සඳ ගංතෙර -67

“පුතේ..”

චාන්දනී සඳරැස්ව අමතන්නේ හැඬුම් ස්වරයකිනි. ඔහු අසීරු සිනාවක් නඟා ගත්තේ ය.

“දැන් ලස්සන කොල්ලෙක්නෙ.”

ඇය කියයි. තමන් කඩවසම් බව ඔහු පෙම්වතියන් ගණනාවකගේ මුවින් අසා තිබේ.

“ඔයාගේ පෙනුමේ තියන ලස්සන හිතෙත් නැති එකනෙ නරක.ඔයා මහ ගල් හිතක් තියන ජරා මිනිහෙක්.”

දුලන්‍යා හැරෙන්නට හැම කෙල්ලකම එසේ පැවසූ බව ඔහුට මතක ය. එහෙම වන්නට ඇත්තේ ඇයිදැයි සිතුවේ දුලන්‍යා පමණි. අනිත් හැම කෙල්ලකම ඔහුට චෝදනා කරන්නට වග බලාගෙන තිබිණ. ඔහුව රිදවීම ඔවුන්ට සාමාන්‍ය දෙයක් වූයේ ඔහුද ඔවුන් රිදවූ හන්දා ය. නමුත් අම්මා හන්දා ගැහැනුන් සමඟ කෝපයෙන් හිඳින කාරණාව ඔහු ඒ කිසිම කෙල්ලකට පැවසුවේ නැත.

“දැන් අඩුයි නේද?”

සඳරැස් අසන්නේ නමක් ගමක් නැතිව ය. ඔහු අම්මා යැයි කටපාඩම් කරන්නේදැයි තමන්ගේ අම්මා හිනැහෙන අන්දම දුලාජ් සිහි කළේ ය.

“මේ කොල්ලට තත්පරයක් ඉන්න බෑ අරක කෝ මේක කෝ නාහා. මම දැන් කාමරේට ආවොත් ටොක්කක් ඇනලා ඔය අහන ටී ෂර්ට් එක හොයන්නේ”

සමහර මොහොතක ඇය එසේ සඳරැස්ට බැන වදියි. තාරුකාත් දුලන්‍යාත් හූ කියමින් හිනැහෙති.

“අම්මේ, මට අදනම් කරෝල තෙල් දාලා ඕනමයි කියලා දවල් දෙකට විතරත් කෝල් කරලා කිව්වනෙ. ඉතිං ඕං හැදුවා.”

අම්මා රෑ කෑම බෙදන අතර සඳරැස්ට එසේ කියයි. දුලන්‍යා මුහුණ පුම්බා ගනියි. කරන්නට දෙයක් නැති බවත් අම්මා ආදරය කරන්නේ එල කොල්ලන්ට බවත් සඳරැස් පාරම් බාන්නට පටන් ගනියි.

“පුතා මාත් එක්ක තරහද?”

සඳරැස්ගේ ජීවිතය තුළ බොරුව හෝ වංචාව නොවේ. ආදරය කරන හැම ගැහැනියකටම බොරු නොකරන්නැයි ඔහු ඉල්ලූ දවස් තිබිණ. වෙනත් ප්‍රේමයක් ගැන වංචාවන් නොව අතිශය සාමාන්‍ය බොරුවක් පැවසූ වරදට පවා ඔහු ඔවුන්ව අත් හැර දැමී ය.

ඒ හන්දා බොරු කියන්නට නොහැකි ය!

“මට සමාව දෙන්න හිත හදාගන්න ටිකක් කල් යයි.”

ඔහු ඇත්තම පැවසී ය. චාන්දනී ඉකි බිඳින්නට වූවා ය. අනතුරුව ඔහුට ඇත්ත කියන්නට ඇය තීරණය කළා ය.

“මං එළියට බහින්න ඕන ඔයා එක්ක තමා පුතේ. ඒත් මම එහෙම නොකළේ ඔයාගෙ යහපත ගැන හිතපු හින්දමයි.”

අනවසරයෙන් කමල් කාමරයට කඩාපාත් වූයේ ඒ මොහොතේ ය. චාන්දනී කියන්නට යන කතාව වහා වළක්වන්නට උවමනා බව ඔහු තේරුම් ගත්තේ ය. මේ චිත්‍රපටියක් නොවේ.සැබෑ ජීවිතය ය. චාන්දනීට සඳරැස්ගේ සැබෑ තාත්තා කියන්නට ගත වන්නේ තත්පර කිහිපයකි. නමුත් ඊළඟ තත්පරයේ සඳරැස් හැරී තමන් වැළඳ නොගන්නා බව ඔහු දනියි. කොලුවා තවදුරටත් අම්මාව ප්‍රතික්ෂේප කරන්නට ඉඩ තිබේ.

“අවුරුදු ගාණකට කලින් අපිත් ඔයාලගෙ වයස්වල ඉන්නකොට ඔයාලා වගේම බරපතලක් නැතුව හැසිරුණු මිනිස්සු පුතේ. ඒ කාලේ කරපු කියපුවට සමාව ඉල්ලන එකවත් සමාව දෙන එකවත් එහෙම මහ තේරුමක් තියන වැඩක් නෙවෙයි”

කමල් කතාව මඟ හැරිය බව වැටහුණේ දුලාජ්ට ය. යමක් හැඟුණත් ඔහු එය නොදැනුණු ආකාරයට ඉන්නට තීරණය කළේ ය.

“කාලෙකට පස්සෙ අහම්බෙකින් හරි ඔයාලා ආපහු මුණ ගැහුණනෙ. නෑදෑකම් ඉස්සරහට ගෙනියනවද නැද්ද කියලා දුවයි පුතයි තීරණය කරන්න. හිත්වල කොහු ඉතුරු වෙනවා. සම්පූර්ණයෙන් සමාව දුන්නා වගේ කතා කිසිම ප්‍රායෝගික කතාවක් නෙවෙයි. ඔයාලාම තමයි දේවල් තීරණය කරන්න ඕනෑ.”

කමල් එසේ පැවසුවේ චාන්දනීට කිසිවක්ම කියන්නට ඉඩ නොතබා ය. දියණියත් දුලන්‍යාත් අම්මාත් පමණක් නිවසේ තනිවම හිඳින හන්දා නැවත යා යුතු බව දුලාජ් සිහිපත් කළේ ය.

“ඔයාට ඕනනම් අම්මා ගාව ඉන්න. සූකිරි තාත්තම්මා එක්ක ඉන්නකොට ඔයාව වගක් නෑනෙ”

දුලාජ් එහෙම කියන්නට සිතුවේ තාරුකා අතිශය වේදනාත්මකව අම්මා දෙස බලා සිටින හන්දා ය.

“ඔයා යන්න පුතේ. පුලුවන්නම් හෙට එන්නකො. දරුවව මුළු රැයක් තනියම තියන්න එපා.”

අම්මා එහෙම කියද්දී සඳරැස්ගේ කට කොනට සිනාවක් නැඟිණ.දරුවන් වසර ගණනාවක් තනි කළ ගැහැනියක දැන් ලබා දෙන්නේ අපූරු උපදෙස් ය.

තාරුකා අම්මා සිප ගත්තා ය. ඕඩිකොලොන් සුවඳ ද ළදරු ක්‍රීම් සුවඳ ද මුසු දැරිය වැඩී තිබේ. විලවුන් සුවඳක් ද අබිබවා ඇය වෙතින් කිරි සුවඳ හමයි. චාන්දනීට ඕනෑ හඬන්නට ය. සඳරැස් අම්මා වැළඳ නොගත්තේ ය. ඔහු පිටව යන බව පවා පැවසුවේ දෑසිනි.

“අම්මා අතින් පුතාටයි වරද වුණේ. හිත් අවුල් කරන් මෙතනට දුවගෙන එන්න ඕනෑ නෑ. එයා හිත හදා ගනී. ඔයා විහස් එක්ක ඉන්න.”

කමල් විජේවර්ධන සඳරැස්ට එසේ පැවසුවේ මන්ද්‍ර ස්වරයකිනි. සඳරැස් හිස ඔසවා බලා ඔහුට හිතවත් සිනාවක් පෑවේ ය. මේ මිනිසාගේ හිතේ එකක් සහ කටේ එකක් නැත. ඔහුට එය ඔප්පු වී තිබේ.

“ඇත්ත ආදරයක් ජීවිතෙන් අයින් කරගන්න මට බෑ කමල්. ඊටපස්සේ මට ඇවිදින මළ මිනියක් වෙන්න වෙනව.කසාද බඳින්න දරුවො හදන්න බැරි උනාට කමක් නෑ.ඇත්ත ආදරේකට ජීවිතෙන් යන්න ඉඩ තියන්න මට බෑ.”

එසේ පැවසූ තරුණ ගැහැනිය වියපත් ගැහැනියක වී ගිලන් යහන මත හඬන අන්දම කමල් වේදනාත්මකව බලා සිටියේ ය. ඇයට එකල ඕනෑ වූයේ ප්‍රේමය රැක ගන්නට ය. ඒ ප්‍රේමය මත්තේ ජීවත් වන්නට ය. නමුත් දැන් සියල්ලම වෙනස් වී තිබේ.

“ඕනෑම මනුස්සයෙක්ට අතීතයක් තියනව චන්දි.අතීතයක් ඇති ගැහැනියට වර්තමානයක් නැත කියලා ප්‍රසිද්ධ කතාවක් තිබ්බට මම ඒකට එච්චර එකඟ වෙන්නේ නෑ.ඇත්තටම වැදගත් අනාගතෙයි වර්තමානෙයි.ඒ නිසා අතීතේ ගැන දුක් වෙන්න එපා. දරුවන්ට ඔයා එක්ක ඉන්න පුලුවන් සීමාවේ ඉන්න ඉඩ අරින්න. කෙල්ල අම්මෙක්. අම්මා කෙනෙක්ගෙ වේදනාව දැන් ඒකිට දැනෙනවා. ඒ ළමයා ඔයා ගාව ඉන්නවා. පොඩි කාලේ බලෙන් ගුලි කරලා බත් කවා ගත්තු තරම් වේගෙන් සඳරැස්ව ළං කරගන්න බෑ. එක්කෝ ඒ ළමයා ඔයා පිළිගනියි. නැත්තං නොපිලිගනියි. ඔය දෙකම බාර ගන්න ලෑස්තියෙන් ඉන්න.”

කමල් චාන්දනීට යථාර්ථය පැහැදිලි කළේ ය. ඇය හිඳින්නේ රෝගීව ය. වෙහෙස වෙමින් කල්පනා කිරීම පසුවට කල් තබන්නට ඔහු යෝජනාවක් ගෙන ආවේ ඇය අත බෙහෙත් පෙති තබන අතර ය. චාන්දනී නින්දට වැටෙන තුරුම කමල් ඇගේ හිස අත ගෑවේ ය. ඔහුට මේ ගැහැනිය රහසේ දරා ගත් වේදනා ගැන මහා දුකක් දැනෙයි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles