සඳ ගංතෙර – 70

“මේ කතාව චන්දිගෙන් එළි නොවෙන්න මං වග බලා ගන්නවා.විහස් මේ ගැන දැනගන හිටියත් විහස් මේ ගැන මොකවත්ම නොකියන බවත් මම දන්නවා.”

එසේ නම් විය යුත්තේ කුමක්දැයි දුලාජ්ට පැනයකි.

“සඳරැස්ව නැති කරලා දාන්න මට ඕනෑ වුණා. එහෙම නැත්තං සඳරැස්ව බාර ගන්න මට ඕනෑ වුණා.ඒත් චන්දි ඒ අදහස් දෙකම ප්‍රතික්ෂේප කරා.”

ඇය දරුවන්ට ආදරය කරේ මහා පුදුමාකාර ක්‍රමයකට බව කමල්ට සිතේ. යන්තම් අවුරුදු විසි දෙකක් වූ ත්‍රීවිල් රථයක් පදවන කොලුවෙකුට තාත්තා කෙනෙකු විය නොහැකි බවට ඇය පරසක්වල ගැසුවා ය.

“එහෙනම් අපි බබා නැති කරමු.”

ඒ කාලයේ සිටි මිත්‍ර සම්පත්තිවල හැටියට එවැනි තැන් හත අටක්ම සොයා ගැනීම කමල්ට බොහෝ සරල දෙයක් විය.

“ඔයාගේ ලෙයින් මේ ලෝකෙට එන පළවෙනි දරුවට මං මැරෙන්න දෙන් නෑ.”

මල්වැන්නගේ දරුවෙක් බවට ලොවට පෙන්වමින් චාන්දනීගේ කුසයේ වැඩෙන දරුවා ගැන කමල්ට ආදරය පහළ වෙමින් තිබිණ. එහෙත් විශේෂඥ වෛද්‍යවරුන් වෙත යාම වැනි දේ තමා අසල සිටියානම් චාන්දනීට සිහිනයක් වන්නට තිබුණු බව ඔහු වටහා ගනිමින් සිටියේ ය. 

“මොනවද කන්න ආස?”

කුළුදුල් දරුවා ගැන ප්‍රේමයෙන් එසේ අසද්දී චාන්දනී කියන්නේ ගඩා ගෙඩියක නමකි.

“ඉස්පිරිතාලෙ මගෙ ඇටෙන්ඩන් යාලුවෙක් හිටියා. ඌ එක්ක ගිහින් මං දරුවව එකපාරක් බලා ගත්තා.”

ජීවිතය ගැන අරමුණක් නැති විසි තුන් හැවිරිදි තරුණයා තමන්ගේ ලෙයින් උපන් දරුවා එකම එක වරක් අතට ගත්තේ එදා ය. එකම එක හාද්දක් නළලත තැබුවේ එදා ය.

“මල්වැන්න මහත්තයට වගේ සැපක් දෙන්න බැරි වුණාට මට කොල්ලව තියා ගන්න හිතුණා. මොකක්ද හේතුවකට මට කොල්ලව ඕනෑම වුණා.”

ඔහු අතීතයෙන් මෙපිටට විත් සඳරැස්ට පැවසී ය.

“ඒත් චන්දි කැමති වුණේ නෑ පුතා. මං සඳරැස් පුතා චන්දිට වෛර කරනවට අකමැති අන්න ඒකයි. චන්දිට ඕනෑ වුණේ කොල්ලව සැපෙන් තියන්න.”

ප්‍රේමය විවිධාකාර ය. චාන්දනී ඇගේ ප්‍රේමය කෙසේ හෝ හිමි කරගෙන තිබේ. එසේම ඒ ප්‍රේමයෙන් උපන් දරුවාට ද ලැබිය හැකි හොඳම ජීවිතය ලබා දී තිබේ.

“හරියට බැලුවම දරුවව අරන් හදාගන්න දුන්න වගේ වැඩක්නෙ.”

කමල් කියන්නේ වේදනාත්මක ස්වරයකිනි. “කොල්ලොම දෙන්නෙක් ඉන්නවනෙ” යැයි කවුරු හෝ ඔහුට කියද්දී කොල්ලන් තිදෙනෙකු බව කියන්නට තරම් සිතෙන වාර අනන්ත ය. සීඝ්‍රයෙන් දියුණු වෙද්දී ඔහු චාන්දනීට චෝදනා කළ දවස් වේ.

“මුන් දෙන්නට දෙන සැප මගෙ ලොකු කොල්ලට නෑ. මට දුක ඒකයි.”

ගුරු වැටුපක් සහ වතුපිටි ආදායමින් මල්වැන්න දරුවන් රැක ගනියි. ඔහු දරුවන්ට හොඳ ජීවිතයක් ලබා දෙයි. නමුත් දියුණු ව්‍යාපාරිකයෙකුගේ දරුවෙක්ට ලැබෙන සුඛෝපභෝගී ජීවිතය සඳරැස්ට මඟ හැරීම ගැන ඔහුට දැනුණේ වේදනාවකි.

“අම්මගෙ දෙවැනි හස්බන් කියලා මල්ලි ටික ටික අංකල්ට කිට්ටු වෙන්න ඉඩ තියනවා. ඒත් තාත්තා කියල නම් කිසිම දවසක කියන්න හොඳ නෑ. කොල්ලා රටේවත් ඉන්න එකක් නෑ.”

කමල් නිහඬ සිනාවක් නැඟී ය.

“කන්න බොන්නවත් නැතුව හිටිය අතීතෙකින් මෙපිටට ඇවිල්ලා මං දැන් ඕනෑ දෙයක් කරගන්න පුලුවන් මට්ටමක මනුස්සයෙක් වෙලා පුතා. චන්දි ඔය වගේ කතාවක් කිව්වොත් ඔයාලා සඳරැස්ට බය නැතුව පරීක්ෂණයක් කරමු කියලා යෝජනා කරන්න.”

ඒ පරීක්ෂණ වාර්තා මල්වැන්න නමට ලියන්නට කමල්ට බලයක් තිබේ. ඔහුට උවමනා චාන්දනීගේ සත්‍යය හැදී එන තරුණයෙකු විනාශ වීම පිණිස නොයෙදීම ය.

“මේ දේවල් මොනවා වුණත් මං දරුවන්ට ලැබෙන්න ඕන දේවල් දෙනවා. සඳරැස්ට මං තාත්තා කියලා නොකියා ඉන්නේ දේපල නිසා නෙවෙයි.”

කමල් යන්නට පෙර පැවසී ය. ඔහු යන්නට ගියේ දුලාජ්ගේ හිස මත මහත් බරක් පටවමිනි.

පියෙකු වූ බව දැනගත් දා සිහි කරමින් දුලාජ් හුන් තැනම සිටියේ ය. එක්තරා උදෑසනක තාරුකා ඔහු නින්දෙන් සොලවා ගර්භනී පරීක්ෂා පටිය පෙන්වූ දවස දුලාජ්ට ඕනෑතරමට සිහි කළ හැකි ය.

“ප්‍රෙග්නන්ට්”

ඇය කෑගැසුවා ය. නින්දෙන් උඩ ගොස් බිම වැටුණු දුලාජ් ඒ කවුදැයි අසන්නට ගොස් ඇගෙන් හොඳ පාරක් කෑ මොහොත ඔහුට තවම සිනා උපදවයි. තාත්තෙකු වන්නට යන හැඟීම හිතට ආ මොහොතේ තාරුකා වැළඳ ගත් අන්දම ද ඇගේ සිරුරෙන් දැනුණු උණුසුම ද ඔහුට මේ මොහොතේ ද දැනෙයි. එතැන් පටන් ඔහු මඟ බැලුවේ දරුවා දකින්නට ය. පුතෙකු එනතුරු බලා සිටි තාරුකාට අභියෝග කරමින් දියණියක පැතූ දවස් කියා ගන්නට බැරිතරම් සුන්දර ය.  ශල්‍යාගාරයේ දී මුලින්ම සූකිරි කැටය දුටු මොහොතට වඩා සුන්දර මොහොතක් නැවත කිසි දිනෙක නොඑළඹෙන බව ඔහු දනියි.

“ඔයා නංගිට පණ ඇරලා ආදරෙයි. දැන් දෝණි කැටේටත් එහෙමයි. ඔයා අමතක කරන්න එපා ඔය කෙල්ලො දෙන්නම ඔයාට දවසක කොල්ලො දෙන්නෙක්ට දෙන්න වෙනවා. ඔය කෙල්ලො දෙන්නා අපි ළඟ ඉඳීද කියන්නවත් අපි දන් නෑ.”

තාරුකා ඒ සත්‍යය නිතරෝම සිහි කරයි. නමුත් දුලාජ් ඒවා නෑසූකන්ව හිඳින්නට කැමති ය. තාත්තා කෙනෙකු වීම සංසාරය මොනතරම් දිගු කරන හැඟීමක්දැයි සිතෙද්දී රාහුල කුමරු උපන් දවසේම සිදුහත් කුමරු අබිනික්මන් කළ හේතුව ඔහුට හොඳින් වැටහේ.

එහෙව් තාත්තා කෙනෙකුට කමල්ගේ හදවත පෙළන වේදනාව ගැන මහත් දුකක් දැනෙයි. තම ලෙයින් උපන් දරුවාගේ පිය පදවිය ඔහු වෙනත් මිනිසෙක්ට හිමි වෙන්නට ඉඩ හැරියේ ය. එකම එක වැළඳ ගැන්මක්, එකම එක දැකීමක් , එකම එක හාද්දකින් පසු ඔහු ඒ කිරි සුවඳ අමතක කරන්නට ඉටා ගත්තේ ය. දැන් ඔහු පුතුගේ මානසික නිදහස වෙනුවෙන් එය සදාකල් රහසක් කරගන්නට කැමති ය.

ජීවිතය කියන්නේ මොනවාගේ හැඟීමකටදැයි දුලාජ් සිතී ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles