අකල් වැහි -28

“ඔයාට ඕනෑම වෙලාවක මං ගාවට එන්න පුලුවන් නංගි”

සමාධි කිලෝ මීටර දහස් ගණනක දුරක සිට එසේ ලියා එවා තිබිණ. ඇය වෙතට පැමිණෙන්නට යැයි අක්කා කියන්නේ අදක සිට නොවේ. හිරුදි චේතනට විවාහ කර දෙන්නට සැරසුණු කාලයේ පටන්ම සමාධි නංගිගේ ගැලවීම පිණිස සටන් වැදුණා ය.

“මෙහෙට එන්න බබා.ඔයා ඔය මිනිහව බඳින්න හිත හදා ගත්තෙ කොහොමද?”

ගල් වූ හදවතක් ඇතිව දේවතිලක නිවසට දීග යන්නට තීරණය කළ නැගණියගෙන් සමාධි ඇසුවේ පුදුමයෙනි.නංගි හිඳින්නේ බලයෙන් අන්ධව නොවන වග ඇය දන්නී ය.ඇයට ඇති ලොකුම ගැටළුව වූයේ හිරුදි චේතන සමඟ විවාහ වන්නට හිත හදා ගැනීම ය.

“නිසල් මැරුණේ මං නිසා කියන දේ මගේ හිතට වද දෙනවා අක්කා. කවුරු කොහොම කිව්වත් ඒ ඇක්සිඩන්ට් එකක් නෙවෙයි කියලා මං දන්නවා.මට ආදරේ කරපු වරදට එයා ජීවිතෙන් වන්දි ගෙව්වා. ඒකට මාත් දඬුවම් විඳින්න ඕන.”

හිරුදි විවාහයට සැරසුණේ එසේ කියමිනි.සමාධි කම්පිතව බලා හුන්නා ය.

“නිල් කැටේට උල්පත් වතුර තියන කොළම කොළ පාට රූස්ස කැලේක ඉඳලා කාන්තාරෙක ජීවත් වෙන්න යන්න කුරුල්ලෙක්ට දැනෙන හැඟීම මට දැනෙන්නේ අක්කා.ඒත් කමක් නෑ.මට දේවතිලක ආර්යාව වෙන්න නෙවෙයි ඕනෑ.මගෙන්ම පලි ගන්න.මහා බලගතු යෝගයක් තියන කේන්දරයක් තියන මගෙන්ම පලි ගන්න.”

හිරුදි මනාලියක වන දිනයේ පාන්දර අක්කාට එසේ ලියා යැවුවා ය. චේතන දේවතිලක නම් මිනිසා මස්සිනා ලෙස පිළි ගන්නට ඇති අකමැත්ත සමාධි හැඟවූයේ විවාහ මංගෝත්සවයට නොපැමිණීමෙනි.එයට හිරුදි අමනාප නොවූවා ය.සාමාන්‍ය පවුලක තරුණයෙකු හා විවාහ වූ අක්කාට අම්මා තාත්තාගේ කිසිම ප්‍රසාදයක් නොවේ.ඇය සහ අයියා මෙතැනට ගෙන්වා ගන්නට හිරුදිට සැබෑවටම නුවුමනා ය.උගත්කමෙන් බැබළෙන ඒ යුවළ මේ මිනිසුන්ගේ ධනය ඉදිරියේ පාච්චල් නොවිය යුතු බව හිරුදි තදින්ම සිතන්නට වූවා ය.

“මම එන්නේ කවදද කියලා මට දැන්ම කියන්න බෑ අක්කා.ඒත් මට ඔයා ගාවට එන්න වෙයි.නිසල්ගේ මරණෙන් පස්සේ මං ජීවත් වුණේ බලාපොරොත්තු අත් ඇරලා.චේතනලා වගේ මිනිස්සු රජ කරන ලෝකෙක කිසිම සාධාරණයක් බලාපොරොත්තු වෙන්න මම හිතුවේ නෑ.ඒත් දැන් හැමදේම වෙනස් වෙනවා අක්කා.රටේ මිනිස්සුන්ට වගේම මටත් බලාපොරොත්තු තියනවා.මගේ පුතාට තාත්තෙක් ඕනෑ නෑ කියලා මම දැනටමත් තීරණය කරලා ඉවරයි.ඔයා ගාවට එන්න ඕන කවද්ද කියන එක මම ඔයාට කියන්නම්.”

නිවසට විත් ඉතා දිගු වට්ස් ඇප් පණිවිඩයක් ලියා අක්කාට යැවූ හිරුදි සැනසීමෙන් නින්දට වැටුණා ය.එක මොහොතක එක තැනක නොරැඳෙන එක්වර වැඩ කිහිපයක් කරමින් හිනැහෙන සිතිජගේ කාන්තිමත් දෙනෙත ඇගේ සිහින අතර සරන්නට විය.ඔහු සිහින දකින්නට වටිනා තරුණයෙකි.එහෙත් තමන්ගේ සිහින ඔහු නමින් ලියා තැබීම ඔහුට කරන අසාධාරණයක් වග ඇයට සිතිණ.සිතිජට ඇමතුමක් දෙන්නට ආ හදිසි ආශාව හිරුදිට නින්ද අමතක කරද්දී ඈ දෙනෙත් හැරියේ ජංගම දුරකථනය නාද වන හඬට ය.

එහි වූයේ නොදන්නා අංකයකි!

“හෙලෝ.”

එහා ඉමෙන් මතු වූයේ කාන්තා හඬකි.මේ කවරෙක්දැයි හිරුදි කුතුහලයට පත් වූවා ය.වැරදි ඇමතුමක් දැයි හිතට ආ සැකය පහව ගියේ භාග්‍යාට කතා කරන්නට ඕනෑ වග එහා අන්තයෙන් ඇසෙද්දී ය.

“මම සරසි.සරසි ගමගේ.”

ඒ ජනප්‍රිය තරුණ නිලියක වග හිරුදිට සිහි විණ.සමාජ ශාලාවලදී සහ විවිධ උත්සව අවස්ථාවන්හිදී චේතනට වඩාත් සමීපයෙහි රැඳෙන ඇය මේ අමතන්නේ ගිනි ගෙඩියකට වග හිරුදිට විශ්වාස ය.එහෙත් ඒවා ගිනිගෙඩි වන්නේ හිරුදි චේතනට ප්‍රේමයෙන් පසු වන්නේ නම් පමණි.නීත්‍යානුකූල හිමිකම සහ.කුසඔත් බිලිඳාගේ පියා වීම හැරුණු විට හිරුදිට චේතන ගැන කිසිම අයිතියක් නොදැනේ.අරගල භූමියේදී සිතිජ වට කරගෙන ඡායාරූප ගන්නා යුවතියන් ගැන දැනෙන සියුම් ඉරිසියාවවත් හිරුදිට කිසිම දිනක සරසිලා සම්බන්ධයෙන් දැනී නොතිබ්ණ.

“භාග්‍යා මං කතා කරන්නේ වැදගත් කාරණාවකට.මේකෙන් ඔයා සෑහෙන්න කලබල වෙන බව මම දන්නවා.ඒත් සමාවෙන්න මට කරන්න දෙයක් නෑ.”

මහා වර්ෂාවක් පැමිණෙන්නට පෙර විදුලි කොටනා වග හිරුදිට අමුතුවෙන් ඉගෙන ගන්නට දෙයක් නොවේ.තිරයේ මෙන්ම සරසි සැබෑ ජීවිතය තුළ ද රඟපාන්නට සමතියක වග ඇයට හදිසියේ සිතිණ.නමුත් ඈ අසා හුන්නා ය.

“මම ප්‍රෙග්නන්ට්.”

ඒ මහා බෝම්බයකි.නමුත් හිරුදිට ඉඳිකටු තුඩක රිදීමක් නොදැනිණ.ඇය කාමරයේ පැතිර ඇති අඳුර සමඟ හිනැහුණා ය.

“මම ගයිනොකොලොජිස්ට් කෙනෙක් නෙවේනෙ.ඕක මට කියලා තේරුමක් තියනවද?”

සරසි ඒ ප්‍රශ්නයට කැළඹී ගියා ය.ඇය සිතා හුන්නේ භාග්‍යා සමරවික්‍රම මේ කතාවෙන් බොහෝ කම්පනයට පත් කරන්නට ය.නමුත් ඇයට වගේ වගක් නැත.

“ඔයා මේක දැන ගන්න ඕන මේ බබාගේ තාත්තා ඔයාගේ හස්බන්ඩ් නිසා.”

සරසි පැවසුවේ හඬන්නට අර අඳින ස්වරයකිනි.නමුත් හිරුදිට කිසිම කම්පනයක් නොදැනේ.තම කුස තුළට ආ බිලිඳා චේතනගේ කුළුඳුල් දරුවා නොවන වග ඈ දන්නී ය.ඒ දරුවාට තව සහෝදර සහෝදරියන් අපමණ හිඳින්නට ඉඩ ඇති වග ද ඇය දන්නී ය.එනිසා ඇයට මේවා කම්පනය වන්නට කාරණා නොවේ.

“මම හිතන්නේ ඔයා ඕක චේතනට කිව්වනම් හොඳයි.මට කීවා කියලා මට කරන්න දෙයක් නෑනෙ.ඔයාට උදව්වක් ඕන නම් මම කරන්නම්.”

තම සැමියාගේ අනියම් පෙම්වතියක ගැබ් ගෙන ඇති වග කියද්දී පවා මෙසේ ඇල් මැරුණු ස්වරයකින් කතා කරන තරුණ ගැහැනිය ගැන සරසිට ඇති වූයේ පුදුමයකි.ඇය සිතා හුන්නේ ප්‍රබල කුණාටුවක් ඇති කරන්නට ය.නමුත් චේතනගේ බිරිඳට එය මඳ පවනක්වත් කිරීමේ රුචියක් නොවේ.ඒ සැමියා සම්බන්ධ අධිකතර විශ්වාසය නම් නොවන වග සරසි සිතුවා ය.

“මට සාදාරණයක් වෙන්නෝනෙ.මේ බබා නැති කරගන්න මට බෑ.”

සරසි සංවේදි වන්නට පටන් ගත්තා ය.මේ ඇය සැලසුමක් ඇතිව කුසට ගත් බිළිඳෙකි.දීර්ඝ කාලීන ප්‍රේම සම්බන්ධතාවය විවාහයෙන් කෙළවර කරන්නට චේතන වග බලා ගත්තේ නැත.ඔහු ඒ වෙනුවට බලගතු කේන්දරයක් ඇති කෙල්ලක හා විවාහ වූවා ය.සරසි ආදරය අවසන් නොකරන්නට වග බලා ගත්තේ ද මතු සැලසුම් සකසමිනි. භාග්‍යාට වේදනා ඇති කරන්නටත් චේතන සහ ඇය දික්කසාද කර දමන්නටත් පිඹුරුපත් සකසන්නට සරසි සිතුවේ ඒ විවාහය සිදු වූ දිනවල පටන් ම ය.

නමුත් ඈ නොදන්නා කාරණවක් තිබේ.ඒ මේ කිසිවක්ම හිරුදිව වේදනාවට පත් කරන්නට අපොහොසත් වන බව ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles