සියක් සියපත් 17

කාමරයේ කුඩා ජනේලයෙන් සියපත් පිටත බලා සිටියා ය. එය සිරස් අතට යකඩ කූරු සවි කෙරූ, ලා නිල් පාට තීන්ත ආලේපිත කුඩා ලෑලි ජනේලයකි. ඒ තීන්ත වසර පහළොවකට විස්සකට කලින් ආලේපිත ඒවා විය යුතු බව, පතුරු ගැසුණු ජනේල පියන නිහඬව කියයි. යකඩ කූරු වල මළ බැඳී තිබේ. ශාන්ත ට සිය පරම්පරාවෙන් උරුම වූ මේ පැරණි කුඩා ගෙය ගරා වැටෙමින් පවතී. එය පිළිසකර කර ගැනීම වුව ඔවුන්ට පහසු කටයුත්තක් වූයේ නැත. සිංහල උළු වහලය වස්සාන කාලයේදී තෙමෙන්නට ගත්දී ඉටි කොළයක් එළා එය සුළඟේ නො යන සේ ගඩොල් බාග කිහිපයක් තැබීම පමණක් සිදු වේ. ළමා වියේ දී නම් තෙමෙනා තැන් වලට වළං මුට්ටි තැබීම ඔවුන්ට විනෝදයක් විය. නමුත් වැඩි වියට එළඹෙන විට, වළං මුට්ටි වලට ඒ පිරෙන්නේ ඔවුන් ගේ කඳුළු යයි සියපත් සිතුවා ය. පායනා කාලයට නම් වහලේ සිදුරු අතරින් සූර්ය කදම්බ රූරා විත්  සකද මල් හා බබළු වැල් තැන් තැන් වල නිර්මාණය කරයි. බබළු වැල් වල ඒ මේ අත පා වෙන දුහුවිලි අංශු අල්වා ගන්නට ඒ කාලේ සියපත් නො දැරූ උත්සාහයක් නැත. සකද මල අත්ලෙහි පිපෙන්නට හැර සිනහ වීම එකල ඇයට විනෝදයකි. නමුත් ඒ කිසිවක හඬන්නට මිස සිනහ වන්නට හෝ විනෝද වන්නට කාරණා නැති බව දැන් ඇය දනී. ඊළඟ වස්සානයට කලින් වහල ප්‍රතිසංස්කරණය කර ගත යුතු යයි ඇයට හදිසියේ ම සිහිපත් විය.

“අපරාදෙ ඩයමන්ඩ් රිං එක”

පංකජී අඩ සිනහවකින් කීවා ය. කල්පනාවෙන් මිදුණු සියපත් ඇදෙස බලා කට ඇද කළා ය.

“කොල්ල කවුරු වුණත්…මුද්දෙ දියමන්තියක් තියන නිසා ගන්නෝන කියලද හිතන්නෙ…”

“කොල්ල කවුරු වුණත් කියන්නෙ ඉතිං…රිච් ෆැමිලි එකක…ලස්සන…හොඳ කොල්ලෙක්නෙ”

“ඒ ඔක්කොම එහෙම වුණත්…ඒක ගන්න බෑ”

සියපත් දෙතොල් නෝක්කාඩුවට හැඩ කොට ගත්තා ය.

“එතකොට…දුන්නෙ අනිත් කොල්ල වුණානං ගන්නවද…”

“පිස්සුද අනේ ඔයාට…”

“අන්න අන්න එතකොට මූණට ආපු හිනාව වෙනස්”

“අනේ මේ පාඩං කරනව දොඩවන්නැතුව”

සියපත් පංකජී ගෙන් හැකි තාක් මූණ හංගා ගනු වස් ජනේලයේ කූරු දෙකක් අතරේ නළල තබා ගත්තා ය. අද ඉරිදාවක් වීම මොන තරම් සැනසුමක් දැයි දවසේ කී වෙනි වතාවට ද මන්දා නැවත ද ඇයට සිතිණ. සනාතන ගේ දියමන්ති මුදුව ප්‍රතික්ශේප කොට මදිරා ගේ කාමරයට ඇය පැමිණි ගමන් කාමරයේ දොර ඇරුණේ ය. ඉක්මන් අඩි තබා ඇතුළට ආ සනාතන මදිරා ඇස් ලොකු කොට ගෙන බලා සිටියදී ම සියපත් ගේ අතින් ඇද කාමරයෙන් පිටතට ඇය ගෙන ගියේ ය.

“මට දැනගන්න පුළුවන්ද ඔයා ඇයි මාව රිජෙක්ට් කරන්නෙ කියල”

එය වූ කලී ඍජු ප්‍රශ්නයකි.

“අනේ අයියෙ…රිජෙක්ට් කරනව වගේ වචනයක්…”

“හරි හරි. ඇයි ඔයා මාව මැරි කරන්න බෑ කියන්නෙ…”

“අයියෙ…මං කිව්වෙ…ඔයා මට අයිය කෙනෙක් වගේ”

“ඒකද හේතුව…ම්…ඒකනං හේතුව…සියපත්ට පුළුවන්නෙ මීට පස්සෙ මං ගැන වෙනස් විදිහට හිතන්න”

“අයි…යෙ…ප්ලීස්. මාව අසරණ කරන්නෙපා”

“මට සාධාරණ හේතුවක් ඕනෙ සියපත්. ඔයා හිතන්නෙ අපේ ගෙදරින් මෙහෙම දේකට කැමති වෙන්නෑ කියලනං..”

“මං කැමති කෙනෙක් ඉන්නව”

ඒ තරම් ඍජු පිළිතුරක් දෙන්නට තරම් ඇයට වූ හයිය ගැන මේ මොහොතේත් සියපත් ට පුදුම ය. නමුත් ඇගේ හදවත මේ මොහොතේ සැනසීමක් අත්විඳී. නිදහසක් අත්විඳී. සැහැල්ලුවක් අත්විඳී. දියමන්ති වලට වඩා එය අගනේ බව ද පංචේන්ද්‍රිය ඉක්මවූ ඇගේ ඉවකට සංවේදනය වේ.

ඒ වෙලාවේ සනාතන විසින් අල්වා ගෙන සිටිනා ලද සියපත් ගේ අත ඉබේ ම ගිලිහිණ. දෙතොල් තද කර ගත් ඔහු බිම බැලුවේ ය. යළිත් නෙතු ඔසවා අගේ මූණ දෙස බැලුවේ ය.

“සොරි”

එපමණකි. ඔහු හැරී ගියේ ය. 

සනාතන පිය ගැට පෙළ දිගේ දිවගෙන ගොස් කෙළින් ම ගියේ සදාතන ගේ කාමරයට ය. ඔහු මේසය ළඟ සිට ගෙන පපුවේ අත් දෙක බැඳ ගෙන අච්චාරු තසිම දෙස බලා හිඳී. දොර විවර වන හඬට වහා හැරී බලත්දී ඔහු ගේ ඇස් වල වූයේ ශෝකාන්තයක් ද නැත්නම් ඇරඹුමක මඳහසක් දැයි වෙන් කොට හැඳින ගන්නට සනාතන සමත් වූයේ නැත.

“ඔක්කොම ඉවරයි”

යහන මත හිඳ ගත් සනාතන, ඈත් කළ දෙපා අතරින් හිස වඩාත් බිමට හරවා ගත්තේ ය. ඔහු කියන්නේ කුමක් ගැන දැයි සදාතන ට නිශ්චිත වූයේ නැත.

“මොනාද…”

ශාන්තුවරයෙකු ගේ බාහිර ශාන්ත බවෙන් යුතුව සදාතන සොයුරා සමීපයට වන්නට යහනේ හිඳ ගත්තේ ය.

“මං සියපත්ට ප්‍රපෝස් කළා. එයා ගත්ත කටටම බෑ කිව්වනෙ”

“මොකද්ද…”

“ඔව් ඕයි”

සනාතන ගේ දෙතොල් අතරේ ලස්සන මඳ සිනහවකි. සදාතන ට මුලින් ම සැනසිල්ලක් දැනිණ. මේ වගේ වෙලාවක සිනහ වෙන්නට සොයුරා ට හැකි වූයේ කොහොමද යන පැනය සන්තාප වේදනාවක් තවරමින් දෙවනුව හිතේ ඇඳී ගියේ ය.

“ස්ටෙයාකේස් එකේදි සියපත් හම්බුණා. ඔයාට අච්චාරු වගයක් දීල යන ගමං කිව්ව. මට ඉතිං තනියම හම්බ වෙන්නෙත් නැති නිසා මං එතනදි රිං එක දීල ප්‍රපෝස් කළා”

“මේ ස්ටෙයාකේස් එකේදි…”

“ඔව් ඉතිං”

“මේ ගේ මැද්දෙ ස්ටෙයා කේස් එකේ ඉඳං එහෙම දෙයක් කිව්වහම…කෙල්ලෙක් කැමති වෙයිද ඕයි…”

“වැඩක් නෑ. ඊට පස්සෙ මං ආයෙ අක්කගෙ රූම් එකට ගිහිං සියපත්ව එළියට එක්කං ඇවිල්ලත් ඇහුව හේතුව මොකද්ද කියල. කලින් කිව්වෙ එයාට මං අයියෙක් වගේ අරව මේවනෙ”

“හ්ම්..”

“පස්සෙ කිව්ව…එයා කැමති කෙනෙක් ඉන්නව කියල”

සදාතන ගේ අතුණුබහන් පිච්චී ගෙන ගියේ ය. ඊළඟට අයිස් ක්‍රීම් වලින් කුස පිරුණා වන් සීතලක් ද ඔහු ට දැනී ගෙන ගියේ ය. ඔහු අසීරුවෙන් වාගේ කෙළ බිඳක් ගිලිමින් සනාතන දෙස බැලුවේ ය.

“එයා කැමති කෙනෙක් ඉන්නව…”

“හ්ම්. දැං ඉතිං ඕක ඉවරයි ආ. එහෙම තමයි. ඒ කෙල්ල කැමති මට නෙවෙයි වෙන කෙනෙක්ටනං…කැමති වෙයං කියල බලෙං කැමැත්ත ගන්න බෑනෙ. අනික…මට කැමැත්තෙං හිටිය කෙල්ලො හිටියා..මං අකමැති. ඒව එහෙම තමයි. අක්කට නෝන්ඩි වෙච්ච එක තමයි අවුල”

සනාතන මෝඩ සිනහවකින් හිස කැසුවේ ය. සදාතන ට ඔහු පව් කියා සිතිණ.

“එතකොට…ඔය රිං එක…”

“ඒක වෙන කෙනෙක් බලල දෙනව”

සනාතන හඬ නගා සිනහ වූයේ ය. හෙමිහිට නැගිට මේසය ළඟට ගිය සදාතන, අච්චාරු තසිම ගෙනැවිත් ඔවුන් දෙදෙනා මැදින් තැබුවේ ය.

සඳුදා උදයේ කහවණුගොඩ මැදුර වෙත එත්දී සියපත් ගේ හදවත කුණාටුවක කැළඹීමකට ලක්ව නො තිබුණා නොවේ. සනාතන කළේ කිසි සේත් නො කර ඉන්නට තිබුණු යෝජනාවක් කියා නො සිතා ඉන්නට ඇයට බැරි ය. සදාතන ද ඒ ගැන දන්නවායි ඔහු කීවේ ය. මදිරා ගේ කාමරයට විත් සියපත් ව ඇද ගෙන යාමෙන් පස්සේ තැති ගත් දෑසින් බලා ගෙන මදිරා ට ද මුළු විස්තරය ම කියන්නට සිදු විය. දැන් ඒ යෝජනාව ගැන සියල්ලෝ දනිති. සියපත් ට යම් අපහසුවක් දැනිණ. සදාතන එවැන්නක් දැන හිඳීම ඇයට වන ලොකු ම ලැජ්ජාව ය. ඔහු ට මූණ දී ගත නො හැකියාවක් ඇය පෙළයි. සනාතනට ඇය අනුබල දුන්නායි සදාතන  සිතන්නට බැරි නැත. මදිරා නම් සනාතන ගේ යෝජනාව ගැන දැන ගත් වේලේ කිසිදු වෙනසක් හැඟවූයේ නැත.

“සියපත් කැමති නැත්තං ඉතිං මොනා කරන්නද…ඔයා මගෙ නෑනා වෙනවට මගෙනං අකමැත්තක් නෑ”

ඇය එහෙම කීවේ නො කියා ඉන්න එක සියපත් ට කරන අසාධාරණයක් සේ දැනුණ නිසා ය. නමුත් මෙහෙම වුණ එක හොඳයි කියා ද ඇයට සිතේ. සනාතන ඉස්සර වී තිබේ. සියපත් ඒ යෝජනාව ප්‍රතික්ෂේප කොට තිබේ. එතකොට එතැන යම් දෙයක් සිදු වී අවසන් ය. සිදු වෙන්නට නියමිත ය යන දෙගිඩියාවේ හිඳිනවාට වඩා එය හොඳ ය. 

රියෙන් බසිත්දී සියපත් හදවතින් පැතුවේ සනාතන හෝ සදාතන ඇස නො ගැටේවා කියා ය. නමුත් ඔවුන් දෙන්නා ම කෑම මේසය ආසන්නයේ කවිච්චියක හිඳ පත්තර දෙකකට මූණ ඔබා ගෙන සිටියහ. සියපත් ගේ පියවර හඬින් සනාතන හිස ඔසවා බැලුවේ ය. සියපත් දෙතොල් තෙරපා සිනහ වී පොදුවේ ‘ගුඩ් මෝනිං’ යයි කීවා ය. සදාතන නම් පත්තරයෙන් දෑස් එසැවූයේ නැත. නමුත් ඔහු ගේ මුළු හදවත ම සියපත් ළඟ නතර වී තිබිණ.

“ගුඩ් මෝනිං. අක්කට කියන්න සියපත් අපි කෑම කන්න ඇවිත් ඉන්නෙ කියල”

“මං අක්කව එක්කං එන්නං”

සියපත් ට පුදුම සැනසීමක් දැනිණ. ඒ සනාතන කිසිදු වෙනසකින් තොර ව ඇය කෙරේ හැසිරීම නිසාවෙනි.

“බුම්මට්ට ගුඩ් මෝනිං කිව්වෙවත් නෑ. ඔළුව උස්සල බැලුවනං ඇස් ගෙවෙනව ඇති. මං දිහා බැලුව කියල වියානා නඩු දාන්නෑනෙ”

ඇය හිතින් නෝක්කාඩු කියමින් මදිරා වෙත ගියා ය. 

සියපත් මදිරා කැටුව යළි පැමිණෙන විට සනාතන හා සදාතන කෑම මේසයට හිඳ ගෙන අවසාන ය. එදා උදේ කෑම සඳහා තිබුණේ නූඩ්ල්ස් හා පාන් ය. සියපත් අම්මා ට කියා තෝසේ හා උළුඳු වඩේ ටිකක් උදයෙන් ම හදවා ගත්තේ සදාතන ගේ කෑම අරුචිය ට එයින් යම් සහනයක් සැලසෙතැයි යන සිතිවිල්ල යටි හිතේ තියා ගෙන ය. නමුත් ඇය ඒවා ගෙනාවේ මදිරා ට බව හැඟවූවා ය.

“සියපත් තෝස ගෙනත්…ඕගොල්ලො කනවද…”

මදිරා කෑම පාර්සලය මේසය මත තබා දිග හැරියා ය. සියපත් විශේෂිත සාම්බාර් හොද්ද තසිමකට දැමුවා ය.

“ෆ්ලාස්ක් එකට රසම් එකකුත් ගෙනාව. සදාතන සර්ට ඇපටයිට් එකක් එයි චුට්ටක් බිව්වොත්”

සනාතන ගේ ඇස් එක මොහොතකට සදාතන වසා ගෙන දැල්විණ. සදාතන හිටියේ අත් දෙක වැලමිට ළඟින් නවා මේසය මත තබා ගෙන දෑස් සුදු හිස් පිඟාන මත නවතා ගෙන ය.

“සියපත්ගෙ සර්ට තෝසෙ එකකුත් කන්න පුළුවන් වෙයි වඩේ එකකුත් එක්ක”

කියමින් ඊළඟට සනාතන සදාතන ගේ පිඟාන මතින් තෝසයක් තැබුවේ ය. ඔහු නිහඬව ම සාම්බාර් හොදි ටිකක් බෙදා ගත්තේ ය. මදිරා උළුඳු වඩයක් සදාතන ගේ පිඟානෙන් තැබුවා ය. සියපත් සුදු පෝසිලේන් කෝප්ප වලට රසම් වත් කළා ය. එහි ඇඹුල් මුසු කුළුබඩු සුවඳ රස නහර පිනා යන ලදී.

“අසනීප වෙලා කන්න බැරි වෙන එකත් බලං යනකොට නරක නෑ”

සනාතන ඇඟට පතට නො දැනී කීවේ ය.

“අච්චාරු හම්බවෙනව. තෝසෙද වඩේද…රසම්ද…”

ඔහු ඇස් බැමි නංවමින් රස කළේ ය. සියපත් ගේ හදවත සුළං මෝලක් මෙන් හඬ නගන්නට විය.

 මදිරා සිනහ වීමේ උත්සාහයක් ගත්තා ය. නමුත් ඇගේ සිත්හි බියක් තිබිණි. කාටත් හොර රහසේ ඇය නිවුන් සොයුරන් දෙස මාරුවෙන් මාරුවට බලමින් සිටියා ය. සදාතන ගේ හදිසි අසනීපයත්, සනාතන සියපත් ට විවාහ යෝජනාවක් කිරීමත් අතරේ සම්බන්ධයක් ගොඩ නගා ගත යුතු දැයි ඇයට සිතිණ. සනාතන යථාවත් වී සිටී. මොනවා කෙසේ සිදු වී ද දැනට එපමණක් ප්‍රමාණවත් ය.

සනාතන ගේ මොළයට යම් යම් කාරණා පැහැදිලි වෙන්නේ දැන් ය. එදා ඔහු කාමරයෙන් පිටතට එත්දී ම සදාතන ද පිටතට ආවේ කියන්නට යමක් වන බව කියමිනි. නමුත් ඔහු හැමදාමත් වගේ මුලින් සනාතන ට අවස්ථාව දුන්නේ ය. නමුත් ඔහු ට කියන්නට ඇති කාරණාව නො කියා හැරියේ ය. ඊට පස්සේ දෙතුන් දින කාර්යාලයට වී බොරුවට කාර්ය බහුල වූවා මිස කෑම මේසයට හෝ නාවේ ය. ඊළඟට හිස රදයකින් ඔත්පල වූයේ ය. සියපත් ගෙනැවිත් දී තිබූ අච්චාරු තසිම දෙස ඔහු බලා උන් බැල්මේ වූ ශෝකාකූල බව සිහි වී සනාතන ට කෑම පිටි උගුරේ ගියේ ය. සදාතන ඔහු ගේ පිටට තට්ටු කළේ ය.

“හෙමීට කන්නකො අනේ…පොලීසියෙං පනිනව වගේනෙ ගිලින්නෙ”

මදිරා වතුර වීදුරුවක් ලං කළා ය. සියපත් ගේ ඇස් කිහිප විට සදාතන ළඟ නතර විය. නමුත් ඔහු ඇස් බැල්මක වැරදීමකට වුව ඉඩක් තැබුවේ නැත.

“මෝඩය..මට නංගි කිව්වෙ එයාගෙ මල්ලිට බන්දල දෙන්න වෙන්නැති”

සියපත් වතුර වීදුරුවක් බී ගෙන බී ගෙන ගියා ය.

💜️සියක් සියපත් ගැන ඔබේ ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් හිඳිමි.

💜️නිබ්බුත ගීත, ප්‍රේම ගාථා, අහස තරු සහ කළුවර යන මගේ අලුත් නවකතා වට්ටම් සහිතව ඔබේ ලිපිනයට ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් 0788376053 අංකයට වට්සැප් පණිවිඩයක් තබන්න.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles