ඔබේ ගර්භනී බිරිඳ විඳින ලොකුම වේදනාව ඔබ ඇයව තේරුම් නොගැනීමයි.

ගර්භනී කාලය මට පහසු එකක් නොවෙද්දී මට අර්ජුන්ගේ ආදරය වැඩිවැඩියෙන් ඕනෑ වුණා. කන්නම බැරි වෙලාවකදී එයාට මට කවන්න පුලුවන් නම්, ඉදිමුණු කකුල් තවන්න පුලුවන් නම් මොනතරම් දෙයක් ද?

“මට හරි මහන්සි අර්ජුන්..”

මම සමහර වෙලාවට හරිම මහන්සියෙන් කියනවා. අර්ජුන් ඇස් උස්සලා බලන්නේ අපහාසයකින්

“නිකං කකා බිබී ඉඳලා?? ප්‍රෙග්නන්සි එක මුවාවෙන් ඔයා කිසිම වැඩක් කරන්නෙත් නෑනෙ. අපේ අම්මා රවට්ටාගෙන කම්මැලිකමට දවසම නිදි මිසක්..”

ජීවිතේ මම අහපු දරුණුම වචන කිහිපය මම වැඩියෙන්ම ආදරේ කරන කෙනාගෙන් අහන තරමට මගේ දෛවය මට අකාරුණික වෙමින් තිබුණා. වැඩියෙන්ම ආදරේ ඕනෑ මොහොතක වැඩියෙන්ම අවලාද අහන තරමට මම අවාසනාවන්ත වෙමින් හිටියා.

ඕනෑම මොහොතක උදව්වක් ඉල්ලද්දී, වේදනාවක් ගැන පැමිණිල්ලක් කරද්දී අර්ජුන් මං දිහා අමනාපයෙන්, නොසැලකිල්ලෙන් බලද්දී මං ගල් ගැහෙනවා.අඬන්න ඕනෑ වුණත් අඬන්නේ නැතුව ඉන්නවා.

ඒත් අර්ජුන්ගේ අම්මා මට සැලකුවේ හරිම ආදරයකින්.විවාහ වෙලා මේ ගෙදරට ආව මුල්ම කාලේ ඉඳහිට ඇගේ ඇනුම් බැනුම් ඕනෑම ලේලියෙක් වගේ මාත් විඳගත්තා තමයි. ඒත් ඇය මට දැන් සලකන්නේ පුදුමාකාර ආදරයකින්.වැඩ නොකිරීම ගැන නෙවෙයි සමහර ගෙදර වැඩ කිරීම සම්බන්ධයෙන් මම ඇගෙන් දොස් අහපු වාර අනන්තයි. බොහොම ස්වාධීන සහ කටසැර ගැහැනියක් වූ ඇය මම වැඩක් කරන්න හදනකොට හයියෙන් සැර වෙනවා. එතකොට අර්ජුන්ගේ කටත් වැහෙනවා.

සේදූ රෙදි බේසමක් එක්ක රෙදි වැල ගාවට ආව මම අර්ජුන් ෆෝන් එක දිහා බලාගෙන ඉන්න හැටි ටික වෙලාවක් බලන් හිටියා.

“මට මේ රෙදි ටික අරන් දෙනවද වැලේ වනන්න?”

ඔහු ආයෙත් “හුරතල් වෙන්න එපා බැල්ම මට විසි කළා.

“ඔය කාලෙට ව්‍යායාම වෙන්න ඕන.නැමිලා ගන්න..”

මගේ නැන්දම්මා කුණාටුවක් වගේ එතනට කඩා වැදුණේ ඒ වෙලාවේ.ඇය අතේ අලුත්ම කොමඩු ගෙඩියක් සහ ලණු පොටක් තිබුණා. අර්ජුන් එහෙට මෙහෙට දඟලද්දී ඇය ඒ කොමඩු ගෙඩිය අර්ජුන්ගේ බඩට තියලා බඳින්න ගත්තා.

“දැන් නැමෙන්න ලේසි ද?”

මෝඩකමට හිස කසන අර්ජුන්ගෙන් ඇය අහන්නෙ සැරෙන්.

“ඔය කොච්චර පොඩි කොමඩු ගෙඩියක් ද. රාධාගේ බඩ මොනතරම් ලොකුද.. ඒ කොමඩු ගෙඩියක් නෙවෙයි. උඹේ දරුවා. තව ජීවිතයක් තමයි රාධා ඒ රකින්නේ. ඒ ජීවිතේ හැදුවේ උඹ.ඒ ගැන හිතලාවත් රාධාට කාරුණික වෙනවා..”

නැන්දම්මා උස් හඬින් බනිද්දී අර්ජුන් හෙමින් සැරේ රෙදි වැල ළඟට ආවා.

“ප්‍රෙග්නන්ට් කාලේ තමන්ගෙ නෝනාට කරුණාවෙන් සලකන්න බැරි, උදව් කරන්න බැරි මිනිහෙක්ගෙන් ඇති වැඩේ මොකක්ද?”

අර්ජුන්ගෙ අම්මා කොමඩු ගෙඩිය අරගෙන ආපහු කුස්සියට ගියේ එහෙම කියාගෙන.

“ඔයාගේ කකුල් හොඳටම ඉදිමිලා රාධා. මං මසාජ් කරන්නං..”

අර්ජුන්ගේ හඬ ඇහෙන්නේ සීතල වැස්සක් තරම් සනීපෙට.

පුතාලාට යුතුකම් අමතක වෙන තැනක ඒ ගැන මතක් කරන්න අම්මාට මතක් වීම හරි අපූරු දෙයක්. තව ගෙදරකින් ආව දුවෙකුගේ වේදනාවක් ගැන තේරුම් ගන්න පුලුවන් නම් ඇයට ආදරය අවශ්‍යම තැන පුතාට මතක් කරලා දෙන්න පුලුවන් නම් ඒ ඉන්නේ නැන්දම්මා කෙනෙක් නෙවෙයි.

තවත් අම්මා කෙනෙක්.

More Stories

Don't Miss


Latest Articles