“දැන් ඔයාට ඔයා ගැන ඕනෑම තීරණයක් ගන්න අයිතිය තියනවා.”
දුලාජ් ඊටත් පසුව කීවේ ය. දුලන්‍යා ගල් ගැසී අසා සිටියා ය. අයියා මේ කියන්නේ සහස් ගැනනම් එතරම් බූරුවෙකු සරසවියටම නැති බව කියා කතාව නවත්වා ගන්නට හැකි බව සහතික ය.
“කෙනෙක්ට තෝරාගන්න ආකර්ෂණේ නවතින දවසක් එනවා. අන්න එදාටත් එයාට ආදරේ කරන්න පුලුවන්ද, එයාව දරාගන්න පුලුවන්ද කියලා හොඳට හිතන්න ඕනෑ.”
දුලන්‍යා සඳරැස්ට තදබල ලෙස ආකර්ෂණය වන්නට ඇතැයි දුලාජ්ට සිතේ. එය එහෙම කතාවක්නම් ඉක්මනින් අවසන් වන්නටත් ඉඩ තිබේ. නමුත් ඔවුන් සිටින්නේ අවබෝධයකින්නම් ඒ ආදරයට හරස්වීමේ තේරුමක් නොවේ.
“ඔයා මාව මල්ලිව දන්නවට වඩා පාට්නර් කෙනෙක් ගැන දැන ගන්න දේවල් වෙනස්. අපි එකට ලොකු වුණාට පාට්නර් කෙනෙක් ලැබෙන්නේ වයසින් වැඩුණට පස්සෙ. ඕනෑ මනුස්සයෙක්ට අතීතයක් තියෙන්න පුලුවන්. ඒ අතීතය අපි වර්තමානෙට බාධාවක් කරගන්න හොඳ නෑ. කලින් සම්බන්ධකම් හරි මොනවමහරි තමන්ගේ සම්බන්ධෙ ඇතුළට ගේන්න හොඳ නෑ.”
දුලන්‍යාට එක් දෙයක් හොඳින් විශ්වාස ය. මේ කියන්නේ සඳරැස් ගැන ය. ඔහුට නානාප්‍රකාර ප්‍රේම සම්බන්ධතා තිබූ බව අයියා දනියි. එහෙත් අයියා ඔහුට අකමැති නැති පාට ය. දුලන්‍යාට සාලය පුරා නටමින් යන්නට සිතේ.
“ඒ වගේම කොයි තරම් ගැළපෙන බව හිතෙන කෙනෙක් වුණත් මෙතැනින් එහා දරා ගන්න අමාරු බව හිතෙන මොහොතක් ආවොත් අත් අරින්න දුක හිතන්න එපා. ආදරේ නෙවෙයි මොනවටත් වඩා වැදගත් මානසික නිදහස. දුක් වෙවී අඬ අඬා ලව් කරන්න ලෑස්ති වුණොත් තමයි මං මැදිහත් වෙන්නේ.”
එසේ පැවසූ දුලාජ් නැගණියගේ හිස මත අතක් තැබී ය. ඇය දැන් ලොකු කෙල්ලකි. ඇයට පියාඹන්නට නිදහස දිය යුතු වේ.
“ඔයා තීරණයක් ගන්නේ හොඳට හිතලා බව අපි දන්නව. ඔයා ගන්න ඕනෑම තීරණයකට අපි කැමති.”
දුලන්‍යා අයියා වැළඳ ගත්තා ය. අනතුරුව කිසිවක්ම නොකියා කාමරයට දිව ගියා ය. ඇයට යන්නට ඕනෑ වූයේ කාමරයට නොවේ. සඳරැස් වෙත ගොස් ඔවුන්ට අයියා කැමැත්ත ලබා දුන් බව කියන්නට ඕනෑ විය. එසේ කියා ඔහුව තදින් වැළඳ දීර්ඝ හාදුවක් ඔහුගේ කම්මුලක් මත තබා ඒ මොහොත සමරන්නට ඕනෑ විය. එහෙත් ලැබුණු නිදහස ඕනෑවට වඩා කෝලම් කරන්නට යොදාගන්නට ද අමාරු ය.
“ඒ වගේම කොයි තරම් ගැළපෙන බව හිතෙන කෙනෙක් වුණත් මෙතැනින් එහා දරා ගන්න අමාරු බව හිතෙන මොහොතක් ආවොත් අත් අරින්න දුක හිතන්න එපා.”
දුලන්‍යා එයට නම් එකඟ නැත. විෂ සහිත සම්බන්ධතා ඉදිරියට රැගෙන යාම අසීරු බව ඇය දනියි. නමුත් සඳරැස් එහෙම විෂ පිරුණු මනුස්සයෙක් නොවේ. ඊටත් වඩා ඔහු යම්තාක් හෝ දඩබ්බරයෙකු වූයේ අත හැරී යාමක වේදනාව නිසා ය. ඔහු අත් හැරුණේ ඔහුගේ අම්මාට ය. අම්මාට අත් හැරීම දරුවෙකුට පහසු වේදනාවක් වන්නේ නැත.
“ජීවිතේට මොන වගේ දේවල් වුණත් මං ඔයා එක්කම ඉන්නවා. අත් අරින්නේ නැතුව ඉන්න එක මොන තරම් සතුටක්ද කියලා මං ඔයාට දැනෙන්න අරින්නම්.”
ඇය ඇයටම පිළිණ දුන්නා ය. මේවා ඇමතුමක් දී හෝ චැට් කර කියන්නට ඕනෑ කාරණා නොවේ. හෙට සඳරැස්ගේ අතකින් අල්ලාගෙන කියන්නට ඕනෑ කාරණාවකි.
විහස් නිවසට ආවේ රෑ බෝ වන්නට ය. ඔහුට ගෙදරට එන්නට වෙලාවක් නැත. ඔහු හිතෙන හිතෙන වෙලාවට ගෙදර එන කොල්ලෙකි. නමුත් ඔහු පැමිණි ඕනෑම මොහොතක චාන්දනී අහන්නට පුරුදු වී ඇති එක් ප්‍රශ්නයක් තිබේ.
“කාලාද ආවේ පොඩී?”
ඔහු එවිට එක් එක් පිළිතුරු ලබා දෙයි. ඇතැම්විට අම්මාගේ කෑම කන්නට ගෙදර ආ කතාවක් කියයි. මත් බව දැනෙන දාට ඔහු කරන්නේ අම්මා මඟ හැර යාම ය.අදත් චාන්දනී ඒ ප්‍රශ්නයම ඇසුවා ය. විහස් ඇය දෙස බැලුවේ බැබළෙන දෙනෙතකිනි. ඉන්පසු ඔහු පැවසුවේ චාන්දනී කිසිසේත්ම නොසිතන මට්ටමේ කතාවකි.
“අක්කගෙ බත් කාලා ආවේ. මං අල කිරට කන්න ආසයි කීවම අක්කා මටම එහෙම කරි එකක් හදලා දුන්නා.”
චාන්දනී ගල් ගැසී බලා සිටියා ය. විහස් අල කිරට කන්න ආසා කතාවක්වත් ඇයට මතක නැත. ඒ හන්දා මුළුතැන්ගෙයට ගොස් උයන්නට හිතෙන මොහොතක ඇය හදන්නේ අල බැදුම් ය.
“අක්කා?”
අම්මාට රිදෙන්නට ඉඩ තිබේ. එහෙත් කළු තාරා පැටියා වූ දවස් විහස්ට අමතක කරන්නට අසීරු ය.
“තාරකා අක්කා.”
තාරකා වෙත ගොස් තමන් ඇගේ චූටි මල්ලි යැයි කියන්නට තරම් සවිමත්කමක් විහස්ට ආවේ කොහොමදැයි චාන්දනී සිතුවා ය.
“එයා දන්නවද?”
ඇය අසන්නේ අසීරුවෙනි.
“අයියාත් දන්නවා.”
විහස් කියන්නේ සැහැල්ලුවෙනි. ඔවුන් තමන් බාල සහෝදරයා ලෙස බාර ගෙන අවසන් ය. ඒ පවුල තුළ දැනෙන සැනසීම ලෝබ සිතෙන එකකි. මෙවැනි මහා මන්දිරයක් නොවුණ ද එහි ආදරය උතුරා යයි. හැම කෙනෙකුම අනෙකා ගැන ඕනෑවටත් වඩා සිතයි.
“මතක ඇති කාලෙක අම්මා අපි කන්න ආස දෙයක් උයලාවත් දුන් නෑනෙ කියලා හිතුණා. අක්කටත් සර්වන්ට් කෙනෙක් ඉන්නව. ඒත් එයා චූටි දූ බලාගන්න අපිට බාර දීලා එයාලගෙ අම්මා එක්ක ඉව්වා.”
විහස් එහෙම කිව්වේ අම්මාට රිද්දන්නටත් නොවේ. නමුත් බලාපොරොත්තු තියා නොගන්නැයි අම්මාට කියන්නට ඔහුට ඕනෑ විය.
“අක්කාගේ නැන්දම්මා එයාගේ දූටත් වඩා අක්කට ආදරෙයි කියලා මට හිතෙන්නෙ අම්මේ. ඒ දෙන්නා පුදුම ආදරේකින් ඉන්නවා. අක්කාට අම්මෙක් නැති අඩුපාඩුව ඒ ආන්ටි පොඩ්ඩක්වත් දැනෙන්න දෙන් නෑ. ඒ නිසා අක්කා කවදාවත්ම ඔයා හොයයි කියලා මං හිතන් නෑ.”
විහස්ට එසේ නොකියා ඉන්නට තිබුණානම් යැයි චාන්දනී සිතිණ. එක අතකට ඇය සැබෑවටම ආදරය කරන්නේ කමල්ට ය. දැන් ඇයට ඉතිරි ද ඔහු පමණක් වග ඇයට සිතේ. ප්‍රේමය සත්‍යයක් නම් ඔහුවත් තමන්ට ඉතිරි විය යුතු බව ඇය සිතුවා ය.