සඳ ගංතෙර – 68

“අපි අදහන්නේ බුද්ධාගම තමයි පුතේ. වෛරයෙන් වෛරය සංසිඳෙන් නෑ කියලා ඔයාලා එකේ පන්තියේ ඉඳලා දහම් පාසලේදී ඉගෙන ගන්නවනෙ”

පසුවදා සෙනසුරාදාවක් වීම නිසා ප්‍රමාද වී අවදි වී මුළුතැන්ගෙයට ආ සඳරැස්ට දුලන්‍යාගේ අම්මා පැවසුවේ කිරි තේ කෝප්පය අතට දී හිස අත ගාමිනි. සඳරැස් ඒ ස්පර්ශය දරා සිටියේ ය. අම්මම්මාත් තාත්තම්මත් නිසා ඔහුට මව් සෙනෙහසක සුවඳ මතක ය. ඒ හැරෙන්නට ඔහුගේ අම්මා අක්කා ය. අක්කාගේ උකුලේ හිස ගසාගෙන හිස අත ගාන්නැයි ඉල්ලන්නට ඔහුට වෙලාවක් කලාවක් නොවේ.

දුලන්‍යාගේ අම්මාට ඔහු බොහෝ ආදරය කරයි.නමුත් ඈ මේ කියන්නට හදන දේ පිලිගන්නට සඳරැස්ට ඕනෑ නැත. 

“ඒත් ගුරු රස්සාව කරන්න ගත්තු දා ඉඳලා මං බිඳිච්ච ලමයි දකිනවා පුතේ. ගොඩක් දරුවෝ බිඳෙන්නෙ දෙමව්පියෝ හින්දා. මට ඔයාගේ බිඳිල්ල තේරුම් ගන්න පුලුවං”

ඇය පැවසුවේ වෙනම කතාවකි. සඳරැස් අසන්නට බලා සිටි කතාව නොවේ. සඳරැස් හිස ඔසවා අම්මා දෙස බැලුවේ ය. දුලන්‍යා ඇහැ කොනින් ඔහු දෙස බලමින් සඳරැස් කැමතිම සැන්ඩ්විචස් වර්ගයක් පිලියෙළ කරන්නී ය.

“අක්කා ගිහින් අම්ම බලල ආවාවේ. අක්කට අම්මා ළඟ ඉන්න හිතෙන වෙලාවට චූටි දූ බලා ගන්න මටත් පුලුවංනෙ. අක්කා දැන් දුවෙක් විතරක්ම නෙවෙයිනෙ පුතේ. අම්මෙක්. එතකොට දේවල් දැනෙනවා වැඩියි.”

අම්මාගේ ඒ කතාවට සඳරැස් හිස ඔසවා ඈ දෙස බැලුවේ ය.

“අපේ අම්මට ඒක නොදැනුණේ ඇයි අම්මේ?”

දුලන්‍යාගේ අම්මා නිදහසේ හිනැහුණා ය. විදුහල්පතිනියක වී සිටි කාලයේ ඇය කෙල්ලන්ගේ පෙම් පලහිලව් ඕනෑ තරමට විසඳා තිබේ. එතැනින් නොනැවතී තරුණ ගුරුවරියන්ට පවා වැරදෙන්නට ගිය මංපෙත් නිවැරදි කර තිබේ. කියන්නට ඇත්තේ එක් දෙයකි.

“ආදරේදී ගෑනු අන්ධයි පුතේ. ගෑනු ආදරේ කරනව විතරක්ම නෙවෙයි. ඇබ්බැහි වෙනවා. ඒ ඇබ්බැහියෙන් හොඳක් වෙන්නත් පුලුවං. නරකක් වෙන්නත් පුලුවං. ඔයාගේ අක්කා වුණත් අපේ ලොක්කට ඇබ්බැහි වෙලානෙ ඉන්නේ. එතන ලස්සන පවුලක් හැදෙන්න හේතුව ඒක. පුතාලගෙ ගෙදර වුණේ අනිත් පැත්ත.”

මෙතරම් බැරෑරුම් කතාවක් මැද පවා දුලන්‍යාට හිනාවක් ඉපදෙන අන්දම දුටු සඳරැස් නිවී ගියේ ය. ඇය අම්මාට හොරෙන් ඔහුට දිව දිගු කළා ය. මේ කෙලීගේ ඇබ්බැහිය ගැන අම්මා දන්නවානම් මේ දේශනය සහමුලින්ම වෙනස් වන්නට ද ඉඩ තිබේ.

“පුතේ, දූලගෙ අප්පච්චිව මං දකින්නේ බොහොම කාරුණික මනුස්සයෙක් විදියට. ඒ වුණාට මේ දරුවන්ටත් වඩා බොළඳ මනුස්සයෙක් මගෙ මහත්තයා. මං නැතුව කිසිම දෙයක් කරගන්න බෑ.මගෙ අම්මා අප්පච්චිටත් වඩා මට ආදරේ කරන මනුස්සයා ඒ. දැනටත් එයාව ගෙදර දාලා මෙහෙ ඇවිල්ලා ඉන්නේ පුංචි දරුවා හින්දමයි. නැත්තං මගෙ පපුව දනව. ඒත් අපේ දරුවෝ හිතන්නේ අප්පච්චි බොහොම ගාම්බීර මනුස්සයෙක් කියලා. මහ ගහක් ගලක් වුණත් පෙරලන්න පුලුවන් යෝධයෙක් කියලා. ඒක එහෙම තමයි. දරුවන්ට දෙමව්පියෝ පේන්නේ එක විදියකට. ඒ වුණාට පුතේ හස්බන්ට වයිෆ් පේන්නේ වයිෆ්ට හස්බන් පේන්නේ ඒ විදියට නෙවේ.”

ඉතිරි කතාව ඉතා ප්‍රවේසමෙන් කියන්නට අම්මා වග බලා ගත්තා ය.

“ගෑනියෙක් තමන්ගෙ පවුල අතාරින්නේ තව කෙනෙක් තෝරාගන්නේ වල්කමට කියලා කියන්න බොහොම ලේසි. පුතාලගෙ ඔලුවට ඒ කතාව මල්වැන්න අයියා කෙසේ වෙතත් අනිත් නෑයෝ දාන්න ඇති.”

තාත්තා අම්මාට වෛර කළේ නැත. ඔහු නිතරෝම අසන්නට පුරුදුව සිටි ගීතය සඳරැස් සිහි කළේ ය.

ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකි

රෑට නිදන තනි පැදුරේ  නැති සිහිනෙකි සකි

ආලේ බිඳුනදා කුමකට කඳුළු හෙළනු සකි

“ආල වඩන යන තේරුම බෝසත් කම සකි”…

හුළවාලි චිත්‍රපටිය තාත්තාට බොහෝ සමීප චිත්‍රපටියකි. ඒ ගීතය සුනිල් එදිරිසිංහයන්ගේ හඬින් ඇසෙන වාරයක් පාසා තාත්තාගේ ඇස් ලා රත් පැහැයකට හැරේ.

“අම්මා ඉන්නේ සතුටින්. අපිත් සතුටින් ඉන්න ඕන. අපි අම්මා එක්ක තරහ වෙන්න ඕන නෑනෙ”

තාත්තා එහෙම කියන්නට හුරුව සිටියේ ය. අම්මා චාරයක් නැති ගැහැනියක වග පැවසුවේ ඥාතීන් ය. වැඩිපුරම අම්මම්මා ය. තාත්තා වැනි නිස්කලංක මිනිසෙකු සමඟ ඉන්නට නොහැකිව ඇයට ඇල්ලූ ගාය ගැන අම්මම්මාට බනින්නට ඕනෑ තරම් වචන තිබිණ. සඳරැස්ට ඒවාගේ හරි තේරුම වැටහෙන්නට කල් ගියේ ය. නමුත් වෛරය දිනෙන් දින වර්ධනය විය.

“සමහර වෙලාවට මිනිස්සුන්ට මානසික නිදහස ඔක්කොටොම වඩා වටිනවා පුතා.  අම්මා කරේ එහෙම තෝරා ගැනීමක් ද කියන්න අපි දන් නෑනෙ. අම්මලා කියන්නෙත් මනුස්සයෙක්ට.”

අම්මා බුද්ධත්වයට ආදේශ කර ඇගෙන් පරිපූර්ණ ජීවිතයක් බලාපොරොත්තු වීමම දරුවන් අසරණ කරන්නට හේතුවක් බව දුලන්‍යාගේ අම්මා විශ්වාස කරන්නී ය. ඇය චාන්දනී බලන්නට යන්නට හෝ ඇයට ආදරය කරන්නට සඳරැස්ට ඉල්ලීම් කළේ නැත. බිලිඳිය හඬන්නට වූ නිසා ඇගේ කතාව එතැනින් නැවතිණ. ඈ ගෙතුලට යන්නට ගියා ය.

“විහස් අයියට මොනා හරි අරන් හොස්පිටල් ගිහින් එමුද? මං මැසේජ් එකක් දැම්ම. සහස්ට කුප්පියක් කියලා ඌ කැම්පස් ඇවිල්ලා අදත්. විහස් අයියා තනියම.”

දුලන්‍යා අසන්නේ සීරුවෙනි. සඳරැස් හිස වැනී ය.

“මං සැන්ඩ්විච් එකක්ම හදන්නම්. කඩෙන් මොනා හරි ගෙනියනවට වඩා හොඳයිනෙ”

එසේ පැවසූ දුලන්‍යා ඊළඟ ප්‍රශ්නය ඇසුවේ වඩාත් මන්ද්‍රව ය.

“සුප් එකක් හැදුවොත් ආන්ටි බොයිද?”

සඳරැස් වේදනාත්මක සිනාවක් නැඟී ය.

“අම්මා කන බොන ජාති මං දන් නෑ බබා. මං හිතන්නෙ එයා මං ආස දේවල් දන්නෙත් නෑ. කිරියි, සීරියලුයි කන බොන ළමයෙක්නෙ අතෑරියේ.”

දුලන්‍යා ඒ කතාව ඉදිරියට ගෙනියන්නට නොසිතුවා ය.

තුවාල ඕනෑවට වඩා පෑරෙන්නට ඉඩ දිය යුතු නොවේ. කැලැල් ඉතිරි වීම වෙනම කතාවකි. නමුත් හදවතේ තුවාලවලට සුව වන්නට ඉඩ දිය යුතු වේ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles