සඳ ගංතෙර – 47

“ඔයා දන්නවද සත්සර කියන්නේ කවුද කියලා?”

සත්සර හමු වූයේ අද වුවත් දුලන්‍යා ඔහු ගැන බොහෝ දේ අසා තිබුණා ය. සඳරැස් සෑම මොහොතකම ඔහු ගැන කතා කළේ ආදරයෙනි. කාලයකට පසු තමන්ගේ තාලයට හරියටම ගැළපෙන මිතුරෙකු ලැබීමේ සතුට ඔහුට තිබිණ.

“පොඩි ඒජ් ගැප් එකක් තිබුණට මගෙ වයිබ් එකට මාර විදියට සෙට් වෙන කොල්ලා. කිසි කුහකමක් නෑ.”

සඳරැස් තිස්සේම එහෙම කියයි. ඇත්තටම ඔහුට තමන්ගේ ආදරයත් සමඟ හොඳම හොඳ යාලුවෙකු ද ලැබීමේ ප්‍රීතිය දුලන්‍යාට තිබිණ.

ජීවිතය මිහිරෙන් පිරෙන්නට මිත්‍රත්වයක් ඕනෑම ය. ඒ තරමටම ආදරය ද ඕනෑ ය. සඳරැස්ට ඒ සියල්ල ලැබී තිබේ. ඒ හන්දා ඔහු දැන් සඳ එළිය සේ නිවෙන්නට ද පටන්ගෙන තිබිණ.

“නංගි සත්සර කියන්නේ විහස්ට. කෙටියෙන් කිව්වොත් සහස්ගෙ ට්වින්”

දුලන්‍යා ඉද්ද ගැසුවා සේ සිට ගත්තා ය. ඒ ඕනෑවට වඩා බර කතාවකි. ඇය අක්කා දෙස පුදුමයෙන් ද කෝපයෙන් ද බලා සිටියා ය.

“බලන් ගියහම අක්කේ, මේ මිනිස්සු පවුල් පිටින් අපිව රවට්ටනවනෙ. අපි සත්තු කියලද හිතේ.”

ඇය අසන්නේ කෝපයෙනි.දැන් පැයකට පමණ ඉහතදී පවා විහස් සමඟ මිත්‍රත්වයක් සහිතව කටයුතු කිරීම ගැන ඇයට කෝපයක් දැනේ. ඒ රැවටීම ඕනෑවට වැඩි ය.

“නෑ නංගි.”

තාරුකා එරෙහි වූවා ය. ඇය අනතුරුව විහස්ගේ ආගමනය ගැන කියන්නට පටන් ගත්තා ය. දුලන්‍යා අසා සිටියේ අවිශ්වාසයෙනි.

“එකට මාස නවයක් අම්මගෙ බඩේ හිටියේ සහස් එක්කනම් එයාට අපේ අයියවයි ඔයාවයි සහස්ට වඩා හොඳ වෙයිද අක්කා.”

අවිශ්වාසය නරක නැත. එහෙත් ඕනෑවට වඩා අවිශ්වාසය ද තේරුමක් නැත. තාරුකා ඒ ගැන හොඳින් දන්නී ය.

“අම්මා ඔයාව මුණ ගැහෙන්න ආවේ අපිව දිනා ගන්න. විහස් මල්ලිට ළං වෙලා ඉන්නෙත් අපිව දිනා ගන්න. ඒත් එතන පැහැදිලි අරමුණු දෙකක් තියනවා සුදූ. අම්මා ඉන්නේ අතීතෙ ගැන ළතැවිල්ලෙන්. වේදනාවෙන්. ගත්තු තීරණ ගැන දෙගිඩියාවෙන්.”

එහෙත් විහස් බොහෝ කාලයක් ජීවිතය තනිව ගෙවා දමා තිබේ. අම්මාගේ වැඩි ආදරය නිවුන් සහෝදරයා අහුරු පිටින් හිමි කරගන්නා අයුරු දකිද්දී තාත්තාගේ ටොන් ගණනක ආදරය පවා ඔහුට නොදැනිණ. විජේවර්ධන සමූහ ව්‍යාපාරය දවසින් දවස ඉහළට රැගෙන යන්නේ ඔහුගේ ප්‍රායෝගික බුද්ධියෙනි. නමුත් ඒ ව්‍යාපාර දියුණුව අන්තරාදායක මත්ද්‍රව්‍ය විකුණමින් අත් කරගන්නක්දැයි පැහැදිලි නැතැයි සහස් නින්දා කරයි. හොඳින් ඉගෙන ගත් තමන්ට වඩා පන්තියේ අන්තිමයාගේ තැන වෙන් කරගත් විහස් ව්‍යාපාරයක් පාලනය කරන අන්දම ඔහුට පුදුම ය. ඒ පුදුමයෙන් චාන්දනී විජේවර්ධන පවා අවුල් කර දමන්නට සහස් කැමති ය. ඉතින් විහස්ගේ ලෝකයේ හිස්තැන් තිබේ.

“අම්මාගේ ආදරේ පැහැදිලි උල්පතක් වගේ පිරිසිදු වෙන්නේ නෑ නංගි හැම වෙලාවෙම. අම්මා කියන්නෙත් ගෑනියෙක්. මනුස්සයෙක්. සාමාන්‍ය මිනිස් සිතුවිලි තමයි අම්මලාටත් එන්නේ.”

ඒ හන්දා තමන්ගේ පහසුව සහ සැනසීම සොයා ගන්නට ගැහැනියකට අයිතිය තිබේ. ආදරය පමණක් තෝරාගෙන ජීවිතය දිග ඇවිද යන්නට චාන්දනී තීරණය කළේ ඇයට වඩා වසර ගණනාවක් බාල කමල් විජේවර්ධන සමඟ සැඟවී යන්නට තීරණය කරමිනි. කමල් එවකට කඩයක බිල් ලියූ කොලුවෙකි. ඔහුට මඟ පෙන්වූයේ ඇය ය. නමුත් ඔහු ඒ මාවතේ වඩා විශ්වාසයෙන් ඇවිද ගියා ය.

“අපේ තාත්තට මහ සල්ලියක් නෑ. ඒත් තාත්තා ප්‍රින්සිපල් කෙනෙක් හැටියට විශ්‍රාම ගිය කෙනෙක්. පළාතෙ වැදගතෙක්. කමල් අංකල්ගෙ සල්ලිවලට කරන්න බැරි සමහර දේ තාත්තගෙ සමාජ සම්බන්ධතා හන්දා සිද්ධ වුණා. මේ ලංකාවනෙ පැටියෝ. අපේ රටේ තාම තියනවා උගත්කමට සැලකිල්ලක්. සල්ලිවලටයි දේශපාලන බලේටයි හෝයියා කියන මිනිස්සු අල්ප බව දන්න හන්දනෙ උගත් පරම්පරාවකට රට හදන්න ඉඩ දෙන්න කියලා අපේ තරුණ පරම්පරාව අරගල කරන්නේ.”

ස්මාර්ට්ලේඩි වෙබ් අඩවියේ නවකතා අතරින් ප්‍රියතම නවකතාවක් වූ අකල් වැහි දුලන්‍යාට සිහි විය. ඒ සිතිජ අන්දමේ කොලුවෙකුට ආදරය කරන්නට ඇයට අසීරු ඔහුව රට වෙනුවෙන් දී ඉවසීමෙන් බලා හිඳින්නට අසීරු හන්දාම ය.

“ආදරේ කියන සාධකේට කමල් අංකල් ගාවට ගියාට අම්මට උගත්කම ගැන කොටස අමතක කරන්න අමාරු වෙන්න ඇති. හැමදාම පන්තියේ පළවෙනියා වෙලා මෙඩිසින් ගිය පුතාට පණ වගේ ආදරේ කරලා කළු තාරා පැටියා මිස් කරන්න අම්මට හිතෙන්නේ ඒකයි. විහස් ඒ ලෙවල්ස් සබ්ජෙක්ට් තුනම ෆේල් කොල්ලෙක්. එතනින් එහා ප්‍රයිවෙට් ඩිග්‍රි එකකටවත් උනන්දු වෙලා නෑ. මම සයන්ස් ඩිග්‍රි එකක් තියන කෙල්ලක්. මල්ලි ඉන්ජිනියර් කෙනෙක්. අම්මා තාත්තා නිසා අහිමි වුණු කොටස තාම හොයනවා.”

තාරුකා තරම් විශාල ජීවන දර්ශන කුඩා දුලන්‍යාට නොවේ. ඇය විහස් ගැන සහ චාන්දනී ගැන සඳරැස්ට කියන්නට සිතුවා ය. නමුත් විහස් ගැන කියන්නට ඇයට ද දුකක් දැනේ. විහස් ආවේ තනිකම මකාගන්නට ඇති හොඳම මාවත හොයා ගන්නටනම් ඔහු අසරණ කර දැමීම නරක වැඩකි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles