මුතු බෙලි හදවත – 5 වන කොටස

විකුම් විජයවික්‍රම හිතුවක්කාර සිනහවක් නගා ගත්තේ ය. ඔහු වෙතින් මත් පැන් සැරක් හැමුවේ ය. ඒ ඇස් වල සුදු ඉංගිරියා රතු වී ඇති සැටිත්, ඇස් පියන් අඩවන් වී ඇති සැටිත් ආදිත්‍යා ට මැනවින් දැක ගත හැකි විය.

“මගෙං ඔහොම ප්‍රශ්න කරන්න තමුන්ට මොකද්ද තියන අයිතිය ආ..”

විකුම් එහෙම ඇහුවේ සිනහ වී ගෙන ය. ඉවසීමේ සීමාව පනින තරමට ආදිත්‍යා තුළ කේන්තිය වැඩෙමින් තිබිණි.

“මොකද්ද විකුම් මේ වැඩේ තේරුම…දවස් ගාණක් තිස්සෙ මං බලා ගෙන…ඔයා දැං ගෙදර එන්නෙ මහ පාන්දර. ඇයි විකුම් මේ…මොකද්ද මං ඔයාට කරපු වරද…ඇයි මට මෙහෙම කරන්නෙ…අයිතියක් ගැන ඔයා අහනව. මං ඔයාගෙ වයිෆ්…ඔයා පාන්දර ජාමෙක ගෙදර එන්නෙ මොකස මේ වෙනකල් කළේ මොනාද කියල ප්‍රශ්න කරන්න ඊට වැඩිය අයිතියක් තියෙන කෙනෙක් ඉන්න පුළුවන්ද විකුම්…”

ආදිත්‍යා ගේ හඬ බිඳී ගියේ ඇගේ උවමනාවට ම නොවේ. ඒ මොහොතේ ක්ෂණිකව හිතේ නැගුණ ආත්ම අසරණකම හින්දා ය. නො එසේ වී නම් ඇය ට අවැසි වී තිබුණේ ජීවිතයේ දී එළඹිය හැකි ප්‍රශ්නයක් හමුවේ ඊට මුහුණ දී ගන්නට හයියක් නැතිව පැන දුවනා සිය සැමියා ට අභියෝග කරන්නට ය.

“අන්න අරහෙට වෙනව. අයිතිය..”

ඔහු ඇගේ උරහිසකින් අල්ලා පසෙකට තල්ලු කොට එතැනින් නික්ම යන උත්සාහයක් දැරුවේ ය. ආදිත්‍යා වහා යළි ඔහු ඉදිරියේ ගොස් සිට ගත්තේ ය.

“ඔයා ඔච්චර ම දුර්වලද ආ…ඔයාගෙ ම පුතා අසනීප දරුවෙක් වුණා. ඒක ඇත්ත. ඒත් ඒ නිසා ඒ දරුවවයි තමංගෙ වයිෆ්වයි අත්ඇරල දාන්න පිරිමියෙක්ට පුළුවන්ද…කොහේ තියෙන බල පුළුවන්කාරකමකටද ඔයා එහෙම කරන්නෙ විකුම්…”

“අන්න අරහෙට වෙනව ඕයි. හරි..තමුසෙට පුළුවන් දෙයක් කරනවකො. රටේ ඕන තරං ගෑනු ඉන්නව ඕයි. තමුසෙ කවුද මට…”

විකුම් සිය පතිණිය මග හැර යන්නට ගියේ ය. ආදිත්‍යා ට දැනුණේ මුළු සිරුර ම අප්‍රාණික ව ගියා මෙනි. සිය සැමියා ගේ මුවින් ඒ වගේ අරුතක් දෙන යමක් අසා ගන්නට මෙලොව කිසිදු ගැහැනියකට හැකි ය කියා සිතිය නො හැකි ය.

දෙපා අද්ද අද්දා ඇය කාමරයට ගියා ය. මින්දුල තද නින්දේ ය. ඈ සිය පුතු ගේ යටි පතුලක් තද කොට සිප ගත්තා ය. දෙතොල් හා උගුර වියළී ගොස් ඇති බවක් ඇය ට දැනේ.

ආදිත්‍යා කියන්නේ නොදැරියක නොවේ. විකුම් ගේ අතීතය ඈ නො දැන සිටියා ද නොවේ. නමුත් වැදගත් වන්නේ අතීතය නොව වර්තමානය ය කියා සිතන්නට මුලදී ම ඇය හිත හදා ගත්තා ය. විකුම් හදන්නේ අතීතය යළි වර්තමානය මතටත් ගෙන එන්නට නම්, එවැනි දේකට මුහුණ දෙන්නේ කෙසේ දැයි ආදිත්‍යා ට සිතා ගත නො හැකි විය. වචන වලින් පැහැදිලි කරන්නට බැරි ගින්නකින් ඈ දැවෙන්නට වූවා ය.

පහන් වෙන තුරු ඉතිරි හෝරා කිහිපය නින්දක් ගැන සලකුණකුදු නො පෙන්වූයෙන්, ඇය කාමරයේ වීදුරු පියන් හැර ගෙන සඳැල්ලට වූවා ය.

කිසිත් චලනය වූයේ නැත. සියල්ල පැවතියේ ගැඹුරු නින්දක ය. දැඩි අඳුරක් අහස වෙලා ගෙන තිබිණි. සඳළුතලාවේ සුදු පිරියම් කළ බැම්මට බර වී ගෙන ආදිත්‍යා හයියෙන් හුස්ම ගත්තා ය. ඇගේ හෘද ස්ඵන්දනයේ වේගවත් බවක් විය.

‘රටේ ඕන තරං ගෑනු ඉන්නව ඕයි. තමුසෙ කවුද මට’

විකුම් ගේ ඒ කුරිරු වදන්, මේ ඇමති මන්දීරයේ බිත්ති වල හැපෙමින් යළි යළිත් තමන් වෙත එන්නා සේ ඇයට දැනුණේ ය. බිරිඳකට සිය සැමියා ගෙන් ලද හැකි ඊට වඩා දරුණු මරු පහරක් ඇත ය කියා සිතිය නො හැකි ය.

ආදිත්‍යා ද නො දැන ඇගේ ඇස් වලින් කඳුළු ඉහිර යමින් තිබිණ. කොපුල් තලා පෙඟී යමින් තිබුණේ ය. ඇය නො නවත්වා හැඬුවා ය. සිය ජීවිතය මේ කඩා ගෙන වැටුණේ කොතැනකට ද කියා සිතන්නට ඇය ට උවමනා විය. පති කුලය ඇතුළේ දී ඒ තරම් දරුණු ලෙස සැමියා ගෙන් ප්‍රතික්ෂේප වීම වූ කලී පතිණි හදකට දරා ගත හැක්කක් නොවේ.

 අහසෙහි ගැඹුරු නිලක් ඇති ව තිබෙනවා ඉන් පසු ආදිත්‍යා දුටුවා ය. තව ටික වෙලාවකදී එය ලා නිලකට හැරෙනුත්, ඉන් පසු ක්‍රමයෙන් කහ හා තැඹිලි පැහැයන් ට අහසේ ඉඩ වෙන් වෙනුත් ඇය ඔහේ බලා සිටියා ය. කොයි තරම් දුක දිය වී ගැළුවත් එය නිමා වී නැති බව, හදෙහි වූ මහ මෙරක බර ඇය ට සිහිපත් කරවී ය.

පෙරඹරෙහි දීප්තිමත් සුදක් ඉහිර ගියේ පෙර පැවති සියලු වර්ණ ඈතකට විස්ථාපනය කරවමිනි. ඒත් එක්ක ම කුරුලු කොබෙයියන් ගේ අනේකාකාර කූජන තැන් තැන් වලින් මතු වන්නට විය. මේ තරම් සජීවී ලෙස ආදිත්‍යා මේ සොබා දහමේ අසිරිමත් අරුණෝදය දුටුවා ම ය. නමුත් එහි මිහිරියාව ඒ ආකාරයෙන් ම විඳ ගත හැකි නිදහස් මනසක් අද ඇය ට නැත්තේ ය.

හුරු පුරුදු තුරුණු දෑස් ඇත්තා ගේ ගෙදර කාමරයක විදුලි පහන දැල්විණි. ආදිත්‍යා ට එහි අමුත්තක් වූයේ නැත. ඒ කාමරයේ උස වීදුරු දොර හැරී දුමාල් විතානාච්චි සඳැල්ලට ආවේ ආදිත්‍යා කිසි සේත් බලාපොරොත්තු නොවූ ලෙස ය. මේ අරුණෝදයේ කිසි සේත් ඇය මෙහි දකින්නට බලාපොරොත්තු නොවූ යෞවනයා කැළඹී ගියේ ය.

ආදිත්‍යා තිගැස්සුණේ ඈ සිටින්නේ දුහුල් රාත්‍රී නිදන ඇඳුමෙනැයි සිහි වූ ගමන් ය. අතකින් ළැම වසා ගත් ඕ වහා කාමරයට වැදී දොර වසා ගත්තා ය. දුමාල් විතානාච්චි පාෂාණිභූත ව තව දුරටත් බලා සිටියේ ය.

මේ අරුණැල්ලේ අවදි වන එක ඔහු ගේ පුරුද්දකි. දුමාල් ව්‍යායාම කරන්නේ මේ වෙලාවට ය. හෝරාවක ව්‍යායාම වලින් අනතුරු ව ඔහු උදේ ආහාරය පිළියෙල කර ගනී. දිවා ආහාරය නම් ගැනෙන්නේ පිටතින් ම ය. රැකියාවෙන් පසු බෝඩිමට විත් රෑ කෑම පිළියෙල කර ගනී.

දුමාල් දැන් මේ මතු මහලේ කාමරය කුළියට ගෙන වසර හතර පහක් වේ. මාසික කුළිය තරමක් ඉහළ වී ද ඔහු ට අවශ්‍ය නිදහස මෙහි වන නිසාවෙන් ඔහු වෙන තැනක් ගැන නො සිතී ය.

විකුම් ගේ බිරිඳ මේ වගේ වෙලාවක සඳැල්ලේ සිටිනු ඔහු මේ දුටුවා ම ය. කහ පැහැති විදුලි පහන් එළියෙන් ඔහු යන්තමට දුටු පරිදි ඈ සිටියේ තෙත් වූ කොපුල් ඇතිව ය.

කාමරයට වැදුණු ආදිත්‍යා කොට්ටයේ මූණ ඔබා ගෙන ඉකිලමින් හැඬුවා ය. හඬන්නේ ඇයි කියා, හඬන අතරේ ම ඈ සිතුවා ය.

“විකුම් එනකොට පාන්දර තුනයි”

උදේ සඳසීලී මුණුපුරා හුරතල් කරමින් සිටින අතරවාරයේ ආදිත්‍යා පැමිණිලි කළා ය. ඔවුන් දෙදෙනා ගේ පෞද්ගලික ප්‍රශ්න මවු පියන්ට පැමිණිලි කරන්නට තරම් ඈ සියාරු ගැහැනියක නොවේ. නමුත් මේ සරල ගැටළුවක් නොවනු ඇති බව ඇගේ යටි හිත ඇය ට අනතුරු අඟවමින් හිඳී. ප්‍රශ්නය ඔඩු දිව්වාට පස්සේ ඔවුන්ට කියන්නට ගොස්, දැන්ද කියන්නේ කියා අසා ගන්නට උවමනා නැතැයි ඇය සිතුවා ය.

සඳසීලි පමණක් නොව පුවත්පත් ගොඩ පෙරලා ගෙන උන් සේනක විජයවික්‍රම පවා සිය කාරිය නවතා ආදිත්‍යා දෙස බැලුවේ ය.

“මේ දවස් ටිකේම එහෙමයි. එයා දැං අපේ රූම් එකට එන්නැති නිසා ගොඩක් වෙලාවට මං දන්නෙත් නෑ කීයට එනවද කියල. අද පාන්දර ඕක අහන්න ගිහිං මට කිව්ව රටේ ඕන තරං ගෑනු ඉන්නව කියල”

සඳසීලිත් සේනකත් මුහුණෙන් මුහුණ බලා ගත්හ.

“මොකද්ද අම්ම මේකෙ තේරුම…මේ දරුව එනකොට මං ගෙනාපු කෙනෙක්ද…හරි ඒ දරුවගෙ ප්‍රශ්නයක් තියනව තමයි. ඒත් විකුම් මෙහෙම හැසිරිලා හරියනවද…හරි..එයාට ළමය අරං ට්‍රීට්මන්ට්ස් වලට යන්න බෑ කිව්ව. මං ඒකට මුකුත් කිව්වෙ නෑනෙ. මං දරුවගෙ වැඩ කර ගන්නව. මෙයා කියන්නෙ මේ ළමයව අනාත නිවාසෙකට දක්කන්න කියලනෙ. ඒකනං මං කීයටවත් කරන්නෙ නෑ අම්ම. මං මේක අම්මට කියන්නෙ…එයා පුරුදු ජීවිතේට වැටුණොත් ඒ මගෙ වරදක් නිසා නෙවෙයි කියල කියන්නයි”

අනවසරයෙන් කඩා වැටුණ කඳුළ ආදිත්‍යා ඉක්මනින් සිය පිටි අත්ලෙන් පිස දා ගත්තා ය.

“මං විකුම් එක්ක කතා කරන්නං. මේ ළමයට මොන යකෙක් වැහිලද මන්දා”

සඳසීලී මින්දුල වඩා ගෙන ම එකැනින් නික්ම ගියේ විකුම් සොයා යන අදහසිනි. ආදිත්‍යා ද කාමරයට යන්න හැදුවා පමණි. පත්තරය නවා පසෙකින් දැමූ සේනක ආදිත්‍යා සමීපයට ම ඇවිත් ඇගේ මූණ බලා ගෙන නතර වූයේ ය.

“ඔයා බය වෙන්න එපා ආදිත්‍යා. ඔයා තනි වෙන්නෙ නෑ”

මාමණ්ඩිය ගේ ඇස් වල වූ කතාවත් ඔහු මුවින් බිනූ කතාවත් එකක් ම ද කියා සසඳා ගන්නට ආදිත්‍යා ට පහසු වූයේ නැත. ඇය ඉක්මන් සිනහවකින් එතැනින් පිට වූයේ සේනකට පිළිවදන් දෙන්නේ නැතිව ම ය.

ඇය සම්බන්ධයෙන් සේනක ගේ හැසිරීමේ අමුත්තක් ටික කලක සිට ම ආදිත්‍යා ට දැනී තිබිණි. ඈ දෙස බලනා ඔහු ගේ ඇස් වලත් නලියන්නේ මාමණ්ඩියක ගේ තැන්පත් දෑසක් නොවේ!

නමුත් ආදිත්‍යා ඒ කාරණා ගැන ලොකුවට හිතන්නට නො ගියා ය. ඇය ට එහි ලොකු බලපෑමක් නොවනා බැවිනි. කොහොමත් තවමත් තරුණ ජවය පහව නො ගිය සේනක වාගේ සමාජ ක්‍රියාකාරී පුද්ගලයෙකු වෙතින් එවැනි ගත ලක්ෂණ බලාපොරොත්තු විය යුතු බව ඇය දැන සිටියා ය.

සඳසීලී කාමරය වෙත යත්දී ත් විකුම් සිටියේ නින්දේ ය. වෙන වෙලාවක ඔහු සමගින් කතා කරනවා යි ඇය සිතා ගත්තා ය.

“දුව මේ දේවල් නංගිට වුණත් කියන්න යන්න ඕන නෑ. ඒ අය කලබල වෙයි”

මුණුපුරා ද ගෙන ලේලිය වෙත නැවත ආ සඳසීලි ආදිත්‍යා ට කීවා ය.. අම්මා ගේ ඇස් වල වන ඉවසිලිවන්ත කම ඇය ට දැකිය හැකි විය. ගැහැනුන් කියන්නේ ඉවසන්නට ම උපන් ජීවී කොට්ටාසයක් ද? ආදිත්‍යා ට එසේ අසන්නට සිතුණත් ඇය නිහඬ ව සිටියා ය.

පපුව ඇතුලේ දැල්වෙන ගින්නකින් ආදිත්‍යා දවසේ ම පිච්චුණා ය. සිය සැමියා ගෙන් ප්‍රතික්ෂේප වීම තරම් දරන්නට බැරි යමක් ගැහැනියක ට තව නැති තරමි. සඳසීලි කීවා සේ ම මේ සියල්ල මෙතනින් ම කෙළවර කර ගන්නට තිබෙනවා නම් හොඳ ය. නමුත් මොන හේතුවක් නිසාවත් මින්දුල ව සිය ජීවිතයෙන් ඈත් නො කරන්නට ආදිත්‍යා ස්වයං පොරොන්දුවක් වී හිටියා ය.

“ඇයි ඔයාගෙ ඇස් ඉදිමිලා…”

එදා දවල් විකුම් පායට පැමිණි ආමන්තා, සඳැල්ලේ බිම හිඳ ගෙන සොයුරිය විචාලා ය. ආදිත්‍යා සිනහවක් නගා ගත්තා ය.

“පළවෙනි බබාටම මෙහෙම වුණහම අම්ම කෙනෙක්ගෙ ඇස් කොයි වෙලෙත් ඉදිමිලා තමයි නංගි”

“හිතන්නෙපා අක්ක. අපි මේකත් එක්කම යමු. වෙන මොනා කරන්නද…”

ආමන්තා සොයුරිය ගේ අතක් පිරිමැද්දා ය. නමුත් ඇගේ හිත පිරිමැද සුව කළ නො හැකි තරමින් තුවාල වී ඇති බවක් ඈ සිතුවේ නැත. කෙසේ වෙතත් විකුම් හා ආදිත්‍යා අතරේ, මින්දුල ගේ අසනීප තත්වය මත ගැටළුවක් වන බව ඇය අනුමාන කළා ය.

මින්දුල හිටියේ සෙල්ලම් කාර් එකක රෝද කරකවමින්, කැරකෙන ඒ රෝද දෙස බලා ගෙන ය. මොන තරම් සෙල්ලම් බඩු ගෙනැවිත් දුන්න ද ඔහු ඒවායින් සෙල්ලම් කරන්නේ නැති බව ආදිත්‍යා නිරීක්ෂණය කොට තිබෙන්නී ය. එක ම කාරයක් අතේ තියා ගෙන එහි රෝද කැරකෙන හැටි බලා ගෙන හිඳී.

“මේ දරුව දිහා බලං ඉන්නකොට බඩ පපුව දාල යනව නංගි”

ආදිත්‍යා ගේ හඬ බිඳිණි.

“විකුම් ට ඇයි අනුකම්පාවක් ආදරයක් නොදැනෙන්නෙ කියල මට හිතා ගන්න බෑ”

හිතට දැනුණ දේවල් කීවා නම් අක්කා ගේ හිත රිදෙන බව දන්නා නිසා ආමන්තා කිසිත් කීවේ නැත. ආදිත්‍යා ඉවසුවාට මේ වගේ තත්වයකදී ඇය නම් මේ වාගේ ඉවසන්නේ නැති බව ආමන්තා දනී.

“කාගෙන්වත් වැඩක් නෑ. අපි කොල්ලව සනීප කර ගමු. ම්…”

අක්කා නගෝ හැන්දෑවේ පන්සල් යන්නට සූදානම් වූහ. ආදිත්‍යා කැබ් රථයක් ගෙන්වූවා ය.

“ආදිත්‍යාට කොහෙ හරි යන්න ඕනනං මට කියන්න. මං එක්කං යන්නං”

ඒ දැක සේනක විජයවික්‍රම ලේලිය ගේ මූණට එබී ගෙන කීවේ ය. ආදිත්‍යා සිනහවක් පෑවා ය.

“තාත්තට කරදර කරන්න බෑනෙ ඉතිං. පුතාගෙ තාත්තටත් පුතාව කරදරයක් වෙලා තියෙන එකේ”

“ළමයො. මට ඔයා කරදරයක් නෙවෙයි”

සේනක ගේ හඬ පවා දැන් බෙහෙවින් වෙනස් යයි ආදිත්‍යා ට සිතිණ. නමුත් ඕ සිය නැගණියට දැනෙන සේ වෙනසක් පෙන්වීමෙන් වැළකී සිටියා ය.

ඔවුන් ගියේ බෙල්ලන්විල පන්සලට ය. හැන්දෑවට දරුවා ව වැව්තාවුල්ලේ ඇවිද්දවන්නට ඕනෑ වූයේ ආමන්තා ට ය.  මකර තොරණෙන් විහාරයට ඇතුළු වෙනකොට ම දුටු දසුන ආදිත්‍යා පුදුමයට පත් කරවී ය. අසල්වැසි සිනහ නොවෙන ඇස් ඇත්තා තරුණ තරුණියන් කිහිප දෙනෙකු සමග විහාරයෙන් පිට වීමට පැමිණෙමින් සිටියහ. ඔවුන් ගේ ඇස් හමු වූ ගමන් ආදිත්‍යා සිනහ වූවා ය. නමුත් දුමාල් ගේ මුහුණේ එතෙක් වූ සිනහවත් පැන ගිය සෙයකි.

ඔහු ගේ දෙපා තරුණියන් ඉදිරියේ නැවතිණි. ඔහු වට පිට බැලුවේ ය.

“පන්සල් ආවද…”

ආදිත්‍යා කතා කළේ එසේ නොකර හොඳ නැති නිසා ය. දුමාල් ඒ නොළ පාට ඇස් දෙක දෙස කෙලින් බැලුවේ ය.

“තනියමද ආවෙ…”

“නංගි එක්ක”

ආදිත්‍යා ආමන්තා දෙස බැලුවා ය.

“අපි එහෙනං ඇතුළට යන්නං”

ආදිත්‍යා පියවරක් ඉදිරියට තැබුවා ය.

“යන්නෙ කොහොමද ඕගොල්ලො…”

පපුවේ මොකක්දෝ කම්පිත බවක් ඇති වෙනවා ආදිත්‍යා ට දැනිණි.

“කැබ් එකක”

ඇය මන්දහාස මලක් පෑවා ය.

“ඉන්න”

කියූ ඔහු මිතුරු පිරිවර වෙත ගොස් ඔවුන් ව යවා යළි තරුණියන් වෙත ආවේ ය.

“වැඳල එන්න. මාත් එක්ක යන්න පුළුවන්”

“අනේ එපා. ඔයා යන්න. කොහොමත් අපි පරක්කු වෙයි. පුතා එක්ක ටිකක් වැව ළඟ ඉඳල තමයි යන්නෙ”

“ඉතිං ටිකක් පරක්කු වුණාට මොකද පිරිමි ළමයෙක්ට. නේද අයියෙ…”

ආමන්තා මැද්දෙන් පැන්නා ය. ආදිත්‍යා ඇය ට රැව්වත් දුමාල් විතානාච්චි ගේ අහංකාර මුහුණ මත උපන්නේ සිනහවකි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත -22

දොර හැරි ගමන් ආදිත්‍යා කළේ යටිගිරියෙන් කෑ ගසනා එක ය. ඇය දෙතුන් වරක් එසේ කෑ ගැසුවා ය. ආමන්තා ඇඳෙන් බැස ඈ වෙත...

බබ්බු බැලිල්ල.

නාලිකා කාර්යාල මේසය උඩින් අත් බෑගය තිබ්බේ සද්දේ ඇහෙන්න.ඊටත් පස්සේ වටේම බැලුවේ කවුරුහරි ඒකට හේතු අහයි වගේ.කාවින්දිට හිනා යන්න ආවත් හිනාව හංගාගෙන...

මීදුම් මාරුත -19

"සකුණ භාවනාගෙන් බ්‍රේකප් නේද?"උදාරා එසේ අසද්දී කාව්‍යා සුසුමක් හෙළුවා ය.නංගී ප්‍රේමයකින් පැරදීම මහා කාරණාවක්ව නොගන්නා බව ඇය දනියි.නමුත්...

මතක දිගහැරුම 75 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ පස්වන දිගහැරුම ,දරුවන්‍ට ඉතා හොඳ අධ්‍යාපනයක් ලබාදීම සඳහා ඔවුන්ව හොඳ පාසලකට ඇතුළත් කිරීම අපගේ ඊළඟ අරමුණ විය.ඒ...

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content