පතිදම්වැල් 41

“ෂෝබිතා මම ඉද්දි දමිත් එක්ක යාලු උනේ සමහරවිට එයා ඇත්තටම දමිත්ට ආදරේ කර නිසා වෙන්නැති. ඒ ඇරෙන්නෙ ඒ ප්‍රශ්නෙට දෙන්න වෙන උත්තරයක් මට හිතාගන්න බෑ”

දිගු සුසුමක් හෙලා අනුප එසේ පැවසුවේ මේසයට අත තබාගෙන ඒ මත නිකට තබාගෙන තමා දෙසම බලා හුන් උශාලි දෙස බලාගෙනය. ඇයගේ ඇස් මත්තේ ලියවී තිබෙන්නෙ කුමනාකාරයේ කතාවක්ද කියා අඳුරගන්නට සහ තේරුම්ගන්නට අපහසු වූ නමුත් ඒ දෑස පිරිසිඳු නිල් දිය පිරුණු දිය කඩිත්තක් මෙන් පැහැදිලිය. ඒ දෑස් මත ගිලී හිඳීම තමන්ට සැනසීමක් මිස කරදරයක් අත්පත් නොකරන බවට හඟවන යම් කිසි හැඟීමක් ගැන විශ්වාසයක් අනුපට ඇත.

“ඔන්න ඔය කතාව නවත්තමු අප්පා. මමත් මේ හොඳ වෙලාවක වැරදි කතාවක් ඇදල අරගෙන ඔයාගෙ මූඩ් එකත් විනාස කරා. අයෑම් සොරි”

සිනහව සමාව දෙන බව කියන්නට හොඳම ක්‍රමයකි. සිනහවක් ඔස්සේ කියා නිම කල හැකි කතාන්තර මොන තරම් නම් වේද?

ඉතින් සුපුරුදු පිලිවෙතය.

පලමු බත් හැන්ද තම පිඟානටය. පරිප්පු හැන්දෙන් බිඳකි, අඹ මාලුවෙන් හැන්දකි දෙකකි. බොංචි කරියයි.

“චිකන් හොදිත් දාන්නද?” 

හිස මදක් ඇලකර ඇය අසන්නීය.

හිස හොලවා ඔව් කියූ අනුප සිනාවක් මුව මත්තේ රඳවාගෙනම ඇය දෙස බලා උන්නේ කල්පනා රැල් දහසක් විත් සිත මත හැප්පෙද්දිය.

නිදහසේ සුලඟේ විසිරෙන්නට තනන කෙටි කෙහෙරැලි අතෙන් එහා මෙහා කරමින්, විටෙක් අපහසුවෙන් කණ පිටුපස රඳවගන්නට උත්සහ දරමින් හිඳින් ඇයගෙන් දකින්නට ලැබෙන සුන්දර හැසිරීම් මායාත්මකය. ඒ මායාව වූ කලී ඇස් ගිණිකණ වට්ටන මායාවක් නොව, සිත පැහැදිලි අරමුණක රඳවාලන අන්දමේ මායාවකි. ඒ මායාවේ පැටලීම තමා කිසි තැනක අතරමං නොකරන විශ්වාසයක් සිත මත ඇති කරන්නේ ඇයිදැයි යන්න ගැන පවා අනුපට සිතාගන්නට අපහසුය.

සෙමෙන් සෙමෙන් බත් අනා මුව මත රඳවාගන්න අතරම නිහඬව ඉන්නට අදහසක් දෙදෙනාටම නැත. එහෙත් කතාව ආරම්භ කල යුත්තේ කොතනින්ද කියා අදහසක් කාටවත් නැත.

එහෙත් මේ නිහඬතාවය බිඳින්නට හොඳම මොහොත බව සිතා පළමු පියවර ඉදිරියෙන් තියන්නට කටයුතු කරන්නිය උශාලිය.

“ගෙදර කෑම උයන්නෙ අම්මද?”

මුව රුවා ගත් බත් පිඬ හපා ගිලින කාලය දී ඇය නිසංසලේ තමා දෙස බලා හිඳින්නේ පිළිතුරක් අපේක්ෂාවෙනි. 

“ඔව් අම්මා උයනවා. තාත්තත් උදව් වෙනවා. ඔයාලගෙ ගෙදරත් අම්මද උයන්නේ?”

“ඔව්. මම ඉන්න වෙලාවට මමත් උදව් වෙනවා. ඔයා කන්න ආස මොනවද වැඩිපුරම?”

මේ කතා බහ අයිතිවන්නේ භද්‍ර යෞවනයේ පසුවන අවිවාහක පෙම්වතුන් යුවලකයේ ආදරයේ පලමු අදියරට වුවද කිසිදිනක ආදරයක් නොවින්දෙකු මෙන් අනුපට මේ වදන් නැවුම් ය. ඉස්තරම් ය. ඒ යලි යලිත් ප්‍රේමයෙහි ගැලෙන්නටම මග හදන රස මී විතක් වැන්න.

“මම මාර ආසයි පොලොස් කන්න. ඔයා කනවද පොලොස්?”

“ඔව් කවුද ආස නැත්තෙ පොලොස් කන්න” කියා උශාලි දුන් පිලිතුර සිතට සතුටක් වුණත් ඒ සිත අතීතයට ඇදගෙන යන වචන පේළියකි.

“අපි එළියෙන් ලන්ච් ගමුද?”

ඒ සති අන්තයේ දිනෙක විවේකීව ඇඳ මත හොඳ නෙට්ෆ්ලික්ස් බලමින් හුන් මොහොතක ඒ නිහඬ බවත් නිස්කලංකයත් බිඳිමින් ෂෝබිතා කිවූ වදන් වැලකි.

“ම්ම්ම්” රූපවාහිනි තිරය මත දෙනෙත් රුවා හුන් අනුපට ඒ වචන ඇසුණේ යන්තමින් මෙනි. 

“ම්ම්ම්”

“මම කිව්වෙ අද එලියෙන් ලන්ච් ගමුද කියල”

දවක් දොළහේ කණිසම බව ඔරලෝසුවෙන් දකිද්දී අම්මා කෑම පිස අවසන් බව සිතට ආවේ නිරායාසයෙනි. 

“අම්මා උයල ඉවර ඇතිනෙ බබා. ඇයි ඒ? එකපාර එහෙම කිව්වේ?”

“මට බෑ අනේ හැමදාම ගොඩේ කෑම කන්න, මං ඒකයි කිව්වෙ එලියෙන් කමුද කියල”

“අනේ බබා දැන් අපි එහෙම යන එක හොඳ නැනෙ. ශුවර් හෙට අපි යන්. අම්මලත් එක්කම යන්”

එහෙත් ඒ පිළිතුරෙන් සෑහීමකට පත් නොවුන ෂෝබිතා තමා සමග දහවල් ආහාරය ගන්නටවත් පහලට ආවේ නැත. පොලොසුත්, පරිප්පුත්, කට්ට කරවල බැදුමත්, බොංචි කරියත් සමගින් බත් අනමින් හුන් තමා අසලින් නිහඬවම ඇවිද ගිය ෂෝබිතා පීසා පෙට්ටියක්ද රැගෙන උඩුමහලට ගියේ කම්පිත දෑසින් ඇය දෙස බලා හුන් අම්මා දෙසට මද බැල්මකුදු නොහෙලා බව අනුපට අද මෙන් මතකය. 

“අපේ අම්මටත් රහට හදන්න පුලුවන් පොළොස්? ඔයාට තව අඹ ටිකක් දාන්නද?” කියා තමා හා කියන්නටත් පෙර ඇය අඹ මාලුවෙන් බිඳක් පිඟාන කෙලවරක තැබුවාය.

උශාලිව නිවසට මදක් එපිටින් බස්වා යලි නිවසට එද්දිත් දිව මත ඒ රසවත් ආහරයේ රස මෙන්ම උශාලි විසින් හෝරා කිහිපයක් තිස්සේ මැවූ මිහිරියාවක රසබර බවත් සිත අස්සේ තැන්පත් වී තිබිණි.

“තාත්තී” කියාගෙන දුවගෙන එන්නී දුලන්‍යාය. ඉතින් දැන් වඩාගෙන ඉඹගෙන කීපාරක් තුරුල් කරගත්තද දුලන්‍යාට ඒ මදි ය. සෙල්ලම් කරන්නත් ඕන ය. සියල්ලන්ටම පෙර ඇය වෙනුවෙන් මිල දී ගත් ඇඳුම පෙන්විය යුතුය.

“තාත්ති බබාට බඩුවක් ගෙනාවා”

“ඉස්තෝබෙලිද?”

“ස්ටෝබෙරි, ස්ට්‍රෝබෙරෙ තමයි හොර කෙල්ලගෙ ඔලුවෙ තියෙන්නෙ නේද? බත් කන්න තම්‍යි බැරි” කියමින් සිනාසෙමින් තාත්තාත් දුවත් ඉදිරියට එන අතරවාරයේ ආරියලතා මහත්මිය පැවසුවාය.

“ඇත්තද මේ ආච්චි අම්මා කියන්නෙ ආ?”

තාත්තාගේ හුරතලට කෙල්ල ඉතින් දෙතුන් පැත්තකට ඇඹරෙමින් සිනා සේ. 

“තාත්ති මොනවද ගෙනාවේ බබාට?”

“මම ගෙනාවා ලස්සන දෙයක් ඉන්නකො පෙන්නන්න”

බාබි රෝස පැහැ ඇඳුම දුලන්‍යාට මදකට තාත්තාත් ආච්චි අම්මාත් අමතක කරවන්නක් විය. කොහොමත් පොඩ්ඩියන් බාබි උන්මාදයකට ජීවිතයේ කුඩා අවදියේ හසුවීම සුලබය. දුලන්‍යාටද කියා එහි වෙනසක් නැත. කුඩා සිතට අනුව මේ ඉටු වී ඇත්තේ ජීවිතයේ වූ ලොකුම හිනයය. මේ ලැබී ඇත්තේ ජීවිතයේ ලොකුම සතුටය.

දෑස් විදහා මුව අයාගෙන තාත්තාගේ අතේ එල්ලී ඇති ගවුම දෙස බලා හුන් දුලන්‍යාගේ සතුට දෝරෙ ගලා යන්නෙ කිචි බිචි සිනාවක් සමගිනි.දුලන්‍යාට පමණක් නොවේ. ආච්චි අම්මාටද සතුටුය. තාත්තාටද සතුටුය.

“අප්පා මේකද මේ උපන්දින ගවුම?”

කුලරත්න මහතා නිවසේ ඇතුල් කාමරයක හිඳ එලියට ආවේ සරම යලු හැඳ ගනිමිනි. “මං මේ ඒත් බැලුව කෙල්ල මේ මහ හයියෙන් හිනාවෙන්නෙ මොකද කියල”

සීයා වෙතට දුව ගිය දුලන්‍යාට ඉතින් ගවුම ගැන කියන්නට කතා බොහොමයක් ඇත. මොන්ටිසෝරි එකට මේ ගවුම හෙට ඇඳගෙන යන්න බැරිද කියන ප්‍රශ්නය එයින් එකකි.

“දැන් පුතා කේක් එකක් හෙම ඕඩර් කරන්නැති නේද?”

හෙමින් සැරේ තම පුතු වෙත ලංවූ ආරියලතා මහත්මිය එසේ රහසින් ඇසුවේ නිකමටය. වෙනදාට මේ උපන්දින සාද ගැන කිසිත් තීරණයක් ගන්නට තමන්ට හැකියාවක් නොවුවද හැකි ඉස්තරම්ම අයුරින් ඒවා සංවිධානය කරන්නට ලේලියට තිබූ උනන්දුව සහ හැකියාව අද නැති වීම මහත් අඩුවක් ලෙස තමාට නොදැනුනද දුලන්‍යාට සහ පුතාට දැනෙන්නට හැක.

“ඔව් අම්මේ, මම ඕඩර් කරා. සෙනසුරාදා දවල්ට ඒවි”

“අපිත් මොන මොනහරි හදමු නේද? සැන්ඩ්විච් ටිකක්වත්”

“අම්මා කරදර වෙන්න ඕන නෑ. ඒවත් ඕනනම් මේ ඕඩර් කරල ගන්න බැරිය.”

“අනෙ මේ පිස්සුද පුතේ, මේ දෙතුන් දෙනෙක්ට කන්න බොන්න සැන්ඩ්විච් ටිකක් හදන එක මහ දෙයක්ද?”

අනුප උන්නේ උශාලිගේ පැමිණිම අම්මාට කියන්නට නොහැකියාවක ගිලීය. එය පහසුවෙන් මුවින් එලියට දමනට හැකි වචන කිහිපයක් වුවද ඒ ඔස්සේ අම්මා කොපමණ දුර සිතාවිද යන්න ගැන බියක් අනුපගේ සිතේ ඇත.

ඒ දුර යන්නට තමාගේ සිතද ඉල්ලන බව නොරහසක් වුව තවමත් ඒ ගමන යන්නට තමාවත් දුලන්‍යාවත් උශාලිවත් සූදානම් නැත.

“ෂෝබිතාගෙ මව් දෙමව්පියො දන්නවද අපි මෙහෙම උපන්දින උත්සවයක් ගන්න බව”

අම්මාගෙ මුවින් නික්මෙන්නේම තීරණාත්මක පැනයකි. ෂෝබිතා සමග ඇති සියලු බැඳීම් බිඳ හෙලන්නට කටයුතු සූදානම් කරමින් උන්නද ඇයගේ මව් දෙමව්පියන් සමග පිරිමසාගන්නට තරහක් හෝ කෝපයක් සිතේ නැත. ඔවුනට මේ උත්සවයට එන්නට කීම ගැටලුවක් නැත. එහෙත් ඔවුන්ගේ පැමිණීම උශාලිගේ පැමිණීම අහෝසි කරවන්නක් වීම ගැටලුවකි. 

උශාලි එනවාට තමා පමණක් නොව දුලන්‍යාත් කැමතිය. 

ෂෝබිතාගේ මව් දෙමව්පියන්ට එන්න යැයි කීම දුලන්‍යාට කෙතරම් දුරට බලපාවිද යන්න ගැන සිතාගන්නට නොහැක. ෂෝබිතා මෙන්ම ඇගේ මව් දෙමව්පියන්ටද තිබුනේ දුලන්‍යා සමග දුරස්ත බැඳීමකි. දුලන්‍යා ආච්චි සීයා ලෙස හඳුනන්නේ තමන්ගේ අම්මා සහ තාත්තාව පමණි.

“මම කිව්වෙ නම් නෑ”

“අනේ මන්දා ඒ මිනිස්සු මොනව හිතාවිද කියල පුතා අපි ඕක කිව්වෙ නැත්තම්” 

අම්මාගේ සිතට වෙහෙස එයයි.

ඉතින් කල යුත්තේ කුමක්ද?

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles