සීත මාරුතේ -07

සුපර්වයිසර් වරයා මා ඒ ගොවිපළේ සෑම අංගයක් ම පෙන්වන්නට කැටිව ගියේ ය. එය අක්කර ගණනාවක වත්තක් වූයෙන් ඒ වපසරිය පුරා පයින් ගමන් කිරීම පහසු නැත. ඒ සඳහා ලොකු කාලයක් ගත වෙන බැවිනි. ඔහු ට ආයතනයෙන් ස්කූටරයක් ලබා දී තිබූ අතර මාව ද දමාගෙන වටේ ම එක්ක ගියේ එයින් ය. සැබවින් ෆාම් එකේ සියලු අංග වල වූයේ අතිශය පිළිවෙලක් හා සෞන්දර්යයකි. මුණිවර අභිෂේක් බණ්ඩාර වාගේ තරුණ පිරිමියෙකුට එවන් තැනක් ඒ තරම් මනා කලමණාකාරිත්වයකින් යුතුව පවත්වා ගෙන යා හැකි වීම ගැන විටෙක මට පුදුම නො සිතුණා නොවේ. ඒ සියලු අංග වල කටයුතු මනා යාන්ත්‍රණයක් යටතේ සිදු වන බවක් පෙනිණ. සුපර්වයිසර් වරයාට තිබුණේ ඒ සියල්ල සම්බන්ධීකරණය කරමින් අවශ්‍යතා සොයා බැලීමට ය. 

“මොකද හිතෙන්නෙ…දිගටම ට්‍රේනින් එකට එනවද….”

“ඔව්”

දිසානායක මහතා ඒ ප්‍රශ්නය තවත් දිගු කරන්නට පෙර මම පිළිතුර ලබා දුන්නෙමි. 

“වෙරි ගුඩ්”

ඔහු ගේ මුහුණේ ඇඳුණේ සිනහවකි.

“ගර්ල් කෙනෙක් වුණත් එහෙම තමයි ඉන්න ඕනෙ. ඕනම චැලේන්ජ් එකකට ෆේස් කරන්න පුළුවන් නං ගෑනු පිරිමි කියල වෙනසක් නෑ මොන පෝස්ට් එකට වුණත්…නේද…”

මා දුටු ගමන් ඔහු ට දැනුණ හැඟීම මේ ඇටිකිති කෙල්ලට ඒ වාගේ වගකීම් සමූහයක් කර මතට ගත හැකි ද කියනා එක වන්නට ඇත. නමුත් දිගට ම මගෙන් දුටු උනන්දුවත්, සියල්ල දැන අවබෝධ කර ගෙන ඉගෙන ගන්නට වූ කැමැත්තත් නිසා, මා ගැන පහන් හැඟීමක් ඔහු තුළ ඇති වන්නට ඇත. 

අප මල් වවනා හරිතාගාර වෙත ගියේ දිවා ආහාරයෙන් පසු ය. සේවකයන් වෙනුවෙන් වෙන් වූ විශාල භෝජනාගාරයක් තිබේ. මෙහි සියල්ල සිදු වන්නේ කාල සටහනකට අනුව ය. පාසලක සේ සීනුවක් නාද කෙරේ. තේ බොන්නටත් කෑම කන්නටත් කම්කරු පිරිස එන්නේ ඒ සීනු වලට අනුව ය. කෑම සඳහා පැයක විවේකයක් ද තේ සඳහා පැය කාලක විවේකයක් ලබා දෙයි. 

“වර්කර්ස්ලටත් ලන්ච් එක දෙන්නෙ ෆාම් එකෙන්ද…”

කෑම කන ගමන් මම දිසානායක මහතා ගෙන් ප්‍රශ්න කළෙමි. දුටු සෑම කෙනෙකු සමග ම සිනහ වී ද තවමත් මා කතා බහ කොට තිබුණේ මුණිවර හැරෙන්නට ඔහු සමග පමණකි.

“නෑ. ෆාම් එකෙන් තේ වේල් දෙකම දෙනව. කෑම ගෙවල් වලින් ගේන්න ඕන”

“ලොකු කිචන් එකක් තියන නිසා මං එහෙම ඇහුවෙ. එතකොට අර ඕගනික් ෆාම් වල වවන එළවළු පළතුරු වලට මොකද කරන්නෙ…විකුණනවද…”

“නෑ පිටට විකුණන්නෙ නෑ. ඒවගෙන් තමයි ෆාම් බංග්ලෝ එකට එන ටුවරිස්ට්ලට ඕනකරන එළවළු පළතුරු ගන්නෙ. හරක් පට්ටියක් තිබුණට කිකිළියො හිටියට මෙහෙ මස් වලට සත්තු මරන්නෙ නෑ. කිරි බිත්තර තමයි ගන්නෙ. හාවස්ට් එකේ වැඩි ප්‍රමාණය සේවකයන්ට අඩු මිලකට දෙනව ඕනනං ගෙනියන්න”

“හරිම වටිනවනෙ”

” ෆොරිනර්ස්ල වගේම ලෝකල් ටුවරිස්ට්ලත් නිතර මෙතනට එනව. ඒ අයට ඇත්තටම මෙතනින් හරිම වටින එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ෆාම් එක ෆ්‍රී බලන්න ලැබෙනව. මේ වගේ තැන් හරි අඩුයි. අනික මේ වටපිටාවෙ තියෙන නිස්කලංක කම විඳ ගන්න ලැබෙන එකම මදිද…මේ වගේ තැන් අප් කන්ට්‍රි වල වුණත් හරි අඩුයි”

“මිස්ට මුණිවර වසයිද…”

මා ඒ පැනය ඇසුවේ හඬ බාල කොට කිසිවෙකු ට ඇසේ දැයි වට පිට ද සෝදිසි කරමිනි. දිසානායක මහතා සිහින් සිනහවක් නගා ගත්තේ ය. 

“නීති කාරය තමයි. හැම දේම කෙස් ගහට තියෙන්න ඕන. එහෙම නැති වුණාම ඉතිං යකා වගේ. ඒ වුණාට හොඳ හදවතක් තියෙන මනුස්සය. දැං මං මෙතන අවුරුදු පහළවකට වැඩියි. ළමයින්ගෙ ස්ටඩීස් ගැන හිතල ඉංග්ලන්ඩ් වලට යන්න ඩිසයිඩ් කරපු නිසයි මං අයින් වෙන්නෙ. මන්දාකිණීත් වැඩ ටික හරියට කරං හිටියොත් ප්‍රශ්නයක් වෙන්නෙනං නෑ. මට තියන බය ඔය ළමයට මේ හැම දේටම දුවල පැනල කර ගන්න පුළුවන් වෙයිද කියන එකයි. එහෙම වුණොත් සර් ඇසිස්ටන්ට් කෙනෙක් හරි දෙයිනෙ. ඔයා වැඩ ටික කෙරෙන විදිහ දැන ගන්නකො”

හරිතාගාර තත්ව යටතේ රෝස, ජර්බෙරා, කපුරු, ඩේසි හා ඩේලියා වර්ග දැනට වගා කෙරෙමින් තිබිණ. කොළඹ සහ ප්‍රධාන සංචාරක පුරවර වල හෝටල් සඳහා ද ප්‍රධාන මල් සැකසුම් ආයතන කිහිපයක් සඳහා ද කැපූ මල් සැපයීම සිදු වේ.  ඒවායින් ලැබෙනා මල් ඇණවුම් භාර ගැනීමත්, මල් කපන්නන් ලවා ඒ ඒ වර්ග වලින් අවශ්‍ය මල් ප්‍රමාණය කප්පවා ඇසුරුම් කොට ශීතකරණ තත්ව සහිත වාහන වලින් ඒවා අවශ්‍ය ස්ථාන වලට යැවීමත් සිදු කළ යුතු වන්නේ සුපර්වයිසර් වරයාගේ අධීක්ෂණය යටතේ ය. බැලූ බැල්මට පහසු කටයුත්තක් සේ දැනුණාට එය ඉතා වගකීම් සහිත ක්‍රියාවලියකි. ඇනවුම් සඳහා ලබා දෙන සෑම මලක් ම ඒ ඒ ප්‍රමිති තත්වයන් යටතේ විය යුතු ය. ඊට අමතරව හරිතාගාර තුළ සියලු වැඩ කටයුතු මෙහෙයවීම භාර වන්නේ සුපර්වයිසර් වරයාට ය. ඔහු හෝ ඇය නිති පතා මල් පැළ හා මල් පරීක්ෂාවට ලක් කළ යුතු වේ. එක ගසකට හෝ රෝගයක් වැළඳී ඇති ලක්ෂණ පහළ කරන්නේ නම් වහ වහා ඒ පිළිබඳ අවශ්‍ය ක්‍රියා මාර්ග ගෙන වගාවේ අනිත් පැළ ආරක්ෂා කර ගැනීමේ වගකීම ඔහු ගේ හිස මත පැටවී තිබේ. මල් පැළ වල තත්වය ගැන දිනපතා වාර්තා තැබිය යුතු ය. පොහොර හා කෘමි නාශක ආදිය නිසි කාලාන්තර වල දී නො වරදවා වගාවට ලබා දිය යුතු ය. සේවකයන් අතින් ඒ කටයුතු නිසි ලෙස සිදු වෙනවා දැයි විමසිලිමත් විය යුතු ය. මේ ඕනෑ ම දෙයක් එක දශමයකින් එහෙ මෙහෙ වූ විට විශාල විනාශයක් වන්නට පුළුවන. 

“හම්මොහ්”

මට එසේ කියවිණි. දිසානායක මහතා පීතෘ සිනහවක් පෑවේ ය.

“ඒ හැම දේටම රූටින් එකක් තියනව. ඒ නිසා කිසි දෙයක් ඔළුවට වදයක් බරක් කර ගන්න නරකයි. මිස් මන්දාකිණී බයික් පදින්න ඉගෙන ගන්න. මං ගියාට පස්සෙ මේ ස්කූටි එක ඔයාට දෙයි. එතකොට උදේම වටයක් දාගෙන වැඩ ටික බලා ගෙන යන්න තමයි තියෙන්නෙ. මල් ඕඩර්ස් ටික අරගෙන පහුවදාට ඒව හරි තැන් වලට ලේබල් කරල යවන එක තමයි ලොකුම රෙස්පොන්සිබිලිටි එක. මොකද අපිට ලොකුම ඉන්කම් එක එන්නෙ ඒකෙන්”

ඔහු ගේ සියලු උපදෙස් මම හිතේ තදින් තැන්පත් කොට ගතිමි. ඒ මා ප්‍රථම වරට හරිතාගාරයක් තුළ ට ගියා ම ය. එය තරමක උණුසුම් කලාපයකි. මල් වලට නිරෝගී ව පිපෙන්නට අවශ්‍ය උණුහුම ද සිසිල ද ආර්ද්‍රතාවය ද ආලෝකය ද අවශ්‍ය පදමට සකසා තිබේ. ඇතැම් මල් පිපීමට අවශ්‍ය ආලෝකය සැපයෙනුයේ විදුලි පහන් වලිනි. ඇස් මානයට හසු වෙන එක ම දෙය වූ කලී මල් යායකි. මල් සුවඳින් ආත්මය ම සුගන්ධවත් වෙනවා මට දැනිණ. 

දවසේ නෙලනා මල්, ගෑනු ළමයින් කූඩ වලට දමා හරිතාගාර වලින් පිටතට ගෙනෙති. ඒවා ඇසුරුම් කිරීම සඳහා වෙනම ශාලාවක් කාර්යාල පරිශ්‍රයට සම්බන්ධව වේ. මල් ඇසුරුම් කිරීම ද එක්තරා තාක්ෂණයකට අනුව සිදු වේ. මල් වල විශාලත්වය හා නටුවේ දිග අනුව ඒවා මුලින් ම වර්ග කෙරේ. නියමිත මල් සංඛ්‍යාව වර්ගය හා වර්ණය අනුව වෙන් කොට නටු සමාන දිගකින් කපා නටු අග තෙත් පුළුන් රඳවා පොලිතීන් හා කඩදාසි යොදා ගෙන ඒ මල් මිටි බැඳේ. 

මල් කැපීමට අමතර ව බීජ ලබා ගැනීම සඳහා මල් පරාගණය කරවනා ඒකකයක් ද මෙහි වේ. එම බීජ දේශීය වෙළඳපොළ සඳහා නොවේ. ඒවා කෙලින් ම විදේශ වෙළෙඳ පොළ ඉලක්ක කර ගෙන ය. 

හවස් වන විට මම තරමක විඩාවකට පත් ව සිටියෙමි. නමුත් උණු උණුවේ ම ලැබුණ කෝපි මිශ්‍ර එළ කිරි කෝප්පය මගේ ඒ වෙහෙස දුරු කොට දැමූ බව කිව යුතු ය.

ඉන් පසු මා දැනුවත් කරවූයේ කාර්යාලය තුළ ගිනුම් අංශයෙහි සිදු වන කටයුතු පිළිබඳව ය. එහි මට ආසන්න වයස් වල යයි සිතිය හැකි තරුණ තරුණියන් කිහිප දෙනෙකු ම සිටි අතර ඔවුහු මා සමගින් ඉතා ඉක්මනින් සුහද වූහ. එය සතුටුදායක තත්වයක් විය. 

“සෙල්ලන්නං නෑ කෙල්ලෙ බොසා එක්ක වැඩ කරන එක…අපි මේ අකවුන්ට්ස් ටික විතරක් කරන්නෙ අතුරෙ යනව වගේ. ඔයා හැම පැත්තක්ම හැන්ඩ්ල් කරන්න ඕනෙ. මිස්ටේක් වෙන්නනං දෙන්න එපා. මෙයා බණින්නෙ රස්සාව දාල අඬ අඬ ගෙදර දුවන්න හිතෙන සයිස් එකට”

ඔවුන් මට පොදුවේ දුන් දැනමුතු කම ඒ ය. 

“හැබැයි වැඩ වලදි පොලිස් කාරය වුණාට මනුස්සකම අතින් ටොප් ක්ලාස් ආ…මොකක් හරි ප්‍රශ්නයක් කරදරයක්  එහෙමනං කරන්න පුළුවන් ඕන දෙයක් එයාගෙ පැත්තෙං කරනව. අල්ලං ඉමු. අපිත් මේ ඉන්නෙ”

“කෙල්ලව බය කරන්න එපා. අපි ඉන්නවනෙ මන්දාකිණී”

සේවය නිම වන වෙලාව වන විට මම ඒ තුළ සිදු වන කටයුතු ගැන මූලික අවබෝධයක් ද මුණිවර ගැන යම් කිසි අදහසක් ද ඇති ව සිටියෙමි කාටත් ඔහු ගේ නීතිය ක්‍රියාත්මක වේ. ඒ පාලනය සිය නංගිලාට හා ව්‍යාපාරයට ය කියා වෙනසක් නැත. ඔහු ගේ මිනිස්කම් පිරි හදවත ද එසේ ය. නංගිලාටත් සේවක පිරිසටත් එය එක සේ ම ය. ඒ අනුව තරමක නීති කාරයෙකු වූවා ට ඔහු නරක මිනිසෙකු නොවන බව මම තීරණය කර ගතිමි. 

කෙසේ වෙතත් ඔහු ආඩම්බර කාරයෙකු බව කිසිවෙකු කීවේ නැත. එසේ නම් ඒ මට පමණක් දැනුණා වූ දෙයක් ද? ඒ කෙසේ වෙතත් ගොවිපළ තුළ ගෙවුණා වූ ප්‍රථම දිනය ඔහු ගැන මා තුළ වූ උමතුව මත ගෞරවයක් ද තැවරූ දිනයක් ලෙස මගේ මතක ඉතිහාසයට එක් වනු ඇත. ඒ ගෞරවය, ඒ සා සේවක පිරිසකට රැකියා දෙමින්, ඒ තරම් ලස්සනට හා පිළිවෙලට එහෙව් ව්‍යාපාරයක් තනිව නඩත්තු කරන්නට මුණිවර ට වූ ආත්ම විශ්වාසය පිළිබඳව ය.

බස් එකක් පැමිණියොත් එහි නැගෙන්නට හෝ නැතහොත් ත්‍රීරෝද රියක් නවතා ගන්නට හෝ සිතා ගෙන මම කාර්යාලයේ සේවය කරනා තරුණ තරුණියන් කිහිප දෙනෙකු සමගින් බස් නැවතුම වෙත පැමිණියෙමි. සීතලත් මීදුමත් කඳු මතින් පහත් වෙමින් තිබුණේ ය. ගතට යම් කිසි විඩාවක් නො දැනුණා ම නොවේ. මේ වෙලාවට බස් වල සෙනග බව ද තරුණියක කීවා ය. මුණිවර ගේ රතු පාට ජීප් රිය ප්‍රධාන දොරටුවෙන් පාරට අවතීර්ණ වී අප සිටි තැන පසු කර ගෙන ගියේ ඒ වෙලාවේ ය. මහන්සි වී සිටින මා ව ද එහි දමා ගෙන ගියා නම් මොකදැයි හිත කේන්තියෙන් සිතුවේ ය. නමුත් ආයතන ප්‍රධානියෙකුට එසේ කළ නො හැකි බව මම දැන සිටියෙමි. නමුත් මුණිවර වෙතින් කිසියම් විශේෂයක් ද මගේ හිත බලාපොරොත්තුවෙන් ඉන්නට ඇත. 

බසයක නැගී මා ගෙදර ගියේ වෙහෙසිනි. ගුරුතලාවෙන් බහිනා තෙක් ම අසුනක් ලැබුණේ නැත. නමුත් හිතේ පා වෙන හරියට ම නම නොදන්නා ප්‍රීතියක හෙවනැලි ද දකිත හැකි විය.

මා එන පෙර මගට දිව විත් නංගී මගේ දෑස් වැසුවා ය.

“මො…කද අනේ…මැරිල වගේ දැං..බස් එකෙත් හිටං ආවෙ. කරෙං බහිනවකො”

මා කන්කෙඳිරි ගෑවාට ඇය දෑස් හැරියේ ගේ දොරකඩ දී ය.

“ස’ප්‍රයිස්…”

එසේ කියමින් ඕ ඇඳ ඇතිරිල්ලක් ඇද ඉවත් කළා ය. ඒ තුළ වූ මොණර නිල් පැහැති ස්කූටරය දුටු මගේ ඇස් අදහා ගත නො හැකි විය.

“හා…නේ…”

අම්මා දෙතොල් තෙරපා ගත් සිනහවෙන් උළුවස්සට හේත්තු වී ගෙන බලා සිටියා ය. අප්පච්චි බරාඳයේ වන හාන්සි පුටුවෙහි හිඳ සුපුරුදු සන්සුන් පිළිවෙතින් පොතක් කියවූයේ ය.

“අනේ තැන්කූ අප්පච්චි”

මම ඔහු වෙතට දිව ගොස් බිම දණ තබා හිස ඔහු ගේ උකුලේ තියා ගතිමි.

“හ්ම් හ්ම්. වැඩට යන්නත් පහසුව ගැන හිතලයි ගත්තෙ. හැබැයි පරිස්සමෙං යන්න එන්න ඕන හරිද…මේ කඳු පාරවල වේගෙන් පදින්න බෑ”

“අනේ හා අප්පච්චි. පණ ගියා මේ ටික බස් එකේ ඇවිත්. ඒක හරිම ලස්සන ෆාම් එකක් අප්පච්චි..”

මම එහි වග විස්තර ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර ඔවුන් හමුවේ තැබුවෙමි. නංගී විටින් විට ප්‍රශ්න නැගුවා ය. අම්මා හා අප්පච්චි නම් අසා සිටියා පමණ ය. 

“සෑහෙන්න වගකීමක් තියෙන රස්සාවක්නෙ. සිහි කල්පනාවෙං හරියට කරන්න ඕන ඉතිං”

නංගී මා ඇද ගෙන කාමරයට ගියා ය.

“මොකද මුණිවරය කියන්නෙ…”

“මොනා කියන්නද…මූණ බලල කතා කරන්න එපැයි. හැබැයි මාත්තෙක්ක තමයි ගොළු පාට්. අනිත් අය එක්ක කතා කරනව හොඳට. හැබැයි මං වශී වෙලා ඉන්නෙ එයාගෙ ඇක්සන්ට් එකට. මාර පොශ්. අම්…කියල අමුතු එකක් දානව කතාව මැද්දට. ඔයාට මාත් එක්ක කතා කරන්න වෙයිනෙ මිස්ට මුණිවර. බලමුකො එදාට…”

වෙහෙස අතරේ වුව මගේ ඇස් වල බලාපොරොත්තුවක සිළුවක් දිළිසෙනවා මට දැනිණ..

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

නිබ්බුත ගීත -29

මේ ජීවිතයට මම අතිශය ආදරය කරමි. ජීවත් වූ මේ කෙටි කාලයට ජීවිත සිය ගණනක් ජීවත් වූවා සේ මට දැනේ. එය දුක ද...

සුහදිනි – 78

ජය ඝෝෂා නැඟෙමින් තිබුණේ පරාජය පිළි නොගන්නා රසිකයන්ගෙනි.හඹා යා යුතු ඉලක්කය දිගු දුර එකකි.එහෙත් එය නොහැකි ඉලක්කයක් ද නොවේ.අහස් තමන්ගේ ඉනිම ඇරඹුවේ...

(අ)හිමි සිහින -232

මිනිස්සුන්ට විවිධ අදහස් මති මතාන්තර තියෙන්න පුලුවන්.ඒ මිනිස්සු රූපයෙන් පමණක් නොවෙයි අධ්‍යාපනයෙන් ආධ්‍යාත්මයෙන් මනුෂ්‍යත්වයෙන් ධනයෙන් බලයෙන් යසසින් ආදරයෙන්, කරුණාවෙන් වගේ  සියලු දෙයින්...

නිබ්බුත ගීත -28

මා හිටියේ යහනේ වැතිර ගෙන ය. මගේ පාලනයකින් තොර ව එක දිගට කඳුළු ගලා යමින් තිබිණ. උපන් දා සිට සැපක් කියා දෙයක්...

සුහදිනි -77

අවසන් මහා තරගයක් කියන්නේ සෑම කෙනෙකුම බලාපොරොත්තු  දල්වා බලා සිටින දවසකට ය.රාජ්‍ය නායකයාගේ පටන් සාමාන්‍ය රට වැසියන් දක්වාම තරුණයන් එකොළොස් දෙනෙකු බලාපොරොත්තුවෙ...