මල් තුහින -14

“ඒකපාර්ශවික ආදරයක් වේදනාවක් කිව්වට ඇත්තටම ආදරේ කරනව තරම් වේදනාව අඩුයි කියලත් මට හිතෙනව.”

තුහින දුරකථනය විසන්ධි කර ඇති බව නොදන්නා මලිති එසේ ලියා යැව්වා ය.අනතුරුව ඒ ගැන තවතවත් කියන්නට ඇයට ඕනෑ විය.

“බලාපොරොත්තු පුරවගෙන ආදරේ කරනවට වඩා කිසිම බලාපොරොත්තුවක් නැතිව ආදරේ කරන එකත් සහනයක්. අපි එයාට ආදරේ බව දන්නෙවත් නැති කෙනෙක් දිහා බලන් ඉන්න එක ඇත්තටම සහනයක්.”

එය සහනයක් නොවේ. ආදරය ගැන නොදන්නා ආදරය බව නොදන්නා කෙනෙකුට ආදරය කිරීම කිසිම අයුරකින් පහසු නොවේ. නමුත් මලිති කැමති ඒ හැඟීම සරල බව සිතන්නටය. ප්‍රේමය අහිමි ලෝකයක සිර වී ඇය තමන්ට ආදරය කරන්නට මතකදැයි නැවතත් සිතුවා ය.

“ආදරේ වෛරෙකට පුරෝ ගන්න එපා මිනිහො. ඒ කෙල්ලට උඹ ගැන හැඟීමක් නැත්තං උඹ මොන මඟුලකටද ඒකි ගැන හිතන්නෙ. එක්සෑම් ඇණ ගනිං පුලුවන්නම්.”

එසේ මිතුරු දෝෂාරෝපණ නැගෙද්දී තුහින අතීතයේ දී කළේ සංවේදනා මරා දැමූ මිනිසෙකු බවට පත් වීම ය. අවුරුදු දහ අටේ කොල්ලෙකු ප්‍රේමය කියන්නේ මොන කෙහෙල්මලක්දැයි සිතන්නට ගත් අතර හැඟීම් මරා දමමින් ජීවත් වන්නට පටන් ගත්තේ ය. සැබෑවටම මිතුරන් පැවසූ ලෙස ඔහු විභාගය ඇණ ගත්තේ නැත. තුහින ඉංජිනේරු පීඨයට සුදුසුකම් ලැබුවේ උසස් ප්‍රතිඵලයක් ලබාගෙන ය. ජීවිතය කියන්නේ ප්‍රේමය අමතක කළ යුතු තැනක් බව සිතමින් නිරන්තරයෙන්ම මත් වී හිඳීම සරසවියේදී පුරුද්දක් කර නොගත්තානම් ඔහුට එතැනද වීරයෙකු වීමට අපහසු වන්නේ නැත.එහෙත් කඩා හැලෙන වරලසක් හිමි තාරකා දෑස අමතක කරන්නට ඔහුට කාලය උවමනා විය. මත් වීම හන්දා අධ්‍යාපන කටයුතු සාමාන්‍ය මට්ටමට හැරෙමින් තිබිණ.මලිති,ගෘහ නිර්මාණ ශිල්පය හදාරන සිහිනයක ඉන්නා බව දැන ගත් පසු එකම විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන අවස්ථාව පවා ඔහු මඟ හැර ගත්තේ ය.ඇය ෆේස්බුක් හි බ්ලොක් කර දමා මලිති අමතක කරමින් සිටි කාලය වේගයෙන් ගෙවී ගියේ ය. උත්පලා කියන්නේ අනාගත ආයෝජනයක් මිස ආදරයක් බව ඔහුට සිතුණේ නැත. හොඳ බිරිඳක් කියන්නේ සමාජයට ආභරණයක් කර පෙන්විය හැකි ගැහැනියකි. රැකියාව අත් හැර සමාජ ක්‍රියාකාරිනියක වීම උත්පලා තෝරා ගන්නා දවස දක්වාම තුහින ඇය අසීරුවෙන් දරා ගත්තේ ය. නමුත් දැන් ඒ ඉවසීම ද අහවර ය.

මලිති අහම්බයකින් දුටු දවස ඔහුට අමතක නැත.

වාස්තු විද්‍යාව සහ ගෘහ නිර්මාණ ශිල්පය සම්බන්ධ ප්‍රසිද්ධ ආයතනයක් නිවස අසල ඇතැයි තුහින දැන ගත්තේ නිවස මිලට ගැනීමෙන් ද පසුව ය. හිඳින්නේ කොහේදැයි නොදන්නා අප්‍රකාශිත ප්‍රේමය මෙතැන රැකියාව කරන බව ඔහු කිසිවිටෙක නොසිතුවා ය.

ආයතනයට පිවිසෙන්නට පෙර රියැදුරු අසුනේ හුන් සැමියා හෝ පෙම්වතාගේ කම්මුලක හාද්දක් තවරන කෙල්ලක ඔහු දිනක් දුටුවේ අහම්බයකිනි.

ඒ ඇය ය! කඩා හැලෙන වරලස කැරලි කොණ්ඩයක් බවට පත් කරගෙන තිබුණ ද ඒ ඇය ය.

ඔහු වහවහා වෛරයෙන් පිරී යන්නට විය. ඒ හේතු දෙකක් හන්දා ය. පළමුවැන්න ඈ කාලයකට පසු දුටුවේ වෙනත් මිනිසෙක් සිප ගනිද්දී ය. දෙවැන්න ඇය අර කඩා හැලෙන වරලස කැරලි කොණ්ඩයක් කරගෙන හිඳී.ලස්සන බව සිතා හුන්නාට ඇය කැතම කැත බව ඔහුට සහතික ය.ඉනික්බිතිව කාර්යාලයට යන එන යුවතිය ඔහුගේ කෝපය අවුස්සන්නට හේතු විය.ඇතැම්දිනවල මිතුරියන් හා කතා කරන්නට මෝටර් රථයෙන් බිමට බහින සැමියාගේ අතේ එල්ලෙන මලිතිට බැන වදින්නට ඔහුට ඕනෑ විය. ෆේස්බුක් අවහිර කිරීම ඉවත් කර දමා ඔහු ඇගේ ෆේස්බුක් ගිණුම පිරික්සන්නට පුරුදු විය. ඇය එහි වැඩිපුරම තබන්නේ සැමියා ගැන ආදර සටහන් ය.

තුහින එතැන් සිට ජීවත් වූයේ මලිතිට වඩා ආදරයෙන් ජීවත් වන බව හඟවන්නට ය. වෙනදා උත්පලාගේ ව්ලොග්ස් දෙස සමච්චලෙන් බැලූ ඔහු ඒවා පිළි ගන්නට පටන් ගත්තේ ය. ශේන්‍යාට මල්ලි කෙනෙකු ගෙන එන්නට පවා ඔහුට ඕනෑ විය.Ratsasan වැනි චිත්‍රපටි බලමින් ප්‍රතික්ෂේප වීමට ප්‍රතිචාර දක්වන්නේ කෙසේදැයි සිතන්නට ගත් තුහින නොදැන හුන් කාරණාවක් විය.

මලිති අහම්බයකින් දුටු දෑසකට ප්‍රේම කරන්නට ගෙන තිබිණ. ඒ පාසල් කාලයේ ඇයව පැතූ කැරපොත්තා බව නොදැනම ඇය ඔහුට ආදරය කරන්නට පටන් ගෙන තිබිණ.

රනුකගේ ආරාධනාවෙන් මලිතිගේ කාර්යාලයේ රාජකාරි වලට එක් වූ දවස්වල පාවිච්චි කරන්නේ තුහින යන නම හන්දාත් පාසල් කාලයට වඩා පෙනුම බොහෝ වෙනස් වී ඇති හන්දාත් මලිති තමන් හඳුනා නොගත් බව ඔහු දැන ගත්තේ ය.

ඔහු වෛරය සහ ප්‍රේමය අතර පැටලෙමින් සිටියේ ය.

(මලිතිට යහපත් ආදරයක් ලැබේවිද? නැත්නම් ඇය අතීතයේ කළ වරදකට පලි ගැනීමට ලක් වේවිද? මුලදී තෝරාගන්න අමාරු වුණත් ඉවසීමෙන් කතාව කියෙව්වාට ස්තූතියි)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles