දුලාජ් නැගණියගේ කාමරයට ආවේ ඇය නිදන්නට කලින් ය.මැදියම් රැයට ආසන්න වනතුරු පාඩම් කරමින් සිටි දුලන්‍යා අයියාගේ ඇමතීමට පුදුම වූවා ය.
“නිදි නැද්ද අයියා?”
ඈ ඇසුවේ පුදුමයෙනි. ඔහු රැකියාවට යන්නට ඇති හැම දිනකම මැදියමට පෙර නින්දට වැටේ. දුලාජ් අනවසරයෙන්ම නංගිගේ ඇඳෙන් අසුන් ගත්තේ ය. එහි වෙනදාට වඩා මෘදු සෙල්ලම් සතුන් වේ. ඔහුට සිනාවක් ඉපදිණ. මේවා කාමරයට ආවේ කොහෙන්දැයි දුලාජ් දන්නී ය.
“ලස්සන නංගියෙක් ඉන්නකොට අයියලට නින්ද නොයන කාලයක් එනවා. “
දුලාජ් එහෙම කියන්නේ සෘජු බැල්මකිනි. දුලන්‍යා අයියාගේ බැල්ම මඟ හැරියා ය. ඉඳහිට අමතර පන්තියක් මඟ හැරීම, අම්මා සමඟ ජල්ලියක් අල්ලා ඇගේ හිත රිද්දීම වැනි කාරණාව වලට ඇය අයියාගෙන් බැනුම් අසා තිබේ. නමුත් මේ කතා කරන්නට යන්නේ වෙනම කතාන්දරයක් බව දුලන්‍යාට වැටහේ.
ඇය අයියාට මුහුණ දෙන්නට තීරණය කළා ය.
“ඔයා කා එක්ක හරි සම්බන්ධයක් තියනවා නේද?”
දුලාජ් අසන්නේ සෘජුව ය. විහාරමහාදේවියට අඳින්නට ගිය දැරිය හොඳටෝම කලබල වූවා ය.
“මල් අරගෙන ගෙදර ආවට සහස් එක්ක මගේ සම්බන්දයක් නෑ අයියේ. සහස් කියනවා දුරින් ඉඳන් බලන් ඉන්න දෙන්නලු. මං කිට්ටු වෙන දවසක් එයිලු. ආයේ ටිකකින් අහනවා නින්ද යනකම් ඔලුව අත ගාන්න බැරිද කියලා. මොන විකාරද? මං ෆේස්බුක් වට්ස් ඇප් ඔක්කොම බ්ලොක් කරා.”
දුලන්‍යා හැටට හැටේ වේගයෙන් කියවන්නේ හොඳටෝම කලබල වූ අවස්ථාවකදී බව දුලාජ් දනියි. ඔහු ඇයට කියවන්නට දී බලා සිටියේ ය.
“ඔයා කලබල වුණාම පොඩි කාලේ ඉඳලම කියන්නේ කියන්න ඕන දේවල් නෙවෙයි.”
දුලාජ් කියන්නේ සිනාවකිනි. අයියා සියල්ල දන්නා හැඩකි.
“අයියා මොනවද අහන්නේ?”
හද බිතු ගැළවී එන ශෝකය වචනවලට පෙරළමින් ඈ ඇසුවා ය.මේ ප්‍රේමය දිනක අවසන් වී යන්නට ඉඩ ඇති බව ඇය සිතා සිටියා ය..නමුත් ඒ අයියාගේ දරුණු සැකයට භාජනය වීමෙන් අනතුරුවයැයි ඇය මොහොතකටවත් සිතා තිබුණේ නැත. ඇයට බියක් දැනුණේ ගැහැනුන් සම්බන්ධ අකමැත්ත සඳරැස් ඇය වෙතද ගෙන එන්නට ඉඩ ඇති බවට ය.
“ඔයා ආදරේ සහස් නෙවෙයි. සහස්ගෙ අයියට”
ඒ සහස් වූවානම් අයියා කැමැත්ත දෙනවාදැයි අසන්නට දුලන්‍යාට සිතිණ.නමුත් වචන ගලා එන්නේ නැත.
“ඒ සහස් වුණානං පුංචි කාලෙට පස්සෙ ඔයා මගෙන් කාලෙකට පස්සෙ ගුටියකුත් කාලා.”
දුලාජ් නැගණිය තුරුළු කර ගත්තේ ය. අම්මා විසි දෙවසරකට පෙර ගෙනවිත් දණහිස් මත තැබූ රෝසපාට මල් පොහොට්ටුවෙන් ආ කිරි සුවඳ ඔහුට තවමත් දැනේ.
“මට වඩා නංගිට නේද ආදරේ?”
ප්‍රේම කරන්නට ගත් මුල්ම කාලයේ තාරුකාට එහෙම චෝදනා පවා තිබිණ. ඇය දුලන්‍යා ඇගේ කරගත් පසු ඒ චෝදනා නැවතිණ.
“හිත හොඳටම රිද්දන් ඉන්න කොල්ලා මේ තරමටවත් සන්සුන් වුණේ ඔයා නිසා. ගත්තු තීරණේ හරියට හරි කියලා විශ්වාස නම් ඔයාගේ තීරණේ ඔයා ඉස්සරහට අරන් යන්න.”
දුලාජ් කාමරයෙන් පිටතට යන්නට පෙර අපූරු කතාවක් ද කියන්නට අමතක නොකළේ ය.
පිච්චිලා යන උණුහුමක් වෙන්න පුලුවන් කොල්ලෙක් හීතල වැස්සක් වෙන්න පටන් ගත්තා.ඕක තමා අපි හිත හදා ගත්තු තැන.මොන දේ වුණත් අක්කා ඉන්නේ සඳරැස් ගැන සැනසීමෙන්. අපි මේ පොඩි ලෝකේ සැනසීම ඉතුරු කර ගමු”
දුලන්‍යා හිස වැනුවා ය. ඇයට ලැජ්ජාව ද සන්තෝසය ද එකවර දැනේ. නෙල්ලි ගෙඩියක් හැපුවා වාගේ ය.
“විජේවර්ධනලා එක්ක ගනුදෙනු කරන්නෙ කොහොමද කියන එක තීරණය කරන්න අපි අක්කටයි මල්ලිටයි ඉඩ දෙමු සුදු මැණික. අපි අම්මගෙයි අප්පච්චිගෙයි ආදරේ උපරිමේටත් එහා වින්ද ළමයි. ඒ ආදරේ අහිමි වුණු ළමයි දෙන්නෙක්ට කරන්න ඕන දේ කියන්න අපිට අයිතියක් නෑ.”
නමුත් මේ අයියාටත් නංගිටත් ඒ අක්කාත් මල්ලීත් දරා ඉන්නට හැකියාව තිබේ. මේ කුඩා ලෝකයේ ඔවුන්ට සැනසීම ද ඉතිරි වී තිබේ.
“ඔයා හැමතිස්සෙම කියනවනෙ කෙනෙකුට ජීවිතේ අනිත් පැත්ත පෙරළන කෙනෙක් මුණ ගැහෙනව කියලා.මට ඒ ඔයා.මං ඔයාව නැති කරගන් නෑ..”
නිදිමරගාතේ සිටි සඳරැස් ඒ වට්ස් ඇප් පණිවිඩය දෙස බැලුවේ පුදුමයෙනි. නිදන්නට යන බව කියා පියාඹන හාදුවක් පවා පා කර එවා දුලන්‍යා කාමරයට විත් දැන් හෝරා බාගයක් පමණ ගෙවී තිබේ. ආදරය කියන්නේ නින්ද අහිමි කරන දෙයකට ය. මේ ඒ රෝග ලක්ෂණ වෙන්නට ඇති බව ඔහුට සිතිණ.
“මට අයියා ඔයාව දුන්නා.”
ඊළඟ පණිවිඩය නින්ද සහමුලින්ම නැති කර දැමී ය. දුලාජ් අයියා විශ්වාසයෙන් කැමැත්ත දුන් මොහොතක මැදියම් රෑ ඇගේ කාමරයට ගොස් ඇය වැළඳ සිප ගැනීමේ ආශාව ඔහු මැඩ ගත්තේ ය.
සියල්ල අයහපත්ව සිදු වෙද්දී පවා දේදුනු පායා එයි. නැත! දේදුන්නක් කියන්නේ මැකී යන දෙයකට ය.
මේ රිදී ඉරකි.ඔහු සන්තෝසයෙන් සිතී ය.
ආදරේ ඔන්නොහෙ තිබ්බදෙන් කියල හිත හදාගන්න ගෑනුන්ට බෑ .ඒක හරි අමාරුයි.ඒ උනාට කරන්නම දෙයක් නැත්නම් එහෙම ඉන්නත් වෙනව..මං මට එහෙම ඉන්න වෙයි කියලා පණ බයකින් හිටියා.”
දුලන්‍යා එසේ ලියා එව්වේ ඇය ගැන ය. නමුත් සඳරැස් ඒ වාක්‍ය හත් අටපාරක්ම කියෙව්වේ ය.
“ආදරේ ඔන්නොහෙ තිබ්බදෙන් කියලා හිත හදා ගන්න ගෑනුන්‍ට අමාරුයි.”
ඇය කියන්නේ සෑම ගැහැනියකගේම කතාව නොවේදැයි ඔහු සිතී ය. පා ඔසවා ඇවිදින්නට ගත් කාලයේ සිට මීට තත්පර කිහිපයක් වන තුරුම ගල් වී තිබූ හදවත මෙලෙක් වන්නට පටන් ගත්තේ ඔහුට ද නොදැනී ය.