සඳ ගංතෙර -63

චාන්දනී කාමරයේ බිම වැටී සිටියා ය. උඩුකුරුව වැටී සිටි ඇය දකිද්දී විහස්ට ඇති වූයේ බියකි. ඕනෑවට වඩා බොහෝ දේ ඔහු අම්මා සමඟ පැවසී ය. 

ඇයට ඒවා දරා ගන්නට නොහැකි වූයේ ද?

අම්මා ඔසවා යහනෙන් තැබූ වහා ඔහු කළේ අම්මාගේ බෙහෙත් බෝතල් පිරික්සීම ය. ඕනෑම දෙයක් ඕනෑම මොහොතක වන්නට හැකියාව තිබේ. නමුත් ඒවා හිස්ව තිබුණේ නැත.

“ඕයි! අම්මව හොස්පිටල් ගෙනියන්ඩෝන. හොඳටම ප්‍රෙෂර්.”

වෛද්‍ය සිසුවා පරදා අම්මාගේ පුතා කෑගසන්නට විය. මෙවැනි මොහොතක සහස් කලබල වේ. විහස් වහා වාහනය ගත් අතර කෑගසන සේවිකාව ද අම්මා ද වාහනයට දමා ගන්නට ගත වූයේ මිනිත්තු ගණනකි.

“අම්මට ප්‍රෙෂර් නගින්න මොකද වුණේ? තමුසෙ අද මොකක් හරි ලෙඩක් දාන් පොලිසිවත් හිටියද?”

සහස් ඇසුවේ චාන්දනී වෛද්‍ය භාරයට ගෙන රෝහල් කාමරයට ද දැමීමෙන් පසුව ය. විහස් බැල්මක් හෙළුවා මිස පිළිතුරු දෙන්නට නොගියේ ය. මේවාට පිළිතුරු දීම පලක් නොවේ. නෑසුණු ගාණට සිටීම පහසුවකි.

වහවහා පැමිණි කමල් ද තමන්ගේ දැනුම වෙනුවෙන් අම්මා අසල රැඳෙන සහස්ට ද ඉඩ දී විහස් රෝහල් කොරිඩෝවේ සක්මන් කරන්නට පටන් ගත්තේ ය. ඔහුට දැනෙන්නේ වේදනාවකි. ඕනෑ නැති කතා අම්මාට නොකියා ඉන්නට තිබිණ.

සඳරැස්ගේ දුරකථනය නාද වෙද්දී රාත්‍රී තුන ද පසු වී තිබිණ. ඔහු උඩ ගොස් බිම වැටිණ.

විහස්!

විහස් මල්ලී වූයේ දැන් පැය කිහිපයකට කලින් ය..ඊට පෙර සත්සර කියන්නේ මොන තරම් නසරානි කොල්ලෙක් ද යන බව ඔහු හොඳින් දැන සිටියේ ය. මත් වී රිය පදවන්නට ගොස් මේ මොහොතේ පොලිසියක කල් මරන ගමන් මේ ඇමතුම වෙනවාට සැක නැත. නැතිනම් මත් වීම වැඩි වී රිය පදවන්නට නොහැකිව එන ඇමතුමක් වන්නට ද ඉඩ තිබේ.

“ඒ ගමන මොකක්ද උඹ දාගත්ත ලෙඩේ? මොන ලෙඩේ දාගත්තත් මම එන්න හෙට උදේ.”

සඳරැස් එහෙම කියමින් ඇමතුම සමඟ සම්බන්ධ වූයේ ය. නමුත් විහස් කතා කළේ නැත. නිහඩතාවයක් පැතිර යමින් තිබිණි.

“අයියේ!”

ඔහු එහෙම කියන පළමු වතාව ය. සමහර විට ඔහු මුළු රාත්‍රිය පුරාම මේ ඥාතිත්වය ගැන කල්පනා කරන්නට ඇති බව සඳරැස්ට සිතිණ. ඔහු විජේවර්ධන පවුලට අයත් බව කීවාට සඳරැස් සහෝදරයා බව දන්නා වගක් කීවේ නැත. නමුත් ඔහු එය බව දැන සිටින්නට ඇත .

“අපේ අම්මා හොස්පිටල් ඇඩ්මිට් කරා. එයාට අමාරුයි.”

වසර ගණනාවකට පෙර ඇයට තුරුළු වී නින්දට වැටුණු දවස් සඳරැස්ට හදිසියේ සිහිපත් වූයේ  ය.

නුඹේ අම්මා කොතැන ගියේ

මානෙල් මල් විලට ගියේ ..

ඒ විල මැද පිරුණු දියේ

දුකට හැඬුව කඳුළු තියේ..

ඇය තමන් අත් හැර ගිය පසු ඒ වේදනාවට එක් දවසක් හෝ හඬන්නට ඇතිදැයි සඳරැස්ට සිතේ. සංගීත ගුරුවරියක වූ අම්මාගේ මියුරු කටහඬ ඔහුගේ දෙසවන් වල දෝංකාර දෙන්නට විය.

“මල්ලි, උඹලගෙ අම්මට අමාරුද?”

තවමත් ඇයට අම්මා යැයි කියන්නට ඔහුට නොසිතේ. නමුත් ඇය අසනීපයෙනි. තාත්තා හදිසි හෘදයාබාධයකට ලක්වූ මොහොතේ ඇති වූ කම්පනයම සඳරැස්ට දැනේ.

 කන්දෙන් කන්දට පැනලා

ඇඟ ලේ කැටි කිරි කරලා..

රන් තැටියේ පුරවාලා

කිරි අරගෙන එයි අම්මා..

කන්දෙන් කන්දට පනින්නට ගොස් ඇය නැවත පැමිණියේ නැත.ඇය එක් කන්දක තමන්ගේ නිවස්නය සාදා ගත්තා ය. නමුත් අම්මා ඇඟ ලේ කිරි පොවා එක්තරා කාලයක් තමන්ව රැක බලාගත් වග ඔහු නැවත නැවතත් සිහි කළේ ය.

“ගෙදර ඉන්න ඩොක්ට නම් කිව්වේ ප්‍රෙෂර් වැඩි වෙලා කියල.. නෑ. ඩොක්ටලා කියන විදියට හාට් කේස් එකක්.”

ජීවිතය තුළ කළ කී දේවල් ඇගේ හදවතේ නිදන් වී තිබෙන්නට ඇත. ඒ වේදනාවන් ඇගේ හදවතට දරාගන්නට නොහැකි මොහොතක් මොහොතක් එළඹෙන්නට ඇතැයි සඳරැස්ට සිතේ. ඒ වේදනාවම ඇය රෝගී කරන්නට ඇත.

“උඹ ළඟ සල්ලි තියද?”

මිතුරෙකුට කරදරයක් වූ වහා සඳරැස් අසන්නේ ඒ ප්‍රශ්නය ය. නමුත් කෝටිපති පවුලක පුතෙකුගෙන් එය අසා ඵලක් නැත.ඊළඟ ප්‍රශ්නය අසන්නට ඔහුගේ දිව නොනැමෙන තරම ය. නමුත් සඳරැස් ඒ ප්‍රශ්නය ඇසී ය.

“උඹ ගාවට එන්න ඕනද?”

විහස්ට ඕනෑ වූයේ එය ය. වෛද්‍ය කාරණා කියමින් කිසිම ළතෙත් බවක් නැතිව හැසිරෙන සහස් සමඟ මේ වේදනාව බෙදා ගන්නට ඕනෑ නැත. ඇත්තටම මෙතැන සඳරැස් පමණක් නොවේ. තාරුකා අක්කා පවා ඉන්නවානම් මහත් සහනයකි. නමුත් එපමණ කරදරයක් කරන්නට අසීරු ය.

“උඹට පුලුවන්නම්”

විහස් එසේ කියද්දී සහෝදරකමින් සඳරැස්ගේ හදවත බරව ගියේ ය. තාත්තා අසනීප වූ මොහොතේ අක්කා ගලක් වී නොසැලී සිටියා ය. බිංදුවටම වැටුණේ සඳරැස් ය. පවුලේ බාලයා මෙවැනි මොහොතක අයිස් කුට්ටියක් වී දිය වන්නට පටන් ගනී.

“සල්ලි තියනවද වගේ ප්‍රශ්න උඹෙන් අහලා වැඩක් නෑනෙ. මං එන්නං. කරන්න තියන දේවල් ඩොක්ටස්ලා කරයි. උඹේ තනියට මං තව පැය බාගෙන් ඔතන.”

සඳරැස් පිළිණ දුන්නේ ය. වහා සූදානම් වූ ඔහු ඉන්පසු ගොස් අක්කාගේ කාමරයට තට්ටු කළේ ය. අක්කාට බොරු කියන්නට ඕනෑ නැත.

“ඔයා කොහෙ යන්නද මේ රෑ?”

දැන් සඳරැස්ට මහ රෑ එන්නැයි අණ කරන කෙල්ලන් නැත. මිතුරෙකු ගැටළුවක වන්නට ඇතැයි තාරුකා සැක කළා ය. සඳරැස්ගේ මුහුණ අඳුරින් පිරී තිබේ. නිදිගැට කඩමින් ආ දුලාජ් ඔහු දෙස බැලුවේ විපරමිනි.

“විහස්ලගෙ අම්මා ලෙඩ වෙලා. හාට් කේස් එකක් කියලා ඩොක්ටස්ලා කියන්නේ. ඌ අවුලින්.මට ඌ ගාව ඉන්නෝන.”

තාරුකාගේ දෑස් මතින් සට සට ගා කඳුළු වැටෙන්නට විය. ඇතැම්විට මේ එළඹ ඇත්තේ අවසාන අවස්ථාව විය හැකි ය.

“මමත් යන්නද?”

ඇය දුලාජ්ගෙන් ඇසුවේ අයදින ස්වරයකිනි. දුලාජ් බිරිඳගේ හිස සෙමින් අත ගෑවේ ය. මෙවන් මොහොතක් එළඹෙන බව ඔහු දැන සිටියේ ය. ඒ කවදාදැයි නොදන්නා නමුත් දැන් ඒ මොහොත පැමිණ තිබේ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles