දරු දෙදෙනාත් සමගම ජීවිතේ දිනූ මහ මග පවිත්‍ර කළ දිරිය මව

ජීවිතය තුළ සිහින සැබෑ කර ගන්නා හැම ගැහැනියක්ම වීරවරියක්. අතිශය අසීරු තැනක සිට ජීවිතයේ හිනි පෙත්තටම යන ගැහැනුන් සැබෑ Smart කාන්තාවන් ලෙස හඳුන්වන්නට පුලුවන්.

රූ රැජිනියන්,ගීත කෝකිලාවන්,නිළියන් වැනි තරු අතර ඉන්දීය මාධ්‍ය අලුතෙන් ම කතාබහ කරන කාන්තාව,ආශා කන්දරා නම් වෙනවා.ඇය සුවිශේෂී වන්නේ සාම්ප්‍රදායික ආගම් සහ කුල භේද වලට හසු නොවී ඇගේ ගමනක් යාම නිසා.

ආශා එකල සනීපාරක්ෂක කම්කරු සේවිකාවක්.අද ඇය ඉන්දීය පරිපාලන සේවයට අයත් නිලධාරිනියක්.පරිපාලන සේවයට එක් වන විට ආශාගේ වයස අවුරුදු හතලිහක්.

ආශා ජීවත් වූයේ රාජස්ථානයේ යි.ජෝදපූර් මහ නගර සභාවේ සනීපාරක්ෂක කම්කරු සේවිකාවක ලෙස කටයුතු කළ ඇගේ ජීවිතය කොහොමටත් පහසු එකක් වුණේ නැහැ.ඒ ඇගේ සැමියා ඇය අතහැර දමා තිබූ නිසා.සැමියා ඈ අතැර දැම්මාට ඇයට දරුවන් අතැර දමන්නට හැකි වූයේ නෑ.ආශා සනීපාරක්ෂක කම්කරු සේවිකාවක වී උපයා ගන්නා මුදලින් දියණියන් පෝෂණය කරන්නට සමත් වුණා.දරුවන්ගේ අධ්‍යාපනය ගැන දැඩි ලෙස සැලකිලිමත් ඇයට වැඩිදුර ඉගෙනීමට ආශාවක් පහළ වන්නට ඇත්තේ ද දියණියන් දෙදෙනා නිසා වන්නටත් ඇති.

ආශා දිවා කාලයේදී රාජස්ථානයේ මහා මාර්ග පිරිසිදු කළා.රාත්‍රියේදී ඇය අධ්‍යාපන කටයුතු වල නිරත වූවා.කාලයක් තිස්සේ අධ්‍යාපනය මඟ හැරුණු ගැහැනියකට එය පහසු දෙයක් වන්නේත් නැහැ.නමුත් ඇය පසුබසින්නට සතුටු වූයේත් නෑ.මහන්සි වී අධ්‍යාපන කටයුතු හැදෑරු ඇය පියවරෙන් පියවර විභාග සමත් වී උපාධිය සම්පූර්ණ කරගන්නට වග බලා ගත්තා.

වඩාත් අසීරු පියවර ඉන්පසුවයි.ඇය පරිපාලන සේවා විභාගයට පෙනී සිටියා.විභාගය අදියර දෙකකට පැවැත්වූ අතර එහි ප්‍රතිඵල ලබා දීම ද එක් හේතුවක් නිසා ප්‍රමාද වුණා.ඒ කොවිඩ් වසංගතය හේතුවෙන්.මේ ඉතා මෑතකදී ප්‍රතිඵල නිකුත් වූ අතර ඇය විභාගය ඉහළින්ම සමත් වී තිබෙනවා.මෑතක් වන තුරුම පාර අතුගාන කම්කරු ගැහැනියක වූ ආශා ඉතා නුදුරේදීම වගකියයුතු තනතුරකට පත් වන්නට නියමිතයි.

ඇයට බොහෝ මාධ්‍ය සාකච්ඡා වලට ආරාධනා ලැබී තිබුණා.ආශා ඒ මාධ්‍ය හමුවලට සහභාගී වී තිබුණේ ඉතාම ආත්මාභිමානයකින් යුතුවයි.

“මිනිස්සු ඔබට ගල් ගසනවා නම් ඒ ගල් එකතු කර පාලමක් හදන්න.මා වැනි කාන්තාවක් එසේ කළානම් ඔබට එය නොහැකි බව මම සිතන්නේ නැහැ.”

මාධ්‍ය සාකච්ඡාවකදී ඇය එසේ පවසා තිබුණා.

ආශා කන්දරා පවසන අන්දමට ඇගේ පියා හොඳින් අධ්‍යාපනය ලැබූ අධ්‍යාපනයේ වටිනාකම දන්නා මිනිසෙක්.ඔහුගෙන් ලැබුණු ආභාෂය ද ඇයට අධ්‍යාපනය ලබන්නට හේතු වන්නට ඇති.ඔහු අඩු පහසුකම් යටතේ අධ්‍යාපනය හදාරා ඉන්දියානු සංස්ථාවක ගණකාධිකාරිවරයෙකු බවට පත් වූ කෙනෙක්.කුමක් හෝ පෞද්ගලික හේතුවක් නිසා කාලයක් තිස්සේ අධ්‍යාපනය මඟ හැරී ජීවිතයේ විවිධ ගැහැට වලට ලක් වෙමින් සුළු සේවිකාවක ලෙස ජීවත් වන්නට සිදු වුණත් ආශා ඇගේ සිහිනය සැබෑ කර ගත්තා.

“මම පරිපාලන සේවය තෝරා ගත්තේ මම වගේම අඩු වරප්‍රසාද ලත් අයට උදව්වක් වෙන්නට හිතාගෙන”

ගැහැනියකගේ ශක්තියට කළ නොහැක්කක් නැහැ.ආශා කන්දාරා අපට හෙළි කරන්නේ ඒ කතාවයි.අධ්‍යාපනය ලබන්නටත් එහි හිණි පෙත්තටම ළඟා වෙන්නටත් ඔබ කිසිම මොහොතක ප්‍රමාද නැති බව ඇගේ කතාව අපට යළි යළිත් සිහි කරනවා.

අපි කිසිම මොහොතක යහපත් දේ කරන්නට ප්‍රමාද නැති බව අමතක කරන්න එපා.

More Stories

Don't Miss


Latest Articles