සඳ ගංතෙර -62

“මේ අපේ චූටි දූ.”

විහස් ඡායාරූප විස්සක් තිහක් චාන්දනීට දිගු කළේ ය. තමන්ටත් වඩා විශාල මෘදු සෙල්ලම් බඩුවක් තුරුළු කරගත් බටු ඇටයක සිනා නගන්නී ය.

ඒ තාරකාම ය. ඇය ද කුඩා කාලයේ හඬන්නට දන්නේ නැත!

“බෙහෙත් විද්දමත් කට පොඩ්ඩක් ඇද කරලා ආයේ අපිට ටිකිරි හිනා පාන කෙලි කොටයක් දැක්කමයි”

එකල ළදරු සායනයේදී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය එසේ කියා හිනැහෙන්නී ය. ඒ හිනාව එහෙමම කුඩා දැරියට ද ලැබී තිබේ. ඇගේ සිහින් අතැඟිලි සහ පා ඇඟිලි පවා තාරකාගේම ය.

“අක්කමයි. ඒ පුතාගෙ පාටක්වත් නෑ”

චාන්දනී පපුව පුරවාගෙන කීවා ය. විහස් හිනැහිණ. මේ ඔහුගේ පළමු දරුවා ය. අනාගතයේ ඔහු විවාහ වනු ඇත. සඳරැස් දුලන්‍යා හිමි කරගන්නා දවසක් එළඹෙනු ඇත. එහෙත් ඔවුන් දෙමාපියන් වන්නට පෙර මේ කුඩා සූකිරි කැටය ඔවුන්ගේ හිතේ හොඳම තැන අල්ලාගෙන අවසන් ය.

“අපේ ලොකු දූනෙ ඉතිං. කෙල්ලට ආදරේ ඕවර්ඩෝස් වෙලා තියෙන්නෙ. ඔය නිල් පාට මාළුවා මං ගෙනිච්චෙ. කෙළ එකයි ඒකෙ. සඳරැස් අයියා දවස ගාණෙ සොෆ්ට් ටෝයිස් උස්සන් එනවා කියලා සවලෙන් එකක් විකුණන්න වෙලා තියෙන්නෙ කියලා දුලාජ් අයියා හිනා වෙනවා.”

විහස් කියවන්නේ දෑස් දිලිහෙන්නට ඉඩ හරිමිනි. චාන්දනී ඒ සතුට දෙස බලා සිටියා ය. අඩුම තරමේ ඇයට එතැනට හවුල් වෙන්නටවත් ඉඩ නොවේ.

“අක්කාගේ ෆෝන් නම්බර් එකක් දෙන්නකො මට.”

විහස්ට අම්මා ගැන දුක සිතෙයි. නමුත් තාරුකා අවුල් කර දැමීම සඳරැස් වඩවඩාත් ඈත් කිරීමකි.

“මං අක්කට අම්මගෙ නම්බර් එක දෙන්නං. ඔයාට කතා කරන්න කැමති නම් අක්කා කතා කරයි.”

චාන්දනී ඡායාරූප පිරිමදිමින් බලා සිටියා ය. අත්තම්මා කියන්නේ ද අපූරු පදවියකි. ඒ පදවිය සහස් හෝ විහස් ගෙන එන දවසක් තෙක් කල් මරන්නට සිදු වේ. මේ සිඟිත්තිය ඇගේ වන පාටක් නැත.

“අක්කා සතුටින් ඉන්නවනෙ.”

ඇය මිමිණී ය. දුලාජ් අහස උසට ආදරය දෙන මිනිසෙකැයි විහස් කියන්නේ ලෝබ නැතිව ය.

“අක්කා පොත් කියවන්න ආසයිනෙ. කාමරයක් පුරෝලා පොත්. අලුතෙන් පොතක් ආපු ගමන් අරන් එනවලු. අපිට වගේ උතුරන සල්ලි නැතත් ඉගෙනගෙන හම්බ කරගත්තුවයින් ලස්සනට ජීවත් වෙනවා එයාලා”

තෑග්ගක් ලැබීම මොනතරමට මිහිරිදැයි චාන්දනී සිතුවා ය. විජිතට තෑගි දෙන පුරුද්දක් තිබිණ. එහෙත් ඔහු ඇගේ කැමැත්ත ගැන නොවිමසා ඔහුට ඕනෑ දේ දෙන්නට පුරුදු වී සිටියේ ය.

“මට තාත්තා කවදාවත් තෑගි දෙන් නෑ. ඉස්සර මං ඉවසනවා,මේ කොල්ලට සල්ලි නෑනෙ කියලා. පස්සෙ කාලෙක කියනවා ඔයාට ඕන දේ ගන්න චන්දි කියලා. අක්කා ගැන ඔහොම කතා අහනකොට මට හරි ආසයි.”

සමහර ගැහැනු ජීවිතය පුරා ප්‍රේමය සොයති. එහෙත් සර්වසම්පූර්ණ ප්‍රේමයක් කිසිම දවසක සොයා ගන්නට ඔවුහු සමත් නොවෙති. විදුලි එළි දැක ගිනි හුල දියේ ඔබා යන්නට වන්නේ කළුවර මාවතක ය. ප්‍රේමය සමහර ගැහැනුන්‍ට සලකන්නේම එහෙම ය.

“ජීවිතේම අනිත් අයට ආදරේ දෙන ඒත් ආදරේ නොලබන ගෑනු කොච්චරක් ඉන්නවා කියලද පුතේ. සමහර ගෑනු නැලි පිටින් ආදරේ දෙනවා ඒත් කන් හැන්දක්වත් ලැබෙන් නෑ.”

කමල් විජේවර්ධනට මිනිසෙක් වන්නට උදව් කළ අන්දම ඔහු අමතක කළේ නැත. නමුත් ඔහු මේ ජීවිතය තුළ ආදරය කළ එකම ගැහැනිය ඇය පමණක්ම නොවේ.

“ආදරේ කියන්නේ කොළවල ලිය ලියා අයිති කර ගන්න ඕන දෙයක් නෙවෙයි කියලා ඔයා කවද්ද තේරුම් ගන්නේ.මං ඔයාට හැමතිස්සෙම කියනවනෙ.මං හුළඟක් වගේ නිදහස් මිනිහෙක්.ඔයා මල්වැන්න ඩිවෝස් කරා කියලා මං ඔයාව කසාද බඳින්නේ නෑ.මට බැඳීම් ඕන නෑ.මගේ ලෙයින් ළමයි මේ කාලකන්නි ලෝකෙට උපද්දන්න ඕනත් නෑ..”

ඔහු ඒ කතාව අනන්ත වාරයක් කියා තිබේ. ඉන් ඔහු නොකළේ දරුවන් නූපද්දා සිටීම පමණි. දරුවන් ඉපදිණ. විවාහය ද සිදු විය. නමුත් ඔහුට සුලඟක් වන්නට සිදු වුණු තැන්වල ඔහු සුළඟක් වූයේ ය.

“හැඟීම්වලට වැටවල් ගහන්න බෑ. ඒකෙන් කියන්නේ මං ඔයාට ආදරේ නෑ කියන එක නෙවෙයි.”

ඔහු එහෙම කියද්දී චාන්දනී දරා ගත්තේ ය. මල්වැන්නට ඕනෑනම් විවාහ වන්නට තිබිණ. නමුත් ඔහු එසේ කළේ නැත. අනෙක් අතට ඇය මල්වැන්න අත් හැරියේ ඔහුව ඇයට නොසෑහෙන නිසා ය. එහෙමනම් කමල්ව දරා ගත යුතුම වේ.

“අක්කලාට මං කිට්ටු වුණේ අහම්බෙන් අම්මේ. සත්සර කියන හොඳම යාලුවටයි එයාලා ළං වුණේ. එයාලට ඊටපස්සෙ විහස්ව මඟ අරින්න බැරි වුණා.”

ඒ එසේ වූවාට විජේවර්ධන පවුලට සමීප වන්නට ඔවුන් කැමති වන එකක් නැතැයි විහස් පැවසී ය. අම්මාගේ හිත සැනසෙන්නට ඕනෑවටත් වඩා බලාපොරොත්තු දෙන්නට බැරිකමක් නැත. නමුත් එහෙම කරන්නට ඕනෑ නැත. වෙන්නේ නැති දේ ගැන අම්මා බලාපොරොත්තු තබා ගන්නට ඕනෑ නැත.

“අක්කා..ඔයා කමල්ට ළං වෙන්න මොකක්ම හරි හේතුවක් තියෙන්න ඇතිනේ මම හිතන්නෙ ඒ තමයි ඔයාගේ උරුමක්කාරයා.ගිය දේවල් හැමදේම ගියා.කමල් කියන්නේ තමන්ගේ ගමන හරියට හදාගත්තොත්  සාර්ථක වෙන මනුස්සයෙක්.මට ඔය වගේ මනුස්සයෙක් ඕන නොවුණට ඔයාට ටිකක් කෑගහලා දඟලලා ඉන්න කෙනෙක් ඕනෑ කියලා හිත යට තියෙන්න ඇති. විජිතයියා ඔයාට හරි නොගිය හේතුව ඒක වෙන්න ඇති.සමහර වෙලාවට ජීවිතේ තෝරා ගැනීම් කිහිපයක් කරල තමයි අක්කා හරිදේ මුණගැහෙන්නේ..ඒ නිසා දැන් පසුතැවෙන්න එපා ඔයා කමල් එක්ක සතුටින් ජීවත් වෙන්න..”

විහස් සහ සහස් උපන් දා චාන්දනී බලන්නය ආ ඇගේ නැගණිය යන්නට ගියේ එහෙම කියා ය. ඉන්පසු සම්බන්ධතා නැවතී ගියේ ය. නංගී පවා තෝරා ගත්තේ මල්වැන්න සහ දරු දෙදෙනා ය. ඇය කටපුරා අපේ අයියා කියන්නේ මල්වැන්නට ය. චාන්දනී ප්‍රේමය වෙනුවෙන් සියල්ල එසේ අත් හැරියා ය.

ඒ සෑම මතකයක්ම සිහි වෙද්දී ඇයට රෑ නින්ද සොයා ගැනීම පවා අපහසු විය. ඇය ඔහේ නිදි වර්ජිතව සිටියා ය.

“ආඩවනේ.. ලොකු බේබි. චූටි බේබි.. අයියෝ මොකක්ද මේ අපරාදේ?”

නිවසේ අත් උදව් කාරියක වූ රෝජාගේ මොර ගෑම ඇසුණේ පාන්දර ය. ඇසෙන්නේ කුමක්දැයි පැහැදිලි නැත. අද තාත්තා නිවසේ නැති දිනයකි. ඔහු උමතුවෙන් අවදි වී කාමරයෙන් පිටතට එද්දී සහස් ද තරප්පු පෙළින් ඉගිලෙන අන්දම පෙනිණ.

මොනවා වුවත් ගෙදර වෛද්‍ය සිසුවෙක් හිඳියි. විහස් කලබලය අතරම සිතුවේ ය.

(ඇත්තටම මොනවා වෙන්න ඇද්ද? දාමු බලන්න කමෙන්ට් එකක්)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles