සඳ ගංතෙර – 72

“ඔය වගේ මෝඩ දේවල් නිකංවත් හිතන්න එපා”

දුලන්‍යා තර්ජනය කරන සුළු හඬකින් එසේ පැවසුවා ය. සැබෑවටම ඔහු සත්‍ය දැන ගත යුතු නොවේ. ඔහු සත්‍යය ගැන  යම් තරමකට හෝ සැක කරද්දි එය වහා නැවතීම පෙම්වතියක ලෙස තමන්ගේ වගකීම බව දුලන්‍යා සිතුවා ය.

“ඔය වගේ හිතන එකේ වැරැද්ද සිද්ධවෙන්නේ චාන්දනී ආන්ටිටවත් කමල් අංකල්ටවත් නෙවේ. විජිත මාමාට.  අමතක කරන්න එපා එයා නැති වුණු දවසේ ඔයාලා තරම්ම මමත් ඇඬුවා. මං එයාට හරිම හරි ආදරෙයි. අපේ තාත්තා ගාණටම හොඳ තාත්තා කෙනෙක් මං දැක්කනම් ඒ එයා.”

එහෙම කියන ගමන් අතීතයේ සුන්දරම දවස් සිහිකරන්නට සිහිකරන්නට දුලන්‍යා වගබලාගත්තා ය.

“කොහොමද ඒ දවස්වල මස්සිනාලා දෙන්නා පොඩියට අනුමත වුණාම. කපුගේගේ සින්දුයි. සුනිල් එදිරිසිංහගෙ සින්දුයි. විජිත මාමා ඒවා විචාරයත් කරනවා. “

සඳරැස් ලා හිනාවක් උපද්දා ගත්තේ ය. ඒ දවස් ඇත්තටම සුන්දර ය. අක්කා හරහා පවුලක්ම ලැබීම ගැන ඔහු සංතෝසයෙන් සිටියේ ය.

“ආදරේ අද එක තැනක තියෙනවා හෙට තව තැනක තියෙනවා කියලා හිතෙන ගෑනු තෝරා ගන්න එපා. අක්කා වගේ ආදරේට අවංක ගෑනියෙක් තෝරා ගනිං. එතකොට මේ වගේ හොද මිනිස්සු පිරුණු පවුලක්ම ලැබෙනවා.”

දුලාජ් අයියලාගේ නිවසට නෑගම් යන ඕනෑම දවසක තාත්තා එසේ පැවසූ බව සඳරැස් කියන්නේ මඳ සිනාවකිනි.

“විජිත මාමා කොහේ හරි ඉඳන් අපිට ආශිර්වාද කරනව ඇති.”

දුලන්‍යා ආදරයෙන් පැවසුවා ය. සඳරැස් ඔහුගේ ලස්සනම හිනාව දෙතොලතරට ගත්තේ ය.

“අනේ පුතේ, එහෙමයි කියලා මං ඔය හොටු කෙල්ල යාළු කරගන්න කිව්වෙත් නෑ කියලා හිතනවත් ඇති.”

දුලන්‍යා අත් මිටි කර පහරක් ගැසුවා ය. අනතුරුව ඔහුගේ අත් බාහුව හෙමින් සීරුවේ පිරිමැද්දා ය.

“අයියේ, ඔයාලා කමල් අංකල්ගෙ උනානං ආන්ටි එළියට බහින්නෙ ඔයාලවත් අරගෙන. අනිත් එක ඒ සම්බන්දෙ ඔයා පුංචිම කාලයේ ඇති වුණ හදිසි සම්බන්ධයක් කියලා විජිත මාමා අපේ අම්මට කියලා තියෙනවලු. එයා විජිත මම සම්බන්ධයෙන් හැම මතකයක්ම අමතක කරන්න ඕනේ හින්දයි ඔයාලා දෙන්න වත් එක්ක නොගියේ.”

දුලන්‍යාට බැස යන්නට වෙලාව එළඹිණ. සඳරැස් ඇය දෙස බලා සිටියේ ය. අනතුරුව ඇත්ත කියන්නට තීරණය කළේ ය.  කොහොමටත් ඇයට දේවල් සඟවන්නට ඔහු කැමති නැත.

“මං චාන්දනී විජේවර්ධනට සමාව දෙන් නෑ. අක්කා දෙනවනම් ඒක එයාගේ කැමැත්ත. අක්කට පුළුවන් අම්මත් එක්ක සතුටින් ඉන්න. මං දැන් ඉන්නේ අක්කගෙ ගෙදරනෙ. අම්මා ඒ ගෙදරට යන එන එක ගැනවත් මං මොකුත් කියන්නේ නැහැ. හැබැයි එයාට ඔයාගේ වත් මගේවත් ගෙදරට දවසක එන්න බෑ. අපි දෙන්නාගේ වෙඩින් එකක් දවසට එයාව ඕනෙත් නෑ.”

දුලන්‍යා ඔහුගේ අත තදින් අල්ලා ගත්තා ය. තර්ක කරමින් ඔහුව පාලනය කිරීම හෝ හැඟීම් මෙහෙයවා ඔහුව පාලනයට නතු කර ගැනීමේ තේරුමක් නොමැත.ඔහු යමක් කමක් තේරුමක් ඇති කොල්ලෙකි.

“ඔයා අවුරුදු විසි හයක කොල්ලෙක්. ඔයාට හිතෙන දේ හරි. ජීවිතේ ඔයාගෙනෙ.ඒ සම්බන්ධ හරි තීරණ අයියා ගනී කියලා මං හිතනවා. අනිත් හැමෝම ඒ තීරණ වලට විරුද්ධ වුණත් ඔයත් එක්ක මම ඉන්නවා.”

සඳරැස් විහස් කිසි දවසක අත්නොහැර ගන්නට තීරණය කළේ ය. සහෝදරකම් අමතකම කර දැමුවත් ඔහු ඉතාමත් හොඳ යහළුවෙකි.පවුල විසිරී ගියේ කමල් විජයවර්ධන හන්දා බව සැබෑවකි. නමුත් ඔහු අවංක මිනිසෙකු බව සඳරැස් කල්පනා කළේ ය. අම්මා කරන්නේ අතීතයේ වැරදි වර්තමානයේ දී නිවැරදි කරගන්නට උත්සාහ කරමින් සියල්ල අවුල් කර ගැනීම බව සිතද්දී ඔහුට අනුකම්පාවක් ද නොදැනෙනවා නොවේ. නමුත් ඇය මේ ජීවිතයට ඕනෑ නැත.

“අපි දෙන්නට සංසාරෙම එකට යන්න ලැබෙනවනම් හොඳයි.ඒ වුණාට මේ පොඩි ජීවිතේ ඇතුළේ මං හොයා ගත්ත මිනිහා මොකෙක්ද යකෝ කියල ඔයාට හිතුණොත් දුක් වෙන්න විඳවන්න හදන්න එපා.අපි වෙන් වෙමු…”

ඔහු පෙම්වතියන්ට එසේ පැවසූ අතීතය ඔහු සිහි කළේ ය. ඔහු අත් හැර ගන්නට නොසිතුණේ ද උමතුවෙන් බැඳුණේ ද දුලන්‍යා වෙත ය. අන් සියළු පෙම්වතියන් අත් හැරී ගියේ ඔහු අතින් ය. එයට හේතුව ඔහුට දැන් කල්පනා වේ. 

“මං අහිමිවීම් වලට බය වුණා. මට අහිමි වෙන්න කලින් මං අහිමි කරගත්තා.”

ඔහු පැරණි ප්‍රේම කතා හැම එකම ගැන කියමින් විහස්ට එසේ පැවසුවේ සන්ධ්‍යාවේ මුණ ගැසීමේදී ය.

“මට උඹව තේරෙනව අයියේ. දරුවන්ට දෙමාපියෝ අහිමිවෙනවයි දෙමාපියන්ට දරුවන්ව අහිමි වෙනවයි තරම් වේදනාවක් කොහෙවත් නෑ කියලා මං කොහෙන්ද මන්දා අහලා තියනවා. උඹට තියෙන්න ඇත්තේ ගෑනුන්ට දුකක් වේදනාවක් දීලා සතුටු වෙන ලෙඩකුත් නෙවෙයි. උඹ අහිමි වෙනවට බය වෙන්න ඇති.”

සෙල්ලකාර පෙම්වතෙක් බවට ලේබල් වැදී ඇති වැඩිමහල් සහෝදරයා දෙස බලමින් විහස් එසේ පැවසීය. 

“පොඩි කාලේ සිද්ධ වෙන දේවල්වල වේදනාව සංසාරෙ පුරා අරන් යන්න ඕන නෑ අයියේ..උඹට අපේ අම්මට සමාව දෙන්න බැරිනම් එච්චරයි. ඒත් උඹ අතින් ආයේ ගෑනියෙක්ට හර්ට් වෙන්නෙ නෑනෙ. උඹට ලස්සන ලව් ස්ටෝරියක් තියනවා. ඒ කෙල්ල හන්දම ලැබුණු ලස්සන පවුලක් තියනවා.”

එසේ පැවසූ විහස් බරම වාක්‍යය කියන්නට කල් ගත්තේ ය.

“උඹ කැමතිනම් විතරක් ලස්සන පවුල ඇතුළෙ මටත් ඉඩක් තියපං”

සඳරැස් කළේ විහස්ව වැළඳ ගැනීම ය.

“මගේ අක්කට දුන්නු තැනම මං උඹට දීලා ඉවරයි මල්ලි. මං උඹ ගාවදි යාළුවෙක් වෙන්නේ අයියෙක් වෙනවට වඩා මට උඹට යාළුවා වෙන එක ලේසි හින්දා. අපේ සහෝදරකම නැති වෙන්නෙත් නෑ. යාළුකම නැති වෙන්නෙත් නෑ.”

එක මව් කුස බෙදා ගත්ත ද සහස් දෙන සහෝදරකමක් නොවේ. විහස්ගේ ලෙයට සහෝදරකමේ උණුසුම දැනෙන්නට විය. ඕනෑම දෙයක් බෙදා ගන්නට අයියෙකු හිඳියි. රස කෑම ද ආදර හිස අතගෑම් ද සහිතව අක්කා කෙනෙකු හිඳියි.

ඒ ඕනෑවටත් වඩා ප්‍රමාණවත් බව විහස්ට සිතිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles