Chat with Smartlady – හිටපු හමුදාපතිතුමන්ගේ බිරිඳ දමයන්ති රත්නායක

අද Chat With Smart Lady හරහා අපි ඔබ වෙත රැගෙන එන්නේ විශේශ කාන්තාවක් එක්කයි.ඇය, හිටපු හමුදාපති සහ වත්මන් වරාය සභාපති දයා රත්නායක මහතාගේ ආදරණීය බිරිඳ ප්‍රියදර්ශනී දමයන්ති රත්නායක‍යි.නමුත් හැමෝම ඇයව අමතන්නේ ධම්මි රත්නායක මහත්මිය නමින්. අද කතාබහ දිග හැරෙන්නේ ඇගේ ජීවිතය සහ අත්දැකීම් ඇසුරිනුයි

කොහොමද මේ දවස් වල වැඩකටයුතු?

මේ දවස් වල වැඩ කටයුතු සාමාන්‍ය විදියට කරගෙන යනවා

ඔබේ පාසල් කාලය සහ තරුණ කාලය ගෙවුනේ කොහොමද?

මම පාසල් ගියේ දෙහිවල ප්‍රෙස්බිටිරීයන් බාලිකා පාසලට.තරුණ කාලේ මම හරිම ලැජ්ජාශීලි ළමයෙක්.වැඩිය ඉදිරියට ආපු කෙනෙක් නෙමෙයි.හැබැයි ඉතින් යාලුවොත් එක්ක පාසලේ බාහිර ක්‍රියාකාරකම් හැම එකකටම වගේ හිටියා.හරි සුන්දර විදියට ගෙවුනා ළමා කාලය.තරුණ කාලයත් ඒ විදියටම තමයි

ඔබගෙත් දයා රත්නායක මහත්මයාගෙත් හමුවීම ගැන කතා කලොත්?

ඒක හරිම අහම්බෙන් වෙච්ච දෙයක්.මම ඉස්කෝලේ යන කාලේ නැවතිලා හිටියේ මගෙ නැන්දාගෙ ගෙදර.ඒ කියන්නෙ තාත්තාගෙ අක්කගෙ ගෙදර .මමයි නැන්දයි මගෙ අක්කා කෙනෙකුයි අපි තුන්දෙනාම ගියා ෆිල්ම් එකක් බලන්න.බස් හෝල්ට් එකෙන් බැස්සම එතන ෆිල්ම් හෝල් දෙකක් තියනවා.සැවෝයි එකයි තව එකකුයි.අපිට යන්න ඕන උනේ සැවෝයි එකට.නැන්දට යන්න ඕන උනේ අනිත් එකට.ඉතින් කොහොම හරි නැන්දගෙ හිත වෙනස් කරගෙන අපි සැවෝයි එකට ගියා.ඒ ගිය වෙලේ එතනට ආවා තරුණයෝ දෙන්නෙක්.ඒ එක තරුණයෙක් අපේ නෑදෑ වෙන අයියා කෙනෙක් වගේ ගොඩක්.එතකොට අපි කතාවුනා එක වගේමනේ පොඩ්ඩක් වත් වෙනසක් නෑනේ කියලා.එතකොට එයාලත් අපි දිහා බල බල හිටියා.එයාලා සමහරවිට හිතන්න ඇති ඇයි එයාලා දිහා බලන්නෙ කියලා.ඊට පස්සෙ එක්කෙනෙක් ඇවිල්ලා කතා කලා නැන්දත් එක්ක, අපිව අඳුරනවද එහෙම කියලා.නැන්දා කිව්ව අපිටත් ඔයා වගේම පුතෙක් ඉන්නවා,ඒකයි අපි කතාවුනේ කියලා.ඊට පස්සෙ බලනකොට තව අපේ නෑදෑ වෙන අයියා කෙනෙක් එයාගේ බැච් මේට් කෙනෙක්.එයා එතකොට දෙවන ලුතිනන් වරයෙක් හමුදාවෙ.ඒකත් හරිම පුදුම විදියට සිද්ධ වෙච්ච දෙයක් ,ඒගොල්ලොත් නිවාඩුවට ඇවිල්ලා යාපනේ ඉඳලා එදා දවසේ කොළඹ ඇවිදින්න ගිහින්.මගදි එයාලා බැහැලා ජීප් එකෙන් මොනහරි ගන්න.ඊට පස්සේ වාහනේ එතන නවත්තන්න බෑ කියලා පොලිසියෙන් ඉතුරු යාලුවොත් එක්ක වාහනේ යවලා.කරන්න දෙයක් නැති තැන එයාලා ඇවිල්ලා සැවෝයි එකට.එහෙම තමයි එතන අපේ හමුවීම උනේ.

එතකොට මේ හමුව කොහොමද බැඳීමක් බවට පත්වෙන්නේ?

මට මුල ඉඳන්ම තේරුනා මේක එන්නේ මොකටද කියලා.ඒ කැමැත්ත තියන බව මට තේරුනා. ඒ උනාට මම කතා කරන්න එහෙම ගියේ නෑ.කොහොම හරි ඊට පස්සේ එයාම යාලුවෙක් වගේ ලියුම් ලියලා එහෙම්මම එයා ඇහුවා.නැන්දා නම් හොඳටම කැමැතියි.මගෙ දෙමව්පියන්ට නැන්දා තමයි කිව්වෙ.ඊලගට දවසක් මගේ තාත්තාවත් හම්බ වෙලා එයා ඇහුවා.දෙමව්පියන් කැමති උනත් තිබුන එකම ප්‍රශ්නෙ ඒ කාලේ යුද්ධේ යන නිසා බය තමයි තිබුනේ හරිම අනතුරුදායක රැකියාවක් නේ කියලා.නමුත් පුද්ගලයෙක් හැටියට එයාට කැමැත්තෙන් හිටියේ හැමෝම.

ඔහු හමුදා නිළධාරියෙක් හැටියට ඔහුගේ ගමන යමින් ඉන්නකොට ඔබ ඒ දිනවල මොන වගේ දේකද නිරත වෙලා හිටියේ?

මම ඒ කාලේ ඉස්කෝලේ යනවා.මම ඒලෙවල් ක්ලාස් එකට ගියා විතරයි.මට රැකියාවක් කරන්න තරම් කාලයක් උනේ නෑ.ඒලෙවල් වලින් පස්සේ මම ඒ කාලේ තිබුන එක එක පාඨමාලා හැදෑරුවා.ඊට පස්සෙ වැඩිකාලයක් දිගටම ඉගෙන ගන්න හම්බුනේ නෑ විවාහය ඉක්මන් උන නිසා.

විවාහයට කලින් ඔබ දෙදෙනා කොහොමද ඉදිරි ජීවිතය සැලසුම් කලේ?

කවදාවත් අපි සැලසුම් කරලා කිසිම දෙයක් කලේ නෑ.විවාහ උනෙත් ලොකු බලාපොරොත්තු, සැලසුම් එක්ක නෙමෙයි.විවාහවෙන්න ඕන කියන පරමාර්ථයෙන් විවාහ උනා විතරයි.විවාහ උනාට පස්සේ ඒ ඒ දේවල් මූනදෙන හැටියට සිද්ධ උනා මිසක් කලින් සැලසුම් කලේ නෑ.ඒ හිටපු තත්වෙත් එක්ක දෙයක් සැලසුම් කරන්න වාතාවරණයක් තිබුනෙත් නෑ ලොකුවට.

රටේ මෙහෙම තත්වයක් තියෙද්දි ඔබ විවාහ වෙනවා හමුදා නිළධාරියෙක් එක්ක.ඔබ ඕනෑම දේකට මූන දෙන්න සුදානමින්ද හිටියේ?

එයා එක්ක අඳුරගන්න කාලෙදි යුද්ධයක් තිබුනෙ නෑ.එතකොට බයක් තිබුනේ නෑ.විවාහ වෙන්න කිට්ටු වෙද්දි තමයි යුද්ධයක් ඇතිවුනේ.83 කලබල ආවා, එයාගෙ හොඳම යාලුවෙක් නැතිවුනා.දිගටම ඒ වගේ නොහිතපු දේවල් වලට මුන දෙන්න සිද්ධ උනේ.මොනා කරන්නද මොනවා වෙයිද කියලා හිතාගන්න බැරිවුනා.නමුත් අපි විවාහ වෙන්න ලෑස්ති වෙලානෙ හිටියේ .ඉතින් ඒක ඒ විදියටම කලා.ඒ දවස් වලට ඔය ඇදිරිනීතිය තිබුන කාලේ.අපේ විවාහ මංගල්‍යය පවත්වන දවසේ රෑ දහයට ඇදිරිනීතිය .ඊට කලින් එදා ගොඩක් කල් ගිය විවාහ උත්සව තිබුනා හමුදාවේ ඒවා , ඒ හෝල් වල ගන්න තිබුන ඒවා.එදා දවස තමයි ටිකක් වැඩිපුර වෙලාව තිබුනේ ඇදිරිනීතිය පරක්කු වෙලා දාපු.

ඔබ විවාහ වෙන්නෙ හමුදා නිලධාරියෙක් එක්ක. කොහොමද විවාහයෙන් පස්සේ ඒ ජීවිතයට හැඩ ගැහුනේ?

ඒ කාලේ මම එයත් එක්ක ඉන්න පුලුවන් තැනකට කියලා ගිය එකම තැන මාදුරුඔය.යුදපිටිය සහ ඒ අවට විවාහ අය තියා සාමාන්‍ය ජනතාව වත් හිටපු පලාත් නෙමෙයි.ඉතින් දරුණු යුද්ධේ තිබුන කාලේ ඒ වයසට ඔරොත්තු නොදෙන දේවල් වලට මුහුණ දෙන්නත් සිද්ධ උනා.

ඔබේ සැමියා යුධ මෙහෙයුම් එක්ක කාර්‍යබහුල වෙද්දි ඔබ කොහොමද දරුවන්ගේ වගකීම් සහ නිවසේ වගකීම් තනියම දැරුවේ ?

මම පොඩිකාලේ ඉඳන් වැඩිය වගකීම් ගත්ත කෙනෙක් නෙමෙයි.හරිම සැහැල්ලුවෙන් ජීවත් වෙච්ච කෙනෙක්.ඉතින් මට නොහිතපු දේවල් වලට මූන දෙන්න සිද්ධ උනා.කිසිම දෙයක් ඉගෙන ගෙන වත් ,කිසිම අත්දැකීමක් එක්ක වත් ආව ගමනක් නෙමෙයි.ඒවාට මූන දීලම අත්දැකීම ලබාගත්තා මම.ඒක මට විස්තර කරන්න අමාරුයි .ඒ තරමට දරුණුව අවස්ථාවල් වලදි මම පුදුම ශක්තියකින් හිටියා. ඒ කියන්නෙ හිතේ බය හරියට තියනවා, මගේ වැඩේම පන්සල් වල බෝධි පූජා තියනවා , ගුවන් විදුලියේ ප්‍රවෘත්ති අහනවා.ඒ කාලේ යුද පෙරමුණට මාධ්‍ය වලින් යනවා හරි අඩුයි.එතකොට රූපවාහිනීයේ ප්‍රවෘත්ති වලින් දකින්න හම්බ වෙන්නෙ නෑ.කියන එක විතරයි අහගන්න පුලුවන් .ඒ වගේම පත්තරේ.පත්තරෙන් තමයි හැමදේම දකින්න ලැබෙන්නෙ.සමහර වෙලාවට පින්තූර එහෙම දාලා තියනවා පත්තර වල. ඉතින් මං වගේම දහස් ගානක් හමුදා බිරින්දෑවරු පුදුම දුකක් වින්දේ.ඒක මට වචන වලින් කියන්න අමාරුයි .මොකද ඒක හරි දුකක් මතක් වෙනකොටත්.හරි සංවේදි දේවල් තියනවා ඒ කාලෙ ඇතුලත සිද්ධ වෙච්ච.එකට හිටපු යාලුවෝ නැතිවුන අවස්ථාවල් ,එකට ඉඳල අද ගියා නම් පහුවෙන්දා නෑ.අපෙ හොඳම යාලුවන්ගෙ බිරින්දෑවරු බබාලා හම්බ වෙන්න හිටපු අය ,ඒ දරුවෝ ඉන්නවා එක්කො පුංචිම කාලේ තාත්තාව මතක නෑ.එහෙම නැත්තම් හම්බ වෙන්න ඉන්නකොට නැතිවෙච්ච ඒවා.ඒවා මතක් වෙනවකොට ඒ වගෙ කාලයක් තිබුනද කියලා මට හිතාගන්න බෑ.

ඒ කාලේ ගැන දැන් හිතද්දි ඔබට මොකද හිතෙන්නේ?

මට හිතෙනවා මීටත් වඩා ඉතින් තව මොනවද ජිවිතේට මුහුණ දෙන්න තියෙන්නෙ කියලා.මොකද මගෙ සැමියා මැරුනා කියලා තුන්පාරක් පණිවිඩ ආවා.ඒ වගේම එයාගෙ ශරීරයේ තුවාල නොවිච්ච තැනක් නෑ.අදටත් එයා එයාගෙ රාජකාරිය අකුරටම කරන කෙනෙක්.රට කිව්වොත් එයාට ඔක්කොටම ඉස්සෙල්ලා තියෙන්නෙ ඒක තමයි එයා හරිම අවංක නිළධාරියෙක් .එච්චර ලොකු දරුණු සටන් මැද්දෙ තුවාල වෙලා හෝ ජීවිතය රැකිච්ච එකට මම දෙවියන්ට පුදුම විදියට ස්තූති කරන්න ඕන.මොකද මම විශ්වාස කරන්නෙ එයාගේ අවංක කමයි රටට තියන ආදරෙයි නිසා තමයි එයා බේරුනේ කියලා.

විවාහ ජීවිතයකදි මත ගැටුම් ඇතිවීම බොහොම සාමාන්‍ය දෙයක්. ඔබත් ඔබේ සැමියාත් ඒ වගේ දේවල් නිරාකරණය කරගත්තේ මොන විදියටද?

මෙහෙමයි.අපි විවාහ උනත් බලාපොරොත්තු වෙන්නේ අර අපි සිහින ලෝකේ දැකපු දේවල්ම තමයි.ඉතින් ඒක ඒ විදියටම බලාපොරොත්තු වෙන්න බෑ හමුදා නිළධාරියෙක්ගෙන්.ඉතින් එතකොට එක එක මත ගැටුම් ඇතිවුනා.ඒවා සාමාන්‍යයෙන් ඕනම පවුලක වෙන්න පුලුවන් දේවල්.ළමයින්ගෙ ඉස්කෝල වල රැස්වීම් ,උත්සව වලට මම තනියම තමයි ගියේ.රන්ඩු වෙන්නෙ නැත්තෙ නෑ.ඒවා නැත්තම් වැඩකුත් නෑනෙ ජීවිතේ .දැන් ඉතින් අපි පරිණත වෙලා නිසා බොළඳ විදියට රන්ඩුවෙන්නෙ නෑ.දැන් ඒවා මතක් කරනකොට හිතෙනවා කොච්චර බොළඳ දේවල්ද ඒ කාලෙ කලෙ කියලා.හැබැයි හරි සුන්දරයි ඒ කාලෙ.ඒ වගේම ඕනම දේක කොතනක හරි වරදින්න පුලුවන් දෙන්නගෙන් එක්කෙනෙක්ට.ඒ වැරදෙනකොට එයා අවබෝධ කරගන්න ඕන වරද කලේ මමනේ කියලා.එතකොට ඉවසන්න බැරිම අවස්ථාවෙත් ඉවසන එක තමයි සාර්ථකත්වය මම දකින විදියට.මොකද අපේ ජීවිත වල බැලුවොත් අපිට සාමාන්‍ය යුවළවල් ගැටුම් ඇතිකරගන්නෙ මොකටද කියලා හිතෙනවා.මොකද අපි ගොඩක් ප්‍රශ්න මැද්දෙ ජීවත් උනේ. හමුදා බිරිඳක් නම් අනිවාර්යයෙන්ම ඉවසන්න පුරුදු වෙන්නම ඕනෙ.මම එයාට කරපු එකම උදව්ව තමයි එයාගේ රැකියාව ,එයාගෙ රාජකාරිය හරියට කරන්න නිදහස දීපු එක.මං කවදාවත් ඒවා වලට බාධා කරේ නෑ.මොකද ඒවා කලයුතු දේවල් නේ.අදටත් එයාට හිත නිදහසේ රාජකාරිය කරන්න මම ඕනතරම් ඉඩ දීලා තියනවා.තේරුම් ගන්න හැකියාව තියනව නම් දෙන්නගෙන් එක්කෙනෙක්ට හරි කවදාවත් ඔය දික්කසාද වලට වත් ගැටුම් වලට වත් යන්නෙ නෑ.

හමුදාපති කෙනෙකුගේ බිරිඳක් හැටියට ඔබට දකින විදියට පවුල් ජීවිතයකට කාන්තාවකගේ දායකත්වය ඔබේ අත්දැකීම් ඇසුරින් මොන වගේද?

සැමියා හමුදාපති උනාම අනිවාර්යයෙන්ම බිරිඳ හමුදාවේ සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය වෙනවා.එතකොට මටත් පැවරෙනවා ලොකු රාජකාරියක් .එතකොට මම හමුදාවේ පවුල් වලට , ජීවිතය පරිත්‍යාග කල සෙබළුන් වෙනුවෙන් ,දරුවො වෙනුවෙන් සුබ සාධන කටයුතු අනිවාර්යයෙන්ම බලලා කරන්න ඕන.ඉතින් ඒකයි ,මගේ ගෙදර වැඩයි ,දරුවන්ගේ වැඩයි ,සැමියාට මම දෙන්න ඕන දායකත්වයයි ඒ ඔක්කොම ගත්තම ලොකූ රාජකාරියක්.මම ඒක ඔලුවට ගත්තෙ නෑ.එදිනෙදා ජීවිතේ මට උදවු කරන්න මගේ සහෝදරයො හිටියා . මට ලොකුවට මගෙ ගෙදර ප්‍රශ්න බලපෑවේ නෑ.මොකද ඒවා අතරේ මම ළමයින්ගෙ වැඩ වලටත් යනවා, ඉස්කෝලෙටත් යනවා. එහෙට යන්නෙ හරිම සාමාන්‍ය විදියට කිසිම කෙනෙක් දන්නෑ මම කවුද කියලා.ළමයි කවුද කියලවත් ඉස්කෝලේ ගුරුවරු දන්නෙ නෑ.මොකද අපෙ ළමයිනුත් හැදිලා තියෙන්නෙ හරිම සාමාන්‍ය පවුලක ළමයි වගේ.එයාලා කවදාවත් තාත්තාගෙ නම පාවිච්චි කරලා නෑ.මගෙ දුවත් පොඩියි එතකොට ,මම එයාගෙ වැඩ වලටත් පුලුවන් තරම් උදවු කරගෙන අනිත් පැත්තෙන් හමුදාවෙ සුබ සාධනය වෙනුවෙනුත් මට පුලුවන් උපරිමය මම කලා.ඒ ගැන මම හරි සතුටුයි.කිසිම කෙනෙකුගෙන් මම පලි ගත්තෙ නෑ ,කාටවත් අකුල් හෙලුවෙ නෑ.මගෙන් වෙන්න තියන හැමදේම කලා.උදව් ඉල්ලන් ආපු කිසි කෙනෙක්ව හරවලා යැව්වෙ නෑ මම.ඉතින් ඒ හැමදේම ගැන මම ගොඩක් තෘප්තිමත් අද .

අද අපේ කතාබහට එකතුවුන හිටපු හමුදාපති සහ වත්මන් වරාය සභාපති දයා රත්නායක මහතාගෙ බිරිඳ ධම්මි රත්නායක මහත්මියගෙන් ඔබ ඔබේ ජිවිතයට හුඟක් දේ එකතු කරගන්නට ඇතැයි කියලා අපි විශ්වාස කරනවා.ඇය වැනි ආදර්ශමත් කාන්තාවක් මේ කතා බහට එකතු කරගත් අපේ අරමුණද එයයි.
එසේ නම් මීලඟ කතා බහටත් එකතු වන්නට ඔබට ආරාධනා කරමින් අදට අපි අපේ කතා බහ අවසන් කරනවා.

තවත් මෙවැනිම කතා

More Stories

Don't Miss


Latest Articles