ඔබ දකින තුරා 29

අමාරසී වෙනුවෙන් මුලින් ම ඔහු කළ යුතු වන්නේ දික්කසාදය ලබා ගැනීම බව දිසත් දැන සිටියේ ය. ඔහු කේෂි ගේ ගෙදර හැර පියා විත් මසකුත් දෙ සතියක් ඉක්ම ගොස් තිබිණි. ඒ අතරේ කේෂි ඔහු ට කතා කළේ ඇරඹුමේ දී පමණි. ඊළඟ සති තුනක පමණ කාලය, ඩිලන් විසින් තනා දෙන ලද සිහිනමය ලෝකයක ඇය පා වෙවී සිටියා ය. පරාක්‍රම ට දිසත් විසින් කියා සිටි පරිදි ඔවුන් නීතිමය වෙන් වීමක් සඳහා නඩුවක් ගොනු කිරීම කරන තෙක් ඔහු මේ මුළු කාලය බලා සිටියේ ය. නමුත් කිසිදු නීතිමය දැනුම් දීමක් සිදු නො වුණෙන් දිසත් දවසක් කේෂි ට කතා කළේ ය.

“ඩිවෝස් කේස් එක ෆයිල් කළාද කේෂි..මට තාම ඉන්ෆෝම් කළේ නැති නිසයි බැලුවෙ”

තද බල ඊර්ෂ්‍යාව අතරින් ම කේෂි ට කෝපයක් ද දැනිණ. ඇය ව මේ විදිහට නො සලකා හරින්නටත් අත් හැර දමන්නටත් ඔහු ට හැකි වීම ඊට හේතුවයි.

“මං කිව්වනෙ මං ඩිවෝස් එක දෙන්නෙ නෑ කියල”

“ඔහොම වෙන්න එපා කේෂි. අපි දෙන්නට එක ජීවිතයක් ගෙවන්න බැරිනං හොඳම දේ ඩිවෝස් වෙන එක නේද…”

“මං කියලනෙ තියෙන්නෙ. මට ඩිවෝස් වෙන්න ඕන නෑ”

“ඒත් මට ඕනෙ”

“මං දන්නව. මගෙ පැත්තෙං හේතු හෙව්වට ඒකට ඇත්තටම හේතුව අර ඔෆිස් එකේ ඉන්න කෙල්ල. මං ඒ ගැන විස්තර හොයනව මේ. ඔහොම ඉඳල කවද හරි ගෙදර එන්න වෙයි ඔයාට”

“ඒක කවදාවත් වෙන්නෙ නෑ කේෂි. ඔයාගෙ ගෙදරින් දොට්ට බහින්න කලින් මං කොච්චර ඉවසුවද කියල ඔයා හොඳටම දන්නව”

 “මේකත් කවදාවත් වෙන්නෙ නෑ දිසත්. බලං ඉන්න එපා මං ඩිවෝස් කේස් එකක් ෆයිල් කරනකල්”

“ඔයා කරන්නැත්තං අකමැත්තෙං වුණත් මට ඒක කරන්න වෙයි”

“බලමු මොනාද තමුන්ට කරන්න පුළුවන් කියල”

දිසත් කේන්තියෙන් යුතු ව දුරකතන සම්බන්ධය බිඳ දැමුවේ ය. ඇය මේ තරම් මුරණ්ඩු වෙන්නේ ඇයි ද යන්න ඔහු ට සිතා ගත නො හැක්කකි. කේෂි මේ දින වල ජීවත් වන්නේ ඩිලන් සමගින් බව ද ඔහු දැන සිටියේ ය. ජීවත් වීමට ඇය ට ඔහු නැතිවාට කම් නැත. නමුත් විවාහ සහතිකයේ සැමියා ලෙස දිසත් ගේ නම තබා ගන්නට ඇය ට උවමනා ය.

“තේරුමක් නෑනෙ ඕක. ඉතිං දිසත්ට ඩිවෝස් එක දෙන්න. එතකොට ඔයත් නිදහස්…එයත් නිදහස්”

ඒ දුරකතන සංවාදයෙන් පස්සේ ඩිලන් කීවේ ය. නමුත් ඊට ප්‍රතිචාර වශයෙන් කේෂි කළ යෝජනාව පිළිගන්නට ඔහු ට කොහෙත් ම ඕනෑ නොවිණ.

“එහෙනං අපි මැරි කරමු”

ඒ වෙලාවේ කේෂි ගේ ඇස් වල වූයේ බියකි. ඇගේ සමාජ භාවිතය කෙසේ වී ද, විවාහයකින් නෙරපීම තුළින් තනි වන්නට නො හැකි බියක්, අසරණ කමක් ඒ ඇස් වල ලියැවී තිබුණේ ය. එය වූ කලී බොහෝ ස්ත්‍රීන් තුළ දික්කසාදය කෙරේ වන භීතිකාවකි. විවාහ ජීවිතය තුළින් ඔවුන් බලාපොරොත්තු වන කිසිත් එහිදී නො ලැබුණා වී ද ඉන් නික්ම යන්නට සහජ බියක් යටි හිතේ කෙටී ඇත්තේ ය. එබිය තරණය කොට යන්නට විසල් ආත්ම ශක්තියක් තිබිය යුතු වේ.

කේෂි ට ඒ ආත්ම ශක්තිය උපදවා ගත හැකි නොවිණි. යම් ලෙසකින් ඩිලන් ඇය ව විවාහ කර ගන්නට එකඟ විණි නම් දිසත් ගෙන් නීත්‍යානුකූල ව වෙන් වීම ඇය ට අපහසුවක් නො දනවන්නට ද තිබිණි. නමුත් ඩිලන් තුල විවාහයක් සඳහා සූදානමක් වූයේ නැත.

“මැරි කරන්න…ආ යූ ක්‍රේසි…”

කේෂි ගේ ආරාධනය ඩිලන් තුළ සිනහවක් ඉපිදවී ය.

“මැරි කරනව කියන්නෙ කොයි විදිහෙ පනිශ්මන්ට් එකක්ද කියල හොඳටම දැන ගෙන ඔයා මට කියන්නෙ මැරි කරමු කියලද..නෝ ඩාලිං…අපි මෙහෙම ඉමු”

ඔහු ට ඇවිටිලි කිරීමෙන් පළක් නොවන බව කේෂි දැන සිටියා ය. එතකොට දිසත් ව සිය විවාහක ස්වාමියා වශයෙන් රඳවා ගැනීමේ අවශ්‍යතාවය තව තවත් ඈ තුළ වැඩිණි. එතැන්හිදී සිදු වූයේ ඔහු ව මෙතැනට තල්ලු කොට දමන ලද්දේ අර කාර්යාලයේ යුවතිය ය යන සිතිවිල්ල තව තවත් ඇය ව පිස්සු වැට්ටීමයි.

සිය සැමියා කවර හේතුවක් මත වෙනත් කාන්තාවකට සමීප වුවත් කිසිදු ආකාරයේ බිරිඳක් තුළ එය පහසු හැඟීමක් දනවන්නේ නැත. එය තනිකර ම හීන මානයක් දනවනා හැඟීමකි. තමන් ගේ කවර අඩුපාඩුවක් නිසා ඔහු එසේ කළා  ද, තමන් ට වඩා ඔහු ලං වූ ස්ත්‍රියගේ වන විශේෂත්වය කුමක්ද යන කාරණා නිරවුල් කර ගැනීමේ ලා එවන් තත්වයකට පත් ගැහැනු හිතක් නො ඉවසිලිමත් වන්නේ ය. ඒ සියල්ලට වඩා ඔහු ලං වූ ඇය ට වෛර කරන්නට පෙළඹීම සුලභ ව ඇති වන තත්වයයි. මේ සියල්ල කේෂි වටා ද කුණාටුවක් සේ කැරකෙමින් තිබිණ.

 දිලිනි හා තරුෂි ගේ ද අදහස් මත හැකි තාක් කාර්යාලයේ සහෝදර සාමාජිකයන් ගේ ඇස් වලට මුවහ වී මේ ප්‍රේමය රැක ගන්නට මේ වෙත්දී අමාරසී ද කල්පනා කොට තිබිණ. ඇය අත්‍යවශ්‍ය ම අවස්ථාවක මිස දිසත් වෙත නො ගියා ය. නමුත් ඔහු දකිත්දී ඇගේ ඇස් වල දකින්නට ලැබෙන ආදරයට පමණක් ආවේණික දීප්තිය සඟවා ගන්නා හැටි අමා දැන සිටියේ නැත. ඒ ඇස් කාන්තිය, ඇතැමෙකු ගේ අවධානයට ලක් ව තිබිණ. විශේෂයෙන් ගීතානි ගේ උකුසු ඇස් වලින් බේරී ඉන්නා එක පහසු වූයේ නැත. ඇය නිතර ම සෝදිසියෙන් සිටියා ය. කොනක් අල්ලා ගන්නට, පොටක් පාදා ගන්නට කල් යල් බලමින් සිටියා ය.

“දැන් හැදෙන ගෑනු ළමයින්ට නටන්න ඇත්නං කසාද බැඳල හොඳට පවුල් කන මිනිහෙක් වුණත් කමක් නෑ. පුදුම දාංගලයක් තමයි පිරිමි පරාණයක් දැක්කහම හැදෙන්නෙ”

ඇය විටෙක අහේතුක ව ඇනුම් පද කීවා ය. එදා අමාරසී ඇගේ මූණට ම කළ දොස් කීම නිසාවෙන් ගීතානි අමා එක්ක යටි හිතේ පැසවන වෛරයකින් ද සිටියා ය. තරුෂි, ඇගේ ඇහැට පේන්නට බැරි අනිත් තැනැත්තිය වූවා ය.

“අරය චීන පටස් එකක් වගේ පුපුරනව අපිව දැක්කහම”

යුවතියන් ඇය ගැන කියා හෝ ඇය ගැන නො කියා හෝ සිනහ වෙන හැම වතාවක ම ගීතානි සිතුවේ ඒ ඇය ට සිනහ වෙනවා කියා ය. එසේ සිතත්දී ඇගේ හිතේ කහට තව තවත් වැඩි වූයේ ය.

අමාරසී ගේ උපන් දිනය ආසන්න වෙමින් පැවතියේ එවන් වටාපිටාවකදී ය. සාමාන්‍යයෙන් ඇය උපන් දිනය දවසට යෙහෙළියන් දෙදෙනා සමග අවන් හලකට ගොස් ප්‍රීතිමත් දිවා ආහාරයක් ගැනීම සිරිත වූයේ ය. නමුත් මෙවර උපන් දිනය වැටී තිබුණේ සෙනසුරාදා වකට වූයෙන්, දිලිනි හා තරුෂි අමාරසී ගේ ගෙදර එන්නට සැදී පැහැදී සිටියහ.

“එතකොට දවල්ට බත් කාල..හවසට කේක් කාල..තේ බීල එන්න පුළුවන්නෙ. ගිය ගමං ජූස් එකකුත් හම්බ වෙයිනෙ. රෙස්ටොරන්ට් එකකට යනවට වැඩිය ඒක හොඳයි”

තරුෂි කල් ඇතිව ම කෑම වට්ටෝරු සූදානම් කළා ය. සිය සැමියා සති අන්තයේ ව්‍යාපාර කටයුතු සමග කාර්ය බහුල වන බව දැන සිටියෙන් දිලිනි ද දරුවා සමගින් අමාරසී ගේ ගෙදර දවස ගෙවන්නට ඉතා කැමති වූවා ය. ඒ අනුව අමාරසී සිකුරාදා  හවස නිර්මලා සමග වෙළඳ සැලට ගොස් අවශ්‍ය කලමනා රැගෙන ආවා ය. ඇය පබසරා ට ද දරුවා කැටුව එන්නයි ඇරයුම් කළත් ඇය ගත් කටට ම ඒ ඇරයුම ප්‍රතික්ෂේප කළේ, යොහාන් සම්බන්ධ කාරණය ගැන හිතේ වූ පරණ තරහට ය.

“දරුවට නර්සරි එකේ කොන්සර්ට් ප්‍රැක්ටිස් වලට යන්න තියෙනව”

අමාරසී වද කොට නංගී ට එන්න කීවේ නැත.

“දිසත් එනව ඇතිනෙ නේ..”

අජිත් එසේ විමසුවේ, ඔහු රහසින් ගෙන ආ බීර බෝතල කිහිපය ශීතකරණයට දමන ගමන් ය. දිසත් නිසා ම අජිත් ද දැන් සැර බීම වලින් මඳක් මිදී බීර වලට නැඹුරු වී හිඳී.

“මන්නං කිව්වෙ නෑ තාත්තෙ”

අමාරසී දෙගිඩියාවෙන් වාගේ කීවා ය. ඔහු එනවා නම් ඇය උපන් අරමුණ සර්ව ප්‍රකාරයෙන් මේ වසරේදී සපිරෙන බව අමා දැන සිටියා ය.

“ඒත් දිලිනියි තරුයි එනවනෙ..ඒක නිසා ඔයාට එන්න බෑනෙ”

ඇය හැන්දෑවේ දිසත් ට කීවේ දුකිනි.

“මං රෑ වෙලා එන්නං. බර්ත් ඩේ එකක් ගැන දන්නෑ වගේ. කොහොමත් ඉතිං තාත්තයි මායි ඉඳහිට හම්බ වෙලා කතා කරනවනෙ…”

එපමණකින් සෑහීමට පත් වෙන්නට අමාරසී ද හිත හදා ගෙන සිටියා ය. නමුත් බීර බෝතල ශීතකරණයට දැමූ අජිත්,

“දිසත් ට කෝල් එකක් අරං දෙන්න”

කියා අමාරසී ට කීවේ ය. කුකුළු මස් පදම් වෙන්නට සකසමින් උන් නිර්මලා හැරී බැලුවා මිස කිසිත් කීවේ නැත. නමුත් අම්මා ගේ මුහුණේ නො කියන කතා බොහොමයක් වන බව අමාරසී ට දැනිණ. ඇය මාරුවෙන් මාරුවට නිර්මලා හා අජිත් දෙස බලත්දී,

“කෝ අරං දෙන්නකො”

කියමින් ඔහු ඉක්මන් කළේ ය. එවර ඇය ඔහු ගේ දුරකතනය සම්බන්ධ කර ගෙන අජිත් ට දුන්නා ය.

“හෙට මේ පැත්තෙ එනවද පුතා…විශේෂ වැඩක් නැත්තං එමු නේ දවල්ට…”

“ඇයි අංකල්…පාටියක්වත්ද..”

දිසත් එක්වන කැමැත්ත පෙන්වන්නට නො ගියේ හිතා මතා ම ය.

“මෙන්න මේ රසියගෙ උපන් දිනේලුනෙ. ඔෆිස් එකේ යාළුවො දෙන්නෙක් එනව කියල ජමරෙට උයනව”

“අනේ එහෙමනං නෑ”

අමාරසී පසෙක හිඳ මිමිණුවා ය.

“ආ..දිලිනියි තරුෂියි වෙන්නැති”.

“ඉතිං පුතත් එමු. දන්නැද්ද ඉතිං..ගෑනු ළමයි ආවයි කියල අපිට ඉතිං සන්තෝස වෙන්න කාරණාවක් නෑනෙ. මං සේරම ලෑස්ති කරල තියෙන්නෙ. පුතා එන්න”

“බලමු අංකල් ඉතිං…”

“බලන්න දෙයක් නෑ. එන්න ඕනෙ ශුවර් එකටම”

කිසිත් නො කියා සිටියා ට දියණිය ගේ ඇස් වල වන දීප්තිය නිර්මලා හොඳින් දුටුවා ය. අජිත් දුර දිග නො බලා කරන මේ වැඩ නිසා මොනවා කොහෙන් කෙළවර වේවි දැයි ඇය සිතුවා ය.

“ගින්දරයි පුළුනුයි ලං කළහම ඇවිලෙන්න පුළුවන් අජී. මන්නං කැමති නෑ ඔයා මේ කරන වැඩේට. තරුණ හිත්නෙ..”

ඇය එසේ කීවේ නිදන්නට කාමරයට ගිය ඉක්බිති ය. අජිත් ඈ සමගින් තර්ක කරන්නට නො ගියේ ය.

“අන්තිමට මේ පැත්තක ඉන්න අපේ කෙල්ලගෙ ඇඟට එයි කොහෙවත් යන කුණු ඔක්කොම..දැක්කනෙ එදා වෙච්ච දේ…ඒ ළමයගෙ නෝනා මෙතනට කඩං පාත් වෙලා”

“අනේ ඒ ගෑනිට පිස්සු”

“අමතක කරන්න එපා අපිට ඉන්නෙ කෙල්ලෙක් කියල. මං මේ කියන්නෙ ඒ ළමයවත් අපේ ළමයවත් නරකයි කියන එක නෙවෙයි. ඒත් අපි ඉන්නෙ හරිම නරක සමාජෙක අජී. මන්නං මේ බත් තම්බ තම්බ ගෙට වෙලා ඉන්න ගෑනි. ඔයා මට වඩා දන්නවනෙ මේ සමාජෙ ගැන”

නිර්මලා කියන්නේ නො වැදගත් කොට ඉවත ලිය හැකි කතාවක් නොවන බව අජිත් ද නො දැන සිටියා නොවේ.

අමාරසී ට නම් අලුත් දවසට හිරු පෑයුවේ ම තිගැස්මක් එක්ක ය. ඇය අම්මා ට උයන්නට අත් උදව් දුන්නා ය. උයන ගමන් ඒවාට මිරිස් පහේ දමන පදම ගැන වෙනදා නොවූ උනන්දුවකින් විමසා දැන ගන්නටත් ඇය පෙළඹුණා ය. අම්මා වශයෙන් අමාරසී ගේ ඒ වෙනස නිර්මලා ට හොඳට ම දැනිණ. ඇය ට බය දුව ගේ හිත මේ සියල්ල අවසානයේ දරුණු රිදුමක් ඇති ව බිඳ වැටේවිද කියා ය.

තරුෂි ලස්සන උපන් දින කේක් එකක් තනා ගෙනාවා ය. යෙහෙළියන් දෙදෙනාත් දිලිනි ගේ පුතුත් සමගින් සිනහ වෙමින් සිටියා ට අමාරසී ගේ ඇස් තිබුණේ ගේට්ටුව පැත්තේ ම ය. අජිත් ද ඉස්තෝප්පුවේ සක්මන් කරමින් සිටියේ දිසත් ගේ පමාව ගැන හිතමිනි. උදේ සිට කිහිප වරක් අමාරසී දිසත් ට කතා කළ ද, මැදියම් රැයේ සුබ පතන්නට කතා කළ පසු ඔහු ගේ දුරකතනය ක්‍රියා විරහිත ව තිබිණි.

අන්තිමට ඔහු ආවේ අමාරසී බියපත් ව, කෙතරම් බිය වූයේ ද යත් ඇගේ සිනහව ද අතුරුදන් ව ගිය ඉක්බිති ය.

“ඔය ආවෙ ඉතිං කුමාරය”

තරුෂි හෙමිහිට කීවා ය..එහඬ අම්මාට ඇසේවිද කියා වට පිට බලනා ගමන් ම අමාරසී ගේ ඇස් සිනහ වෙන්නට පටන් ගෙන තිබිණ. එක්වරම අමාගේ හිත දිව ගියේ එදා දිලිනි සමගින් ගාළු මුවදොර පිටියට ගිය විට හමු වූ දිසත් ගැන මතකයට ය. එදා සේ ම ඔහු සැහැල්ලු ඇඳුමකින් සැරසී සිත් බඳනා සිනහවකින් ඈ වසඟ කරමින් ගෙතුළට ආවේ ය.

“කාගෙ කොල්ලා වුණත් මගෙ ක්‍රෂ් එක ආ”

තරුෂි යෙහෙළියන් දෙදෙනාට පමණක් ඇසෙන්නට කීවා ය. දිලිනි සිනහව ගිල ගත්තා ය. රිදී හා සුදු පැහැති මෝස්තර වැටුණ දවටනයකින් ඔතා තිබි උපන් දින තිලිණය අමා අතට පත් කරනා ගමන් ඔහු ඈ දෑසින් සිප ගත්තේ ය.

“බලපංකො මුංගෙ මූණු වල පැණි පෙරෙන හැටි. දන්නවනං බිබ් දෙකක් ගේනව දෙන්නගෙ කරේ එල්ලන්න”

තරුෂි ගේ කතා වලට සිනහ නොවී සිටිත හැක්කේ අපහසුවෙන් වී ද දිසත් වූ කලී සිය අංශ ප්‍රධානියා වූයෙන් දිලිනි ඇය ව පාලනය කර ගත්තා ය.

දිසත් ගෙනා තිලිණිය කාමරයට වැදී විවර කළේ ද තරුෂි ය.

“වාව්…බ්‍රෑන්ඩඩ් වොච් එකක්”

අමාරසී ගේ ඇස් යන්තම් කඳුළකින් තෙත් වී ගෙන ආවේ ය. ඇය සිය යෞවනයෙන් වැඩි කාලයක් ගත කළේ තනිව ය. ප්‍රේමයෙන් දුරස් ව ය. හිතේ හිස්තැන් ඉතිරි නොකොට මුළු හිත ම ප්‍රේමයෙන් පුරවන්නට දිසත් සමත් වී සිටිය ද ඒ ආදරය පිළිගන්නට සිදු ව තිබෙන්නේ ලෝකයට රහසේ ය. එය එක්තරා ආකාරයක අවාසනාවක් සේ අමාරසී ට දැනිණ.

අජිත් දිසත් සමගින් සව්දිය පුරන්නට පටන් ගෙන තිබිණ..නිර්මලා බෝ තුටින් කෑම බීම සූදානම් කළා ය. සිය දිවියෙහි සමීපතම මිනිසුන් පස් දෙනා සමගින් ගෙවී යන මේ හෝරාව එතෙක් ඇගේ දිවියට උදා වී නො තිබි අවස්ථාවක් බව අමාරසී දැන සිටියා ය.

කෙල්ලන් ගේ ඉඟි බිඟි වල නිමාවක් නො තිබිණි. වෙනදා ඔවුනතර වූ රාජකාරීමය පරතරය අමතක කොට අලුත් හිතවත් කමකින් ඔවුහු දිසත් ට සමීප වෙමින් සිටියහ.

සතුටෙහි වෙස් වලාගෙන අවාසනාවට ද පැමිණිය හැක. එතෙක් ඒ කිවෙස් සීමාවේ දෝරෙ ගලමින් තිබි ප්‍රීති ප්‍රමෝදය දෙදරා ගියේ හැන්දෑවේ කේක් කැපීමෙන් ද පසු පිරිස තේ බොමින් සිටියදී ය. සිනා කතා හඬ නිසා රියක් නැවතෙන හඬ හෝ කිසිවෙකුට ඇසුණේ නැත. ජංගම දුරකතනය පමණක් අතින් ගත් කේෂි විත් ප්‍රධාන දොර උළුවස්ස දෙපැත්තෙන් අල්ලා ගෙන නතර වූවා ය. ඇගේ ඇස් වලින් පිට වෙමින් තිබුණේ ඊර්ෂ්‍යාවේ හා හීන මානයේ ගින්දර ය. එතෙක් වූ සිනහ කතා හඬ නැවතී අල්පෙනෙති තුඩක් බිම වැදුණත් ඇහෙනා තරම් ඝණ නිශ්ශ්බ්දතාවයක් ඇති විය. දිසත් අසුනෙන් නැගී සිටියේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles