මට එක දවසක් හරි බැරිනම් ඔබෙ වෙන්න – 47

0
1134

දික්කසාදේ කියන වචනෙ ඇත්තටම බර වෙන්නෙ ඒ පේපර්ස් ටිකට අත්සන් වැටෙන්න පටන් ගත්තට පස්සෙ කියලා මට තේරුණේ එදා. ලෝයර් ඔෆිස් එකේ ඒ සී එක සීතලට දැනුණත් මගේ අත් දෙක දාඩියෙන් තෙත් වෙලා තිබුණා. මේසෙ උඩ ෆයිල්ස් ගොඩක්. property deeds. bank reports. investment documents. marriage certificate copies. අවුරුදු ගාණක් එකට ගොඩනගපු ජීවිතයක් කොල කෑලි ටිකකට කැඩිලා විසිරිලා තියෙනවා වගේ.

මන්දස්මිතා මගේ ඉස්සරහා වාඩිවෙලා හිටියා. සුදු ශර්ට් එකක් ඇඳලා ඩෙනිම් එකකට, කොණ්ඩෙ එක රැල්ලක්වත් අවුල් වෙන්නෙ නැතුව පිටිපස්සට වෙන්න පීරලා, මූනෙ මේක් අප් තවරලා හරිම ලස්සනට. පුරුදු විදියටම. ඒක තමයි මට වැඩියෙන්ම අමාරු වුණේ දරාගන්න.

එයා අඬන්නෙ නෑ. තරහා ගන්නෙ නෑ. තවදුරටත් මට බණින්නෙ කරන්නෙ නෑ. හරියට මේ හැමදේම මානසිකව අවසන් කරලා ඉවර කෙනෙක් වගේ එයා හිටියා.

“මිස්ට මතින්ද්‍ර,” ලෝයර් ෆයිල් එකක් පෙරලන ගමන් කතා කරන්න ගත්තා, “ගෙදර අයිතිවෙන්න ඕන කාටද කියන එක ගැන අපි ෆයිනල් ඇග්‍රිමන්ට් එකකට එන්න ඕන.”

මං මේසෙ උඩ විසිරිච්ච කොල දිහා බලන් හිටියා. මේ ගේ ගන්න මමයි මන්දස්මිතයි ගෙවල් කීයක් නම් බැලුවද? අන්තිමේ කොච්චර නම් අමාරුවෙන්ද අපි දෙන්නටම ගැලපෙන ගෙයක් හම්බුනේ. රෑ වෙනකම් තිබ්බ මීටින්ස්, ලෝන්ස්, ප්‍රෙශර් එක, බඩු ගන්න ඒවා, ඉන්ටීරියස් ඩිසයින් කරන ඒවා වගේ ඩිස්කශන්ස් දාහකට පස්සෙ මට මතකයි ගෙදර යතුරු ටික මුලින්ම අතට ගත්ත දවසත්.

හැබැයි දැන්…

“ගෙදර අයිතිය සම්පූර්ණයෙන්ම වගේ අයිති වෙන්නෙ මිසින් මන්දස්මිතාට.”

ලෝයර් ඒක කියද්දි මං ඇහි පිල්ලමක්වත් ගැහුවෙ නෑ..

“හරි.”

මගේ කට හඬම මටම අමුතුයි වගේ දැනුණා. ඒ නිසාමද මන්දා ලෝයර් පවා ඒ කතාවෙන් පස්සෙ ටිකක් සද්ද නැතුව හිටියෙ.

“Are you sure?”

“ඔව්.”

මන්දස්මිතා ඒ පාර පලවෙනි වතාවට මගේ මූණ දිහා බැලුවා.

හරියට, “ඔයාට මොකද වෙලා තියෙන්නෙ?” කියලා ඇස්වලින් අහනවා වගේ. හැබැයි මට ඇත්තටම ඒ මොහොතෙ ඒ ගේ ගැන කිසිම වගක් තිබුණෙ නෑ.මගේ ඔළුවේ උන්නෙ මේඝා.

මේ හැමදේම ඉවර වුණාම අපිට ෆයිනලි නෝමල් වෙන්න පුළුවන් වෙයි කියන එක.

“ඊලඟට තියෙන්නෙ ඔයාලගෙ ෆයිනෑන්ශල්…” ලෝයර් ආයෙ කතා කරගෙන ගියා. numbers.
 Shares, percentages. මං අහන් හිටියා. හැබැයි මානසිකව මං එතන හිටියේ නෑ.මට මතක් වෙමින් තිබුණේ මේඝා එදා බැල්කනි එකේ හිටපු විදිය. මහන්සි වෙච්ච ඇස්, ඩිප්‍රෙස් වෙලා වගේ. දෙයියනේ මං එයාව එච්චරටම විනාස කරාද? මං ඇහුවෙ මගෙන්මයි.  මං වටේ මෙච්චර දේවල් වෙද්දි එක තත්පරේකට ගිල්ටි ෆීලින් එකක් මගෙ පපුව ඇතුළට රිංගුවා.හැබැයි ඒකත් එක්කම තව සිතුවිල්ලක් මගෙ හිතට  ආවා.

“මං මේ හැමදේම හරිගස්සනවා.”

මට ඒ අදහස අතාරින්න බැරි වුණා.

ලෝයර් ෆයිල්ස් ටික වහලා දැම්මා.

“එහෙනම් අපි ඉතුරු වැඩ ටික එක්ක ප්‍රොසීඩ් කරමු.”

මං ඔළුව වැනුවා. මීටින් එක ඉවර වෙලා මන්දස්මිතා නැගිට්ටා.

එයා බෑග් එක උරහිසකට දාගත්තා. ඊටපස්සෙ පොඩි වෙලාවක් මං දිහා බලන් හිටියා.

“ඔයාට දුක නැද්ද?” එයා හෙමින් ඇහුවා.

“මොනවා ගැනද?”

“මේ වෙච්ච දේවල් මෙහෙම නොවුන නම් කියලා හිතුනෙම නැද්ද? ඔයාට හිතුනෙ නැද්ද ඔයා ගොඩ නගපු ජිවීතෙන් බාගයක් අද ඔයාට මෙහෙම නැතිවෙලා යනවා කියලා”

මං ටික වෙලාවක් නිශ්ශබ්දව හිටියා. ඇත්තටම මට දුක හිතුණේ නෑ. ඒක මටම බය හිතෙන තේරුං ගැනීමක්.

“මගෙ ජීවිතේ බාගයක් කලින්ම නැතිවෙලා ඉවරයි මන්දස්මිතා,” මං හෙමින් කිව්වා.

එයාගේ ඇස් ටිකක් වෙනස් වුණා. හැබැයි එයා මුකුත් කිව්වෙ නෑ. නිකන්ම ආපස්සට හැරිලා ඇවිදගෙන ගියා විතරයි. මං එයා යන දිහා බලන් හිටියේ අමුතු හිස් ෆීලින් එකක් එක්ක.

ඒත් ඒ හිස් ගතිය ඇතුළේ පවා තවමත් මේඝා හිටියා.

ලෝයර් ඔෆිස් එකෙන් එළියට ආවට පස්සෙ මං කාර් එක ඇතුළේ විනාඩි දහයක් විතර නිකන්ම වාඩිවෙලා හිටියා. වැහි බිංදු එක එක වින්ඩ්ස්ක්‍රීන් එක උඩට වැටෙනවා. මිනිස්සු පාරවල් දිගේ යනවා. ජිවීතෙ හරිම සාමාන්‍ය විදියට මූව් වෙනවා.හැබැයි මගේ ජීවිතේ එහෙම උනේ නෑ. මං කොල කෑලි ටිකක් උඩ අත්සන් කරලා අවුරුදු ගාණක් තිබ්බ කසාදයක් අතෑරලා දාලා ආවා.

ඒ උනාට මේකෙ තිබ්බ ලොකුවටම හිනා යන දේ මොකද්ද?

මට ඇත්තටම කිසිම කඩ වැටීමක්, හිත් වේදනාවක් දැනුණෙ නෑ.මට දැනුණේ නිදහස් වීමක් වගේ එකක්.හරියට මගේ බෙල්ල වටේ තිබ්බ මොකක්හරි හිරවීමක් එකපාර නැති වෙලා ගියා වගේ.මං ෆෝන් එක අරගෙන මේඝාගෙ චැට් එක ඕපන් කරා.

අන්තිම මැසේජ් එක තිබ්බෙ “passwords ටික please.” කියන එක. ඒ මැසේජ් එක දැක්කමත් මට පොඩි සන්තෝසයක් හිතට ආවා. ඒකෙ පොඩ්ඩක්වත් ආදරේ ගෑවිලා තිබ්බෙ නැති උනාට එයාට ඕන වෙලා තිබුණේ මාව, එයාට මං නැතුව ජීවත්වෙන්න බෑ කියන සිතුවිල්ලෙ මම එල්ලුනා.

“free ද අද?” මම එහෙම මැසේජ් එකක් දාලා තප්පර ගානක් ස්ක්‍රීන් එක දිහා බලන් උන්නා. ඒත් කිසිම රිප්ලයි එකක් ආවෙ නෑ. අඩුම එයා ඒ මැසේජ් එක බැලුවෙවත් නෑ.ඒ සයිලන්ස් එක මගේ පපුවට හෙමින් බරක් වගේ වැටුණා.හැබැයි මං වැඩේ අත ඇරියෙ නෑ. “මේඝාට මහන්සි ඇති ඔලුවට, එයාට මම තව ටයිම් දෙන්න ඕන හිත හදාගන්න” කියලා මම කියාගත්තෙ මටමයි. එහෙම හිතන ගමන්ම තමයි මම කාර් එක ස්ටාට් කරලා ඩ්‍රයිව් කරන්න පටන් ගත්තෙ. පැය බාගෙකට විතර පස්සෙ මට පුලුවන් උනා මේඝාගෙ අපාට්මන්ට් එකට එන්න. ඇත්තටම එන්න කලින් කියලා එන්න ඕන. හරිනං මං එහෙම තමයි කරන්න ඕන. ඒ උනාට එවෙලෙ මට එහෙම උවමනාවක්, ඉවසිල්ලක් තිබුණෙ නෑ. මං හැමදේම නැතිකරගෙන තිබුනෙ. එහෙම එකේ මේඝා දිහාවත් ඉවසීමෙන් බලන්න පුලුවන්කමක් මට තිබ්බෙ නෑ.  දැන් මට ඕන වුණේ මේඝාව විතරයි. ඩෝ බෙල් එක රිං කරලා ටික වෙලාවකට පස්සෙ තමයි මේඝා දොර ඇරියෙ. පුරුදු විදියටම ලොකුම ලොකු ශර්ට් එකක් ඇඳන්, කොන්ඩෙ අවුල් කරන්, ඇස් නිදිබර කරගෙන එයා එතන හිටගෙන උන්නෙ නිකන් මැරෙන්න ඔන්න මෙන්න ලෙවල් එකකින්.

“ඇයි?” එයා ඇහුවේ හරිම ෆ්ලැට් වොයිස් එකකින්.

“කතාකරන්න ඕන.” මං එහෙම කිව්වට පස්සෙ මේඝා ටික වෙලාවක් සද්ද නැතුව හිටියා. ඊටපස්සෙ මට ඇතුලට එන්න එයා දොර ඇරියා.  ගේ ඇතුලෙ තිබ්බෙ මහ අමුතු පාලුවක්. ටී වි එක ඕෆ්. ලයිට්ස් ඩිම්. බීලා ඉවර වෙච්ච තේ කෝප්පයක් විතරක් මේසෙ උඩ. කෑම උයපු පාටක්වත් කුස්සියෙ නෑ. නිකන් ජීවත්වෙන්නං වාලෙ ජීවත්වෙනවා වගේ.

“ඔයා ඕකේ ද?” මං හෙමින් ඇහුවා.

“ඔව්.”

බොරු. එයා හොඳින් නෑ කියලා අන්ධයෙක්ටත් පේනවා. “එහෙනම් උඹ මොකටද ඒකිගෙන් ඕකේ ද කියලා ඇහුවෙ?” මගෙ හිත මගෙන්ම ඇහුවෙ. මං හෙමින් සැරේ එයා ළඟට ඇවිදගෙන ගියා.

“අද ලෝයර්ව මීට් වුණා” මං එහෙම කිව්වම තමයි මේඝාගෙ ඇස් ඉස්සිලා මගෙ ඇස් උඩ නතර වුණා.

“හ්ම්.”

“සෙට්ල්මන්ට් එක ඕල්මෝස්ට් හරි.”

එයා කිසිම දෙයක් ඒකට කිව්වෙ නෑ.

“මං ගෙදරත් එයාටම දුන්නා.”

ඒත් එයා මුකුත් කිව්වෙ නෑ.

“ඉන්වෙස්ට්මන්ට්ස් වලිනුත් ගොඩක් දුන්නා.”

මේඝා හෙමින් සෝෆා එකේ කෙලවරක වාඩිවුණා.හරියට එයාට මේ කතාබහ දරාගන්න අමාරුයි වගේ.

“ඇයි මට මේ දේවල් කියන්නෙ?” එයා අන්තිමට ඇහුවා.

“මොකද” මං හුස්මක් ගත්තා. “මං දැන් අපි ගැන සීරියස් මේඝා.”

එයා මං දිහා බැලුවා.

“මං හැමදේම අත ඇරලා දැම්මා, ඔයා වෙනුවෙන්, අපි වෙනුවෙන්.”

“මං ඔයාට එහෙම කරන්න කිව්වෙ නෑ.”

ඒ වචන ටික මට පපුවට පිහියෙන් ඇන්නා වගේ දැනුනෙ.

“දන්නවා,” මං හෙමින් කිව්වා. “හැබැයි මං ඒවා කරේ මට ඔයාව ඕන වෙච්ච හන්දා. මට අපිව ඕන වෙච්ච හන්දා.අපිට ආයෙ අලුතෙන් හැමදේම පටන් ගන්න පුලුවන් කියලා මට හිතුණ හන්දා. මට ඒකට ට්‍රයි කරන්න ඕන හන්දා”

එයා අහක බලාගත්තා.

“අපි මේ ප්‍රශ්න විසඳුනාට පස්සෙ කොහෙ හරි යන් නිස්කලංක තැනකට. ෆෝන්ස් නැතුව, මිනිස්සු නැතුව අපි විතරක් ඉන්න තැනකට. මේ කරදර වලින් පිට තැනකට ඔයා කැමති ඕන තැනකට. අපි ගිහින් මේ වෙච්ච හැමදේම අමතක කරලා ජීවිතේ අලුතෙන් පටන් ගමු මැණික” මං මේඝා ඉස්සරහත් අර මම තනියෙන් හිතුව අනාගතේ පේන්ට් කරන්න පටන් ගත්තා. 

හැබැයි මේඝා කරේ ඔහේ අහන් ඉන්න එක විතරයි. කිසිම උනන්දුවක්, එක්සයිට්මන්ට් එකක් එතන තිබ්බෙ නෑ. අන්න එතනදි පලවෙනි වතාවට මට මෙහෙම හිතුණා

“මම මේ හැමදේම නැති කරගෙන ඉවර උනාට පස්සෙත් මේඝා හිතින් මාව අත ඇරලා ඉවර නම් මම මොකද කරන්නෙ?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here