පෙමාතුර -29

අපේ උදෑසන තේ මේසය කඩිනම් එකකි. එය විවේකී එකක් වන්නේ සති අන්තයේ දී පමණකි. මා හා අම්මා නිවී සැනසිල්ලේ තේ බීව ද පුංචි නම් සතියේ දින පහේ ම උදෑසන තේ එක බොන්නේ දුවමිනි. උදේ කෑම පිළියෙල කරමින් හා විවේක වෙලාව වෙනුවෙන් ගෙන යන කෑම එක සූදානම් කරමිනි.

“අපේ මහත්තය තේ බිව්වද දන්නෑ”

හදිසියේ ම ඉෂිනි කී කතාවෙන් මගේ හදවතේ ක්ෂණික නතර වීමක් විය. සනෝජා පුංචී නම් පාන් ටෝස්ට් කෑම පෙට්ටියට දමා සර්වියට් එකෙන් ඔතන අතරේ ඇගේ මඳහසින් දෙතොල් පොපියා ගෙන සිටියා ය. 

“ඒක මහ මෝඩ අයිතිවාසිකමක්”

මඳ නිහැඬියාවකට පස්සේ එසේ කීවේ නදීරා ය. 

“සාමාන්‍යයෙන් එහෙම කියන්නනං කසාද අයිතියක්වත් තියෙන්න ඕන”

“අනික ඊයෙ ඉෂිනි හැසිරුණ විදිහ මමනං අනුමත කරන්නෑ”

පුංචි සිය අදහස එළියට දමන්නට ඇත්තේ ඊයේ නුවර සිට කොළඹට එන තුරු මෝටර් රථයක පිටුපස අසුනේ හිර වී පැමිණි පීඩනය බැහැර කිරීමක් වශයෙන් වන්නට පුළුවන.

“මොනා වුණත් අපි පිට මිනිස්සුනෙ. අර කොල්ල මාර ඉවසීමක් ඉවසුවෙ. ආදරේ කරනව කියන්නෙ එහෙම ප්‍රෙශර් එකක් දාන එකට නෙවෙයි ඉෂිනි”

“ඉතිං අනේ…එහෙම නොකළනං එයා මාව එක්කං එන්නෙ නෑනෙ”

ඉෂිනි හුරතල් වෙන්නට හැදුවා ය. මගේ තේ මග් එකේ දාරය දිගේ අතැඟිල්ලක් දුවවමින් මම බලා සිටියෙමි.

“අපි ඔක්කොම ගෑනුනෙ. අනික මෙතන විසල් නැති නිසා මං කියන්නං. එහෙම බලහත්කාරයක් පෙන්නනකොට පිරිමින්ට ගෑනු එපා වෙනව බං”

මේ වෙලාවේ නදීරා එසේ පැවසීමෙන් අදහස් වන්නේ එක කාමරයක් බෙදා ගත්තා ට පෙර දා රාත්‍රියේ ඇය හා ඉෂිනි කතා බහකට නොයාම ය කියා මම අනුමාන කළෙමි. ගමන් වෙහෙස නිසා ඔවුන් කතා නොකොට ම නින්දට වැටෙන්නට ඇත. 

“එහෙම නැතුව පිරිමින්ව පාලනය කර ගන්න බෑ අක්කි. ඕනවට වඩා බුරුල දුන්නහම පිරිමිත් පොඩි ළමයි වගේ තමයි..නරක් වෙනවයි කියලයි මටනං අපේ අම්ම කියල තියෙන්නෙ”

“හරි හරි. එහෙනං එහෙම කරල බලහංකො”

කියා ගෙන නදීරා හිස් තේ කෝප්පය ගෙන කුස්සියට ගියා ය. අම්මා තවමත් මේ ගැන වදනයකුදු කතා කළේ නැත. ඇය සාමාන්‍යයෙන් එහෙම ය. අනුන් ගේ දේකට අත්‍යවශ්‍ය ම වෙලාවක මිස කතා කරන්නට යන්නේ නැත.

“අනෝජා ආන්ටි කැමති කිසා කොහොම යකනෙක් මැරි කරනවටද..”

ඉෂිනි හදිසියේ ම සිය අවධානය මවෙත යොමු කිරීම ගැන ගැස්මක් මා තුළ ඇති විය. 

“එයා කැමති කෙනෙක්”

අම්මා වහා පිළිතුර ලබා දුන්නා ය. ඒ වගේ අදහසක් හදිසියේ පහල වන්නට පුළුවන් කමක් නැත. ඒ අදහස කාලයක් තිස්සේ ම අම්මා තුළ තිබෙන්නට ඇත. 

“ඒක තමයි”

ඉෂිනි සිනහවෙන් පිරී යන්නට හේතුව මට සිතා ගත නොහැකි විණි.

“අපේ අම්මල වුණත් එහෙමනෙ හිතන්නෙ. විසල්ට මං කැමතිනං එච්චරයි”

අම්මා ගේ මුහුණේ අනුකම්පා සහගත සිනහවක් ඇඳිණි.

“විසල්ගෙ කැමැත්තක් නැතුව ඒ කැමැත්තට වටිනකමක් නෑ පුතා. මං කියන්නෙ මැරි කරද්දි. එහෙම නැත්තං ඔයාට පුළුවන් මේ ලෝකෙ ඕනම කෙනෙක්ට ආදරේ කරන්න. ඒකට ඔයාට කාගෙන්වත් අවසර ගන්න ඕන නෑ. හැබැයි මැරේජ් එකක් කවදාවත් සාර්ථක කර ගන්න බෑ එක්කෙනෙක්හරි ඒකට අකමැතිනං. ඒක තාම ඔයාට තේරෙන්නෙ නැතුව ඇති. හුඟක් අයට ඒක හරියට තේරුං යන්නෙ එහෙම විවාහයක ටික දුරක් යද්දියි. මොකද ඒ මැරේජ් එකට අකමැති කෙනාගෙ හිත ඕනම වෙලාවක වෙන කෙනෙක් දිහාට ඇදිල යන්න පුළුවන්. එයා කැමති විදිහෙ කෙනෙක් මුණ ගැහුණොත්”

“ඒත් ඉතිං බැඳලනං මුකුත් කරන්න බෑනෙ”

අම්මා සුසුමක් හෙළමින් නිකටේ අතක් තබා ගත්තේ ඉෂිනි ගැන අනුකම්පාවෙනි. ඇය මේ තරම් ම දියාරු සිතිවිලි ඇත්තියක් ද? විසල් ගැන විසල් දුකක් මා තුළ විහිදී ගියේ ය.

“කසාද සහතිකේක අයිතිය කන්නද දරුවො…බැඳීමක් කියන්නෙ ඊට වඩා ලොකු අයිතියක් දැනෙන දෙයක්”

අම්මා හෙමිහිට අසුනෙන් නැගිට ගත්තේ ඉෂිනි වාගේ දැරියක ගේ බොළඳ සිතක් පෑදීම ඇයට පහසු කාරියක් නොවන බව අවබෝධ කොට ගෙන විය යුතු ය. ඉෂිනි මදෙස බලා මෝඩ පන්නයේ සිනහවක් පෑවා ය. මා තුළ ඇති වූයේ දයානුකම්පාවකි. 

“මං දන්නව…ඔක්කොමල මට අකමැතියි. මං ඕගොල්ලො වගේ හිතන්න දන්න ගෑනු ළමයෙක් නෙවෙයි. ඒත් කිසා…ආදරේ කියන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නැති කාලෙ හැමෝම මට විහිළු කළෙ විසල් ගැන කියල. දවසක බඳින්නෙ අපි දෙන්නයි කියල. ඉතින් මට වෙන දෙයක් හිතන්නවත් ඔයාල වගේ හිතන්න ඉගෙන ගන්නවත් ඕන වුණෙ නෑ. එයා ගොඩක් වෙනස් වුණේ කොළඹට ආවට පස්සෙ”

ඇයට මා ඉදිරියේ හිත නිදහස් කර ගැනීමේ ඕන කමක් ඇති වන්නට ඇත. එක අතකට අපි දෙන්නා ම එක ම විදිහේ ගෑනු ළමයින් ය. වෙනසකට ඇත්තේ මා විසල් ගැන පෙමින් ආතුර වූයේ ඔහු දුර හිඳ වීමයි. අනිත් අතට ඒ ප්‍රේමය ඔහු දැන ගන්නටත් පෙර ම ඔහු ට පෙම්වතියක සිටිතැයි මම දැන ගතිමි. අතු පතර විදා රූස්ස ගහක් වන අඹ පැළයක් වුව බඳුනක සිටවූ කල කුරු වන්නේ ය. මූල පද්ධතිය බඳුනේ ඉඩ කඩ තුළ තෙරපී, සීමිත වපසරියක පැළය වැඩෙන්නේ ය. මගේ ප්‍රේමය ද එවන් කප්පාදුවකි. බඳුනක සිටවූ අඹ පැළය සේ මගේ ප්‍රේමය ද මට ඕනෑ ලෙස කප්පාදු කොට මා රිසි පරිදි සකසා ගත්තකි. නමුත් ඉෂිනි ගේ ප්‍රේමය වැඩී තිබෙන්නේ ඉඩ කඩ ඇති මිදුලක අතු පතුර විදා රූස්ස ගසක් ව වැඩුණ අඹ පැළයක් සේ ය. 

“අපිත් එක්ක හුඟාක් ආදරෙන් ඉන්න කෙනෙක් වුණත් එක පාරටම වෙනස් වෙන්න පුළුවන්. කෙනෙකුට එහෙම කරන්න යුතුකමක් කොහොම වුණත් අයිතියක් තියනව. කෙනෙක් එහෙම නොකරන විදිහට එයාව අපි ළඟ රඳෝ ගන්න පුළුවන් එක ම දේ ආදරය”

“ඉතිං අනේ මං ආදරේනෙ. එයා එහෙම නොකරනවට මං මොනා කරන්නද…”

“ඒ ආදරේ එයාට දැනිල නැතුව ඇති”

“සැලෝන් එකට යනවනං ලෑස්ති වෙයං ඉක්මනට”

නදීරා කුස්සියට එබී කීවෙන් ඉෂිනි වහා මේස පුටුවෙන් නැගිට ගෙන ගෙට දිව්වා ය.ඒ දුවන ගමන් මදෙසට හැරී ඇය කී දේ මගේ පපුව දැවුවේ ය.

“එහෙම කරන්නෙ කොහොමද කියල ඔයා මට කියල දෙනවද…”

 මම තව දුරටත් එහෙම ම හිඳ ගෙන සිටියෙමි. සැබවින් නැගිට ගන්නට බැරි ලෙස මා ගල් වී ඇති බවක් තවත් ටික වෙලාවක් ගත වන තෙක් මට දැනිණ.

“එතකොට දැං ඔයා කරන්න හදන්නෙ මොකද්ද…විසල් ගෙ ආදරේ ගැන හිතල එයාට ලං වෙන එකද නැත්තං ඉෂිනි ගෙ ආදරේ ගැන හිතල එයාට ඒ ආදරේ දිනා ගන්න උදව් කරන එකද…”

දවාලේ විරංග හමු වී ඔහු එක්ක මහ මග හිඳ තැඹිලි ගෙඩියක් බොමින් මේ සිදුවීම් ගැන කියත්දී ඔහු ඇසුවේ ය. සැබවින් මම ද මේ වෙත්දී සැබෑ මම හොයමින් සිටියෙමි.

“කිසා…අපිට කාගෙවත් ජීවිත වල ඉරණම ලියන්න බෑ. ඔයාට තේරෙනවද…ටිකක් මහන්සි වුණොත් අපිට අපේ ඉරණම ලියා ගන්න පුළුවන්…”

“මං විසල් ට ආදරේ එක වෙනම දෙයක්. ඒත් මට මේ කෙල්ල පව් හිතෙනව. එයා ගැන දුක හිතෙනව. එයා මගෙ තරඟකාරය කියල තරහක් මට දැනෙන්නෑ”

“ඒ කෙල්ලයි මායි එක බෝට්ටුවෙ තමයි. හැබැයි මන්නං මං ආදරේ කෙල්ල වෙන ගොබිලෙක්ට ආදරෙයි කියල දැන ගත්තහම හිතුවෙ..එයා සතුටෙන් ඉන්නව දැකල සතුටු වෙන්න මට පුළුවන් වෙන්න ඕන කියලයි”

“අනේ විරංග”

මම ඔහු ගේ අත් ගොබය මත සුරත තැබීමි. ඔහු ගැන උපන්, වචන වලින් පහදා කියන්නට නො දන්නා හැඟීම් සමුදායක් මහ රළක් සේ මා වට කොට නැගී සිටියේ ය. 

“ඒ කෙල්ලත් එහෙම හිතුවනං එයාගෙ කොල්ලයි මගෙ කෙල්ලයි දෙන්නම සතුටෙන් ඉඳීනෙ”

“ඔයා මාව අඬවන්න හදනව විරංග”

සැබවින් එය ඇස් තෙත් කරනා නිමේශයකි. ආදරය ඒ විදිහට එක එක හැඩතල මවන්නේ ය. එහි කවර තලයක අප සිටිනවා ද කවර හැඩයක් අප සිටින තැනට පෙනෙනවාද කියන එක අපට විශේෂිත ය.

“නෑ. ඔයා හිනා වෙන්නෙ එයා නිසා කියල මන් දන්නව”

“ඔයා මාර අන්ඩස්ටෑන්ඩින් යාළුවෙක්”

“හ්ම්…යාළුවෙක්!”

යාළුකම් කියන ඒවා යාළුකම් කියනා සීමාව තුල දී තරම් ඉන් පිටත දී කිසි සේත් සුන්දර නැත. විරංග ගේ ඇස් වල මම අමුතු දිස්නයක් දුටිමි. ඒ දීප්තියට හේතුව ඇතැම් විට කඳුළු වන්නට ද ඇත. ඒ හැඟීම මගේ පපුවේ පත්ලට ම දැනිණ. සමහර විට ඒ අප හැම කෙනෙකුට ම යම් යම් අවස්ථා වල අඩු වැඩි වශයෙන් දැනෙන්නා වූ හැඟීමක් විය හැක.

“අර හෝතම්බුවට කියන්න ඉක්මනට ඔය ප්‍රශ්න විසඳගන්න කියල”

මම ඇස් කුඩා කොට බැලුවෙමි. නමුත් විරංග මගේ ඇස් මගහැරියේ ය.

“ඇයි ඉක්මනට…”

“ඇයි කියන්නෙ..අපිත් බඳින්න ඕනනෙ”

“ඉතිං ඔයා බඳින්න”

“ඊට පස්සෙ බැරි වෙලාවත් ඔය යකා අර කෙල්ලවම බැන්දොත් එහෙම…කියන්න බෑනෙ..අම්ම මැරෙන්න ලෑස්ති වුණොත් එහෙම..මට වෙන්නෙ මගෙ කසාද දික්කසාද කරන්න”

මම ඔහු දෙස බලා ගෙන ම සිටියෙමි. දෙවියනි ඒ කොහොම ආදරරයක් ද?

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles