අමීර් ගැන සිහි කරන්නට ඇති හොඳම චරිතයයි.

තාරකා පොළොවට පැමිණිය හැකියි.ඉෂාන්ගේ ජීවිතයට තාරකාවක් වී ලෝකයේ ගුරුවරුන්ට අපූරු පාඩමක් කියාදුන් අපූරු ගුරුතුමා මැවූ සුන්දර මිනිසාට සුබ උපන් දිනයක් වේවා! ප්‍රේමාන්විතව සහ දීප්තිමත්ව දිදුලන්නට හැකි වේවා!

Related Articles

Don't Miss


Latest Articles