සුහදිනි – 45

“සමාව ගත්තට කිසිම විදියකින් විසඳෙන් නැති දේවල් තියනව හලෝ.”

සාරණ්‍යා සමාව ඉල්ලද්දී සියුම් කෝපයෙන් මුර ගාන්නට විය.තම ප්‍රාණ සම සොයුරා ද මිතුරා ද වූ තරුණයා ජීවිත කාලය තුළ කරගත් විශාලම වරද මේ කමකට නැති තරුණිය ජීවිතය ඈඳා ගැනීම බව ඔහු දනියි.එය ඉතිරි කළ පැල්ලම් මකා දැමීම පහසු නොවේ.

“දැන් අහස් ෆේල් වෙන ඕනෑම වෙලාවක එයා ටීම් එකේ ඉන්නෙ මිතුලිගෙ හයියෙන් කියලා කියන උන් රටේ ඉතුරු වෙනවා.කොච්චර නෑ කිව්වත් ඒක දැක්ක වගේ ස්ථිර කරන උන් ඉතුරු වෙනවා.ඩිවෝස් වුණු හේතුව බොහොම පර්සනල් එකක් ය,දැන් තමන් යාලුකමින් ආස්සරේ කරනවයි කියලා තමුසෙට වඩා සෑහෙන ජනප්‍රිය නළුවෙක් ඉන්ටර්විව් එකකට කියලා තියෙද්දිත් ඒ මිනිහගෙ එක්ස් වයිෆ් ගැන කිය කියා වයිෆ්ට මඩ ගහන උන් ඉන්න රටක් මේක.ඒ නිසා තමුසෙ හදපු ඩැමේජ් එක ආයේ කවදාවත් හදන්න බෑ ඕයි.”

අහස්ට වඩාත් තදින් ආදරය කරන්නේ තමන් නොව සියුම් බව සකීට සිතිණ.සියුම් ආවේගයෙන් වෙව්ලුම් කයි.ප්‍රේමයකටත් වඩා එවැනි මිත්‍රත්වයක් ලැබීම ම මිනිසෙකුට මොනතරම් ආශිර්වාදයක්දැයි ඇය මේ කලබල අතර සිතුවා ය.

“අපෝ නෑ සියුම්.ඔය ඕනෑ එකක් අපිට ෆික්ස් කළෑකි.කතන්දර කියන මිනිස්සු කොහොමටත් කියනවා.ඒ කතන්දර නෑහුනා වගේ ඉඳලා ලස්සනට ජීවත් වෙන්න අහස්ටත් පුලුවං නංගිටත් පුලුවං.”

මිතුලිට තිබුණේ එවැනි අදහසකි.දබරැඟිල්ල දිගු කර සාරණ්‍යා දෙසට හැරෙන්නට ඇය අනතුරුව තීරණය කළා ය.

“අහස්ගේ ප්ලේ කිරීම් සම්බන්ධ එදිනෙදා මඩ ගැටලුවක් නෑ.ඒත් එයාගේ පර්සනල් ලයිෆ් එක ගැන මඩක් ගියොත් එතන ඉන්නේ තමුන් කියලා මං දන්නවනෙ.මට මගේ තාත්තගෙ පවර්ස් පාවිච්චි කරන්නනම් තියන්න එපා.රටේ නීතියයි එයාගෙ පවර්සුයි පාවිච්චි කරොත් තමුන්ට වෙන දේ මම කියන්න ඕනද?”

සාරණ්‍යා පොදුවේ සමාව ඉල්ලා ත්‍රීරෝද රියකට නැඟ යන්නට ගියා ය.සකීට හොඳටෝම අඬන්නට ඕනෑ විය.

“අපි කොහෙටහරි ගිහින් කතා කරමුද? ඔයාලා බිසීද?”

මිතුලි අසන්නේ මිතුරු හඬකිනි.ජනප්‍රිය ක්‍රිකට් තරු ද ඇමති දියණියන් ද සකී හන්දා මිතුරු වීම ගැන පුදුමයෙන් සිටි නිම්නා හිස වනා එකඟතාවය පළ කළා ය.එහෙත් තත්ත්වය හා තරාතිරම ගතිගුණ තීරණයට හේතු නොවන බව නිම්නා මේ කෙටි කාලයේ ඉගෙන ගත්තා ය.

“ඇත්තටම මං තාත්තගෙ පවර්ස් පාවිච්චි කරනවා තියා එයා එක්ක ගනුදෙනුවක්වත් නොකරන කෙනෙක්.තාත්තගෙ දේශපාලනේ ගැන ඔයාලා හිතන විදියටම තමයි මමත් හිතන්නේ.ඒ වුණාට මට සාරණ්‍යා බය නොකර ඉන්න අමාරු වුණා.”

අසත්‍ය චෝදනාවක් කිරීම සම්බන්ධයෙන් ඇයට නීතියෙන් දඬුවම් කළ හැකිව තිබියදී එක් අවස්ථාවක් දෙන්නට තීරණය කළ බව මිතුලි පැවසුවා ය.ඕනෑවට වඩා දේවල් මවා පෙන්වූව ද සාරණ්‍යාට ඇගේ මාවත අවහිර වී යන්නට එවැනි කටයුත්තක් හොඳටම ප්‍රමාණවත් ය.

“එයාලා වගේ අය හැදෙන්නෙනම් නෑ.ආයේ ආයේ රිද්දන්න ක්‍රම හොයා ගන්නව.සමාව දීලා අත් අරින එකත් මෝඩකමක්.ඒත් ඇත්තටම ඔයා කියනව වගේ ඕවට හැප්පෙන එකත් වෙලාව නාස්ති වෙන වැඩක්.”

පැමිණි අසත්‍ය ආරංචියක් සොයා නොබලා ප්‍රචාරය කිරීම ගැන වෙබ් අඩවි කිහිපයක්ම සමාව ඉල්ලා තිබිණ.තමන්ගේ දියණිය යුරෝපීය තරුණයෙකු හා විවාහ ගිවිසගෙන ඇති බවත් ඔවුන්ගේ විවාහය සිංහල චාරිත්‍රනුකූලව ඉදිරියේදී කරන්නට නියමිත බවත් තරුණ ක්‍රිකට් ක්‍රීඩකයා සහ දියණිය පටලවා නිර්මාණය වූ කතාව විරුද්ධ පක්ෂයේ අමන චෝදනාවක් බවත් හිරිකඩුව ඇමති මයික්‍රෆෝනයක් සපමින් ප්‍රකාශ කර තිබේ.එහෙත් සකී ඒ සියල්ලම දුටුවේ මිතුලි ඒවා ඇයට පෙන්වීමෙන් පසුව ය.පසුගිය දින දෙක තුන අහස්ව ප්‍රතික්ෂේප කරන්නට හිත හදා ගත් තරම ගැන දැන් ඇයට දැනෙන්නේ වේදනාවකි.

“මට තේරෙන්නේ නෑ අෆෙයා එකක් බ්‍රේකප් වුණාම පලි ගන්න එක තෝරාගන්නෙ ඇයි කියලා.ගෞරවයෙන් සමු ගන්න එක මොන තරම් ලස්සනද?”

මිතුලි අසන සමහර කාරණා මේ දූපතට බොහෝ දුර බව සියුම් පැවසී ය.අහස්ගේ අදහස් ප්‍රකාශයට ඉඩ නොතබාම ඔහු අවහිර කර දැමීම ගැන සකීට ද ඉපදුණේ ලැජ්ජාවකි.

“කෙනෙක් අපි ළඟ ඉන්න අකමැතිනම් බලහත්කාරෙන් උගුල් අටෝලා එයාව අපි ගාව තියාගෙන තේරුමක් නෑ.ඒ පාඩම සාරණ්‍යා ඉගෙන ගනී.සමහරුන්ට එයාලට ගැළපෙන භාෂාවලින් කතා කරන්න ඕන.නඩු දානව කිව්වටත් වඩා තාත්තගෙ ක්‍රමේට සලකනව කිව්වම එයා බය වුණා.ඕවා ඉතිං එහෙම තමා.”

මිතුලි කියන්නේ සුහද හඬකිනි.ඇය අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා කෙනෙකු හෝ මේ සිදුවීම නිවැරදි කරන්නට ඉදිරිපත් නොවන තරමේ මාන්නයක් සහිත කෙනෙකු වූවානම් මේ කතාව අහවර වන්නේ මේ අන්දමින් නොවන බව සකී සිතුවේ කණගාටුවෙනි.

“සකී,ඔයා තේරුම් ගන්න ඕන දෙයක් තියනව.මේ එක සිද්ධියක් විතරයි.මඩකට වඩා ඇත්තටම ඇත්ත වගේ පැතිරෙන ආරංචිත් ඉස්සරහට එන්න පුලුවන්.ඒ වගේ කතා ඇහෙන ඇහෙන ගාණට හිත අවුල් කරගන්න ගියාම ඔයාට අහස් එක්ක ගමනක් නැති වෙනව නේද?”

මිතුලි අසද්දී නිම්නා සකී දෙස බැලුවේ ඔලොක්කුවට ය.මේ නිම්නා පසුගිය දින කිහිපයේම වටහා දෙන්නට උත්සාහ කරන පාඩම ය.

“ඇස් ඉස්සරහ ඔප්පු වෙන තරමේ චෝදනා වුණත් ආයේ ආයේ හිතලා තෝරා ගන්න පුලුවන් වෙන්න ඕන.නැත්නම් ආදරේ කරන්න අමාරුයි.සමහර වෙලාවට අපිට ඒ වගේ පරීක්ෂණ වලට මූණ දෙන්න සිද්ධ වෙනවා.ඒ හැම එකකින්ම පාස් වෙන එක තමයි ආදරේ.”

මිතුලි ජීවිතය දෙස බලන අන්දමට සකී කැමති ය.ඇය දේව දූතිකාවක සේ නොපැමිණියානම් මේ වෙද්දී තමන් අහස්ව අහිමි කරගෙන අවසන් බව දැන් සකී දන්නී ය.

“අහස්ට ඇත්තටම තිබුණු එකම අවුල ඔයාව නැති වෙයි කියන එක.අඩුම තරමේ මේ විකාර කතාව එයාට කරන ඩැමේජ් එක ගැනවත් එයාට අයිඩියා එකක් තිබ්බෙ නෑ.ඔයා මේක ඔලුවට ගන්න එක ගැන තමයි එයා හුඟක්ම අවුල් වෙලා හිටියේ.”

මිතුලි සමු ගන්නට පෙර සකීගේ දෑත් අල්ලා ගත්තා ය.ස්තූති කරන්නට බැරිතරමට වචන හිර වූ සකී ඇය දෙස බැලුවේ කෘතඥපූර්වක දෑසකිනි.

“මං ආපහු යන්න කලින් ඔයාලා දෙන්නවම ආයේ මීට් වෙන්න වෙලාවක් නැති වෙයි.අහස් මැච් වලට මං ඉන්න රටට එන්නෙත් නෑනෙ.ඒත් මං හරි ආසාවෙන් ඉන්නවා ඔයා ලස්සන බ්‍රයිඩ් කෙනෙක් වෙන දවසට ලෝකේ කොහෙ හිටියත් ඒ වෙඩින් එකට එන්න.මටයි රේමන්ඩ්ටයි ඔයාලා අනිවාර්යයෙන් ඉන්වයිට් කරයි කියලත් මම හිතනවා.”

සකීව තත්පර කිහිපයකට වැළඳගත් මිතුලි පැවසුවේ ආදරයෙනි.සකී අමාරුවෙන් වචන අමුණාගෙන ඇයට ස්තූති කළා ය.මිතුලි මැවූ සිහිනය සුන්දර ය.නමුත් සකීට එක් සැකයක් විය.පසුගිය දිනවල ඇගේ හැසිරීම තවදුරටත් අහස් ඇය කෙරෙහි අලවා තබා ගනීදැයි සකී කියන්නට දන්නේ නැත.

ඉතා සුළු කාරණා පවා මහා මෙරක් කර දකින යුවතියක සමඟ ගමනක් නැති බව ඔහු තීරණය කර ඇත්නම්?

සකීට මහත් බියක් දැනෙන්නට විය.

(සකී සහ අහස් වෙනුවෙන් ඔබේ අදහස් පුරුදු පරිදි තබා යන්න.)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles