මියුරු පෙම් වසන්තේ – 2

රෝස පාට මල් වැටිච්ච කහ පාට සාරිය අම්මාගේ ඇඳුම් කෑලි පුරවා තිබු පරණ කාඩ්බෝඩ් පෙට්ටියක් අවුස්සා එලියට ගත්තෙ ආච්චිය.

“දැනට තියෙන විදියට පිරිමහගෙන ඇඳගෙන යමං. පඩි ලැබුණම බැරිය හොඳවයින් ඇඳුම් කෑලි දෙක තුනක් ගන්න. අර ගෑණි අරහෙ නැහිල නැහිල එවන සොච්චම මක්කටද බං ඇඳුම් කෑලිවලට වියදන් කරන්නෙ” කියමින් බැරි බැරි ගාණේ ඇඳ අස්සේ තිබූ අම්මාට අයිති වී තිබුණ ඒ ඇඳුම් කෑලි පිරවූ පෙට්ටිය එලියට ඇද්දේ ඇයයි. ඒ ඇඳුම් කැඩුම් මහ ගොඩක් පිරවූ පෙට්ටියක් නොවුනා සේම එහි තිබූ ඇඳුම් කැඩුම් වලින්ද නදීට ගැලපෙන, රැකියාවට ගැලපෙන ඇඳුම් තිබුනේ මේ රෝස පාට මල් වැටිච්ච සාරියත් තව දම් පාට මල් වැටිච්ච සාරියකුත් ය.

“අම්මා කිව්වා මොනව උනත් අලුතෙන් රස්සාවට යන කෙල්ලනෙ කියල උඹට හෑන්ඩ් බෑග් එකක් අරන් දෙන්න” කියා ඇගේ අම්මා කඩයප්පන් සදා උපයාගත් මුදලින් ගත් කලු පැහැ අත් බෑගයක් කාවින්දි ගෙනවිත් තිබූ නිසාවෙන්ම ඇත්තටම තියන හැටියට පිරිමහගෙන යන්න නදීට පුලුවන්කම ලැබුනි. අවුරුදු ගණනාවක් පුරා ඇඳක් පල්ලේ කාඩ්බෝඩ් පෙට්ටියක් අස්සේ සිරවී තිබුන අම්මාගේ සුවඳද වියකී තිබුන සාරි කෑලි ටික පිලිවෙලට නවා නදී ඒ අස්සට සමන් පිච්ච මල් දැම්මේ පුරුද්දටය.

පසුදා උදයෙන්ම ඇහැරුණ නදී සීතල කියා නොබලා නෑවාය. කොහොමත් අල්විස් වත්තේ ලැජ්ජ බය ඇති ගෑණුන්ට නාන්න පුලුවන් එක්කෝ කොස් ගහේ නැටි නොපෙනෙන උදේකය එහෙමත් නැත්තන් හැන්දෑ කලුවර කෑලි කපන්නට හැකි තරම් සැර වූ වෙලාවක විතරය. පටුමග පටන් ගන්නා තැන ඇති පයිප්පය ලඟ ඒ වෙලාවට නාන්නට රැස් වෙන ගෑණුන් අතරින් කට සැර ගැහැණුන්ට නම් සබන් ගා ගත් සැණින් නාගන්නට මෙන්ම ඇඟ පත හොඳින් අතුල්ලා ගන්නට ඉඩ ලැබුනද නදී වැනි කෙල්ලන් ඇඟට වතුර පනිට්ටුවක් දාගෙන සබන් ගා ගත් පසු ඊලඟ වතුර පනිට්ටුව ඇඟට දාගන්නට යද්දි සබන් ඇඟේම වේලී ගොසින්ය. නැති බැරි තැන්වලත් ඉතින් වැඩිපුරම අසාදාරණකම් වෙන්නේ ලැජ්ජ බයට හැදිච්ච එවුන්ට බව මාග්‍රට් නැන්දා කියන කතාව ඇත්ත බව නදීට හිතෙන්නේත් ඔහොම වෙලාවටය.

“දවාලෙට කන්න මං උඹට බත් මුලක් බැන්දා. හෙට ඉඳල නං කෙල්ලෙ ඔන්න ඇහැරිල පොල් ටිකක්වත් ගාලා දීහං මට. මාත් මොකෝ මේ තිරිහන් වෙන්නෙ නෑනෙ එන්න එන්න උදේ නැගිටල උයමං කරන්න”

“හ්ම්ම්ම්”

“දැන් උඹ එද්දි හවස් වෙනවද අද?”

“දන්නෙ නෑ ආච්චි. අද නෙ ඉතින් පළවෙනි දවස.ගිහිල්ල තමයි බලන්න වෙන්නෙ”

“හ්ම්ම්ම්, කලින් එන්න බලහං, අද අම්මා කතා කරන දවසනෙ. අරහෙට ගිහින් නෙ කොහොමත් කෝල් එක ගන්න වෙන්නෙ” කියමින් චන්ද්‍රකාන්ති ඇඳ උන් රෙද්ද දෙපැත්තේ දෑත පිසදාගෙන ගේ ඇතුලට ගියාය. දෑත පිසදා ගැනීම නිසාම ඇගේ රෙදිවල දෙපැත්ත අනිත් තැන්වලට වඩා කලු ගැසී ඇතී බව නදීට පෙනේ. “පඩි හම්බුනාම ආච්චිට ඇඳුමක් අරන් දෙන්න ඕන” කියා හිතද්දිත් හිතට එන පොඩි පහේ අභිමානය සතුටකි. මෙහෙම හෝ රස්සාවක් හොයාගන්නට ලැබීම ලොකු දෙයකි.

අම්මා කුවේට් වල හිඳ අමතන්නේ සතියට එක දවසක රාත්‍රී හතටය. මැද පෙරදිග යන බොහෝ ගැහැණුන් විඳින දුක් කම්කටොලු ගැන අහන්නට වෙන කතා ලඟ අම්මාට වැඩකරන්නට ලැබී ඇති බාබාගේ ගෙදර ගැන සන්තෝස වෙන්නට හැක. ඔවුන් අම්මාට සලකන්නේ තමන්ගේම කෙනෙක් ලෙස බව අම්මා කෝල් කරන හැම වෙලාවකම කියයි. නදී උසස් පෙල වනතුරු ඉගෙන ගත්තේත් අනතුරුව සෙක්‍රටරි පාඨමාලාවක් කරන්නට ගියේත් අම්මා හම්බකර එවන ඒ සල්ලිවලට පින්සිද්ද වෙන්නය. නදීට අම්මාගේ මූණ එහෙමකට කියා මතක නැත. අත්තම්මාගේ බැංකු ගිණුමට හැම මසකම සල්ලි දමන එකත්, සතියකට වරක් ගෙදරට දෙන දුරකතන ඇමතුමත් හැරෙන්න වීඩියෝ කෝල් එකක්වත් ගන්නට වසන්තා කවදාවත් උනන්දු උනේ නැත. නදීට වීඩියෝ කෝල් ගන්නට හැකි ජංගම දුරකතනයක් තිබුනේ නැති හන්දා කොහොමත් පින්තූරයක් එවන්න හැටියක් තිබ්බේත් නැත. මේ ඉතින් ලියුම් එවන කාලයක් නොවන හන්දා එහෙම දෙයක් ගැන නදීවත් වසන්තාවත් හිතා තිබුනේ නැත.

නදී ගෙදරින් එලියට එද්දීත් විල්සන් උන්නේ බූරු ඇඳේ හාන්සි වී නින්දේය. තාත්තා ලඟින් එන්නේ ඊයේ රැයේ බිව් අරක්කුවල සුවඳද කියාත් නදීට සැකය. ඒ ගඳ එයට වඩා දවස් ගාණක් පරණ මිනී කුනු ගඳකි. නින්දේ ඉන්න තාත්තා ලඟ වැඳ වැටී යන බවක් කීම තේරුමක් නැති වැඩක් බව දන්න හන්දාම සාරි පොටත් එක අතකින් අල්ලා ගත් නදී හීන් සැරේ ගෙයින් එලියට බැස්සාය.

ඉස්කොලෙ යන කාලෙන් පසුව මෙච්චර උදයෙන් ගෙයින් පිටමං වෙච්ච කාලයක් මතක නැති හන්දාත්, කවදාවත් නැතුව සාරියක් ඇඳගෙන ගෙයින් එලියට බැස්ස හන්දාත් නදීගේ හිතේ උනේ එක්තරා අන්දමක සබකෝලයකි.

වෙනදාට නොබලන මිනිස්සු පවා තමන් දෙස බලන අන්දමකි. නදී බිම බලාගෙනම ගියේ ඒ ඇස් බැල්ම මැද දැනෙන අපහසුතාවයෙන් මිදෙනු පිණිසය.

“සාරි ඇඳන් කොහෙද නංගි යන්නෙ උදේම අද?” දෙපා නැවතුනේ ඒ කටහඬටය. ඔය මාග්‍රට් නැන්දාගේ පුතා වූ මිලින්දගේ හඬ බව ඉතින් ඔලුව නූස්සාම කියන්නට නදීට හැක. දන්නා කාලයේ පටන් තමා යන යන තැන්වල පෙනෙන්නට හිඳිමින් මිලින්ද කියන්නට තනන කතාව නදීට තේරුන නමුත් නොතේරුනා සේ උන්නාය.

“අද මේ රස්සාවකට යන්න කියල” නදී අපහසුවෙන් දෙතොල් මතට ඈඳාගත් සිනාවක් එක්ක කියන්නෙ එහෙම නොකර මේ අල්විස් වත්තේ පයගහා ඉන්නට නුපුලුවන් බව දන්න හන්දාය. අන්තිමේ කතාව යන්නේ “දවස තිස්සෙ බිබී ඉන්න විල්සන් ගෙ දෝණියැන්ද රස්සාවට යන්න ගත්තයින් පස්සෙ උඩින් යන්න ගත්තෙ” කියාය.

“අඩේ නංගිට රස්සාවක් හම්බුනාද? කොහෙද නංගි ටීචින් ද?”

මුටත් ඉතින් ඕන්නැති දෙයක් නෑ කියා හිතමින් නදී දෙතොල් මෑත් කරේ උත්තර දෙන්නටය. කොහොමත් ඕවා හංගගෙන ඉන්න පුලුවන් කාරණා නොවේ. වත්තක ජීවත්වෙද්දී පෞද්ගලික ජීවිතයක් කියා දෙයක් නැති බව නදී දැනටම තේරුම් ගෙන තිබේ. තමන්ගේ ගෙදර වාතයක් ගියද එහි හඬත් ගඳත් අල්ලපු ගෙදරටත් අනතුරුව වත්ත පුරාමත් පැතිරෙන්නට යන්නේ තප්පර ගාණකටත් අඩු වෙලාවකි. තමන් කොච්චර රස්සාවේ තතු හංගන් ඉන්න හැදුවත් බීගත්ත වෙලාවට තාත්තාගේ කටින් ඕක වත්තෙ හැම එකාගේම කන් අස්සට රිංගන බව නදී ට රහසක් නොවේ.

“නෑ අයියෙ, නුගේගොඩ ඕර්ගනික් ෆුඩ් එකේ ඔෆිස් එකේ”

“ශාහ් මරුනෙ නංගි, දැන් එහෙනම් මාසෙ අන්තිමට ගතමන්ට් එක සෙට් උනාම අපිට පාටියක් හෙම දෙන්ඩෝන” කියා මිලින්ද කියන්නේ සුපුරුදු ලෙසම වචන ඇද පැද දියාරුවටය. නදීට මිලින්දගේ පෙන්නන්නටත් බැරි ඔය කතා කරන රස්තියාදු සැම්පලේය.

“පාටි දෙන නොඑන එක ගැන බලන්නත් ඉතින් රස්සාවට ගිහින් බලන්න ඕනනෙ අයියෙ. පරක්කු වෙනව අයියෙ, පලවෙනි දවසෙම පරක්කු වෙන එක හරි නෑනෙ. මං ගිහිල්ලා එන්නම්” කියා නදී එතනින් මිදී යන්නට දෙපා ඉස්සුවද මිලින්ද උන්නේ තරම් ඉක්මනට නදීට ගැලවෙන්නට ඉඩක් නොදෙන අදහසිනි.

“ඔය සාරි බාරි පටලවගෙන මේ උදේ පාන්දර ඉස්කූල් ට්‍රැෆික් එකේ බස් වල යන එකනම් ලේසි නෑ නංගිය. ඉන්න මං ටික් ගාලා ශර්ට් එක දාන් බයික් එක අරන් එන්නම්”

“අනේ එපා අයියේ, ඕන නැ. කොහොමත් ඉතින් අද මොකේ ගියත් හෙට ආයෙ බස් එකෙ යන්න ඕනනෙ. මම අදත් එහෙමම යන්නම්” කියා නදී තව එක මොහොතක්වත් එතන නොනැවතී පය ඉක්මන් කරාය. කොහෙන්දෝ අහුලාගත්ත කෝටු කෑල්ලකින් දත් හූරන ගමන් මිලින්ද බලා උන්නේ තමන් පසුකර ඇදෙන නදීගේ මනස්කාන්ත රුව දෙසය. ඈ ලස්සනය. සාරියට කොහොමත් ඉඟත්, උකුලත් බේරී පෙනෙන නිසා මිලින්දට නදීව වෙනදාටත් වඩා ලස්සනට පෙනේ. දිග කෙස් කළඹ තවමත් යාන්තම් තෙතක් එක්ක පිට දිගේ වැක්කිරී නදී පා තබන තාලයටම ඇයගේ පස්සේ වැදී දෙපසට හෙලවෙන දසුනින් නෙතුවත් හිතවත් ඇදගන්නට ඇය නොපෙනී යනතුරුම මිලින්දට හැකි වුනේ නැත.

“කවදහරි ඉතින් උඹට ඔහොම පැද්දෙන්න වෙන්නෙ මං ලඟ තමයි”

එසේ සිතමින්, හිත අස්සෙන් නදී ගැන බොහෝ දේ සිතමින් මිලින්ද ආයෙම ගේ අස්සට රිංගා ස්පීකරයේ සද්දේ වැඩිකරේය.

“හොර රහසේම පෑ ආලේ මනමාලයා වාගේ
උතුරාලන මේ ප්‍රේමය ඔබගෙයි මගෙ රාලේ
හැඩ කාරම කට කාරි මම අපේ ගම්මානේ
සනසාලනු මගෙ නාඹර හිත මල් මද හාසේ

කව්රුත් නැති තැන ලන් වෙමු අපි ගේ මැද සාලේ
වැඩි වෙන්නෙම දොර මුල්ලෙදි අපි දෙන්නගෙ ආලේ”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles