fbpx

සඳක් කළ සක්මන් – 36

දවස් ගෙවී ගියේ ඉක්මනට ය. ගලින් ගල උස් වී අපේ කුඩා නිවසෙහි බිත්ති ඉහළ යන හැටි මම සතුටෙන් බලා සිටියෙමි. තාත්තා මාසේ අන්තිමට ගෙදර ආවේ ය. ඔහු පැමිණියේ අතින් කටින් බඩු මලු එල්ලා ගෙන ය. ළමා වියේ දී අපට අත්හැරී ගිය කිසියම් දෙයක්, සතුටක්, අප වෙත නැවත සපැමිණෙමින් තිබෙන බවක් මට දැනිණ. තාත්තා ආ දා ගෙදර අමුතු ම ප්‍රීති ප්‍රවාහයක් හමා යන්නට විය. අපේ කුස්සිය පැත්තෙන් රසට අහර පිසෙන සුවඳ හැමුවේ ය. තාත්තා කතරගම කතා කීවේ ය. අම්මා ගේ මුහුණ සිනහවෙන් එළිය වැටී තිබිණි. ආච්චම්මා වුව සිටියේ දෝරෙ ගලා යන උද්‍යෝගයකිනි. 

තාත්තා පැණි බූන්දි හා පුහුල් දෝසි පාර්සල ගෙනැවිත් තිබිණි. අම්මා ආස නිසා කතරගමින් කොට්ටකිලිංජු ද ගෙනැවිත් තිබුණේ ය. මට නම් දැනුණේ මා වැඩිහිටි ලෝකයට අවතීර්ණ වී සිටින යුවතියක ලෙස නොව අවුරුදු දහයක දොළහක දැරියක සේ ය. පැණි බූන්දි හපත්දී මගේ දිවගට දැනුණේ ළමා වියට අයත් රසයකි.

සිහිනෙන් ගෑ සුවඳක් සේ හෝ මට ඒ ළමා විය දැන වූ එක ගැන මම දෙවියන්ට ස්තූතිවන්ත වීමි.

අපේ ගෙදර තිබූ හොඳ ම සුදු පිඟානට අම්මා ලොකු බත් එකක් බෙදා දුන්නා ය. පහේ බැද පිසූ කුකුළු මස් කරියත්, අල කිරි හොද්දත්, කරවිල බැදුම හා පිපිඤ්ඤා සම්බලයත් පපඩමුත් එහි ලස්සන පාට මවා තිබුණේ ය. ආච්චම්මා උයන කෑම ඉතා රසවත් බව මම අත්දැකීමෙන් දන්නෙමි. දැවිල්ලට හාස් හූස් ගාමින් කන්නට සිදු වූව ද බඩ පැලෙන්නට ඒවා කන්නට පුළුවන.

මම බත් පිඟාන නෙරංජලා අතට දී වට පිට බැලුවෙමි. ආකාශ් මතු මහලේ සිට පහල ආලින්දයට විවර වන වෘත්තාකාර සඳැල්ලේ සිට ඇස් වලින් මට කතා කළේ ය. මම හොර බැළලක සේ පිය ගැට පෙළ නැංගෙමි.

“නැන්දම්මට තමයි ඔක්කොම…අපිට මොනාත් නෑ”

ආකාශ් නෝක්කාඩුවක් කියමින් මගේ කම්මුලක් රිදෙන්නට හාදුවක් තැබුවේ ය. මා පස්සට තල්ලු වී යන්නට ගොස් වැළකුණේ ඔහු හැඳ සිටි ටී ශර්ට් එක අල්ලා ගැනීමෙනි.

“තියෙන විසයක්”

මම බොළඳ තරවටුවක් කළෙමි.

“සතුටෙන් නේද…”

ඔහු විමසුවේ මගේ නෙත් විල් වල කිමිදෙමිනි. ඒ සුවය විඳ ගන්නට ඇස් වලට ඉඩ දී මම නිස්කාංසුවේ ඔහු දෙස බලා උන්නෙමි.

“හ්ම්”

“මට දැනෙනව”

“ඔයා නිසා…ඔයාල නිසා…”

“මට ඕනෙ එච්චරයි”

“මොනාද…”

“ඔයා සතුටෙන් ඉන්නව දකින්න…මුළු ජීවිතේදිම…එතකොට මට මාර ෆිට් එකක් එනව…ඕන දෙයක් කරන්න…ඔයාගෙ සතුට වෙනුවෙන් ඇත්තටම මට ඕන දෙයක් කරන්න පුළුවන් පූජා…ඔය හිනාව වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුළුවන්”

ස්ත්‍රී පුරුෂ සම්බන්ධයක් තුළින් බොහෝ ගැහැනුන් පතන්නා වූ රැකවරණයක් හෝ මානසික සුවයක් හෝ තිබේ. කිසි දා ක මදි නො කියන්නට ආකාශ් මවෙත එය ලැබෙන්නට සලස්වමින් සිටියේ ය. අනිත් අතට ඔහු කෙරේ මහත් වූ ගෞරවයක් මා හදවතෙහි වැඩෙමින් තිබිණි. මට අහිමිව ගොස් තිබූ අතීතයක් යළි හෙමිහිට මා වෙත ගෙන ආ ඍශිවරයෙකු සේ ඇතැම් විට මට ඔහු ව දැනිණ.

“තාත්ත ආයෙ මට ලැබුණෙ ඔයා නිසා”

මගේ ඇස් වලට කඳුළක තෙත කාන්දු වෙන්නට ඇත. ඒ කඳුළ, ආකාශ් සිය දෑසින් සිප ගත්තේ ය. ඔහු ගේ දෙතොලතර බටිති සිනහවක් නළියනවා මම දුටිමි.

“මං දන්නව කොහොමත්….”

කියන්නට ගිය දේ ඔහු ගිල ගත්තේ ය. මම නො ඉවසිලිමත් වීමි.

“මොකද්ද…”

“තාත්තට ආදරෙයි කියල…මට වැඩිය”

“ඒ…යි…”

Mini Stories

හිසරදය.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 30 වන කොටස

Mini Stories

නිදහස

ළපෙති මල්

ළපෙති මල් -31

Mini Stories

අයිතියක් නැති තැන්.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 29 වන කොටස

Mini Stories

ඉරිසියාව

ළපෙති මල්

ළපෙති මල් – 30

Mini Stories

සුවඳ නැති අතීතය

මා ඔහු ගේ පපුව සමීපයෙන් ටී ශර්ට් එකෙන් අල්ලා ඇද්දේ ඒ සිනහවේ වූ දුක්බර බව මගේ හදවතට ම දැනුණ නිසා ය. වෘත්තියෙන් දොස්තරෙකු වන්නට තරම් ඉගෙන ගත්තත් මිනිස් හදවත් වල හැඟීම් හා ආවේගයන් හි ස්වභාවික මිනිස් ගති පරයන්නට ඇතැම් විට අපි අපොහොසත් වන්නෙමු.

“ඒ ආදරේ අඩු වැඩියක් කියන්න මං දන්නෑ. හැබැයි තාත්තට මං මෙච්චර ආදරේ කරල තියෙනව කියලත් මං දැනගෙන වැඩි කල් නෑ. මං ඒ ආදරේ හොයා ගත්තෙ ඔයා නිසා කියලනං දන්නව”

ආකාශ් මදෙස බලා උන්නේ නිම් හිම් නොවන ස්නේහයකිනි. මාව දැඩි ව සිය පපුවට තුරුලු කොට වැළඳ ගන්නට ඔහු ට ඕනා කර තිබූ බව ඒ දෑස් වල කාන්තිය අනුව මට සිතා ගත හැකි විය. නමුත් ඔහු එවන් හිතුවක්කාර කමකට නො පෙළඹුණේ ය. ඒ ගැන මම හිතින් ඔහු ට ස්තූති වන්ත වීමි.

ආකාශ් මාත් සමග මිදුලට බැස්සේ පාර ළඟට විත් මාව ගෙදරට ඇරලන්නට ය.

“අනේ ඔය අල්ලපු වත්තට පනින්න ඒ ළමයට පුළුවන්”

නෙරංජලා ගුරුගේ සිය පුතණුවන්ට විහිළුවක් කළා ය. මම ලැජ්ජාශීලී සිනහවකින් බිම බැලුවෙමි. ආකාශ් මව් ගේ කතාව ගැන උනන්දුවක් නො දක්වා මාත් එක්ක ඔවුන් ගේ සිමෙන්ති ගල් අල්ලූ අඩි පාර දිගේ, තණ පලස මැමැද්දෙන් පිවිසුම් දොරටුව ළඟට ම ආවේ ය. ඒ සිහිලැල් රාත්‍රියේ සඳ පින්නට තණ පලස තෙත් වී තිබිණි. අඩි පාර දෙපස නෙරංජලා විසින් සිටුවන ලද කුඩා වර්ණවත් මල් දරන දිය රෝස පඳුරු, පිනි දරා ගෙන ම සීතලේ නැලැවෙමින් සිටියේ ය. ලා සඳ එළියක් මල් පඳුරු මත වැතිරී හොත්තේ ය. මම ඒ මනරම් දර්ශනය සිත් හි දරා ගෙන පිවිසුම් දොරටුව ළඟ නතර වුණෙමි. ආකාශ් හෙමිහිට මගේ ඇඟිලි තුඩගින් අල්ලා ගත්තේ ය.

“ඉඹින්න හිතෙනව”

ඔහු මිමිණුවේ ය. 

“ෂ්…”

මම දබරැඟිල්ල මගේ දෙතොල් මත තබා ඔහු ට සරදම් කළෙමි.

“ඇත්තමයි  පූජා. යන්න දෙන්න හිතෙන්නෑ දැං”

“මං යන්නද”

මම ඇස් වලිනුත් කතා කළෙමි.

“රෑට මේ තාප්පෙං පැනල ඔයාගෙ කාමරේට එන්න හිතුණොත් මං දන්නෑ ඔන්න”

හඬ නො නැගෙන සේ අතින් මුව වසාගෙන මම සිනහ වුණෙමි.

“අපේ ආච්චම්ම ඇඳ පොල්ලක් ගත්තොත් එහෙම මාත් දන්නෑ ඔන්න”

මම හෙමිහිට ඔහු ගේ අතැඟිලි වල ස්පර්ශයෙන් මිදී ගේට්ටුව ඇරියෙමි.

“ආදරෙයි…ඉස්සරටත් වඩා”

ආකාශ් මිමිණුවේ ය. පාරට එනකොට ම නංගී පාර අයිනේ සිටිනු මම දුටිමි. හිතේ එක් වර ම නැගුණේ කේන්තියකි. මේ රෑ පානේ තනි පංගලමේ පාරට වී ඇය මොනවා කරනවාද?

“මොකද්ද නංගි මෙතනට වෙලා කරන්නෙ…”

මගේ හඬ තුළත් තරමක නො රිස්සුමක් තිබෙන්නට ඇත. 

“මුකුත් නෑ”

මට පිළිතුරු දුන්නා ට ඇගේ ඇස් එල්ලී ගෙන තිබුණේ ආකාශ් ගේ වත මත ය. ඇගේ ඇස් වල, ඒ වයසේ දැරියකට කොහෙත් ම නො ගැලපෙන විදිහේ සරාගී බව මට හැඳින ගත හැකි විය. ආකාශ් දෙස එවන් දෑසකින් ඈ බලා හිඳීම ගැන සැබවින් මට දැනුණේ ලැජ්ජාවකි.

“මුකුත් නෑ තමයි. යනව ගෙට”

මම සැර කළෙමි.

“ආ…මෙන්න වැඩක්. එයාට හොඳයි රෑ වෙලා කොල්ලො එක්ක මුකුළු කර කර ඉන්න. මං මේ පාරට ආවහම හොඳ නෑ”

ඇගේ කෙස් වැටියෙන් ඇද පහර දෙන්නට තරම් කේන්තියක් මා දවාලන්නට වූයේ ය. ආකාශ් මා හැඳින ගන්නට ඇත. 

“පූජා දැං ගෙදරට යන්න”

කියා ඔහු ඉතා මෘදු ලෙස පවසන්න ට ඇත්තේ එනිසාවෙනි. මම නංගී ට රවා ගෙන ම ගෙතුළට ගියෙමි. ආකාශ් කුඩා ගේට්ටුව වසන හඬ ඇසිණි.

අපේ ගේ ගෙදරට අයිති ඉඩම ඉතා කුඩා එකකි. ගෙයින් පිටතට එන්නේ ම පාරට ය. මා දහස් පෙතියා වවා ඇති කුඩා පාත්ති කොටස හැරුණ විට, ඉදිරිපසින් ගේ කෑල්ල තනා තිබෙන්නේ පාරට ම ලං ව ය. ඒ නිසා ම මගේ පාසල් වියේ දී මා ඉදිරිපස මිදුලට බැස්සේ කලාකුරකිනි. අහල පහල උදවිය ගේ නෙතු ගැටෙනනට මට ඕනෑ වූයේ ම නැත. නමුත් නංගී නම් ඕනෑ ම වෙලාවක සිටිනු දැකිය හැක්කේ පාරට පිවිසෙන කඩුල්ල ළඟ ය. 

“පාරට වෙලා මොන කෙහෙල්මලක් කරනවද…ඇයි පොතක් අරං පාඩමක් කර ගන්න බැරිද…”

මා ගෙට ගොඩ වූයේ නංගී ට සැර දමා ගෙන ය. අම්මා කර පොවා විමසුම් ඇසින් බැලුවා මිස කිසිත් විමසුවේ නැත.

“මෙයා අර පාර ළඟට වෙලා මේ කළුවරේ හිටං ඉන්නව. තාමත් හැදිලනං නෑ”

මම ගෙදර කාටත් ඇහෙන්නට කෑ ගැසුවෙමි. වෙනදා ටත් නංගී එහෙම කරනු මම දැක ඇත්තෙමි. නමුත් මේ වෙලාවේ වැඩිපුර ම මා වෙත බලපෑවේ නංගී ආකාශ් දෙස බැලූ බැල්ම නො වන්නේ ද? මේ මොහොතේ මා හැසිරෙන්නේ තනිකර ම හිතේ පැසවන ඊර්ෂ්‍යාවකිනැයි මට සිතිණ. නමුත් ඒ සිතිවිල්ල මත හෝ පාලනය වන්නට මට ඕනෑ නොවුණේ මගේ හුදු පුහුදුන් මිනිස් ගති නිසා වන්නට ඇත. කොයි තරම් හොඳ වන්නට හැදුවත් මම ද සාමාන්‍ය මනුශ්‍යයෙක්මි. ඊර්ෂ්‍යාව, බිය, වේදනාව හෝ කේන්තිය වන් මිනිස් හැඟීම් මට ද පොදු ය. මගේ ම නංගී මගේ පෙම්වතා දෙස අර වාගේ දෑසකින් බලත්දී එ් මිනිස් සිතේ හැටි යයි සිතා නිහඬ වන්නට තවම නම් මට නුපුළුවන.

“අනේ මේ ඔයා ඕන එකටයි එපා එකටයි හැම එකටම හොට දාන්න එන්නැතුව ඉන්නවද…”

නංගී මා පරයා උස් හඬින් කෑ ගසා ගෙන ආවා ය.

“මෙයා මේ සල්ලි දීල මාව පන්ති යැව්වයි කියල මං මෙයාට ඕන හැටියට ම ජීවත් වෙන්න ඕනද…ඒක යකාගෙ ආණ්ඩුවක්නෙ”

“කට වහපං”

තාත්තා කෑ නො ගසන්නට නංගිගේ කියවීම එතෙකින් නතර නො වන්නට තිබිණි. මට දැනුණේ සිහින් කලකිරීමකි. තනිව ම මගේ ගමන යන්නට ඕනා වූවා නම් මම එහෙම කරමි. නංගී වැටුණ අපායේ ම ලැග ඉන්නට හැර ඉවත බලා ගන්නට මට තිබිණි. නමුත් මා උත්සාහ කළේ ඇයවත් තව ටිකක් හෝ දුරට ඇද ගෙන ම යන්නට ය. නංගී එය දකින්නේ මට ඕනා ලෙසට මා ඇය ව පාලනය කිරීමට තැත් දැරීමක් ලෙසට ය.

“ලොක්කී…කමු…”

තාත්තා කාමරයට එබී කීවේ ය. පෙර කිසි දාක ඔහු එසේ කොට ඇති බවට මතකයක් මට නැත. මගේ හිත රිදී ඇති බව තාත්තා තේරුම් ගන්නට ඇත. කෙතරම් සරුසාර හා රසවත් ආහාරයක් වුණත් එදා මට කුස පිරෙන්නට කෑම කන රුචියක් වූයේ නැත.

“ලොක්කි අහල තියෙනවද අනගාරික ධර්මපාල තුමා කියල තියෙන කතාවක්..”

කන ගමන් ආච්චම්මා සිය කතා සරිත් සාගරය කළඹන්නට වූවා ය. නමුත් වෙනදා වාගේ උද්‍යෝගයක් මට දැනුණේ නැත.

“මිනිස්සුන්ට සේවය කරනවනං බැණුං අහන්න ලෑස්ති වෙලා ඒක කරන්න කියල එතුමා කිව්වෙ කට කහනවට නෙවෙයි බං. එහෙම බැණුං අහ ගන්න බැරිනං පැත්තකට වෙලා පාඩුවෙ තමංගෙ වැඩක් බලං ඉන්න එකයි කරන්න තියෙන්නෙ”

ආච්චම්මා අදහස් කළ දේ ක්ෂණික ව මට වැටහිණ. නංගිගේ මෙවන් වදන් නිසා මා උකටලී නො විය යුතු ය. ඇය ව නිවැරදි මගට ගන්නට නම් මා තවත් සිතින් දිරිමත් විය යුතු ය. 

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x