සඳ ගංතෙර -44

“පාරෙන් අහුලන් කොල්ලෙක් එක්කන් ආවා.”

සඳරැස් එසේ පැවසුවේ කුඩා දියණිය සමඟ ගෙඋයනට වී සිටි තාරුකාට ය. හිසකෙස් මඳක් වැවෙන්නට ඉඩ හැර අතෙහි ටැටුවක් ගසා ඇති විලාසිතාවට බර තරුණයා දෙස තාරුකා බලා සිටියා ය. මොකක්දෝ හුරුවක් ද තිබේ.

“මේ මල්ලී හරිම පුරුදුයි.”

ඈ එසේ කියද්දී විහස්ගේ පපුව ගිනි ගත්තේ ය. පවුලේ ලොකු අක්කාට බාල මල්ලී හුරුපුරුදු නොවී කොහොමදැයි අසා ඇය වැළඳ ගන්නට සිතේ. නමුත් එයට වේලාසන වැඩි ය.

“මූ හිතන් ඉන්නේ ඌ දුල්කර් සල්මන් කියලානෙ අක්කෙ. වෙලාවකට රන්වීර් සිං කියලත් හිතනව. ඒ වගේ අසනීප ලෝ ඔෆ් ඇට්‍රෑක්ෂන් වලට අහු වෙලා ඇති. මට හම්බ වුණු මොලේ කචල්ම යාළුවා. හැබැයි දැන් සහෝදරයෙක් ගාණයි.”

සඳරැස් ද කියවා යයි. එය සම්පූර්ණ සත්‍යයක් බව කියමින් විහස් ගියේ ගෙඋයන කොනක වූ ජල කරාමය වෙත ය. ඉන් අනතුරුව ඔහු දුලන්‍යාගෙන් සබන් කෑල්ලක් ද ඉල්ලා සිටියා ය. කෙල්ලන් ළඟ ඕනෑතරම් සුකුරුත්තන් පවතින බැවින් හුරුබුහුටි  සෝදන දියරයක් දුලන්‍යාගේ බෑගයෙන්ම විහස් අතට පත් විණ. ටිෂූ කඩදාසි ද දුලන්‍යා ගාණේ ය.

“ලොකු මිනිස්සු එක්ක නම් කවදා කතා කරන්න බැරිද? චූටි කුරුලු පැටියෝ කොහොමද ඔයාට?”

මාමා කියන්නේ අම්මා ළඟට දියණියන්ට සමීප වන්නා ය. කුඩා සූකිරි කැටය අයත් තමන්ට පමණක් බව සඳරැස් සිතා සිටියි. සහස්ට ඇයට සමීප වන්නට ඉඩක් නොවේ. සහස්ගේ නිවුන් සහෝදරයා පෙනෙන මානයක ද නොවේ. එහෙත් ඔහු නොදන්නා කතාවක් තිබේ. දියණියගේ චූටි මාමා පැමිණ තිබේ.පොතේ හැටියට කෙල්ලන් කොහොමටත් වඩා සමීප වන්නේ ද චූටි මාමාට යැයි විහස් අභිමානයෙන් සිතී ය. කුඩා සූකිරි හැකි වෙර යොදා විහස්ගේ ලොකු ඇඟිල්ලකින් අල්ලා සිටියා ය.

“මාමා ටවුන් එක පුරා රස්තියාදුවක් ගහලා මැණික ඉන්නෙ. ඔයාව වඩන්න නම් බෑ මාමාට. වෙන දවසක එන්නම්කො මගෙ පුතාව වඩාගෙන ඉන්න.”

මේ තරුණයා මොනතරම් ආදරණීයදැයි තාරුකා සිතුවා ය. ඔහු දරාගෙන ඉන්නා හැඟීම් නොවැටහුණත් ඇය ඔහු දෙස බලා සිටියේ ආදරයෙනි.

“මාමා කියන්නේ. අංකල් කියපං කරුණාකරලා. මම විතරයි බබාගෙ මාමා.”

සඳරැස් තර්ජනය කළේ අක්කා නගෝ උස්හඬින් හිනැහෙද්දී ය.  මේ නම් කදිම මිතුරන් දෙදෙනෙකි.

“උඹ මාමානම් මාත් මාමා. අනික දෝණිකැටේ උඹට වඩා මට ආදරේ වෙනවා කියලා මං ඔට්ටුවක් අල්ලන්නද කිරි පුතේ.”

සඳරැස් නිවස තුළට ගියේ විහස්ගේ පිටට වැරෙන් පහරක් ගසමිනි. පාසල් කාලයේ පටන් ඔහුට අනන්ත මිතුරු පිරිසක් හිඳ තිබේ. සඳරැස් මල්වැන්නගේ දඩබ්බර හැසිරීම් දරාගනිමින් ඔහු සමඟ ඉන්නා මිතුරන් අනන්ත ය. එහෙත් සත්සර ගැන ඔහුට ඇත්තේ අමුතුම හැඟීමකි. ඔහු කදිම යාළුවෙකි.

“මල්ලි තාම ස්ටඩි කරනවද? අපේ එකාට වඩා බාලයිනෙ?”

විහස්ට බොන්නට යමක් සකසන්නැයි අත් උදව්කාරියට උපදෙස් දී ආ තාරුකා ඇසුවා ය. ඔහු කැමති වූයේ දියණිය සමඟ මිදුලේ රැඳෙන්නට ය. 

“මම තාත්තගෙ බිස්නස් බලනව අක්කේ. ඒත් සඳරැස් ඒ ගැන දන් නෑ.”

විහස්ට ඇත්ත නොකියා හිඳීම අසීරු ය. ප්‍රේමය සහ මිත්‍රත්වය බිඳ වැටෙන මුල්ම කාරණාව විශ්වාස ඝාතනය ය එය සිදුවන්නට ඉඩ දිය යුතු නොවේ.සහස් විජේවර්ධන සහ තමන් අතර කුඩා කාලයේ පටන් තිබූ දුරස්ථ භාවය ද සහස්ට තමන්ව උවමනා වූ එකම අවස්ථාව ද විහස් විස්තර කළේ ය.

“අක්කලා අපිව දකින්න අකමැති වෙන බව කවුරු නැතත් මං දැනන් හිටියා. ඔයාවත් අයියවත් මුණ ගැහෙන්න මං අකමැති වුණේ ඒකයි. ඒත් දැන් මට තේරෙන දෙයක් තියනවා. මට ඔයාලා දෙන්නත් ඕන. ඔයාලා දෙන්නට ඔයාලා දෙන්න හිටියට මට කාත් කවුරුත් නෑ. අඩුම තරමේ කවදාවත් මං එයාගෙ සහෝදරයා කියලා එළි නොකර හොඳම යාළුවා වෙලා හරි මට සඳරැස් අයියා එක්ක ඉන්නෝන අක්කේ.”

තාරුකා සහස්ව ප්‍රතික්ෂේප කළේ ය. ඇයට ඔහු තුළින් පෙනුණේ අම්මාව ය. ඇයට එය දරා ගන්නට පහසු හැඟීමක් නොවී ය. නමුත් ඇයට විහස්ව තදින් වැළඳ ගන්නට ඕනෑකමක් දැනේ.

“ලේ බැඳීම් කාටත් වඩා දැනෙන්නෙ කිරි දරුවන්ටයි කියනවනෙ චූටි මල්ලි. දූ එයාට පුලුවන් හයියෙන් ඔයාගෙ ඇඟිල්ලක් අල්ලාගන්න ඇත්තෙ ඒකයි.”

විහස්ට කඳුළු නැඟිණ. ඔහුට සහෝදරයන් නම් දෙදෙනෙකි. එක් අයෙකුවත් සහෝදරකමින් නොසැලකීම වෙනම කතාවකි. එහෙත් එකම අක්කා ඔහුට චූටි මල්ලී යැයි කීවා ය. ඇය විහස් තමන්ගේ බව පිළිගෙන තිබේ.

“මං හිතනවා මල්ලි ඔයා අපිට ළං වෙන්නේ කපටිකමට නෙවෙයි කියලා. මං සහස්ව හරියටම රීඩ් කරා. මට ඔයාවත් රීඩ් කරන්න පුලුවන් වුණා කියලා මං හිතනවා. මාව රිද්දන්න අමාරුයි මල්ලි. ඒත් සඳරැස් හරීම පුංචි දේටත් කලබල වෙන රිද්දා ගන්න කෙනෙක්. ඒ නිසා කිසිම විදියකට එයාව රිද්දන්න නම් බෑ මට.”

විහස් අක්කා දෙස බැලුවේ ආදරයෙනි. ඔහුට කියන්නට ලොකු කතාවක් තිබේ. අවුරුදු විසි ගණනක් බොහෝ කතා මඟ ඇරී තිබේ. නමුත් මේ කතාව සියල්ලටම පෙර කියන්නට ඕනෑ එකකි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles