ඔයාට හිතෙන්නේ නැද්ද ඔලීවියා තාමත් ඉන්නේ වේදනාවෙන් කියල..”
සොෆී මගෙන් ඇසුවේ හදිසියේ ය. ඔලීවියා, අපේ උසස් පාසලේ මිතුරිය දැඩි වේදනාත්මක ප්‍රේමය බිඳ වැටීමකට ලක් ව ගෙවී යන්නේ දෙතුන් මසකි.
“එයා ජේක්ව සම්පූර්ණයෙන් අමතක කරලා සොෆී.. දැන් ආපහු එයා හිනා වෙන්න උත්සාහ කරනව..”
මට ඒ ගැන තදබල විශ්වාසයක් විය.ඇයට දැන් ගොඩ නැගෙන්නට ඕනෑවටත් වඩා කාලය තිබිණ.ප්‍රේමයක් බිඳ වැටීම ඕනෑවට වඩා හඬමින් ළතැවෙන්නට හේතුවක් නොවේ.මා තරයේ විශ්වාස කළේ ඒ වගකි.
“ඔලී ඇයි තිස්සෙම හිනා වෙන්නේ.මං කියන්නෙ හිනා නොයන විහිලුයි, මෙලෝ රහක් නැති යූ ටියුබ් ප්‍රෑන්ක් වීඩියෝසුයි බල බල කඳුළු පනිනකම් හිනා වෙන්න ඇත්තටම හේතුවක් නෑනෙ..”
සොෆීගේ තර්ක කිරීම මට කෝපය ගෙන එන්නක් විය. මම පොතකට ඇස ඔබා ගතිමි.
“ඔලීවියා, ඔයා ඇයි ඔච්චර කන්නෙ?”
ආපන ශාලාවේදී සොෆී ඔලීවියාගෙන් එසේ ඇසූ දා මගේ ඉවසීමේ රතු ඉර අවසන් විණි.
“ඒ ළමයා කෑවම ඔයාට මොකද? බර්ගර් එකකින් හතරෙන් එකක් ඔයාට කාගන්න බැරි උනාට අනිත් මිනිස්සු පලි නෑනේ..”
මම සොෆීට බොහෝ සේ බැන වැදුණෙමි.සොෆී කිසිවක්ම නොකියා අසා හුන්නා ය.
“ඔලී අමුතුයි. එයා ගොඩක් කනව වගේම වෙලාවකට කන්නෙම නෑ.බලන්න එයාගෙ ඇඟේ හැටි..”
සොෆී කරුණු දක්වන්නට පටන් ගත්තා ය.
ඔලිවීයා ඉන් අනතුරුව තවදුරටත් වෙනස් වූවා ය.ඇය හැකි සෑම විටකම සතුටින් හිඳින යෞවනියක වූවා ය. ජේකබ්ගේ වෙන්ව යාම අමතක කළ ලෙස හැසිරෙමින් ඇය විහිලු කරන්නියක සහ අපව සතුටින් තබන්නියක බවට පත් වූවා ය.
“ඔලී..ඔයා කවුන්සලර් කෙනෙක් මුණ ගැහුණොත් හොඳයි..”
සොෆී ඇගෙන් ඇයදුවා ය.නමුත් සතුටින් සිටින කෙල්ලක මානසික උපදේශනයට ගෙන යන්නට උත්සාහ කරන සොෆී ගැන මට දැනුණේ කෝපයකි. ජේකබ්ගේ හැර යාම සිදු වූ කාලයේද සොෆී ඔලීවියාට මානසික උපදේශනයට යොමු වන්නට යෝජනා කළා ය. එයට ඔලීවියාගේ ද කැමැත්තක් නොතිබුණාම නොවේ.නමුත් අපට එය පෙනුණේ විකාරයක් ලෙසිනි.
“දාල ගියේ ජේකබ්..ඔලී මොකටද පිස්සෙක්ගෙ කාඩ් එකක් ගහගෙන කවුන්සිලින් යන්නේ?”
අපට තිබුණේ එහෙම කතාවකි.
“කවුන්සිලින් යන්නෙ පිස්සො නෙවේ. ඔලී ටිකක් හිත හදා ගන්න ඕන.එයා ඊගාවට කරන දේ හිතන්න ඕන.ජේකබ් වගේ රැවටිලිකාරයෙකුගෙ මතකය අමතක කරන්න ඕන.ඔහොම අඬ අඬ එයාගෙ ඇඟට දුක් දිදී හිත හදා ගන්නෙ කොහොමද?”
සොෆී තර්ක කළා ය.අපි ඇය නොතැකුවෙමු.ඔලීවියා අප සමඟ සමාජ ශාලාවලට ආවා ය.ඇති වෙනතුරු මත් වූවා ය.ඉතා කෙටි කාලීන පෙම් සබඳතාවල පැටලුණා ය.නිතර සිනාවෙන් කල් ගෙවන්නියක බවට පත්ව සිටියා ය. මත් බව වැඩි වූ විට ජේකබ් සිහි කර හැඬීම් තිබුණද ඇය උපදේශනයට නොගොස්ම හිත හදා ගත්තා ය. ඔව්,අපි එසේ සිතමින් සිටියෙමු.
“ඔලී සූසයිඩ් කරගෙන..”
කුණාටුවක වේගයෙන් ඒ පණිවිඩය පැමිණියේ ය.ජේකබ් සිහි නොවන මොහොතක් නැතිබවත් ඔහුට රිදවන්නට තමන් ලෝකය හැර යන බවත් ඔලීවියා ලියා තිබිණ.අනතුරුව ජීවිතය නතර කර දමන්නට තීරණය කර තිබිණ.
“එයා හිටියේ උදව් ඕන තැනක.වරින් වර වෙනස් කරන හැසිරීමෙන් එයා කිව්වෙ ඒක.මට ඕනෑ වුණා එයාට කවුන්සිලින් අරන් දෙන්න.හිත හදා ගන්න උදව් කරන්න.ඉක්මනින් පරණ ඔලීවියා අරන් එන්න. ඔයාලා මොකද කරේ.. ඒවා නොකර ගොඩ වෙදකම් කරා. අන්තිමට කර ගත්ත දේ දැක්ක ද?”
ඔලීවියා , සමාව නොලැබෙන බව දැන දැනම අපි ඔබෙන් සමාව ඉල්ලා සිටින්නෙමු. සැබෑවටම අප ඔබ ගැන සියල්ල දැන සිටින බව සිතා සිටිය ද කිසිවක්ම දන්නේ නැත.ඔබට නැවත ගොඩ නැගීම පිණිස සොෆී සොයා දුන් මාර්ගය ද අහුරා දැමූ අප ඔබගේ සැබෑ ඝාතකයන් නොවේ ද?
ඔලීවියා , අපට සමාව දෙන්න! හඳුනන මිනිසුන් ගැන සියල්ල දන්නා පරිද්දෙන් හැසිරී ඔබ අහිමි කර ගැනීම ගැන අපට සමාව දෙන්න.හිත් බිඳුණු විට නිවැරදි පාරක් තෝරාගෙන තුවාල සුව කර ගැනීමේ පාඩම අපට ඉතිරි කර ඔබ යන්නට ගොස් ඇත
විශාදයට අත් බෙහෙත් නැත.එය ඔහේ සුව වන්නක් ද නොවේ. ඒ පාඩම ඉගැන්වූවාට ස්තූතියි! සැනසීමෙන් නිදන්න.