මීදුම් මාරුත -2

නොනවත්වාම නාද වෙන දුරකථනය දෙස භාවනා බැලුවේ නොපහන් නෙතකිනි.උදාසීන ලීලාවකින් මුළුතැන්ගෙයට වී තේ කෝප්පය හිස් කරමින් සිටි ඇය එයට ඔහේ නාද වන්නට ඉඩ හැරියා ය.කාව්‍යා නංගි දෙස බැලුවේ නෙත් කොනකිනි.අම්මා සලාදයකට එළවළු කපමින් කාර්යබහුල ය.

“ඔය කෝල් එක ගන්නෙ නැත්තෙ ඇයි ළමයො?”

අම්මා අසන්නේ කලබලය අතරිනි.

“ඔෆිස්සෙකෙන්.මල විකාර..” නංගි එසේ කීවද එහි මුහුණතේ ඇත්තේ සකුණගේ නම වග කාව්‍යා දුටුවා ය.එහෙත් නංගිගේ ප්‍රශ්නවලට අත පොවන්නට ඇය අකමැති ය.නංගි ඒවාට පිළිතුරු දෙන්නේ ෆේස්බුක් ගිණුමේ දිගු සටහන් තබා බව කාව්‍යා අත්දැකීමෙන් දනියි.

“ඉතිං ඕක අරන් බලන්න ළමයො.මොකක්හරි වැඩක් වෙන්න ඇති..”

අම්මාගේ කතාවට භාවනා නොසැලකිලිමත් බැල්මක් හෙළුවා ය.අම්මා කාර්යබහුල බැවින් ඇය ඒ බැල්ම දුටුවේ නැත.

“මං අද ඔෆිස් යන්නෙත් නෑ අප්ප.ඒ නිසා ඕක ආන්සර් කරන්න ඕනෙ නෑ..”

භාවනා එසේ කියා ඈනුමක් හරිමින් දුරකථනයට ඇස යොමා ගත්තා ය.අද ඇයට සුබපැතුම් දහස් ගණනක් ගලා එන බැවින් ඒවාට පිළිතුරු සපයන්නට ඇති බව කාව්‍යාට ද වැටහෙයි.ඇය කිසිත් නොකියා නංගිගේ තේ කෝප්පය සෝදා තැබුවේ එනිසා ය.

“අපරාදෙ..මං උදේම හොඳට ඉව්ව.ඔයාට ඔෆිස් ගෙනියන්නත් එක්ක..”

අම්මා කියන්නේ සුවඳ හමන කෑම භාජන දෙස බලමිනි.කාව්‍යා ඒ දෙස බැලුවේ කරදරකාරී බැල්මකිනි.

“මං යාලුවො එක්ක අද එළියෙන් ලන්ච් ගන්නෙ අම්මා.අම්මා මොකටද මගෙන් නාහා උයන්න ගියේ?”

දෙසොහොයුරියන්ගේ අම්මා වූ මාලිකා දන්තනාරායන බාල.දියණිය දෙස බැලුවේ වේදනාවෙනි.විසි හතර වසරකට පෙර උපන් ඈ උපන් සන්තෝසයෙන් මාලිකා අද උදෑසන සිට පිසුවේ දියණියගේ ප්‍රියතම ආහාර ය.ඇය ඒවා ප්‍රතික්ෂේප කළ සරල බව ගැන මාලිකාට උපන්නේ වේදනාවකි.මේවා නොදකින්නට සැමියා ජීවතුන් අතර නැති වීමම සතුටක් බව ඇය සිතුවා ය.

කාව්‍යා අම්මාගේ සිත රිදුණු බව නොදන්නා ගාණට ආපසු කාමරයට වැදුණා ය.දුරකථනය නොනවත්වා නාද වේ.ඇය එයට ප්‍රතිචාර දැක්වූයේ නුරුස්නා හඬිනි.

“ඇයි?”

සකුණ ඒ නුරුස්නා ස්වරය අසා හිනැහුණේ ය.භාවනා හිඳින්නේ කෝපයෙන් බව ඔහුට වැටහේ.

“මං ඔයාව ගන්න එන්න ඕනෑ කීයටද?”

ඔහු අසන්නේ ආදරයෙනි.කෝපයෙන් රණ්ඩු කළ ද ඔහු භාවනා දරා හිඳින්නේම ප්‍රේමයෙනි.

“අද මං යාළුවො එක්ක අවුට් එකක් යනව.ඔයාව මීට් වෙන්න ඕන නෑ..”

ඇය එසේ කියා දුරකථනය විසන්ධි කර දැමුවා ය.සකුණ ඉන් නොරිදවා ගත්තේ ය.ඔහු නැවත ඈ ඇමතුවේ එනිසා ය.

“මං දන්නවා ඔයා ඉන්නෙ කේන්තියෙන්.මං ඔයාට අද පාටි එකක් රෙඩි කරන්නයි හිටියෙ.පහුගිය දවස්වල ගෙදර වුණු දේවල් එක්ක අපි එහෙම පාටි දාන එක හරි නෑනෙ.ඔයා හිතනවද කාව්‍යා රිකවර් වෙලා කියලා..”

භාවනා ඒ අසා හිනැහුණා ය.අක්කාගේ ලෝකය සහ තමන්ගේ ලෝකය වෙනස් බව සකුණට වටහා දෙන්නට ඇය විනාඩි ගණනක්ම වැය කළා ය.ඒ දිගු දේශනය ඇයට ප්‍රමාණවත් නොවේ.හැම ගැහැනියම එකම අච්චුවේ වග සිතන පිරිමින් ගැන දිගු ෆේස්බුක් සටහනක් තැබිය යුතු බව ඇය අනතුරුව සිතුවා ය.ඊයේ රාත්‍රියේ නොපැමිණීම ගැන සකුණට පාඩමක් ඉගැන්වීමට භාවනාට උවමනා ය.

“මං ගිහින් එන්නම් අම්මේ..”

කාව්‍යා අම්මාට වැන්දේ මුළුතැන්ගෙය තුළදී ම ය.භාවනාගේ හිතුවක්කාරකම් ගැන සිතමින් සිටි මාලිකා කාව්‍යා කෑම පාර්සල් සකසා ගන්නා ආකාරය දෙස බලා තවත් සුසුමක් හෙළුවා ය.ඇය පාර්සල් දෙකක් සකසා ගන්නා විට කිසිත් නොකියා ඉන්නට මාලිකා ප්‍රවේසම් වන්නී ය.මලකටත් වඩා සියුමැලි හිතක් ඇති කාව්‍යා රිදවන්නට මාලිකා නොකැමති ය.

“අම්මේ,මං අද ගෙදර යනවා.එන්න ටිකක් රෑ වෙයි..”

කාව්‍යා එසේ කියන්නේ මුහුණු ආවරණය පැළඳ ගන්නා අතර ය.තොල් ආලේපන වෙනුවට මුහුණු ආවරණ පැළඳ ගන්නට සිදු වීමෙන් පසු ලෝකය මොනතරම් වෙනස් වූවාදැයි ඇය සිතන්නේ ඒ අතර ය.

“ලොකු, තනියම යන්නෙපා පුතේ..මං එක්ක ඉරිදා යං..”

මාලිකා ඒ කතාවට කලබල වූවා ය.නමුත් කාව්‍යා හෙළුවේ සන්සුන් සිනාවකි.

“තනියක් නෑ අම්මේ…”

මාලිකාගේ සුසුමේ වේගයට සක්වල පවා කැළඹී යා යුතු ය.ඇය දෑසට උපන් කදුළු කාව්‍යාට නොපෙනෙන්නට සඟවා ගත්තා ය.කාව්‍යා නිවසින් එළියට බැස්සේ කුලී රථයක් ඇණවුම් කරමිනි.එහෙත් ගේට්ටුව ඉදිරිපිට තිබූ මෝටර් රථයේ දොර ඇය වෙනුවෙන් විවර විණ.

“ගුඩ් මෝනිං..නගින්න.මං ඔෆිස් එකෙන් දාන්නම්..”

සකුණ හිතවත් සිනාවකින් බලා සිටියේ ය.කාව්‍යා ඔහුට සිනාවක් දුන්නේ දෑසිනි.මුව ආවරණ හන්දා හිතවත්කම් පෙන්වීම පහසු නොවේ.

“ඔයාගෙ නංගි අද ඔෆිස් යන්නෙ නෑ.මං ආවටත් පාඩුයි.යං..මම ගිහින් දාන්නම්..”

සකුණ එසේ කියන්නේ සැහැල්ලු හඬිනි.නමුත් ඔහුගේ හඬෙහි සැහැල්ලුවක් නැති බව කාව්‍යාට නොදැනුණා නොවේ.සෑමවිටකම ඔහු සමඟ ගැටුම් ඇති කරගනිමින් නංගි විඳින සතුට කාව්‍යාට තේරුම් ගැනීම අපහසු ය.ආදරය කියන්නේ සැනසීම යැයි සෙනුර නිතරම මුමුණන හැටි ඇයට සිහි වේ.

“හොඳ සුවඳක් එනවනෙ කාව්‍යා..අම්මගෙ කෑම නේද?”

වාහන තදබදයක මෝටර් රථය නවතාගෙන හිඳිද්දී සකුණ ඇසුවේ කාව්‍යාගේ කල්පනාව මැදට සිනා දෑසක එළි එවමිනි.කාව්‍යා ඉන් පියවි ලෝකයට ආවා ය.

“අද චූටිට අම්මා රහට ඉව්වා..ඒ වුණාට චූටි යාලුවො එක්ක ලන්ච් එකකට යනවලු..”

කාව්‍යාගේ සුසුමක බර සකුණට දැනිණ.භාවනා තමන්ට ආදරය කරන සියල්ලන්ටම රිදවන්නට දෙවතාවක් සිතන්නියක නොවේ.එය කාව්‍යාට මෙන්ම සකුණට ද නුපුරුදු හැඟීමක් නොවේ.

“අපරාදෙ..මං ගෙට ආවනම් අම්මා මටත් කෑම එකක් ඔතලා දෙයි..”

කාව්‍යා ඇගේ කාර්යාලයෙන් බැස ගන්නට ඔන්න මෙන්න තබා සකුණ පැවසුවේ ය.කාව්‍යා ඇගේ බෑගය හැර ඉන් කෑම පාර්සලයක් පිටතට ගත්තා ය.

“මේක ගන්න සකුණ..මං පැකට් දෙකක් හදාගෙන ආවේ..”

සකුණ කාව්‍යාට සමු දුන්නේ වේදනාවෙනි.කාව්‍යා තවම හිඳින්නේ බරැති හදවතක් දරාගෙන බව ඔහු නොදන්නවා නොවේ.ඇය කෑම පාර්සල් දෙකක් සකසා ගන්නේ පුරුද්දට විය යුතුයැයි ඔහු සිතුවේ ශෝකයෙනි.ඈ යන දෙස ශෝකි සිතින් බලා සිටි ඔහු මෝටර් රථය පණ ගැන්වී ය.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත -22

දොර හැරි ගමන් ආදිත්‍යා කළේ යටිගිරියෙන් කෑ ගසනා එක ය. ඇය දෙතුන් වරක් එසේ කෑ ගැසුවා ය. ආමන්තා ඇඳෙන් බැස ඈ වෙත...

බබ්බු බැලිල්ල.

නාලිකා කාර්යාල මේසය උඩින් අත් බෑගය තිබ්බේ සද්දේ ඇහෙන්න.ඊටත් පස්සේ වටේම බැලුවේ කවුරුහරි ඒකට හේතු අහයි වගේ.කාවින්දිට හිනා යන්න ආවත් හිනාව හංගාගෙන...

මීදුම් මාරුත -19

"සකුණ භාවනාගෙන් බ්‍රේකප් නේද?"උදාරා එසේ අසද්දී කාව්‍යා සුසුමක් හෙළුවා ය.නංගී ප්‍රේමයකින් පැරදීම මහා කාරණාවක්ව නොගන්නා බව ඇය දනියි.නමුත්...

මතක දිගහැරුම 75 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ පස්වන දිගහැරුම ,දරුවන්‍ට ඉතා හොඳ අධ්‍යාපනයක් ලබාදීම සඳහා ඔවුන්ව හොඳ පාසලකට ඇතුළත් කිරීම අපගේ ඊළඟ අරමුණ විය.ඒ...

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content