ඔස්ට්‍රේලියානු ක්‍රිකට් විජයග්‍රහණයේ කර්නාටක සෙවණැල්ල

“හැම සාර්තක පිරිමියෙක් පිටිපස්සෙම දක්ෂ කාන්තාවක් හැංගිල ඉන්නවා”

මේ කතාව සාර්තක පිරිමියෙක් දකින හැම මොහොතකම අපිට මතක් වෙන, නිරායාසයෙන්ම වගේ අපෙ කටින් පිටවෙන වචන කිහිපයක් වෙලා තියෙනවනෙ.

ඒත් විශ්වාස කරනවද පිරිමි එකොළොස් දෙනෙක්ව ජයග්‍රහණයේ සාර්තකත්වය වෙත අරගෙන යන්න ඒ පිරිමි එකොළොස් දෙනා පිටිපස්සෙ ඉඳන් එයාලව දිරිමත් කරපු කාන්තාවක් ඉන්න පුලුවන් බව?

මේ කතාව පිරිමි 11ක ක්‍රිකට් කණ්ඩායමක් ලෝක කුසලාන ජයග්‍රහණය වෙත රැගෙන ගිය කාන්තාවකගේ කතාවක්!

ඔව්!

මට ඇයව හඳුන්වා දෙන්න පුලුවන් වෙනත් විදියක් නෑ.

උර්මිලා රොසයිරෝ.

මේ නම නොදන්නා කෙනෙක්, ඇයව නොහඳුනන කෙනෙක් මේ මොහොතේ මේ ලෝකෙ ඉන්න පුලුවන්ද කියන එකත් සැකසහිතයි. ඇය ඒ තරම්ම ජනප්‍රියයි. ඇය ඒ තරම්ම ප්‍රබලයි.

කෝටි 142 ක් වන ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේ විජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තුව අහමදාබාද් නගරය මැදදි සුණුවිසුණු කරල දාන්න හේතුවක් වුණේත්, ඒ විජයග්‍රහණය ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සතුකරගන්නට හේතුවක් වුනේත් මෙන්න මේ අසමසම, අසහාය කාන්තාව.

මම ඇය ගැන ලියන්නෙ කාන්තාවක් වීම පිළිබඳ ආඩම්බරයෙන්.

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම කෙතරම් ප්‍රබල දැයි ඔබටත් මටත් අමුතු දෙයක් නෙවෙයි. ආසියාතික උපමහද්වීපයේ විශාලතම රාජ්‍යයේ දෙවියන්ට පමණක් දෙවනි කොට සලකන මේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම, මෙවර ලෝක කුසලානය පිළිබඳව අහස උසට බලාපොරොත්තු තබාගෙන හිඳි බව නොරහසක්. එහෙත් ඒ බලාපොරොත්තු බිඳී යන්නට ගතවුනේ කෙතරම් නම් කුඩා වේලාවක්ද?

එහෙත් ඉන්දියානු ක්‍රීඩාංගනයක, ජනප්‍රිය සහ බලවත් ඉන්දීය චිත්‍රපට තරු ඇතුලු කෝටි ගණනක් ඉන්දීය ප්‍රේක්ෂක විජයග්‍රහණ සිහිනයන් බොඳ කරවමින්, ප්‍රේක්ෂකාගාරය නිහඬ කරවමින්, ඒ විජයග්‍රහණයේ කුසලානය ඔස්ට්‍රේලියාවට ගෙන යන්නට ඇපකැප වූවන් පසුපස ඉන්දියානු කාන්තාවක්ම සිටින බවයි ආරංචිය!

ICC පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් කුසලානය අතැතිව සිටින ඡායාරූප පසුගිය ඉරිදා රාත්‍රියේ සිට සමාජ මාධ්‍ය තුළ ප්‍රචලිත වූ අතර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරිනී 34 හැවිරිදි උර්මිලා රොසයිරෝ මුලු ලොවම කතාබහ කරන චරිතයක් වූයේ තප්පර ගණනකින්.

කින්නිගොලි ප්‍රදේශයේ පදිංචි අයිවි සහ වැලන්ටයින් රොසාරියෝගේ දියණිය වන උර්මිලා ඇගේ වැඩිමහල් සහෝදර සහෝදරියන් තිදෙනා මෙන් කටාර්හි දෝහා හි උපත ලැබු අයෙක්.

අධ්‍යාපනය වෙනුවට ක්‍රීඩාව වෘත්තියක් ලෙස තෝරා ගත් මෙම යුවළගේ දරුවන් හතර දෙනාගෙන් එකම තැනැත්තා ඇයයි.

ඇගේ වැඩිමහල් සොහොයුරා වන ආචාර්ය ඩේවිඩ් රොසාරියෝ නිව්කාසල් විශ්ව විද්‍යාලයේ තාරකා භෞතික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. අනෙක් සහෝදරයන් දෙදෙනාගෙන් ආචාර්ය රෝස් ඊශ්වරි ස්කොට්ලන්තයේ සිටින අතර උදය රොසාරියෝ කටාර්හි ජෝර්ජ්ටවුන් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර නීතිය උගන්වයි.

“උර්මිලා පුංචි කාලෙ ඉඳලම ක්‍රීඩාවලට හරිම කැමතියි. එයා පුංචි කාලෙ ක්‍රිකට් ගැහුවා. ඊට අමතරව එයා ටෙනිස් වලටත් ආසාවෙන් තමයි හිටියේ”

කුඩා අවදියේ හිඳම ක්‍රීඩාවට ඇලුම් කල උර්මිලා රොසයිරෝ ගැන මාධ්‍යයට එලෙසින් අදහස් ප්‍රකාශ කරේ උර්මිලාගෙ මව් දෙමව්පියන්.

පන්දු යවන්නියක් ලෙසින් පටන් ගත් ඇය තම පාසල වෙනුවෙන් ක්‍රීඩා කරන අතරතුර හොඳින් ක්‍රීඩා කළ නමුත්, හදිසි අනතුරු හේතුවෙන් ඇයගේ නව යොවුන් වියේදී තුන් වතාවක් දකුණු පාදය කැඩී බිඳී ගොස්, එමඟින් ඇගේ ටෙනිස් සිහිනයට විරාමයක් ඇති වූ බවත් ඔවුන් වැඩිදුරටත් පවසා තිබුණා.

ක්‍රීඩාවට පුංචි කාලේ ඉඳල ඇලුම් කරත් කවදාවත් තමන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායට ලෝක කුසලානයක් දක්වා ගෙන යන චරිතයක් වෙයි කියා උර්මිලා නම් සිතා තිබුනේ නැහැ.

ඒ නිසාවෙන් උර්මිලා ඩේවිස් කුසලාන තරුවක් වන හිටපු ඉන්දීය ටෙනිස් ක්‍රීඩිකාව සහ පුහුණුකරු ක්‍රිෂ්ණා භූපති විසින් පවත්වාගෙන යනු ලබන භූපති ටෙනිස් ගම්මානයට සම්බන්ධ වූවා. ටෙනිස් ගම්මානයේදී උර්මිලා සිය ටෙනිස් සිහිනය සැබෑ කරගනු පිණිස ඉතා උනන්දුවෙන් ක්‍රීඩා කරගෙන ගිය නමුත් පාසලේදී ඇගේ පාදයට සිදුවූ අනතුරු ඇගේ ප්‍රගතියට බාධා කිරීමට පටන් ගැනීමත් සමඟ, කම්පාවට පත් වූයේ උර්මිලා පමනක්ම නෙවෙයි. ඇගේ පුහුණුකරු වූ ක්‍රිෂ්ණා භූපති. තමන්ට සිටින දක්ෂම ක්‍රීඩිකාවකට ඇගේ පාදයේ ආබාධිත තත්ත්වයන් නිසා අනාගතයේදි මුහුණ දෙන්නට වෙන අභාග්‍ය සම්පන්න සිදුවීම් ගැන ක්‍රිෂ්ණා අනාවැකි පල කර තිබුණා.

ඒ “කකුලෙ ප්‍රශ්ණෙ නිසා ඔයාට කවදාවත් වෘත්තිමය ටෙනිස් ක්‍රීඩිකාවක් වෙන්න බැරිවෙයි” කියමින්.

ඒත් ඒ වචන තමන්ගෙ ශිෂ්‍යාවකගේ අනාගත හීන බිඳින්න ක්‍රිෂ්ණා භාවිතා කලේ නෑ. ඒ අනුව තමයි ක්‍රීඩා කළමණාකාරීත්වය පිළිබඳ වැඩිදුර හදාරනු පිණිස උර්මිලා කටාර්හි Carnegie Mellon විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් ලබා ගැනීමට දෝහා වෙත එන්නෙ.

 කටාර් ටෙනිස් සම්මේලනයේ වසර තුනක සේවයෙන් පසු ඇය ඕස්ට්‍රේලියාවට ගියා. ඇය ටෙනිස් ඇකඩමියකට බැඳීමට අවශ්‍ය වූ නිසාවෙන් ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමට තීරණය කළ නමුත්, ඇඩිලේඩ් ක්‍රිකට් කණ්ඩායමේදී දොරටු විවර වුනේ අනාගතය පිළිබඳ සුබ සිහින ඇගේ දෙපාමුල තබමින්.

ඒ අනුව තමයි ඇය ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම විජයග්‍රහණය කරා රැගෙන යන සුබ සිහිනය ලෙසින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ කලමනාකාරීත්වය පත්වෙන්නෙ.

මුලින්ම ඇයට අවස්තාව ලැබෙන්නෙ ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කලමනාකාරිණිය වෙන.

සමහරවිට ඔස්ට්‍රේලියාව උනත් මුලින් හිතන්න ඇති “ගෑණියෙක්ව හරියන්නෙ ගෑණුන්ට මගපෙන්වන්නම තමයි” කියල.

ඒත් දෛවය අපේ දෙපතුලට අරගෙන එන දේවල් ගැන අපිට කවදාවත් අනාවැකි කියන්න හැකියාවක් නැහැනේ.

පසුගිය වසරේ FIFA ලෝක කුසලානයට පෙර, උර්මිලා තමන්ගෙ රැකියාවෙන් මාස හතරක් නිවාඩු ලබාගෙන කටාර්හි පාපන්දු ක්‍රීඩාංගණයක් කළමනාකරණය කිරීමේ අර්ධකාලීන වගකීමක් භාර ගත්තා. ම සැප්තැම්බරයේ ඇය නැවත ඕස්ට්‍රේලියාවට පැමිණියායින් පසු තමයි, ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියානු පිරිමි ක්‍රිකට් කණ්ඩායම කළමනාකරණය කිරීමට ඇයව තෝරාගෙන ඇති බව ඇය දැනගන්නේ.

මුලු මහද්වීපයක්ම තමන් මත බලාපොරොත්තු තබා හිඳින බව දැනගත්තම මොනතරම් බයක්, බරක් සිතට දැනෙන්න ඇතිද නේද?

ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම බොහෝ ජයග්‍රහණ කරා රැගෙන ගිය පලපුරුදු, ඒ වගේම දක්ෂ කළමනාකාරිත්වය අමතරව ඇය සතුව තිබු ඉන්දියානු ආභාෂය, ඉන්දියානු භාෂා පිළිබඳ දැනුමත් ඇයට මේ තනතුර ලැබෙන්න හේතුවක් වුණ බව සඳහන්.

පාදයේ ආබාධය නිසාවෙන් තමන්ගෙ ටෙනිස් හීනය මග නතර කල උර්මිලා ලෝකයක් ඉදිරියේ තමන්ගෙ නම රැන්දවූයේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම විජයග්‍රහණය කරා ගෙනයමින් තමන්ගෙම දෛවයට අභියෝග කරමින්.

“ඒක විශාල ජයග්‍රහණයක්. ලොකු අභියෝගයක් සාර්තකව ජයගැනීමක්” කියමින් තමන්ගේ ආදරණීය “බේබි” ගැන උර්මිලාගේ තාත්තා අදහස් ප්‍රකාශ කරනවා.

‘අපි බැංගලෝර් හා පූනේවලදී පාකිස්තානයට හා බංග්ලාදේශයට එරෙහිව ඔස්ට්‍රේලියාව සහභාගි වුණු තරග නැරඹුවා. අපිට ෆයිනල් මැච් එක බලන්නත් ආසාවක් තිබුණා. ඒත් කෝපි වත්ත දාලා යන්න බැරි නිසා ඒ අවස්ථාව මඟ හැරුණා.‘

එහෙම කියන්නෙ උර්මිලාගේ අම්මා අයිවි. උර්මිලා තමන්ගෙ ගෙදර අයව බලන්න වෙලාව ලැබුණ හැම මොහොතකම මැංගලෝර්වල කෝපි වත්තට යන බවත් සඳහන්.

ආයෙ වරක් ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කලමණාකාරිත්වය භාරගන්න උර්මිලාට සිදු වෙනවා. ඒ තව නොබෝ දිනකින්. ඉතින් මේ අභියෝගය ඉතාම සාර්තකව දිනපු ඇයට එය නම් අභියෝගයක් වෙන එකකුත් නැහැ.

උර්මිලාගෙන් අපිට ඉගෙන ගන්න බොහෝ දේ තිබෙනව. ඒ තමයි “ජීවිතේ අපි ඉස්සරහට අරගෙන එන අභියෝග ඉදිරියෙදි සමහරවෙලාවට අපිට අපේ හීන කැපකරන්න වෙනවා. ඒත් ඒ කැපකිරීම් වෙනුවෙන් ඊටත් වඩා වටින දෙයක් ලබාගන්න, ලඟාකරගන්න, අධිෂ්ටානශීලී ඕනම කෙනෙක්ට පුලුවන් බව”.

හීන දිනන ගමනක් යන්න වගේම, රටක හීන හැබෑකරගන්න ගමනක් එක්කගෙන යන්නත් “අධිෂ්ටානශීලී ගැහැණියකටත්” පුලුවන් බව!

Related Articles

Don't Miss


Latest Articles