දුලන්‍යා සහ සඳරැස් කාමරයෙන් පිටතට ආවේ විහස්ගේ පැමිණීම නිසා ය. බරව තිබූ හදවත කඳුළු වී දිය කර හරින්නට චාන්දනීට ඕනෑ වූයේ ඒ මොහොතේ ය.
“මට පුතාට කියන්නෝන.”
ඒ කුමක්දැයි කමල් විජේවර්ධන හොඳින් දනියි. සඳරැස් දකින ඕනෑම මොහොතක හදවත බටර් කුට්ටියක් වී දියව යන බව සත්‍යයකි. නමුත් මේ එක්වෙමින් පවතින අත් ඈත් කර දමන්නට ඔහු මනාප නැත. මෙතැන වඩා කැප කිරීම අයිති තමන්ට බව කමල් දනියි. නමුත් ඔහුට එහි වගක් නොවේ. ජීවිතය කියන්නේ කැපකිරීම් කරන්නට ඇති තැනකි.
“ඔයාට දරුවා ඕන වුණානෙ. දැන් දරුවා ඔයාට ලැබුණා. ඒ දරුවා ඔයාට ආදරේ කරන්න උත්සාහ ගන්නවා. ලත් තැනම ලොප් කර ගන්න වැඩ කරන්නෙපා මැණිකේ.”
විජේවර්ධනගේ ලෙය ඇඟෙහි දුවන බව දැන ගැනීම සඳරැස්ට ඉමහත් චිත්ත ප්‍රීතියක් වන්නට තිබිණ. ඒ චාන්දනීගේ නික්ම යාමට පසු මල්වැන්න මහතා ඔවුන් සම්පූර්ණයෙන් නොසලකා හරින්නට වග බලා ගත්තානම් ය. සඳරැස් නූගත් කොලුවෙකු වී මොනවා හෝ රස්සාවක් කරමින් ජීවත් වූවානම් ලැබෙන්නට යන මහා ධනස්කන්ධය ගැන ඔහු ලෝබ කරන්නට ද තිබිණ.
“මල්වැන්න මහත්තයගෙ ඇහේ ඇලවිලා හිටිය කොල්ලා. අනික මල්වැන්න මහත්තයා කියන්නෙ මෝඩයෙක්ද? එච්චර ආදරෙ කරන්න ඇත්තෙත් කොල්ලා මගේ කියලා දැනගෙනමයි. එහෙව් තාත්තෙක්ගෙ නම ඇහුණත් තාම ඇඬෙන කොල්ලෙක්ට උඹේ අප්පා කමල් ය කියන්න ඕන නෑ. “
ඒ රහසකි. සදාකාලික රහසකි!
“ඔයාට දුකක් නැද්ද?ං”
චාන්දනී අවසන් වතාවට ඇසුවා ය. කමල් නැතැයි කියන්නට හිස වැනී ය. සංවේදීකම නොදැනෙන මිනිසෙක් වගට ඔහුට දොස් නැඟූ දවස් වේ.නමුත් මේ කැපකිරීමකි. ඇය එයට ගෞරව කරන්නට සිතා ගත්තා ය. තාත්තා කෙනෙකුට තම අයිතිය අහිමි කිරීම ගැන මොනතරමට වේදනාවක් දැනුණ ද ඔහු මේ රකින්නේ තම ආත්ම ගෞරවය බව ඇය දන්නී ය.
“උඹ දුකින් ද?”
විහස් ඇසුවේ ඔහුගේ යහන මත වැටුණු සඳරැස්ගෙනි. අයියාත් මල්ලීත් සමඟ කියවමින් සිටි දුලන්‍යා නැවත චාන්දනී වෙත ගොස් සිටියා ය. සඳරැස් හිස ඔසවා බලා හිනැහුණේ ය.
“උඹට පුලුවංද අහන් ඉන්න?”
එහෙම කාටවත් ඇහුම්කන් දුන් දවස් විහස්ට මතකයේ නැත. මිතුරෙකුට ගැටළුවක් පැමිණි විට ඔහු තමන්ගේ අතේ පයේ හයිය ගැන විශ්වාසය තැබී ය.නමුත් මේ එහෙම කතාවක් නොවේ. වසර ගණනාවකට පසු සහෝදරයා නිවසට පැමිණ තිබේ. ඔහු අර්ධ සහෝදරයෙකු බව අම්මා පැවසුවද තාත්තා ඔහුට සත්‍ය පවසා තිබේ.
“ඇත්තටම අහන් ඉන්න බැරි නෑ මචං.මං යාලුවො දුක කියවනකොට ඔහෙ අහන් ඉන්න මනුස්සයෙක්.මං හිත හදන්න නම් දන්නෑ.මං මිනිස්සුන්ගෙ ප්‍රශ්නවලට දෙන්නෙ මෝඩ උත්තර.ඒ වුණාට අහන් ඉන්න පුලුවං..ඒත් වෙච්ච දේවල් ගැන හිතලා උඹ දුක් වෙනවනම් මෝඩකමක්. එක්කො අම්මට සමාව දීලා සතුටෙන් හිටපං නැත්තං අත් ඇරලා සතුටින් හිටපං.”
විහස්ට තිබුණේ එහෙම යෝජනාවකි.
“මං අම්මට සමාව දෙන්න තීරණය කරලා ඉවරයි.”
සඳරැස් මෙවැනි ප්‍රකාශ නිකුත් කරන්නේ හොඳින් හිතා බලා වග විහස් දනියි. සඳරැස්ට මෙතැන් පටන් මේ නිවස ආගන්තුක එකක් නොවෙනවාට ඔහුට සතුටු ය.සහස් නම් මොනවා කියාවිදැයි ඔහු දන්නේ නැත. නමුත් සහස්ගේ හොම්බට ඇනීම විහස්ට පහසු දෙයකි. ඒ ගැන හිතන්නටවත් ඕනෑකමක් නොවේ.
“උඹ හිතනවනම් මේ ගත්ත තීරණේ හරි කියලා තාත්තා ඒකට විරුද්ධ වෙන්නේ නෑ. එයාට සංතෝසයි. සහස් කියන එකා අදාළ නෑ. දුලාගේ ලෝකෙම කැරකෙන්නේ උඹ වටේ. ඒත් අක්කයි දුලාජ් අයියයි මොනවා හිතනවද කියන එකත් මට වැදගත්.”
සඳරැස් සඳක් සේ රැක ගත් අයිතිය ඔවුන්ට ය.අම්මාගේ හදිසි වෙනස සියල්ල තීරණය කරන සාධකය විය යුතු නොවන බව විහස් සිතී ය.ඔහු ඕනෑම තීරණයක් පිළි ගන්නට සිත එකඟ කර ගත්තේ ය. කොහොමටත් අතීත වැරදි එහෙම හිතෙන පමාවට හරි ගස්වන්නටත් අසීරු ය.
“අම්මා අසනීපෙන් කියලා මේ කතාවට හොඳ අවසානයක් ඕන නැහැ මචං. පරණ කතාවේ වැඩිම රිදුම අයිති උඹට.උඹේ තාත්තත් වේදනාවෙන් ඉන්න ඇති.අක්කා කොහොම වේදනාවක් උහුලන්න ඇතිද? සමාව දෙන එකෙන් ආපහු සතුටින් ඉන්න එකෙන් උඹේ රිදීම් අඩු වෙනවානම් විතරක් මේ ගෙදරත් උඹේ ගෙදර කර ගනිං අයියේ.නැතුව එපා. හෘද සාක්ෂිය ගැන හිතලා අසනීප ගැන හිතලා විතරක්ම තීරණ ගන්න එපා.”
විහස් මේවා කියන්නේ විජේවර්ධන ව්‍යාපාරය කොටස් පහකට බෙදෙනවාට ඇති අකමැත්තෙන් නොවන බව සඳරැස් දනියි. ඔහු කෙනෙකුගේ මානසික සෞඛ්‍ය ඉතා ඉහලින් අගය කරන්නෙකි. මේ කිසිවක් හන්දා සඳරැස් රිදවාගෙන ඵලක් නොවේ.
““මං ජීවිතේ ගැන රිස්ක් ගන්නවා.ඒත් මිනිස්සු ගැන රිස්ක් ගන්න බයයි.මං මගෙ අම්මගෙ ඇත්ත හිනාවක් දැකලා නෑ.එයා හිනාවෙනවා.ඒත් ඒක හරිම ව්‍යාජ හිනාවක්.එයා සුව නොවිච්ච තුවාලයක් දරාගෙන ජීවත් වෙනවා.මං ඒකට හරිම බයයි.උඹ ඇවිල්ලා ඒ තුවාලේ සහමුලින්ම සුද්ද කරනවානම් ලොකු දෙයක්. හැබැයි මචං තිබ්බට වඩා ඒ තුවාලේ උඹවත් අම්මවත් පාරා ගන්නනම් එපා”
ඒ අයදින සුළු වචන කිහිපයකි. සඳරැස් යහන මත හිඳ ගත්තේ ය. ප්‍රේමයම පතමින් ආ ගැහැනියක දාරක ස්නේහය ගැන සිතමින් දුක් වෙමින් කල් ගෙවා තිබේ. අඩුම තරමේ ජීවිතයේ අවසන් කාලයේ හෝ ඇය සැබෑවටම ආදරය කරන මිනිසා සමඟ නිදහසේ ජීවත් වෙන්නට ඉඩ ලබා දිය යුතු වේ.
“උඹ අම්මා බොරුවට හිනා වෙන හැටිවත් දැකලා තියනවා මල්ලි. මං ඒකත් නෑ.”
නිහැඬියාවට පසු සඳරැස් එහෙම කතාවක් පැවසී ය.
(අවසන් කොටස සමඟ හෙට හමු වෙමු)