ප්‍රේමයේ අභිමන් -27

අපරාජිතා රියෙන් බහින්නට පෙර ම සිය දෑස් සසංක වෙත පා කොට හැරියා ය. ඔහු ගේ එක අතක හෝස් එක ද අනිත් අතේ ස්පොන්ජ් එකක් ද තිබිණ. දිය පහර බීට්ල් එකට අල්ලා ගෙන ම ඔහු අපරාජිතා දෙස ද අනන්‍යා දෙස ද මාරුවෙන් මාරුවට බලමින් සිටියේ ය.

සසංක හැඳ සිටියේ සැහැල්ලු කොට කලිසමක් හා පාට වියැකුණ ටී ශර්ට් එකකි. මෝටර් රථය පමණක් නොව ඔහු ද යම් තාක් දුරකට තෙමී සිටියේ ය. හිසකේ වල වතුර බින්දු දිළිසිණි. රැවුල් කොට නිසා අපිළිවෙල වූ ඒ මූණ වෙනදාටත් වඩා කඩවසම් සෙයක් ගැහැනු ඇස් හැඳින ගෙන තිබිණ.

“කවුද මේ හැන්ඩ්සම්…”

තමන් වෙත සමීප වී සිටි දේශිකා ගේ කනට ලං ව අනන්‍යා එසේ ඇසුවේ ඉතා හෙමිහිට, ඇගේ තොල් චලන වලින් වුව ඈ කී දේ ඔහු ට නො දැනෙන සේ ය. සමහර විට අම්මා ට වුව එය නෑසෙන සේ දේශිකා ගෙන් ඒ අසන්නට අනන්‍යා ට උවමනා වන්නට ඇත. නමුත් අපරාජිතා ට එය ඇසුණේ හෝ දැනුණේ ය. ගෑනු ළමයා ගේ ඇස් දිළිසෙනයුරු ද ඇය දුටුවා ය. නමුත් සමහර දේවල් නො දුටුවා, නො ඇසුණා සේ සිටිය යුතු අවස්ථා ජීවිත වෙත උදා වේ. විශේෂයෙන් ම දරුවන් ගේ කාරණා වලදී, දරුවන් තව දුරටත්  නො දරුවන් නොව වැඩිහිටියන් ලෙස හදවතට පිළිගැන්වීම අසීරු ම අවස්ථා වලදීත් එහෙම කරන්නට සිදු වේ. මේ මොහොතේ දී අපරාජිතා ට සිදු වූයේ අනන්‍යා ව නො දුටු, නො ඇසුණ සෙයින් ඉවත බලන්නටයි. 

“අනන්‍යා මේ..”

දේශිකා තරවටු ස්වරයකින් ඇය ට රැව්වා ය. අනන්‍යා හඬ නගා සැහැල්ලුවෙන් සිනහ වූවා ය. ඇගේ ජීවිතය මත්තෙන් කුණාටු සුළඟක් හමා ගොස් තිබියේ වී ද දැන් ඒ හමා ගොස් අවසාන බව අපරාජිතා සැනෙන් සිය ගැහැනු ඉවෙන් වටහා ගත්තා ය.

“මේක උඹ ටික දවසක් හිටිය රට නෙවේ හරිද..එහෙ යන්න කලින් හිටිය රට”

“දන්නෝ දන්නෝ. ඇත්තටම මෙහෙ මාර ශෝක් අම්මි. වාව්…හැම දේම මාරයි. අර පරණ වොක්ස්වැගන් එක ගේ අයිති අංකල්ගෙද…ඒ අංකල්ගෙ පුතාද අර…ගේත් ලස්සනයි..ගේ අයිති නෝනගෙ පුතත් ලස්සනයි…ඒ නෝනගෙ මහත්තයගෙ කාර් එකත් ලස්සනයි. ගාඩ්න් එකත් ලස්සනයි…වට් අ නයිස් කම්බිනේශන් ආ…අපි වෛද්‍ය රෝඩ් යන්න ඕන නෑ අම්මි. මං ආයෙ යනකල් මෙහෙ ඉමු”

“ගනිං බඩු ටික”

දේශිකා අනන්‍යා ට සැර වූවා ය. ඇය පෙරදීත් දේශිකා එක්ක හැසිරුණේ සම වයස් මිතුරියක සේ ය. කොහොමටත් ඔවුන් අතරේ ලොකු වයස් පරතරයක් පෙනුණේ නැත. උසස් පෙළ කරත්දීත් ලැජ්ජාශීලී දැරියක වූ අනන්‍යා මේ ටික දිනට සිය ක්‍රමය වෙනස් කර ගෙන වඩා විවෘත හා නිදහස් ගෑනු ළමයෙකු ලෙස හැසිරෙන්නට පටන් ගෙන ඇති බවක් අපරාජිතා ට දැනේ. සමහර විට පසුගිය මාස කිහිපයක කාලය තුළ ඇය විසින් මුහුණ දුන්නා වූ සිදුවීම් මාලාව ඇය රිදවන්නට සේ ම පරිනත කරන්නට ද ශක්තිමත් කරන්නට ද එනිසා ම වඩා නිවහල් කරන්නට ද ඇත කියා ඒ තත්පර වූ කාලය තුළ අපරාජිතා වටහා ගන්නට ඇත.

“එයාපෝට් ගියා ද…”

වතුර කරාමය වසා දමමින් සසංක ඔවුන් වෙතට පියවරක් දෙකක් තැබුවේ ය. අපරාජිතා දෙතොල් තද කොට සිනහ වූවා ය.

“කතා කළානං මං එනවනෙ”

පපුව යට මොකක්දෝ කැළඹීමක් ඇති වනු අපරාජිතා ට දැනිණ. මීට ස්වල්ප වෙලාවකට පෙර, රියෙන් බහිමින් අනන්‍යා ‘වාව්’ කියත්දී ද ඒ කැළඹීම අතුණුබහන් පෙරළමින් නැගී ආ හැටි ඇය අත්වින්දා ය.

“සසංක අද කලින් ඇවිත් වගේ..”

“ඔව්. ලොකු වැඩක් තිබුණෙ නෑ ඔෆිස් එකේ”

“අනන්‍යා ආවා. අනන්‍යා මේ සසංක”

“හායි”

අනන්‍යා වඩාත් දඟකාර හා හුරතල් භාෂිතයකින් ඔහු ආමන්ත්‍රණය කළා ය.

“හෙලෝ. කොහොමද පුතා…”

අපරාජිතා බලාපොරොත්තු නොවූ තරම් නිවුණු බවක් සසංක වෙත විය. ඇගේ හදවත කැළඹුම මොහොතකට සන්සුන් ව ළය පහන් විය. 

“පු…තා…”

අනන්‍යා හිචිස් ගා සිනා වූවා ය.

“අනේ වරෙං. මේකි හිතං ඉන්නෙ එංගලන්තෙට ගිය ගමන් මහ ගෑනියෙක් වුණා කියල. යන්න කලින් ඇඳේ චූ කරගත්ත එකී”

දේශිකා ඇගේ කර වට අතක් දමා ගෙන පිය ගැට පෙළ දෙසට කැටිව ගියා ය. ඒ යන ගමන් වතාවක් අනන්‍යා හැරී බැලුවා ය. අපරාජිතා ඇස් වලින් පමණක් සසංක ගෙන් සමු ගෙන පිය ගැට පෙළ නැංගා ය. 

ඔවුන් දවල් ට කෑවේ එන ගමන් පෙරේරා එකකින් කෙටි කෑම ය. වේලාසනින් අම්මා ඉවූ බත් කන්නට අනන්‍යා ට ඕන විය. අපරාජිතා ඉක්මනින් තේ සූදානම් කළා ය.

ඇගේ කුඩා ශීතකරණයේ ඉඩ අඩු ය. තනි ජීවියෙකු නිසාවෙන් ඇය ට එය සෑහේ. නමුත් දෙතුන් දෙනෙකුට තරම් කෑම බීම එහි රැස් කර තබා ගත නො හැකි ය. අනන්‍යා කැමති නිසා චීස් කපා ක්‍රීම් ක්‍රැකර් ද චොක්ලට් රෝල් ද සමග අපරාජිතා දීසි වලට දැමුවා ය. පෙර දා ඇය හොඳ කෝලිකුට්ටු ඇවරියක් ද ගෙනැවිත් තිබිණ. 

“සසංක එන්න තේ බොන්න”

කියා බැල්කනියේ සිට කතා කළේ දේශිකා ය. 

“මොනාද හලෝ කා වොශ් එකකට දාල ඕක හෝදගන්නෙ නැතුව පණ යනකල් අතුල්ලන්නෙ…”

ඔහු මතු මහලට ආ විට ඇය විහිළුවක් ද කළා ය. 

“පිරිමියෙක් වුණාම ඉඳ හිටවත් තමන්ගෙ කාර් එක හෝද ගන්න ඕනෙ”

ඔහු අඩ සිනහවකින් ඊට ප්‍රතිචාර දැක්වූයේ ය.

“ඒක ඇත්ත. අනිත් එක වොක්ස්වැගන් බීට්ල් මේ පරණ මොඩ්ල් එකක් කා වොශ් එකක හෝදනවට වඩා අමුතු ගතියක් තියෙනෝ නේ ගෙදර හෝදන එකේ. මං මේ පර්පල් කලර් එකට ආසයි. දැට්ස් අන්කොමන්”

අනන්‍යා කතාවට හවුල් වූයේ අනාරාධිතව ම ය. පැරණි සේ ම නවීන මෝටර් රථ විලාසිතා ගැන ද ඇය ට ලොකු දැනීමක් විය. ඉස්සර මග තොට යත්දී ඇය පාරේ යන වාහන ගැන කතා කළ හැටි අපරාජිතා ට මතක ය. ඇය පදිනා ජපන් ඇල්ටෝ රිය විකුණා දමා විට්ස් එකක් හෝ ඇක්වා එකක් හෝ හොන්ඩා ෆිට් රියක් ගමු කියමින් උසස් පෙළ පන්තියේ දී ඇය කන්කෙඳිරි ගෑවා ය.

“මට මේක හොඳයි. ඔයා තාත්තිට කියල එකක් ගන්න”

අපරාජිතා කීවේ නො සැලකිලිමත් ව ය. සාමාන්‍ය පෙළ අවසන් වෙත්දී රිය පැදවීම ට දැන සිටි අනන්‍යා උසස් පෙළ ලියූ ගමන් රියදුරු බලපත්‍රය ගත්ත ද මෝටර් රථයක් හිමි කර ගන්නට පෙර ඇය ට උසස් අධ්‍යාපනය සඳහා විදෙස් ගත වෙන්නට සිදු විය.

පැරණි මෝටර් රථ ගැන අනන්‍යා ට වූ ඒ වයසේ කෙල්ලක ගෙන් බලාපොරොත්තු විය නො හැකි අවබෝධය ගැන සසංක තුළ ද ඇල්මක් ඇති විය. ඇය වූ කලී කතා බහ කරන්නෙකු තුළ උද්‍යෝගීමත් උණුහුමක් ඇති කරනා සුහද ශීලයකින් පිරි කෙල්ලකි. තේ එකක් බී අවසාන වීමට ගත වන කාලය තුළ ඔවුන් දෙදෙනා අතරේ වසර ගණනක තරම් හිතවත්කමක් ඇති ව තිබූ සෙයකි.

“අපි එහෙනං සුපර් මාකට් එකට ගිහිං එමුද අනන්‍යා…ඔයා මොනාද කන්න ආස…”

රාත්‍රී ආහාරය ගැන හිතෙන් සැලසුම් අඳිමින් අපරාජිතා විචාලා ය.

“අනේ මං ඉන්නං. අම්මි කැමති දෙයක් ගේන්න. ඔයා මොනා ඉව්වත් රහයි කියල මන් දන්නවනෙ”

අම්මා එක්ක මාකට් යනවාට වඩා සසංක වාගේ පිරිමිකමේ පරිසමාප්තිය දරනා පුරුෂයෙකු එක්ක සල්ලාපයේ යෙදීම අනන්‍යා නොව ඕනෑම යෞවනියක විසින් තෝරා ගනු ලබනු ඇත. අපරාජිතා මුදල් පසුම්බිය ත් යතුරත් අතට ගනිමින් දේශිකා දෙස බැලුවා ය.

“යංද දේශි…”

“ඔයා ගිහිං එන්න”

දේශිකා ට වූයේ සසංක වන් පිරිමියෙකු අස අනන්‍යා නිදහසේ දමා යා නො හැකි බවට හැඟීමකි. අපරාජිතා නිහඬ ව පිය ගැට පෙළ බැස ගියා ය. ඉන් පසු සසංක පහළට ගිය ද අනන්‍යා ඔහු පසුපස රිය වෙතට ගියා ය. බබෙක් වගේ සසංක විසින් බලා කියා ගන්නා එහි සීරුමක් හෝ වූයේ නැත. අනන්‍යා රිය අත පත ගාමින් ඒ වටේ කැරකුණා ය.

“කවදද පුතාගෙ වැකේශන් ඉවර වෙන්නෙ..”

සසංක ඇසුවේ නැප්කින් එකකින් රිය තෙත මාත්තු කරමිනි.

“ඊයා අනේ..පුතා කියන්න එපා. එතකොට මට දැනෙන්නෙ ඔයා නාකි අංකල් කෙනෙක් වගේනෙ”

අනන්‍යා මුහුණ හකුළා ගනිමින් කීවා ය. සසංක හඬ නගා හිනැහුණේ ය.

“හරි වයසෙදි බැන්දනං මටත් ඔයාගෙ වයසෙ ළමයි ඉඳියි”

“හරි වයස දැං. අඩු වයසෙං බැන්දනං තමයි එහෙම වෙන්නෙ. අවුරුදු විස්ස විසි පහ වෙනකොට කොල්ලො මැරි කරන එක මටනං ඊයා. තිහ පැනල තමා අනිවාර්යෙන් කොල්ලෙක් බඳින්න ඕන. දැං කාලෙ එඩියුකේටඩ් ගර්ල්ස්ලත් බැඳල බබාල හදන්නෙ තිහ පැනල තමා”

ඇගේ ඇස් වල වන කාන්තිය ඔහු නො හැඳින්නා නොවේ. මේ වයසේ පොඩි කෙල්ලන් ට ආවේණික ඒ මත් බව සසංක ඕනෑ තරම් අත් විඳ තිබේ. ඔවුන් හරියට ගිනි සිලට ඇදෙනා මෙරුන් සේ ය. අපරාජිතා ගේ විල් කඩිත්තක ගැඹුරු පෑ දිය වන් ආත්මය දුරට හෝ දැක නො තිබුණා නම් සසංක දෙවරක් නො සිතා අනන්‍යා ගේ ආරාධනා ඇස් වලට අනුබල දෙනු ඇත. ඇරඹුමේ දී ම ඔහු ‘පුතා’ යන වචනය යොදා ගත්තේ ඇය ට ඔවුන් අතරේ වන පරතරය ගැන ඉඟියක් ලබා දෙන්නට ය. 

“කවද ආයෙ ගියත්… අම්මගෙ ඇස් තාමත් ඔයා නිසා අඬන්න බලං ඉන්නව කියන එක අමතක කරන්න එපා. අපි ලෝකෙ පුරාම වුණත් යන්න ඕන අපේ අරමුණ එක්ක. හැබැයි අපේ ආත්මය කොහෙවත් අතරමං කරල ශරීරය විතරක් අරගෙන නෙවෙයි. දවසක ඇත්තටම ආදරෙං අපිව බදා ගන්න ඉන්නෙ අම්ම විතරයි. ඒක මං විඳල තියන දෙයක්”

ඇත්තට ම වන්නේ අපරාජිතා ගේ ඇස් වල අලුත් කඳුළක් දකින්නට වන බිය යයි ඔහු ට තේරුම් ගියේ ඒ අන්තිම ටිකත් කියා නිම වූවාට පස්සේ ය.

අපරාජිතා මග අයිනේ සිටි කොස් කාරයෙකු ගෙන් පොළොස් ගත්තා ය. පහේ බැද රතු පාටට තෙල් වෑහෙන්න පොළොස් උයා කැරට් කොළ සම්බෝල සාදා කෙලවල්ලන් මාළු කිරට පිසුවා ය. ඊට අමතර ව කළේ පපඩම් බදිනා එක පමණ ය. 

“සසංක තනියම නේ ඉන්නෙ…අම්මිට පුළුවන්නෙ ඔයා උයන එකෙන් හැමදාම එයාට කෑම ටිකක් දෙන්න”

පොලොස් සුවඳ ඉහිර යත්දී අනන්‍යා කීවා ය. අපරාජිතා පොළොස් මාළුවෙන් ඇස් දෙක ඉවතට ගත්තේ නැත. 

“සසංක කියන්නෙ උඹ සසංකගෙ අම්මද…”

දේශිකා තරවටු කරන විටදී ය අපරාජිතා ට ඒ ගැන සිහි වූයේ. අනන්‍යා යනු අපරාජිතා විසින් මැනවින් හික්මවා තනන ලද දරුවෙකි. ඇගේ නව යෞවනය සම වයස් බාලිකාවන් අතරේ දී නො දැරියක සෙයින් ගෙවී ගියේ ඒක ය. නමුත් වැඩිහිටි ලොවට නිරාවරණය වීමත් සමග ඇසුරු කරන්නට සිදු වූ බටහිර සමාජයට අනුවර්තනය වීම තුළ අම්මා කියා දුන් ඇතැම් ගති සිරිත් වෙනස් කර ගන්නට ඇය ට සිදු විය. වැඩිහිටියන් නෑ කමකින් ඇමතීමේ සිරිතක් එහි ඇත්තේ නැත. වයස නොතකා ඕනෑ ම කෙනෙකු නමින් අමතන එක පහසුවක් බව අනන්‍යා එහි දී වටහා ගත්තා ය.

“හරි හරි. අයිය..”

“අයිය නෙවේ අංකල් කියපං”

“අනේ මේ මට බෑ. කොහොමද අනේ එයාට අංකල් කියන්නෙ…පිස්සු ඕගොල්ලන්ට. ඒකනෙ…නම කියල කතා කළානං ඔය කිසි අවුලක් නෑ. මේ රටවල් වල මිනිස්සුන්ගෙ ඔළු කවද හැදෙයිද කියල මන්නං දන්නෑ”

“ඔව් ඔව් ඔය උඹ හදා ගත්තෙ එහෙ ගිය ටිකට ඔළුව”

දේශිකා ඒ කතාව එහෙම ම ගිල ගත්තේ අපරාජිතා ඇදෙසට හෙලූ දැඩි බැල්ම නිසාවෙනි. අනන්‍යා ද මොහොතකට බිම බලා ගත්තා ය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles