සඳ ගංතෙර – 43

0
4126
Sanda ganthera

“මොනවද කල්පනා කරන්නේ?”

චාන්දනී විජේවර්ධනගේ පැමිණීම ගැන දහ අතේ හිතමින් මෝටර් රථයට ගොඩ වූ දුලන්‍යාගෙන් සඳරැස් ඇසී ය. මේ කතාව නොකියා සිටින්නට මිතුරියන් ඇයව ගිවිස්වා ගෙන තිබිණ.

“නොකියා ඉන්නෙක ප්‍රශ්නයක් වෙයිද?”

දේවල් සැඟවීම සහ රහස් ඉතිරි කරගැනීමත් අසත්‍ය පැවසීමත් තරම් සඳරැස් කෝප ගන්වන දෙයක් නොවේ. ඔහුට සමහර තරුණයන්ට පවතින අසාමාන්‍ය විකාර නීති තිබුණේ නැත. 

“මේ ගවුම කොටද මන්දා අයියේ”

සමහර මොහොතක එසේ අසන්නී දුලන්‍යා ය. දිගට අඳින්නට දුලන්‍යා මහ අම්මණ්ඩියක නොවන බව කියන්නේ සඳරැස් ය. ඉතා සමීපව ආශ්‍රය කරන මිතුරන් දෙදෙනා දෙස දශමයකින් හෝ වැරදි ඇසකින් නොබලන්නට ඔහු ප්‍රවේසම් ය. “මේකිව බලාගෙන එපා වෙන් නැද්ද බං?” වැනි සුන්දර සරදමක් මිසක වෙන කිසිවක්ම ඔහු ඒ මිතුරන්ට නොකියයි. ගේ වහල දෙක වන්නට සිනාසීම ගැහැනු ළමයින්ට අයිති කාරණාවක් නොවන බවට අම්මා දුලන්‍යාට සැර දමන මොහොතක පවා ඒ මැදට එන්නේ සඳරැස් ය. ගැහැනු ළමයින්ගේ සිනාව සුන්දර බවට තර්ක කරමින් දුලන්‍යා බේරා ගන්නේ ඔහු ය. ඒ සියල්ල එහෙම ය.

නමුත් රහසත් අසත්‍යයත් ඔහු ඉතා තදින් අප්‍රිය කරයි.

“චාන්දනී ආන්ටි එක්ක ඔයා කතා කරපු එක හරි එයා ආපු එක හරි සඳරැස් අයියට සෑහෙන ලොකු ෂොක් එකක් වෙන්න පුලුවන් දුලා. ඔයා ඔය මුළු කතාවම අක්කට කියන්න. එතකොට සඳරැස් අයියට තේරුම් ගන්න පුලුවන් වෙයි ඔයාට ඕනෑ වුණේ එයාව කලබල නොකර ඉන්න කියලා.”

ලහිරුගේ අවසාන තීරණය මිතුරු පිරිස පිළි ගත් හ. එහෙත් සඳරැස්ගේ පිපී හිනැහෙන මුහුණ පෙනෙද්දී දුලන්‍යාට ලෝබ ය. ඇය ඉතා තදබල රහසක් ඔහුගෙන් සඟවයි.

“සහස් විකාරේ කරදර කරාද මැණිකේ?”

නැත! සහස් පෙනෙන්නට සිටියේවත් නැත. නමුත් විජේවර්ධන පවුල ඇය කළඹවා තිබේ.

“ඇකඩමික් ස්ට්‍රෙස්? හරි ෂෝක්..ඔයාට පුලුවන් මාව කාලා ඩෙසට් එකටත් මාවම කන්න. එතකොට ඔය ස්ට්‍රෙස් එක යනවා.”

සඳරැස් එහෙම කියමින් කියමින් හිනැහේ. ඔහු ඒ කියන්නේ රණ්ඩු ඇති කරගැනීමක්  ද නැතිනම් වෙන කතාවක්දැයි දුලන්‍යාට විශ්වාස නැත. ඔහු කොහොමටත් දෙපැත්ත කැපෙන කතා කියන්නට සමතෙකි.

“අපි හොට් චොකලට් බොමු.”

අවන්හලක් සමීපයේදී සඳරැස් යෝජනා කළේ ය. සමහර හද කළඹන ගැටළු උණු චොකලට් පානයකින් සමනය කරන්නට හැකි බව දුලන්‍යා ද දන්නී ය. දුලන්‍යාව හවසට නිවසට රැගෙන ඒම ඉතා කරදරකාරී බවත් ඇය දකින දකින දේ කන්නට බොන්නට ඉල්ලන බවත් සඳරැස් නිවසේ සියල්ලන්ම ඉදිරියේ නිවේදනය කරන්නට නිතරම වග බලා ගනියි. ඒ නිසා මෙවැනි තැනක කල් මැරීම සැක ඇතිවන කාරණාවක් නොවේ. ඒවා ඔහුගේ රට කපටි වැඩවලින් ගොඩ දාගත් දේවල් ය.

“මට ආදරෙයිද?”

අවන්හලට ඇතුළු වන්නට පෙර දුලන්‍යා ඇසී ය. සඳරැස් හැරී ඇය දෙස බැලුවේ ය. ඔහුගේ දෙතොල් පෙති ලිහී සිනාවක් පිපෙන්නේ නම් හොඳකට නොවේ. ප්‍රශ්නය අසා අවසන් ය. දැන් සඳරැස් මෙයට මොන ආකාරයෙන් ප්‍රතිචාර දක්වන්නට ඉඩ ඇතිදැයි කියන්නට නොහැකි ය.නමුත් කරන්නට කිසිවක්ම නොවේ.ඇගේ අනුමානය නිවැරදි ය. ඔහුගේ උණුසුම් දෙතොල් පෙති ඇගේ කොපුලක ගැටිණ. දුලන්‍යා රත්පැහැයට හැරුණා ය. සමහර වෙලාවට සඳරැස් ඕනෑවට වැඩි බව කියා ඔහුව කොනිත්තන්නට ඇය සිතා ගත්තා ය.

“අඩෝ! එතකොට මේ අර ලස්සන දුලන්‍යාද? අපරාදේ නංගි ඔයාට සෙට් වෙන්න තිබ්බේ මාව.”

කන ළඟින්ම ඇසුණු හඬකින් දුලන්‍යා ද සඳරැස් ද හැරී බැලී ය. සඳරැස්ගේ මුහුණ මත මිත්‍රත්වයක පුළුල් සිනාවක් ඇඳිණ.

“උඹත් නැති තැනක් නෑනෙ.”

ඔහු මිතුරාව වැළඳ ගත්තේ ය. ඉන් අනතුරුව කාය වර්ධන මධ්‍යස්ථානයේ දී හොඳම මිතුරෙකු වූ සත්සරව දුලන්‍යාට හඳුන්වා දුන්නේ ය.

“ඉතිං කොහොමද නෑනෝ. ඔයාලා මේ කොෆි ෂොප් අස්සට එන අපි වගේ තනිකඩ කොල්ලන්වත් නරක් කරනවනෙ”

සත්සර ලෙස පෙනී සිටිය ද විහස්ට හදවතට දැනෙන ආදරය නවතා ගන්නට නොහැකි ය. මේ ඔහුගේ නෑනන්ඩිය ය. මේ සොඳුරු ළඳ බොළඳ මල් පොකුර අයත් විය යුත්තේ සහස් වැනි රළු අවස්ථාවාදියෙකුට නොවේ. සඳරැස් වාගේ ප්‍රේමණීය කොලුවෙකුට ය. විහස් එය තදින්ම සිතට ගත්තේ ය.

“අයියා ගැන සඳරැස් අයියා නිතරෝම කියනවා. හොඳ යාළුවෙක් මුණ ගැහුණට එයා සතුටින් ඉන්නේ.”

කෝපිහල තුළ කතාබහ ඇරඹෙද්දී දුලන්‍යා විහස්ට පැවසී ය. මේ විහස් බව ඇය දන්නේ නැත. නැතිනම් එකම දවසක අම්මා සහ පුතා මුණ ගැසීම දෛවයේ අපූරු තීරණයක් බව ඇයට සිතන්නට තිබිණ.

“ඔයා ගැනනම් අහලම මගෙ කන් දෙක පිරිලා තියෙන්නෙ නංගි. කවදහරි ඔයාගෙ වෙඩින් එකේ බෙස්ට්මන් වෙනකම් මං කසාදයක් කරගන් නැතුව ඉන්න තීරණේ කරා. “

විහස් කියන්නේ ඉතා සමාජශීලි කොලුවෙකි. ඉන්නා තැනක ඉතා මිහිරක් තවරන්නටත් එතැන සිනාවකින් පුරවන්නටත් ඔහුට හැකියාවක් තිබේ. ඒ හන්දාම ඔහු සමඟ කතාව ප්‍රේමවන්තයන්‍ට අපූරු මිහිරක් ගෙන ආවේ ය. ආදරය කරන්නට ආ තැනක මිතුරෙකු මුණ ගැසීම ඇතැම්විට විශාල හිරිහැරයකි. නමුත් මෙතැන එසේ නොවේ. සත්සර හෙවත් විහස්ගේ හමුව ගැන ඔවුන් සිටියේ සතුටිනි.

“මෙයාව ගෙදරට ඇරලලා ජිම් එකට එන්නං මචං.”

සඳරැස් පොරොන්දු විණ. කරන්නට වැඩක් නැති නිසා තව වෙලාවක් මෙතැන රැඳෙන්නට විහස් තීරණය කළේ ය. නමුත් සඳරැස්ට යෝජනාවක් විය.

“එහෙනං යං අපේ ගෙදර. මං චේන්ජ් එකක් දාගන්නකම් අපේ අක්කගෙ රහ තේ එකක් බීලා කයියක් දාගෙන ඉමු. යමං”

අපේ අක්කා!

ඇය දැකීමට ආශාවක් විහස්ට ද නොතිබුණාම නොවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here