ප්‍රේමයේ අභිමන් 08

0
4386
ප්‍රේමයේ අභිමන්
Premaye abhiman

අපරාජිතා රත්මල්ගොඩ!
සසංක ඇගේ නම දැන ගත්තේ ගුවන් විදුලි නාලිකා ප්‍රධානියාගෙනි. ඔහු කී ලෙසට ඇය වසර ගණනාවක් තිස්සේ නාලිකාවේ නිදහස් ලේඛිකාවක ලෙස කටයුතු කරයි.
“මේකි ලියන ඒවට මොන හේතුවක් නිසාද මන්දා ලිස්ට්නර්ස්ල වශී වෙනව. හරියට නිල අල්ලන්න එයා දන්නව. අපේ ඩ්‍රාමා එක අවුරුදු කීපයක් තිස්සෙ රේටින් වලින් නම්බර් වන්. ඒක හොල්ලන්න කාටවත් බැරි වුණා”
නාලිකාවේ කටයුතු සිදු කර ගෙන මෝටර් රථයට ගිය ගමන් සසංක අපරාජිතා ගේ නම ෆේස් බුක් වල සෙව්වේ ය. නමුත් ඒ නම හා සසැඳෙන ප්‍රතිඵලයක් ලැබුණේ නැත.
“ඒ කියන්නෙ එයා ෆේස් බුක් නැද්ද…”
ඔහු ට කිසිවක් නිරවුල් ව සිතා ගත හැකි වූයේ නැත. කෙසේ වෙතත් ඒ සිය නිවසේ උඩු මහලේ සිටින්නිය බව නම් සසංකට සහතික ය.
“පිස්සුද බං…උඹ වෙන කාටහරි රැවටෙන්න ඇති”
අසේල සිය මිතුරා සමග එකඟ වූයේ නැත. එක වගේ අය ඕනෑ තරම් සිටිත හැකි ය. නමුත් සසංකට සිය ඇස් විශ්වාස ය. ඒ රුව ටික කලක සිට ඔහු ගේ ඇස් වල පැටලෙමින් තිබිණි.
“අනිත් එක ඉතිං ඒ එයාමයි කියමුකො. ඉතිං අපිට පාන්ද…”
සසංක නොරිස්සුමෙන් සිය අසුනෙන් නැගිට ගත්තේ ය. සිය කුටියේ වීදුරු කවුළුව ළඟට ගොස් හෙතෙම ඉන් පිටත බලා ගත්තේ ය. අඩි කිහිපයක් දුරින් අහස සිඹින්නට නැගී සිටිනා ගොඩනැගිල්ලකි. ඒ අයිනේ සිටුවා ඇති ෆොක්ස් ටේල් ගස් පෙළ නිසා කුඩා තණ පලස සෙවන වී තිබේ. ඒ අතරේ වන ගෝල්ඩන් ලිලී පඳුරු වල දීප්තිමත් කහ පැහැය නිසා ඒ කුඩා අවකාශය ට එළියක් ලැබී තිබේ.
“මට කියපං දැං මොකද්ද උඹට හැදිල තියන කුලප්පුව කියල…”
සසංකගේ හැසිරීමේ ද මූණේ වන නො ඉවසිල්ලේ වෙනසක් අසේල ට දැනිණ.
“හරි ඒකිගෙ නම අපරාජිතා ම කියමු. උඹගෙ ගෙයි ඉන්නෙත් ඒකිම කියමු. හරි ඉතිං මොකද්ද දැං වෙන්න ඕන..”
සසංක හ්ම් කීවේ නැත. අසේල කියන්නේ සැබෑවක් බව ඔහු දනී. නමුත් ඔහු තමා තුළ ඇති ව තිබෙන මේ නො සන්සුන් බව ටික දිනක සිට ඇති වූ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බව දැන සිටියේ ය.
“ඔය අපරාජිතා වැදිලද ඉන්නෙ දැං..ඒකද ඔය තෙපරබාන්නෙ…”
සසංක ගේ ඇස් ඇතුළේ ගැඹුරු බැල්මක් විය. නමුත් ඔහු පිළිතුරක් දෙන්නට ගියේ නැත. සැබවින් දිය යුතු පිළිතුරක් ගැන තෙමේ ම නො දැන සිටියේ ය.
“යකෝ ඒකි මැරීඩ් ශුවර් එකටම. එදා අර කින්ඩි හිනාවක් දාං ගිය එකනෙ ඔය..ඕක පස්සෙ යන්න ගත්තොත්නං මිනිහගෙං අම්බානක කනව හොඳේ”
“පයිත්තියං මූට”
එසේ කියාගෙන හකුළා ගත් මූණෙන් යුතුව කියුබිකල් එකෙන් නික්ම ගිය ද සසංක ගේ හදවත කොනිති ගසනා යමක් තිබුණේ ය.
මීට වසර ගණනාවකට පෙර අවසාන පෙම් සබඳකම පැවති කාලයෙන් අනතුරුව ඔහු ස්ත්‍රියක ගැන දුරට දිගට සිතා තිබුණේ ම නැත. ප්‍රේමය දුරස් ව ගිය බවක් ඔහු ට දැනිණ. ඉඳ හිට කෙල්ලක සමග කම් සුව විඳි බව ඇත්ත ය. පිරිමියෙකුට ස්ත්‍රියක සමග රති සුව විඳින්නට ප්‍රේමයක් අවැසි වන්නේ නැත. එය කායික අවශ්‍යතායක් පමණකි. ‘නිර්ණාමික ලියන්නිය’ ගේ බ්ලොග් එකෙහි වන කවි පදයක් අතරේ දී ඔහු ප්‍රේමයේ පැටළුණේ ය. නමුත් ඒ කවි ලියන්නේ ගැහැනියක ද පිරිමියෙකු ද කියා හෝ සොයා ගත නො හැකි විණි.
ප්‍රේමය හැම තැනක ම පවතින්නට පුළුවන. නමුත් ඒ සියල් අවස්ථා වලදී ඒ ආකාර වලින් ප්‍රේමය අත්පත් කර ගත නො හැකි ය. මග තොටදී අහම්බෙන් දකිනා නාඳුනන පුද්ගලයකු වෙනුවෙන් ප්‍රථම දැකුමේදී ම වුව ආදරයක් ඇති නොවේ කිව නොහැකි ය. ප්‍රශ්නය වන්නේ යන එනා ගමන් ම අපට ඒවා අත්හැර දමන්නට සිදු වීමයි. එදා දියත උයනේ දී කැක්ටස් තුරුලු කර ගෙන එත්දී ද, සින්දු කී මිනිසාට සීයේ නෝට්ටු දෙකක් දෙත්දී ද ඔහු ගේ හදවත තුළ ගැස්මක් ඇති විය. එය ප්‍රේමයට ආසන්න හැඟීමක් නොවේ කියා කියන්නට ඔහු ට බැරි ය. නමුත් මගතොට දී එහෙම හිත ගස්සා තබන කෙල්ලන් සියලු දෙනා සමග පෙම් සබඳකම් ඇති කොට ගන්නට කිසිවෙකු පෙළඹෙන්නේ නැත. අපරාජිතා මේ තරම් සසංකට ලං වූයේ කිහිප වතාවක් මතකය අලුත් කරනා හමුවීම් වලින් පසු ඇය ඔහු ගේ ම වහල යට සිටිනා තැනැත්තිය බව පසක් වීමෙනි.
මේ වෙලාවේ සසංක සිටින්නේ දැඩි චිත්ත ව්‍යාකූලත්වයක බව මිතුරා දැන සිටියේ ය. විශේෂයෙන් ම මතක ඇති කාලයක ඔහු කෙල්ලක ගැන නන් දොඩවා නැත. විවාහ වන වයස ඉක්මවමින් සිටියද ඒ ගැන කතා කරනා විට පවා ඔහු සිනහවක් නගා ගන්නවා විතර ය.
“උඹල බැඳගෙන විඳින දුක අපි නොදන්නව නෙවේනෙ. තව එකෙක් ඒ අපායටම දාන්න හදන්නැතුව හිටාං”
මිතුරෙකු ඒ ගැන සිහිපත් කළොත් සසංක මේ වාගේ විහිළුවකින් ඒ මාතෘකාවෙන් පැන යයි. ඔහු මේ පැටලෙන්නට හදන්නේ අසම්මතයක වී ද මේ වෙලාවේ මිතුරා තනි කළ නො හැකි බවක් අසේල ට දැනිණ. එදා ඔහු සසංක එක්ක ම උඩහමුල්ලේ ජය පාරට ආවේ ඒක ය.
අපරාජිතා පේන්නට සිටියේ නැත. නමුත් මෝටර් රථය පහල විය. දෙමිතුරන් බොරු කතා ඇද ගනිමින් මිදුලේ බංකුව මතට වී සිටියේ ම ඇය දැක ගන්නට ය.ඒ හරියට අවුරුදු දහ අටක පාසල් සිසුවෙකු කාලයේ කෙල්ලක හඹා යමින් ඇය අල්ලා ගන්නට මග රැක සිටි කාලයේ දවසක් සේ දැනිණ. කෙසේ වෙතත් ඒ උත්සාහය සාර්ථක වූයේ අඩ හෝරාවක් ද ඉක්ම ගිය පසු අපරාජිතා පිය ගැට පෙළ දිග පහළ බසිනු දැකීමෙනි. සසංක සන්සුන් හා උණුහුම් දෑසකින් ඇදෙස ම බලා සිටියේ ය.
අපරාජිතා තරුණයන් දැක ඉක්මන් කෙටි සිනහවක් පා මෝටර් රථය දෙසට ඇවිද යන්නට වූවා ය. ඇය ව කතාවට අල්ලා ගෙන සසංක වෙනුවෙන් යම් තොරතුරක් ඉඟියක් හොයා ගන්නට නම් ඉක්මන් විය යුතු යයි ඉවකින් වාගේ අසේල ට දැනිණ.
“එළියට යනවද..”
ඔහු ඉක්මන් කොට ඇසුවේ ය. තරුණයා ඒ පැනය නැගුවේ ඇගෙන් දැයි අපරාජිතා කුතුහලාත්මක වූවා ය.
“එළියට යනවද කියල ඇහුවෙ…රෑ වීගෙන එන නිසා..”
ඔහු නැවත ද ඒ පැනය ම, එය වඩා සාධාරණීකරණය කරමින් ඇසුවේ ය. ඒ තමා වෙත යොමු කළ ප්‍රශ්නයක් බව ස්ථිර වූයෙන් අපරාජිතා මන්දස්මිතයෙන් හා මන්ද්‍ර ස්වරයෙන් පිළිතුරු දුන්නා ය.
“ඔව්. කෑම ගන්න යනව”
“කෝ අද හස්බන් නැද්ද..”
ඒ කොහෙත්ම අදාල නැති මෝඩ ප්‍රශ්නයකි. අපරාජිතා පිළිතුරක් නොදී මඳහස අලුත් කර ගත්තා විතර ය. ඒ සියල් ඉරියව් වල වූයේ ස්ත්‍රීත්වයේ සාඩම්බරයයි. ඇය කඳුකර මලක් වාගේ සව්මිය ය. පෝ දා පුර සඳ තරමට මෘදු ය. ආලේපන බිඳක් හෝ නො තැවරූ මුහුණේ සියලු අංග සියුමැළි ය. පවිත්‍ර ය. සසංක බලා සිටියේ හුස්ම ගැනීම පවා අමතක කරමිනි.
“අපිත් යන්න ඉන්නෙ. ඕනනං අපිත් එක්ක යන්න පුළුවන් කෑම ගන්න”
අපරාජිතා මෝටර් රථයේ දොරට අත තබන විට ම අසේල කීවේ ය. තරුණිය හැරී බැලුවා ය.
“තෑන්ක්ස්. මට තව වැඩ කීපයක් තියනව කරගන්න”
සාමාන්‍යයෙන් කුළී නිවැසියන් වෙනුවෙන් වෙන් කොට තිබෙන්නේ සාමාන්‍ය ගේට්ටුව ය. එය ඉඩමේ එක කෙළවරක වේ. රෝලර් ගේට්ටුව වන්නේ අනිත් කෙලවර ය. අපරාජිතා රිය පණ ගන්වත්දී සසංක ඔහු අත වූ දුරස්ථ පාලකයෙන් රෝලර් දොරටුව විවර කළේ ය. ඇගේ රිය ඉන් පිට වී ගියේ ය. සසංක තව දුරටත් සිටියේ අල්ලා ගත් හුස්මක් සමග සුවඳ පොදක අතරමංව ය. ඒ සුවඳ හමා ආවේ ඇය වෙතිනි. එදා නුගේගොඩ තෙත් බිම් උද්‍යානයේ ව්‍යායාම පථයේ දී පෙනහලු පුරවමින් නාසයෙන් ඇතුලු වූයේ මේ සුවඳ ය. එය විලවුන් සුවඳක් ම නොවේ. ආත්මීය සුවඳක් සේ ය. එහෙම සුවඳවත් ආත්ම තිබේ. ඔවුන් ළඟදී විලවුනක නමක් සොයා ගත නො හැකි ඒ සුවඳ දැනේ. අපරාජිතා නික්ම ගොස් තිබුණේ සසංක විදානගමගේ නමැති හතළිස් වියැති අවිවාහක තරුණයා මායාවක් තුළ අතරමං කොට ය. නමුත් සමාජයේ විවිධාකාර ගැහැනු පිරිමින් ඇසුරු කොට ද ඔවුන් හා ගැටී ද ඇති සසංක ට, එය සමහර ගැහැනුන් විසින් පිරිමින් බිලි බා ගනු වස් තමන් විසින් අටවා ගන්නා මායාකාරී හැසිරීමක් නොවන බව ඉඳුරා දැනුණේ ය.
“මදැයි අවුරුදු හතළිහක් වෙනකල් හිටිය ගෑනියෙක්ට පිස්සු වැටෙන්න”
අසේල එසේ කියත්දීත් සසංක ඒ මායාවෙන් බැහැර වී සිටියේ නැත.
“මං හිතන්නෙ එයාට හස්බන් කෙනෙක් නෑ”
“ආ…උඹට ඕන ඕන විදිහට මිනිස්සු අතුරුදහන් කරන්න පුළුවන්ද..”
“ඉන්නවනං පේන්න ඉන්න එපැයි”
“උඹ මේ ගෑනිවත් දැක්කෙ කොච්චර දවස් ගිහින්ද..මේ ගෙදර ගත්තෙ කවුද ඉන්නෙ කවුද කියල තාම උඹ දන්නවද…”
දෙමිතුරන් අතරේ කෙටි වචන හරඹයක් ඇති විය. අපරාජිතා සුපර් මාකට් එකෙන් එළවළු පළතුරු ද චීස් පාන් එකක් ද ගෙන නැවත එත්දීත් තරුණයෝ අඳුරේ කතා කරමින් සිටියහ. අපරාජිතා ඔවුන් දෙස නො බලා ම පිය ගැට පෙළ නැග ගියා ය.ලා සඳ එළියෙන් ද බැල්කනියේ මඳදුරු විදුලි පහන් එළියෙන් ද සසංක ට ඇය පෙනුණේ දෙව්දුවක් සේ ය.
උදේ ඔහු නික්ම යත්දී අපරාජිතාගේ සඳැල්ල දෙස බැලුවේ ය. නමුත් ඇය පෙනෙන්නට හිටියේ නැත.
“අද කුණු ට්‍රැක්ටරේ එයි. මතක ඇතුව dust bin එක එළියෙන් තියල යන්න”
සසංක මගදී හිත පාලනය කර ගන්නට ම බැරි තැන ඒ දුරකතන අංකයට පණිවිඩයක් තැබුවේ ය. නමුත් එය අයිති කාටද කියා ඔහු ට නිශ්චිත වූයේ නැත. අපරාජිතා තේ බොන ගමන් වට්සැප් පණිවිඩය කියවූවා ය. කහ පාට මඳ සිනහ මුහුණක ඉමෝජියක් ඇය ප්‍රතිචාර ලෙස යැව්වා ය. මහා දෙයක් ලැබුණා වන් සිනහවක් ඒ දැක ඔහු ගේ මුහුණේ පහළ විය.
ජීවිතයෙන් දශක හතරක් ගෙවා ස්ත්‍රීන් විෂයේ විවිධ අත්දැකීම් ලබා පැමිණි ගමනක කෙලවර යළි උසස් පෙළ සිසුවෙකු ගේ පෙමාතුර බවකින් ජීවිතය මැද හිටගෙන ඉන්නට වේයි සසංක හිතා සිටියේ ම නැත. විටින් විට ‘නිර්ණාමික ලියන්නී’ ගේ කවි කතා අස ඔහු ගේ පිරිමි හද කැළඹුණ බව ඇත්ත ය. එතකොට ඔහු ටික වෙලාවක් ප්‍රේමය කියනා අමුතු හැඟීමේ ගොදුරක් බවට පත් වී සිටී. නමුක් සැබෑ ජීවිතය ඉන් මඳක් ඔබ්බෙහි වන බව සසංක දැන සිටියේ ය. නමුත් දැන් ඔහු ගේ විශ්වාසයෙහි ඉරිතලා යාමක් වන්නට පටන් ගෙන තිබේ. අපරාජිතා කියන්නේ ප්‍රේමයට පර්යාය පදයකි.
දැන්වීම් ප්‍රචාරක ආයතනයේ සිටියා ට සසංක තුළ වූයේ සුන්දර නළියෑමකි. අපරාජිතා දැකීමේ නොතින් ආශාවකින් ඔහු ගේ පිරිමි හිත කකියෑවේ ය. නමුත් වයසේ තරමට වැඩ කළ යුතු බව නිතර ම සිතට මතක් කරන්නට ඔහු උත්සාහ කළේ ය. අන්තිමට හවස තුන වන විට ඔහු ගෙදර එනු වස් ආයතනයෙන් පිටත් වූයේ ය.
ඒ වෙලාවේ අපරාජිතා හිටියේ බැල්කනියේ බිම වැතිර කෙටි නින්දකට පත් ව ය. ලැප් ටොප් එක උකුළේ තබා ගෙන බැල්කනියේ බිම හිඳ නාට්‍ය පිටපත ලියමින් සිටි ඇය ට තද නිදි මතක් දැනුණේ ය. නින්ද තරම් සුන්දර වූ මැවීමක් මේ විශ්වයෙහි තවත් නොවන බව ඇය හැමදාමත් ඇදහුවා ය. නිදි මතක් ඇසට දැනෙනා විට මොන දේ කරමින් හිටියත් එය පසෙක තබා නිදා ගැනීම ඇගේ සිරිත වේ. ඉස්සර සිට ම දවල් කෑමෙන් පස්සේ ඇය පොතක් ගෙන ඇඳට වැටේ. පොත කියවා ගෙන යත්දී ඇස් දෙක බර වී විශ්වයේ කොතනකවත් නැති විදිහේ සුන්දර ලොවකට ඈ ඇතුලු වේ. එතකොට හීනයෙන් වාගේ ඇය පොත පපුව මත තබා ගනී.
දැනුත් ලියමින් සිටියදී ඒ නිදි ලොව ඈ අමතන්නට වූයේ ය. අපරාජිතා ලැප් ටොප් පරිගණකය පසෙක තබා එහෙම ම බැල්කනියේ ටයිල් බිම වැතිර ගත්තා ය. බිම සීතල ද සුළඟේ සිහිලැල් බව ද ඈ සොඳුරු ලොවකට ගෙන යන ලදී.
සසංක වට පිට බැලුවේ ය. කුරුල්ලන් කෑ ගසන හඬ පමණක් වටපිටින් ඇසේ. අපරාජිතා ගේ බේජ් පැහැති ජපන් ඇල්ටෝ රිය මිදුලේ නවතා තිබිණ. සසංක ඉතා හෙමිහිට පිය ගැට පෙළ දෙසට ඇවිද ගියේ ය. කිසිවෙකු පෙනෙන්නට නැත. ඔහු පියවර කිහිපයක් පෙරට තැබුවේ ය. ඇය සිටියහොත් කියන්නට බොරුවක් හෝ ගොතා ගෙන තිබුණේ නැත. නමුත් සසංක පසු නො බැස්සේ ය. ඇය බැල්කනියේ නිදනා අවිහිංසක ඉරියව්ව දුටුවේ තවත් මඳ වෙලාවකිනි. එක මත එක තබා ගත් අත් දෙකට ඇය කම්මුලක් තියා ගෙන සිටියා ය. ඒ සිනිඳු දුඹුරුවන් වරල කොපුල මත ඉහිර තිබිණි. ඒ මඳක් ඉවත් කොට ඒ සියුමැළි සුසුදු කොපුල පිරිමැද බලන්නට උපන් හිතුවක්කාර පිරිමි සිතිවිල්ල ඔහු අසීරුවෙන් යටපත් කර ගත්තේ ය.
බැල්කනියේ කොනක වර්ණවත් කැක්ටස් බඳුන් කිහිපය විය..එදා දියත උයනේ දී දුටුවේ ඇය ම බව විශ්වාස කරන්නට ඔහු ට උවමනා වූයේ ය.
එක නිමේශයක ඇගේ ඇස් විවර විය. ඈ ඔහු දුටුවා ය. සිදු වෙමින් පවත්නේ කුමක් දැයි සැක හැර දැන ගන්නට සෙයින් ඇය තත්පරයකින් යම් කිසි කොටසක් එසේ ම හිඳ ක්ෂණයකින් දනිපනි ගා නැගිට ගත්තා ය. ඒ ඇස් වල වූයේ නො රිස්සුම මුසු තිගැස්මකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here