කිසිදු අඩුපාඩුවකින් තොර ව ගිම්හාන් ගේ තුන් මාසයේ පිංකමේ වැඩ කටයුතු සිදු කරන්නට සයුරංගනා ඉත සිතින් වෙහෙසුණා ය. මළගමෙහි දී ඇයට කිසිවක් ම සොයා බලා කරත හැකි වූයේ නැත. ඇය සිටියේ එහෙම පියවි සිහියක නොවේ. ඒ දවස් තිබුණා ද නැද්ද, ගෙවුණා ද නැද්ද කියාවත් ඇය දන්නේ නැත. පියවි තත්වයෙන් බෝ ඈතකට වී ඇය ඔහේ බලා සිටියා ය. ගිම්හාන් ගේ දෙණ දෙස වුව ඇය බැලුවා නොවේ. ඔහු මිය ගිහින් යයි හැම දෙනා ම පැවසූහ. මුලින් ම වෛද්‍යවරයා ඒ බව කීවේ ඇයට ය. නමුත් ඒ සැබෑවක් යයි පිළිගන්නට කිසිදු සූදානමක් ඇගේ නො තිබූ බව සයුරංගනා ට සිහි වන්නේ දැන් ය. එහෙම වන්නට පිළිවන් ද? හොඳට කතා බහ කරමින් සිට නිදන්නට ඇඳට ගිය මිනිසෙකු සුළු වෙලාවක දී ඔහු ත් නො දැන මිය යන්නට පිළිවන් ද?
ඒ සියල්ල බොරුවක් වෙන මොහොතක් ගැන සයුරංගනා බලා ගෙන සිටියා විය යුතු ය. සමහර ක්ෂණික සිදුවීම්, කරකවා අත් හැරි කලෙක සේ උතුර දකුණ මාරු කරයි. සැබෑව ව්‍යාජය පටලවයි. පියවි සිහියත් මායාවත් කවරක් දැයි වෙන් කොට හැඳින ගත නො හැකි තරමට හිත වියවුල් කරයි. ඒ දින කිහිපය තුළ සයුරංගනා හිටියේ එහෙම තැනක ය. මළගමේ කටයුතු කාගේ අදහස් මත කවුරුන් කොයි ලෙස කළා ද කියා ඇය දන්නේ නැත.
නමුත් දැන් ඇය පියවි සිහියට එළඹ හිඳී. ගිම්හාන් නැවත පැමිණිය නො හැකි ගමනක් ගොසිනි. ඔහු වෙනුවෙන් කරන්නට තිබෙන්නේ සමාජ සම්මත ආකාරයට පිංකම් කොට පින් අනුමෝදන් කරනා එක විතර ය. මිය ගිය කෙනෙකුට ජීවත් ව සිටිනා අය කරනා කුසල් අනුමෝදන් විය හැකි දැයි අප දන්නේ නැත. නමුත් ආගමික හා සමාජ සසංස්කෘතික විශ්වාසයන්ට අනුව අපි එහෙම කරමු. මිය ගිය පුද්ගලයා වෙනුවෙන් වෙන අපට කරන්නට දෙයක් ඇත්තේ ම නැත. එනයින් ඔහු කෙරේ වන බැඳීමේ නාමයෙන්, ඔහු නැති අඩුව හිත රිදවන තරම සමහන් කර ගන්නට අපි එහෙම කරමු.
සයුරංගනා දානයේ සියල් කටයුතු සිය හිස මතට ගෙන ඉටු කළා ය. මුල සිට ම, ලැයිස්තුගත කර ගෙන අබ මල් රේණුවක අඩුපාඩුවක් නොවන්නට හැම දේ ම සපුරා ගත්තා ය. ස්වාමින් වහන්සේලා වෙනුවෙන් අට පිරිකර හා සෙසු පිරිකර ලබා දීම යශෝදර ප්රමුඛ රාමනායක පවුල විසින් කල් ඇතිව ම භාර ගන්නා ලදී. සයුරංගනා ගේ වැඩිමල් සොයුරා ගමෙන් හාල් පොල් තැඹිලි කිරි පැණි ඇතුළු අඩුවැඩිය ගෝනි හා කාඩ්බෝඩ් පෙට්ටි වලට අසුරා ගෙන අධිවේගී මාර්ගයේ බස් රථයක දමා ගෙන ගෙන ආවේ ය. අනිත් සියල්ල සයුරංගනා ඉතා සියුම් ව සිහිපත් කරමින් එකින් එක මිල දී ගත්තා ය. ඒ සියල්ල නැවත නැවත ද පරීක්ෂා කරමින් කිසිත් අඩුවක් නැති බව තහවුරු කර ගත්තා ය. මළගමට සහභාගී වූ නෑ හිත මිතුරන් ලයිස්තු ගත කර ගෙන කල් ඇතිව ඒ සියලු දෙනාට දුරකතන ඇමතුම් දී දානමය පිංකම සිහිපත් කළා ය.
සවස ධර්ම දේශනයට පෙර සියල්ල සූදානම් කොට තබා ඇය පාරමී එක්ක් සුසාන භූමියට ගියා ය. ඒ යන විට හන්දියේ මල් සාප්පුවෙන් මිල දී ගත් රෝස මල් පොකුරක් ගෙන ගොස් පස් කණ්ඩිය මත තබා ඉටිපන්දම් පත්තු කළා ය. පස් කණ්ඩිය දැන් එදා ඈ දකිත්දීට වඩා පහළ බැස තිබේ. තව ටික දවසකින් මේ ගිම්හාන් ගේ සුසානය කියා වෙන් කොට හැඳින ගක නො හැකි තරමට සියල්ල සාමාන්‍ය අතට හැරෙනු ඇත. ඉනික්බිති තව ටික කලකින් මේ ආසන්නයේ ම වෙනත් දෙණක් මිහිදන් වනු ඇත. ජීවිතයේත් මරණයේත් හැටි එහෙම ය. සයුරංගනා සුසුමක් හෙළුවා ය.
“කැලෑවක පිපිල සමහර විට කැලේම පර වෙන්න තිබුණ මලක් වෙච්ච මාව කොළඹට අරං ආපු ගිම්හාන් අද නෑනෙ පාරමී”
පාරමී යෙහෙළිය ගේ උරහිස පිරිමැද්දා ය.
“ගමක ළමයි හය දෙනෙක් හිටිය දුප්පත් පවුලක ලොකු ගෑනු ළමයව අරං ඇවිත් එයා ඒ කෙල්ලට රැජිනකට වගේ සැලකුව පාරමී. එයාගෙ පැත්තෙන් එයාට කවර් කරගන්න ඇරියර්ස් තියෙන්න ඇති. ඒ විදිහට එයා ට්‍රයි කළේ එයා ප්‍රාර්ථනා කරපු ඒත් නොලැබී ගියපු ලෝකෙ කොයි විදිහට හරි ගොඩනගන්න වෙන්න ඇති. එයා මට ආදරේ නොකළා වෙන්නත් ඇති. ඒත් හොඳ හස්බන් කෙනෙක් වෙන්න එයා මොන තරං කැප වුණා ද…අපිට මොනාද අඩු කළේ…තුන් වේලෙන් එක වේලක් කාල හරි ඒකත් නොකා හරි ඉස්කෝලෙ ගිය පොඩි කෙල්ලෙක්ට…ඕන වෙලාවක හිතපු ගමන් කන්න බොන්න ඕනම දෙයක් ගේ ඇතුළෙ ගොඩගහල තිබුණ. කන්න බොන්න විතරද…මගෙ ශැම්පු එක හෙයා ඔයිල් එක ඉවරයි කියල කවදාවත් මට කියන්න ඕන වෙලා නෑ. ඉවර වීගෙන එනකොට එයා අලුත් එකක් ගෙනත් තිබුණ. මට කවදාවත් ඕන කියල කියන්න දෙයක් ඉතුරු කරල නෑ පාරි. ඕන කියල හිතනකොට එයා ඒක ගෙනත් ඉවරයි. කෙල්ලට වුණත් එහෙමයි. එයා ගියේ වුණත් නිකංමද…එයා නැති අඩුව මිසක්…අපිට වෙන අඩුපාඩුවක් ඉතුරු කරන්නැතුවනෙ…ඉන්න තැනක් හදල…වාහනයක් අරං…කුළියට දෙන්න ගෙයි උඩ තට්ටුවක් හදල…මේව මතක් වෙද්දි මට දරාගන්න හරි අමාරුයි පාරි. වෙලාවකට පපුව පැලෙන්න වගේ එනව. ඒත් මං ඔහේ ඉන්නව. මොනා කරන්නද…”
සයුරංගනා අත වූ කුඩා ලේන්සුවෙන් නාසය සූරාගත්තා ය. මීට මාස තුනකට පෙර මිය ගිය ස්වාමියා වෙනුවෙන් දැන් හඬා දොඩා පළක් නොවනා බව ඈ නො දන්නවා නොවේ. නමුත් හැඬෙනා එක වළක්වාගන්නා හැටි ඇයට තේරුණේ නැත.
“ඔය කඳුළු මෙතනම හලල ඉවර කරල යං රංගි. ගිම්හාන් අයිය සතුටු වුණේ ඔයා හොඳින් ඉන්නව බලල. එයා අඩුපාඩුවක් නැතුව ඔයාට හැම දේම දුන්නෙ ඔයාව හොඳින් තියන්නනෙ. ඔයා අඬනවට එයා කැමති වෙන්නෑ රංගනා. හිත හදාගෙන..හිත හයිය කරගෙන ඔයා නැගිටල ඉන්නවනං තමයි එයා සතුටු වෙන්නෙ. ඇත්තටම එයාට සතුටු වෙන්න දැනටමත් ඔයා හේතු දීල තියෙනව. ශක්තිමත් කෙල්ලෙක් විදිහට ඔයා නැගිටිනව කියන විශ්වාසෙයි බලාපොරොත්තුවයි දැනටමත් ඔයා එයාට දීල තියෙනව. ඒක තමයි රංගි කරන්න ඕන හොඳම දේ. අඬ අඬ නෙවෙයි…ඔයා හිනා වෙලයි ඉන්න ඕනෙ. විඳෝ විඳෝ නෙවෙයි…ඔයා සැනසීමෙනුයි ඉන්න ඕනෙ. ගිම්හාන් අයියට ඒ සතුට ඉස්සරහටත් දෙනව කියල විතරක් හිතාගනිං කෙල්ලෙ. අපි ඔයත් එක්ක ඉන්නවනෙ..ම්…”
රාත්‍රියේ ධර්ම දේශනය අතරේත් සයුරංගනා හිටියේ ධර්ම ශ්‍රවණය කිරීමේ සන්සුන් මානසිකත්වයක නොවේ. ඇය හිතෙන් සිටියේ දානයේ කටයුතු අතරේ ය. සියල්ල නිවැරදි දැයි ඇය නැවත නැවත ද මෙනෙහි කළා ය. ධර්ම දේශනාවෙන් පසු ද යළිත් එකින් එක විමසා බැලුවා ය. ස්වාමීන් වහන්සේ වැඩවීම හා යළි පන්සලට වැඩම කරවීම වැනි දේවල් කළේ යශෝදර ගේ හා තේමිය ගේ මූලිකත්වයෙනි. ඔවුන් දැන ගත යුතු යමක් විමසුවේ සයුරංගනා ගෙනි. ඇය ද දෙයක් කළේ කීවේ යශෝදර ගෙන් හෝ පාරමී ගෙන් හෝ ජයරත්නගෙන් නැතහොත් තේමියගෙන් හෝ අසා ය. ඉහුම් පිහුම් කටයුත්තක් සම්බන්ධයෙන් නම් මල්කාන්තිගෙන් උපදෙස් පැතුවා ය.
සයුරංගනා රාමනායක පවුල ලොකු කරගෙන යයි තිලකා සිටියේ කේන්තියෙනි. ඒ බව දැනුණ ද සයුරංගනා ඇගේ කේන්තිය මායිම් නොකළා ය. ධර්ම ශ්‍රවණය සඳහා පැමිණි අයට රාත්‍රී භෝජනයෙන් සංග්‍රහ කෙරුණ අතර පසු දා සාංඝික දානය වෙනුවෙන් ද කෑම පිසුවේ ඥාති කාන්තාවන් පිරිස එක් වී ය. තිලකා ද යමුනා ද මල්කාන්ති ද ගිම්හාන් ගේ සොයුරියන් දෙදෙනා ද සයුරංගනා ගේ සොයුරියන් දෙදෙනා ද ඒ අතරේ ප්‍රධාන වූහ. අත් උදව් දෙන්නට තව ඕනෑ තරම් අය සිටියහ. රාමනායක පවුලේ ළමයින් ද සිය සොයුරන් ද උදව් කරගෙන සයුරංගනා පළතුරු වට්ටි, කැවිලි කූඩ සැකසුවා ය. දැහැත් වට්ටි හැදුවා ය. පිරිකර එතුවා ය. පළතුරු සලාදය හැදුවා ය. තැඹිලි කැප්පවූවා ය. ඒ අතරේ සියල්ල හරි දැයි හිතෙන් විමසා බැලුවා ය. පන්සලෙන් ගෙන ආ යුතු දේවල් ගැනත් පන්සලට යැවිය යුතු දේ ගැනත් යශෝදර එක්ක කතා කළා ය. ගිම්හාන් ගේ අවමංගල්‍යය සේ නොව තුන් මාසයේ පිංකම තනිකර ම තිබුණේ ඇගේ දෑත් මත ය. ඔහු වෙනුවෙන් කරන්නට ඉතිරි වී ඇති එක ම දෙය උපරිම ශක්තිය යොදා අඩුපාඩුවක් නැතිව කරන්නට ඇය දිරියෙන් ද සිහියෙන් ද නුවණින් ද කටයුතු කළා ය.
“එකාතකට අපි මොකට උයනවද…රංගනා දැං උයන්න රටටම කියල දෙන එකේ”
මැදියම් රැයේ දී කෑම පිසින අතරේ ශක්‍යා සයුරංගනා ගේ යූ ටියුබ් නාලිකාව සිහි කොට කොක් හඬලා සිනහ වූවා ය. ඒ සිනහවට හවුල් වීමට ඇගේ අය සිටියහ. යමුනා නෑසුනා සේ බිම බලා ගෙන සිය කාරියෙහි නිරත වූවා ය. පෙර දා සිට ම දියණිය මෝටර් රථයෙන් එක එක වැඩ වලට එහෙට මෙහෙට දුවනු බලා සිටි යමුනා ට ඈ ගැන පුදුම ද ආඩම්බර ද දැනිණ. තමන් සේ ම ඇය යකඩ ගැහැනියක වෙමින් සිටිනා බව ඕ පැහැදිලි ලෙස ම දුටුවා ය.
“සමහර ගෑනුන්ට හරියන්න මිනිහ මැරෙන්නම ඕන. බලහල්ලකො මෙයා අළු ගසාබසා දාල ඇවිත් තියන හැටි. කොහොමද හිටියෙ…දෙකට ගනින්න බෑ වගේ”
තිලකා සිය ඥාතිවරියක සමග කීවා ය.
“මගෙ කොල්ල අකාලෙ මැරිල ගිය එක විතරයි වුණේ”
ඇය කම්මුලේ අත ගසාගෙන ශෝකප්රාප්ත වූවා ය.
ස්වාමීන් වහන්සේලා වැඩමවූයේ යශෝදර මිතුරෙකු වෙතින් ඉල්ලා ගත් වෑන් රියකිනි. කරඬූන් වහන්සේ ගෙට වැඩමවූයේ ජයරත්න ය. සයුරංගනා ගේ සොයුරෙකු ස්වාමීන් වහන්සේලා ගේ පා දෝවනය කළේ ය. එය ඉතා කලබල හෝරාවකි. ඒ සියල් කලබල අතරේ එසඳි වැඩිපුර ම හිටියේ යශෝදර සමගිනි. දානය බෙදනා වෙලාවේත් ඔහු දැරිය වඩා ගෙන සිටිනු දැකිය හැකි විය. සයුරංගනා කාර්ය බහුල නිමේශයන් හි ඔහු එසඳි ට කවනු පොවනු පවා දැකිය හැකි විය. “එන්න පුතාව නිදි කරවන්න” කියා සයුරංගනා ගේ සොයුරියක හෝ කතා කළ වෙලාවක “යශෝදර අංකල්ගෙ කරේ දොයියන්නෙ” කියා ඇය කීවා ය. දහසක් වගකීම් හා කාර්ය බහුලත්වයන් අතරේ යශෝදර ට එසඳි මගහැරුණේ ම නැත.
එසඳි පේන්නට නැති වෙලාවක “ළමය කෝ” කියා කිසිවෙකු විමසනු ලැබූ විට, “යශෝදර එක්ක ඇති” කියා කිව හැකි තරමට සයුරංගනා යශෝදර පිළිබඳව විශ්වාසය වඩමින් සිටියා ය. ඔහු ඇගේ හද තුළ විශ්වාසවන්ත වෙමින් සිටියේ ය.
“දැන් මොකද රංගනා අම්මලත් එක්ක ගමේ යනවද…”
දානයේ කටයුතු නිමා වී, අමුත්තන් නික්ම ගොස් පවුල් දෙකේ අය පමණක් ගෙදර ඉතිරි වූ වෙලාවේ තිලකා කෙලින් ම ඇසුවා ය. ජයරත්න ඇදෙස බැලුවේ දත්මිටි කන කේන්තියෙනි.
“අපිනං මෙහෙම්මම වුණත් එක්කං යන්න ලෑස්තියි අක්කෙ. ගහේ ගෙඩි ගහට බර වැඩි නෑනෙ. රංගිගෙ තාත්තයි අයියයි කියන්නෙත් ඒකමයි. ඒත් රංගනා ගමට යන්න එන්න කැමති නෑනෙ”
පෙර දා සිට ම තිලකා විසින් කියූ ඇනුම්පද නෑසූ කන්ව සිටි යමුනා, මේ වෙලාවේ වචන විසි කොට දැමුවේ රංගනා ඔවුන්ට එදා සේ ම අද ද වටිනා බව හැඟවෙන සේ ය.
“එයා කියන හැටියට කොහොමද කරන්නෙ…කවුද මෙයාගෙ තනි රකින්න ඉන්නෙ…මගෙ කකුල් දෙක ගෙවිල මේ මාස තුනේ…මහ ගෙදරටයි මෙහෙටයි ගාටල”
“දුව ගමට ගියාම මේ ගෙවල් දොරවල් වලට මොකද වෙන්නෙ…මොනා වුණත් මේව පිට මිනිස්සුන්ට දාල යන්න බෑනෙ. කුළියට දුන්න වුණත් අයිතිකාරයො ළඟ ඉන්නවනං තමයි ගෙවල් පරිස්සං වෙන්නෙ”
ජයරත්න සයුරංගනා ගමේ යනවාට විරෝධය පෑවේ තිලකා ගැන තරහා ඉවසාගන්නට බැරිව ය.
“ගෙවල් වල අයිතියනං අපිටත් තියනවනෙ. අපේ කොල්ලනෙ මැරිල ගියේ. ඒව අපිටත් බලා කියාගන්න පුළුවන්”
“අනේ අපිනං ඕවයෙ අයිතිවාසිකමක් දන්නෑ අක්කෙ. හිස් අතින් ආවත් අපි අපේ දරුවව තනි කරන්නෙනං නෑ”
“මං කොහෙවත් යන්නෑ අම්මෙ”
මේ කතා බහ ඉවසා සිට බැරි ම තැන සයුරංගනා එසේ කීවේ අත් දෙක පපුවේ බැඳ ගෙන හිස කෙලින් කර ගෙන ය. ඇගේ කම්මුලක මස් පිඬක් ගැහී ගියේ ය.
“මේ ගේ තියෙන්නෙ ගිම්හාන් ගෙ නමට නිසා දැන් ඒක අයිති වෙන්නෙ බාගෙ බාගෙ මටයි දරුවටයි කියල තේමිය මල්ලි කිව්ව. එයා ෆයිනල් ඉයර් ලෝ ස්ටුඩන්ට් කෙනෙක්”
“ඕ හෝ…එහෙනං නීති තත්වෙත් හොයල බලල කලිංම”
තිලකා අත්පුඩියක් ද ගසා කීවා ය. ඇය සිටියේ ලේලිය කෙරේ අප්‍රසාදයෙන් පුපුරමිනි.
“මං හොයල බැලුව නෙවේ තේමිය මල්ලි නිකමට කිව්වෙ. කොහොමත් ගිම්හාන් ඉතුරු කරල ගිය දෙයක් දරුවට පරිස්සං කරල දෙන්න ඕනෙ. අප්පච්චි හිටියනං එයා වෙනුවෙන් ගොඩක් දේවල් කරයි. ඒත් ගිම්හාන්ට ඒ දේවල් කරගන්න බැරි වුණානෙ. මටනං එක බිං අඟලක්වත් ඕන නෑ. හැබැයි ගිම්හාන් වෙනුවෙන් මං එයාගෙ දරුවට තේරෙන වයසක් එනකල් මේව රැකල දෙන්න ඕනෙ. කොහොමත් එසඳි ඉස්කෝලෙ යන්න ඕනෙ මෙහෙ. එයාට පුරුදු මෙහෙ. අප්පච්චි ඉන්නවනෙ. මට දරුව හදාගෙන මෙහෙ ඉන්න පුළුවන් අම්මෙ”
සයුරංගනා ගේ ප්‍රකාශය ස්ථිරසාර විය. කාටවත් වෙනස් කරන්නට හෝ සංස්කරණය කරන්නට තැනක් එහි නොවිණි. අනෙත් අතට ඇය වැඩිහිටියෙකි. ඇගේ සේ ම ඇගේ දරුවා ගේ ජීවිතය තීරණය කිරීමේ අයිතිය ඇයට තිබේ!
💜️සුපුරුදු ලෙස ඔබේ ආදරයෙන් බිඳක් ඉතිරි කොට තබා යන්න!