“කියන්න දෙයක් තියනවා”
රාත්‍රිය ගෙවෙනතුරු නිදි නැති ඇස් වලින් බලා සිටි දුලන්‍යා පසුදා උදෑසන මෝටර් රථයට ගොඩ වූ වහා සඳරැස්ට පැවසී ය. සඳරැස් සඳක් සේ හිනැහිණ.
“අද වයිවා එකක්. හරියට පාඩම් කරේ නෑ? එහෙමද?”
ඔහු ඇයට ඇති ප්‍රශ්න ලෙස දකින්නේ එහෙම ඒවා ය. අම්මාත් තාත්තාත් දුලාජ් සහ තාරුකාත් පමණක් නොව දැන් ඔහු පවා ඇයට ඕනෑ දෙයක් ගන්නට මුදල් දෙයි. වෛද්‍ය උපාධිය පහසු එකක් නොවන බව පවසන අම්මාත් තාරුකාත් ඇගෙන් බෝංචි කරලක් කඩාගන්නා තරමේ වැඩක් නොගන්නට ප්‍රවේසම් ය. සූකිරි කැටය බලා ගැනීම පවා දුලන්‍යාගේ වැඩ ලැයිස්තුවේ නැත. ඇය සිඟිත්තිය වෙත එන්නේ ඒ ඇගේ සතුටු පෙත්ත හන්දා ය.
ප්‍රේමය දුලන්‍යා වඩවඩාත් සුවපත් කරන බව සඳරැස් දනියි. ඔහු සඳරැසක් වී ඇය සනසයි. ඇය වඩා සැනසීමෙනි.
ඉතින් දුලන්‍යාට මුහුණ රතු කරගෙන කියන්නට ඇති ප්රශ්නය ගැන සඳරැස්ට පුදුම ය.
“පොරොන්දු වෙන්න මේක අහලා කේන්ති ගන් නෑ කියලා.”
දුලන්‍යා බැගෑපත් වෙන්නට ගත්තා ය.
“බෑ”
සඳරැස් එකහෙළාම පැවසී ය. කේන්තිය ඉතා සාමාන්‍ය මිනිස් හැඟීමකි. එය යටපත් කර ගැනීමේ තේරුමක් ඇත්තේ ම නැත. කෝපයක් සඟවා සිටීම ගත ලෙඩ කරන දෙයකි. ඒ හන්දා සඳරැස් ආදරය සහ සතුට වාගේම කෝපය සහ දුක වැනි හැඟීම් ද හංගන්නේ නැත.
“මොකක්ද ප්‍රශ්නෙ?”
ඔහු අසද්දී මේ කතාව කියන්නට සිතූ මෝඩකම ගැන දුලන්‍යාට දුක හිතිණ.
“අනේ සැර කරලා ඇහුවම කියන්න බෑ හිතෙනවා.”
මේ කියන්නට යන්නේ එසේ මෙසේ කතාවක් නොවන බව සඳරැස් තේරුම් ගත්තේ ය. නමුත් ඔහු ඕනෑම දෙයක් අහන්නට සූදානම් ය.
“අයියලගෙ අම්මා ආවා..මාව හම්බෙන්න. චාන්දනී ආන්ටි.”
සඳරැස් තත්පර කිහිපයක් තිස්සේ නිහඬව රිය පැදවී ය. අනතුරුව නිදහස් තැනක වාහනය නවතන්නට ප්‍රවේසම් විය. ඔහුගේ මුහුණ හොඳ නැත. බය හිතෙන්නේම ඒ හන්දා ය.
“ඉතිං ඔයා කතා කරා.”
ඕනෑනම් ප්‍රතික්ෂේප කරන්නටත් තිබිණ. එහෙත් ඇය කියන්නේ මොනවාදැයි අහන්නට දුලන්‍යාට ඕනෑ විය.
“එයා ගියේ මම පොඩිම දරුවෙක් කාලේ. දැන් මට විසි හයක්. මං අගේට ඉන්නවා. එයා හොල්මනක් වගේ මතු වෙන්න කිසීම අවශ්‍යතාවයක් නෑ. ඔයාලත් ඒවට උඩ ගෙඩි දෙන්න කොහොමටත් ඕන නෑ.”
සඳරැස් දුලන්‍යාට මේ තරම් තදින් කතා කරන්නේ අද ය.ඇය ඇසේ කඳුළු දරාගෙන අසා හුන්නා ය. ඔහුට අඩුම තරමේ නොබැන ඉන්නට පුලුවන.
“දැන් එයා මොනවද කියන්නේ?”
චාන්දනී පැවසූ දේවල් ගිරවෙකු මෙන් තාරුකාට විස්තර කළ ද මේ මොහොතේ දුලන්‍යා සහමුලින්ම ගොළු වී තිබේ. ඇය ඇඟිලි පටලවමින් නිහඬව සිටියා ය.
“මොනවද එයා කියන්නේ දුලා? එයාගෙ පුතාට මහ විසාල දේපලක් තියනවය කියලා එයාට කැමති වෙන්නයි කියලා ඉල්ලනවද?”
සඳරැස් ආවේගයෙන් ඇසී ය. හැඬුම පාලනය කරගත් දුලන්‍යා නැතැයි කියන්නට හිස වැනුවා ය.
“පුතා, මට අයියවයි අක්කවයි ආපහු ඕනෑ. මං පනහත් පැන්න ගෑනියක්. ජීවිතේ තව කොච්චර කාලයක් තියද මං දන් නෑ. තාරකා දැන් අම්මෙක්. එයා මාව තේරුම් ගන්නවා. සඳරැස් මට කිට්ටු වෙන්න මට දුවගෙ උදව් ඕනෑ. මම සඳරැස්ව අත් ඇරිය එක ගැන දුලන්‍යා පුතා පවා කතා කරන්නේ හරිම අප්‍රසන්න හැඟීමෙන් කියලා මට සහස් කිව්වා.ඒත් ඇත්ත වෙනස් පුතේ.”
ඇය කිව්වේ එහෙම කතාවකි. ඒ බව කියද්දී සඳරැස් වියරු සිනාවක් නැඟී ය. අවංකව මේවා වියරු සිනා නඟන්නට හේතුවන කතාන්දර ය.
“ඇත්ත වෙනස්. වැරදි කරන මිනිස්සුන්ට කියන්න තියන අපූරු හේතු මේ.”
ඔහු එසේ කියයි. දුලන්‍යා කට පියාගෙන ඉන්නට බැරිකමට තවත් දේ කියන්නට ගත්තා ය.
“ආදරේ කියන්නෙ පුදුම දෙයක්. ආදරේ වෙනුවෙන් ගෑනු නොකරන්නෙ මොනවද? කියලත් ආන්ටි මට කිව්වා.”
සඳරැස් රිය පණ ගැන්වී ය. ආදරය වෙනුවෙන් අම්මාට තෝරා ගැනීමක් තිබිණ. නමුත් ළදරුවෙකුට කිසිම තෝරා ගැනීමක් තිබුණේ නැත.
“ආදරේ වෙනුවෙන් ගෑනු දරුවොත් අත් අරිනවා. එයා ඒක ඔප්පු කරා. කරලා ලැජ්ජා නැතුව ඔයාව මුණ ගැහෙන්නත් ආවා. මට තියන කේන්තිය ඔයත් ඒ විකාර අහන් හිටිය එක.”
ඇත්තටම ඕනෑ වූයේ ඇය අසා සිටින්නට බව දුලන්‍යා ඇත්තම කීවා ය. සඳරැස් ජීවිතයේ පළමු වතාවට ඈ වෙත රවා බැලුවේ ය.
“ඔයාට එයාව හරවලා යවන්න හොඳටම පුලුවන්කම තියන් ඒ නටපු නැටුම මට පැහැදිලි නෑ.’
එතැන නැටුමක් නැත. වැඩිහිටි ගැහැනියක කතා කරන්නට ඕනෑ බව කිව්වා ය. දුලන්‍යා ඇයට ඉඩ දුන්නා ය.
“දැන් ඔයා මොකක්ද හිතන්නේ දුලා අම්මයි අපියි එකතු කරන්නද?”
එහෙමකට දෙයක් කරන්නට ඇයට අයිතියක් නැත. ඇය පොඩි කෙල්ලෙකි.
“ඔයයි මායි ආදරේ කරනවා.ඒක ඇත්ත. ඔයා මට වඩා මගෙ අක්කට ආදරේ බවත් මං දන්නවා. අපේ ප්‍රශ්න ඔයාට ඔයාගෙ ප්‍රශ්න කියලා හිතෙනවා ඇති. ඒ වුණාට කරුණාකරලා චාන්දනී විජේවර්ධනගේ දූතයෙක් වෙන්න ලෑස්ති වෙන්න එපා.”
දුලන්‍යාට හැඬිණ. වෙනදා ඈ කට බෙරි කරගත්ත ද අඬන්නට එපා කියමින් දස අතේ දඟලන කොලුවා අද එහෙම දෙයක් කීවේ නැත.ඔහු හැඟීම්විරහිත දෑසකින් රිය පදවයි.
“මාත් එක්ක තරහද අයියේ?”
මෝටර් රථයෙන් බසින්නට පෙර ඇය ඇසුවා ය. ඔහු හිස වැනී ය.
‘මම කූල් ඩවුන් වෙලා පස්සෙ කතා කරන්නං. දැන් යන්න.”
පරෙස්සමෙන් යන්නැයි සිහි ගැන්වීමක් නැත. සමු ගැනීමේ හාද්දක් නැත. තව මිනිත්තු කිහිපයක් මොනවා හෝ කියවමින් හිඳීමක් නැත. දුලන්‍යාට මහා වේදනාවක් දැනෙන්නට විය.