“බලන් ගියාම විහස් තමයි හොඳම කපටියා.”
ව්හස් විජේවර්ධන තමන්ගේ ළඟම මිතුරා බවට පත් වූ කතාව සඳරැස් පැවසුවේ දුලාජ්ට ය. රහස් නැති ප්‍රේමයක් විවාහයක් බවට පත් කරගත් දුලාජ්ට එය තාරුකාට නොපවසා ඉන්නට ඕනෑ වූයේ නැත.කතාන්දරය අසා සිටි තාරුකා එහෙම කියන්නේ තරහින් නොවේ.
“විහස්ට ඇත්තටම අපිව ඕනෑ වුණා. විහස් ඒකමයි මල්ලිට යාළුවෙක් හැටියට ළං වුණේ. යාළුවෙක් හැටියට ඔච්චර හොඳ මනුස්සයෙක් සහෝදරයෙක් හැටියට නරකක් කරන් නෑ කියලා ඇත්තටම මල්ලි දන්නවා.”
තාරුකා කියවාගෙන යයි. දුලාජ්ට මතක් වූයේ සඳරැස් පැවසූ දෙයකි.
“යාළුවෙක් සහෝදරයෙක් කර ගන්න උත්සාහ කරන්න වෙනවට වඩා තමන්ගෙම සහෝදරයා තමන්ගේ යාළුවත් වෙන එක සැනසීමක්. මට ඒ සැනසීම දැනෙනවා.”
සඳරැස් නොපෙන්වන හෘද වේදනා දරා සිටින්නෙකි. අම්මා ගැන අප්‍රමාණ තරහකින් සිටින ඔහු අම්මාගේ මිම්මෙන් හැම කෙනෙකුම මනින්නට උත්සාහ කරන අන්දම තාරුකාට අමතක නැත. අසාර්ථක ප්‍රේම සම්බන්ධතා පවා ඇති වන්නට එකම හේතුව එය ය. විවාහය වැනි දේ ගැන කතා කරද්දී පවා ඔහු කියන්නේ අමුතු කතාන්දර ය.
“ඔබ යම් කිසි මලකට ඇත්තටම ආදරය කරනවා නම් ඒ මල කඩන්නට උත්සාහ කරන්න එපා. ඔබ ඒ මල කඩන විට ඒ මලේ ලස්සන නැති වෙනවා. ඒ මල මිය යනවා.ඔබ මලකට ඇත්තටම ආදරය කරනවානම් එයට නිදහසේ සුවද විහිදවන්නට ඉඩ දෙන්න. නිදහසේ ජීවත් වෙන්න ඉඩදෙන්න”
සඳරැස් එහෙම කියවාගෙන යයි. ඉන් අනතුරුව එහිම ඉංග්‍රීසි වාක්‍ය නැවත කියන්නට පටන් ගනියි. තාරුකා කරන්නේ දෑත් ඉඟ මත තබා ගැනීමය.
“මං නෙවෙයි මගෙ සුදු අක්කේ එහෙම කියන්නේ.ඕෂෝ. ඉතිං ඕෂෝත් එහෙම කිව්වානම් මට මොන කසාද ද?”
දාර්ශනිකයෙක් ලෙස ජීවත් වන්නට හිච්චි කොල්ලෙකුට අසීරු බවට තාරුකා බැන වදින්නේ එතකොට ය. නමුත් සඳරැස් වියරුවෙන් මෙන් හිනැහෙයි.
“මල් ලස්සනයි කියල ගෙදර ගෙනාවා වගේ යැ. විජේවර්ධන වගේ මිනිහෙක් පෝච්චිය පිටින් අරන් ගියොත්.”
ගැටළුව ඇති තැන තාරුකාට ඕනෑවටත් වඩා හොඳින් වැටහෙයි. මිනිසෙක් කාට වෛර කරද ගැටළුවක් නොවේ. එහෙත් තමන්ගේම අම්මාට වෛර කරන කොලුවෙකු සමඟ බොහෝ දේවල් කතා කරන්නට අසීරු බව ඇය තේරුම් ගනිමින් සිටියා ය.
“මල්ලි අම්මාට වෛර කරන එකවත් විහස් හින්දා නැවතුණොත්.”
ඇය කියන්නේ බලාපොරොත්තු සහගතව ය.
“ඒ වගේ බලාපොරොත්තු තියාගන්න එපා තාරු. අම්මා එයාව දාලා ගියාට සාධාරණ හේතු හොයලා දෙන්න විහස්ට පුලුවන් වෙයිද? විහස් හොයන්නේ එයාගේ තනිකම නැතිකරගන්න මඟ ඇරුණු සහෝදරයන්ව. සඳරැස් එකඟ වෙනවානම් වෙන්නේ ඒකට විතරයි.”
එහෙම පැවසූ දුලාජ් අනතුරුව හිනැහුණේ ය. කොල්ලන් දෙදෙනා රූපයෙන් සමාන නැත. නමුත් ඔවුන් එකම කාරණාවක් ගැන එක් මතයක් දරන පාටක් පෙනෙන්නට ද තිබේ.
“සහස්ට විහස්ගෙත් පොඩිම මනාපයක් නෑ මට පේන්නේ. ඒක මල්ලිව අල්ලා ගන්න කරන වැඩක් නෙවෙයි. ට්වින් වුණාට මිනිහා ඈතයි. අපේ එකාත් සහස්ට තරහයිනෙ.”
දුලාජ් එහෙම කියද්දී තාරුකාට නම් තිබුණේ වෙනත් අදහසකි. මල්ලිට සහස් පෙනෙන්නට බැරි ඔහු දුලන්‍යා මත්තේ වැටෙන හන්දා ය. ඒ හැරෙන්නට සහෝදරකම් පවත්වන්නට ගැටළුවක් නැත. නමුත් දුලන්‍යා සම්බන්ධ කාරණාව කියන්නට බැරි නිසා ඇය නිහඬවම ඉන්නට තීරණය කළා ය.
“සහස් කියන්නේ විහස් වගේ කොල්ලෙක්ට නෙවේ. මං සහස් ගැන ටිකක් හෙව්වා”
නොසිතූ මොහොතක දුලාජ් එහෙම කියන්නට විය. තාරුකා ගැස්සී බැලුවා ය.
“නංගිගෙ පස්සෙන් ඉස්කෝලෙ යන කාලේ කොල්ලො ආවම ඒවා හෙව්වෙ බැලුවේ මල්ලි. ඕකිට ඒ කාලේ කොල්ලො ඕන වුණෙත් නෑනෙ. ඒ හන්දා අපි ඒක ලොකුවට ගණන් ගත්තෙ නෑ. ඒත් මම සහස් ගැන හෙව්වා. මොකද කැම්පස් එකකදී සම්බන්ධයක් ඇති වෙන්න පුලුවන්නෙ. මට සහස් ගැන ආවේ එහෙම හොඳ ආරංචි නෙවෙයි.”
තාරුකාට ප්‍රශ්නය වූයේ සැමියා සහස් ගැන සෙවීම නොවේ. ඔහු නංගිගේ පෙම්වතා සමඟ හේතු විරහිතව එකඟ වන්නේ නැත. අනිවාර්යය සොයා බැලීමක් සිදු වන්නට නියමිත ය. දන්නා කාරණා ඕනෑතරමට තිබියදී ඔහු සඳරැස්ට කැමැත්ත දෙන්නට කොහොමටවත් ඉඩක් නැති පාට ය.
“ඔයා නංගි යාළු වෙන ළමයා ගැන හොයලා බලලා ඔයාට හරියන් නැත්නම් සම්බන්දෙ නවත්තලා දානවද?”
තාරුකා ඇසුවේ ගැහෙන හදවතකිනි.
“කොල්ලො ගැන හොයනකොට ඌ කලින් කෙල්ලො එක්ක යාළුද? බොනවද ගගා හොයලා වැඩක් නෑ තාරු. කොල්ලෙක් හරියට ආදරේ කරනකොට අතීතෙ කියන්නෙ අතීතයක්..මවලා පෙන්වන්න හදන බොරුකාරයෙක් නිසයි මං සහස්ට අකමැති. නංගිත් සහස්ට අකමැති වෙනවා කියලා මං දන්නවා. නංගි තීරණයක් ගන්න දවසකට හරි තීරණයක් ගනී. මං ඒවට ඉන්වෝල් වෙන් නෑ.”
තාරුකා හදවත සන්සුන් කර ගත්තා ය. ඇය හැම රහසම ඔහු හා බෙදා ගන්නා බිරිඳකි. එහෙත් දුලාජ් දියණියට සමාන ආදරයකින් සලකන නැගණිය ප්‍රේමයක පැටලී ඇතැයි ඔහුට කියන්නට ඇයට බියක් දැනේ. සඳරැස්ට තවත් හොඳ වන්නට කාලය තිබේ. ඉන්පසු කාලය ගෙවෙන්නට ඉඩහැර මේවා ගැන දුලාජ්ට කියන්නට පුලුවන.
“මොකද අයියේ නහය?”
සඳරැස්ට ලා හෙම්බිරිස්සාවක් ඇතැයි දුලන්‍යාට සිතේ. විහස් යන්නට ගිය පසු ඔහු කල්පනා කරන කාරණාව ඇය නොදන්නවා ද නොවේ. නමුත් එහෙම කල්පනා කරන්නට කාරණාවක් නැත.
“පස්පංගුව පැකට් එකක් හදලා දෙන්නද?”
තේ එකක් හදා ගන්නටත් කම්මැලිකමින් අක්කාත් අම්මාත් වටා දැවටෙන කෙල්ලක් එහෙම අහද්දී සඳරැස්ට සිනාවක් උපදී. නමුත් එහෙම අහන්නට ඇති එකම හේතුව ආදරය ය. පස්පංගුව බොන්නට තරම් අසනීපයක් නැතැයි සඳරැස් පැවසී ය.ප්‍රශ්නය ඇත්තේ හදවතේ ය. සහෝදර ප්‍රේමය ඇවිලීම ය. නමුත් ඒ ගැන දිගටම කතා කරන්නට ද ඔහු අකමැති ය.
“සමහන් එකක්වත් හදන්නම්?”
දුලන්‍යා ගෙට යන්නට ගියේ එහෙම කියාගෙන ය. ලා හෙම්බිරිස්සාව වේලී යන්නට සමහන් ප්‍රමාණවත් වනු ඇත. එහෙත් හදවත ඉතිරී ගලන්නේ සහෝදර ප්‍රේමයක ආදරය ය. එය එහෙම ලෙහෙසියෙන් අවසන් වන්නේ නැත.
දැන් සඳරැස්ට ඇත්තේ එක් ප්‍රශ්නයකි. විහස්ට තවදුරටත් මිතුරෙකු ලෙසම සලකනවා ද? නැතිනම් අර මඟ හැරුණු සහෝදර ප්‍රේමය ඔහුට අත් කර දෙනවාද?
ප්‍රශ්න එකක් නොවේ. දෙකක්ම තිබේ. කරන දෙය හොඳ කල්පනාවෙන් කරන්නට ඔහු ඊළඟ මොහොතේ තීරණය කළේ ය. සමහර තීරණ හැඟීම්බරව ගන්නට යාම ද තේරුමක් නැති වැඩකි.