සඳ ගංතෙර -50

“කොල්ලෙක්ට තරහ ගියාම නිවෙන්න වෙලාවක් යනවා මචං.එක දිගට සිංහලෙනුයි ඉංග්‍රීසියෙනුයි කලවමට තියන තරම් චැට් ඇප් පිරෙව්වට වැඩක් නෑ. ඒ මනුස්සයට නිවෙන්න දීපං.”

ලහිරු එසේ පැවසුවේ හැම වැඩක්ම අහකට දමා සඳරැස්ට දිග පණිවිඩ යවමින් සිටි දුලන්‍යාට ය. ඇය ඒවා අසන්නට සූදානම් නැත. දේශන අතරේ පවා ඇය සඳරැස්ගේ දුරකථනය අංකනය කළා ය. වෙනදා තත්පර කිහිපයකින් ඇමතුම සමඟ සම්බන්ධ වෙන අතිශය කාර්යබහුල නම් පණිවිඩයක් හරහා එය දන්වන ඔහු සිටියේ නොදන්නා ගාණට ය.

දුලන්‍යාට හැඬේ. ආදරය මේ තරම් ගින්දරක් බව ඇය දැන සිටියේ නැත. ඕනෑ නැති කාරණාවකට ඒ තරම් ලොකු තරහක් ගන්නට ඔහුට ඕනෑ වූයේ ඇයි? ඇය දවසම කළේ හැඬීම ය. නොසලකා හැරීම තරම් නරක දඬුවමක් ගැන ඇය නොදනී. තමන් මුණ ගැසෙන්නට ආ වැඩිහිටි ගැහැනියකට අකාරුණික වන්නට නොහැකි බව සඳරැස්ට තේරුම් ගන්නට නොහැකිදැයි ඇය සිතුවා ය.

“ඔයා අම්මා එක්ක හොඳටෝම තරහ බව මම දන්නව. එයා ඇවිල්ලා වේදනාවකින් කතා කරනකොට එයාව රිජෙක්ට් කරන්න මට බැරි වුණා. ඒකට මට ඔච්චර ලොකු දඬුවමක් වැඩී.”

දුලන්‍යාගෙන් ඒ පණිවිඩය ආ පසු ඇයට කතා කරන්නටම සඳරැස්ට සිතිණ. නමුත් දවසක්වත් තරහ වෙන්නට ඔහු ඉටා ගත්තේ ය. චාන්දනී මල්වැන්නට විජේවර්ධන මහත්මිය වන්නට සිතුණු දවස ඔහුට මතක නැත.

“අම්මට වෙන ගෙයක් තියනවා පුතේ. අම්මා සතුටින් ඉන්නේ එහෙ. අම්මා එහෙ ගියාම පුතා අම්මම්මා එක්ක ඉන්නෝන දඟ නොකර.”

ඒ වචන කුඩා දරුවෙකුට එතරම් හොඳින් මතක සිටියේ කොහොමදැයි අදටත් සඳරැස් නොදනී. අම්මාගේ නමේ තේරුම හඳ බවත් තමන් ඇගෙන් උපදින කිරණ බවත් තාත්තා පැවසුවේ ඇය යන්නට ගොස් විශාල කාලයකට පසුව ය. සඳරැස් හිනැහිණ.

“හඳක් නැති අහසකට තරුවනෙ තාත්තේ එළිය දෙන්නේ. අපේ ෂයිනින් ස්ටාර් ඉන්නකම් ඔය චාන්දනී නෝනා ගැන කතා කරන්න ඕන නෑ.”

අක්කා සමහර මොහොතක අම්මාට අමතන්නට උත්සාහ කළ දවස් තිබිණ. ඇය පසුව එය අතැර දැමුවේම සඳරැස්ගේ දැඩි විරෝධය හන්දා ය. තමන් ඕනෑවටත් වඩා නසරානි කොල්ලෙකු වී විශාල ප්‍රශ්නයක් ඇති කළ දවසක තාත්තම්මාගේ හඬ ඇසුණු මොහොතක් ඔහු සිහි කළේ ය. එදා විජිත මල්වැන්න සඳරැස්ව රැගෙන ආවේ පොලිස් කූඩුවේ සිට ය. වරද අසල්වැසි පාසලක කොලුවෙකුට නළල පැලෙන්නට ගැසීම ය.

“චාන්දනීගෙ රූපෙම තියන කොල්ලට උඹේ හැඩරුව ගෑවිලාවත් තියද පුතේ..ඉගෙන ගන්න නම් සූරයි තමා. ඒත් කොල්ලා උපන් කාලෙ නේද අර කාලකන්නි මිනිහගෙයි චාන්දනීගෙයි සම්බන්දෙ අහු වුණෙත්.”

සඳරැස් යහනින් ඉද්ද ගැසුවා සේ නැගිට්ටේ ය. අවුරුදු දහ හතක කොලුවෙකුට ඒ ඕපාදූපය දැරිය හැකි සීමාවෙන් ඔබ්බට ගොස් තිබිණ.

“පිස්සුද අම්මේ. ලොකූටත් වඩා මට ආදරේ කොල්ලා. කොල්ලට ඔහොම වුණේ අම්මෙක් නැති නිසා. උපන් දක්ෂකමට ඉගෙන ගත්තට මමයි දුවයි අම්මලයි දෙන ආදරේ ඌට මදි.”

තාත්තා එසේ කියද්දී සඳරැස් සැනසිණ. ඔහු වඩාත් වෛර කරන මිනිසාගේ ලෙයට අයිති දරුවෙක් බව සිතන්නට සඳරැස් අකමැති ය. වෙනකක් තබා තමන් චාන්දනීගේ දරුවෙකු බව සිතන්නට පවා ඔහු අකමැති ය.

එනිසා චාන්දනී සමඟ හාදකම් පවත්වන්නට ගිය දුලන්‍යාට දඬුවමක් නොදී බැරි ය.

විහස් ආයතනයෙන් එළියට එන්නට ආවේ දවල් කෑමට යන්නට ය. එහි ගේට්ටුව අසල සිටි යුවතිය දුටු ඔහු වාහනය නැවත රථගාලේ නවතා ටයි පටිය ද වාහනයට විසි කළේ ය. අත්දිග කමිසයේ අත් නැවිණ. ප්‍රධාන ගේට්ටුව මඟ හැර ඔහු වෙනත් ගේට්ටුවකින් පිටතට ආවේ ය.

“ගෑනු ළමයා.. මොකද මේ පැත්තේ? කැම්පස් සෙරමනි එකකට ආධාරයක් පතාද?”

ඔහු අසයි. දුලන්‍යා නැතැයි කියන්නට හිස වැනුවා ය.

“නංගි මෙතන ඇයි? මං මේ කිට්ටුව ඔෆිස් එකක…”

විහස්ට බොරුව සම්පූර්ණ කරන්නට නොලැබිණ. දුලන්‍යා වහා ඔහුගේ අතකින් අල්ලා ගත්තා ය.

“ඔයා මේ ඔෆිස් එකේ මැනේජ්මන්ට් එකේ කෙනෙක් කියලා මං දන්නව අයියා. මට අක්කි ඔක්කොම කිව්වා. ඔයා මුණ ගැහෙන්න නෙවේ මම ආවේ. ඔයාලගෙ අම්මා මුණ ගැහෙන්න.”

විහස්ගේ තොල කට වියැළිණ. තාරකා අක්කා රහස රකින්නට සමත් වී නැත. දැන් සඳරැස් ද මේවා දන්නවා විය හැකි ය.

“මේ ගේට් එක ගාවට ඇවිල්ලා කෙල්ලො මට මල් දෙන ඒවා,හග් කරන එව්වා,කනේ පාරවල් දෙන ඒවා, පදෙන් අමතන ඒවා හරි සාමාන්‍යයි නංගි. ඒත් ඔයා ඒ ගොඩට වැටිලා බෑනෙ. ඔයා මගෙ ලොකු අයියගෙ වෙන්ඩ වයිෆ්නෙ. ඔහොම ඉන්න.”

විහස් වහා ආයතනය තුළට පිවිසිණ. මෝටර් රථයෙන් පිටතට ආ ඔහු දුලන්‍යා එහි නංවා ගත්තේ ය. කෝපි කෝප්පයක් බොමින් මේ ප්‍රශ්නය සාකච්ඡා කළ හැකි ය.

“ඇයි නංගිට අම්මා මුණ ගැහෙන්න ඕන? මට මේ දැන් ඔයාව අපේ ගෙදර එක්ක ගියෑකි. ඒත් ඔයා හිතනවද අම්මයි සඳරැස් අයියයි මුණ ගැහෙන්න ඕන කියලා?”

දුලන්‍යා නැතැයි කියන්නට හිස වැනුවා ය. අර්බුදය එය නොවේ. චාන්දනී අර්බුද සෑදුවේ කාලයකට පෙර ය. අලුත්ම අර්බුදය ද ඇගේ නිර්මාණයකි.

(අසනීපයෙනි. තවම සුව වෙමිනි.මඟ හැරුණු දවස් වෙනුවෙන් සමාව අයදිමි. දිගු කොටස් ඉදිරියේදී කියවමු. කතාව එනතුරු බලා සිටියාට ස්තූතියි!)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles