කැරපොත්තන් මර්දනය කරන පහසු ක්‍රම

කැරපොත්තන් කියන්නේ ඕනෑම නිවසක පහසුවෙන් බෝ වෙන්න පුළුවන් සත්ව විශේෂයක්. රෝග වාහකයෙක් වන කැරපොත්තන් ඔබේ නිවසේත් ඉන්නවා නම් ඔවුන් ඉවත් කිරීම ඉතාම වැදගත්. ගෘහණියන්ට තියන ගැටලු අතරින් ප්‍රධාන ගැටලුවක් වන මේ ගැන කතා කරන්න අපි හිතුවා

කැරපොත්තන් බෝවෙන්නේ කොහොමද ?

ආහාර මූලාශ්‍ර

කැරපොත්තන් කියන්නේ සර්ව භක්ෂක සත්ත්ව විශේෂයක්. ඒ නිසා ඔවුන් ඕනෑම දෙයක් ආහාරයට ගන්නවා කරනවා. පිෂ්ඨය , තෙල් සහිත ආහාර වර්ග ,රස කැවිලි සහ මස් වර්ග යන ඕනෑම දෙයකට ඔවුන් ආකර්ශණය වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔවුන් තවත් විය කරන දෙයක් තමයි කැලිකසල කියන්නෙත්. ඉතින් මේ වගේ දේවල් පිටතට නිරාවරණය වන විදිහට ඔබේ නිවසේ තියෙනවා නම් කැරපොත්තන් බෝ වීම වෙන්න පුළුවන්

නවාතැන්

ඔබේ නිවසේ නිතර පිරිසිදු නොවෙන අහුමුලු , බිත්ති කුහර , තෙත් ස්ථාන , ඉලෙක්ට්‍රොනික උපකරණ පිටුපස , පින්තූර රාමු පිටුපස, කුහර සහිත ලී වැනි ස්ථානයන් තිබෙනවද ? කැරපොත්තන් බොහෝ විට ඔවුන්ගේ නවාතැන් සඳහා තෝරාගන්නේ එවැනි ස්ථානයි. ඉතින් ඔබේ නිවසේ එවැනි ස්ථාන තියෙනවා නම් ඒවා පිරිසිදුව තබා ගන්න සැලකිලිමත් වෙන්න ඕනි

ජලය

ඕනෑම සත්ත්වයකුට වගේම කැරපොත්තන් සඳහාත් ජීවත් වෙන්න ජලය අවශ්‍ය වෙනවා.ඉතාම පිරිසිදු නිවසක වුණත් නිතර තෙතමනය සහිත ස්ථානයක් තිබෙනවා නම් එහි කැරපොත්තන් බෝ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ජල කරාම අවට, පොකුණු අවට , වැසිකිලි බඳුන් පිටුපස ආදි ස්ථානවල මේ කැරපොත්තන් බෝවීමේ හැකියාව තියෙනවා

කැරපොත්තන් මර්දනය කරන්න පුළුවන් පිළියම් මොනවාද ?

පැඟිරි

පැඟිරි සුවඳ මිනිසුන් ප්‍රිය කරන සුවඳක් වුණත් කැරපොත්තන්ට එය විකර්ශකයක්. විශේෂයෙන්ම ලෙමන් සහ දෙහි සුවඳ කැරපොත්තන් පලවාහැරීමට උපකාරී වෙනවා. ඔබ නිවසේ පොළව, මුළුතැන්ගෙය , ජනේල වැනි ස්ථාන පිරිසිදු කරන විට ඒ පිරිසිදු කිරීමට භාවිතා කරන ජලයට ලෙමන් හෝ දෙහි එකතු කරන්න

බේකිං සෝඩා සහ ලෙමන්

කැරපොත්තන් මර්දනය කිරීමට හැකියාව තියෙන වේගවත්ම සහ පහසුම ක්‍රම වලින් එකක් තමයි මේ. බේකිං සෝඩා සහ ලෙමන් වලට උණු වතුර ස්වල්පයක් මිශ්‍රකර ඔබේ නිවසේ ඇති තෙත් ස්ථානවලට ස්ථාන වලට ඉසින්න. මෙමගින් එවැනි ස්ථානවල කැරපොත්තන් බෝ වීම වළක්වනවා

උණු වතුර සහ විනාකිරි

උණු වතුර වලට විනාකිරි මිශ්‍ර කර රාත්‍රී කාලයේදී ඔබේ මුළුතැන්ගෙයි කවුන්ටර් ටොප් , සින්ක් අවට හොඳින් පිස දමන්න.ඒ වගේම මුළුතැන්ගේයි ජලය බැස යන කානු  ද මෙම උණු වතුර සහ විනාකිරි මිශ්‍රණයෙන් සෝදා හරින්න.එමගින් කාණු විෂබීජහරණය වී කැරපොත්තන් පැමිණීම සහ බෝ වීම වළක්වනවා


කුරුදු කුඩු 

කුරුදු වල ඇති ප්‍රබල සුවඳ නිසා කැරපොත්තන් පැමිණීම සහ බෝවීම පහසුවෙන්ම වළක්වා ගන්නට පුළුවන්.ඔබ කළ යුතු වන්නේ රාත්‍රී කාලයේදී කුරුඳු කැබැල්ලක් හොදින් කොටා ,එම කුරුඳු කුඩු කැරපොත්තන් පැමිණිය හැකි ස්ථානවලට ඉස තැබීම පමණයි 

පිපිඤ්ඤා

ඔබ බොහෝ ප්‍රිය කරන මේ එළවළුව කැරපොත්තන් බොහෝ අප්‍රිය කරනවා කියලා  ඔබ දන්නවද ? පිපිඤ්ඤා වල සාරය සහ එහි ඇති සුවඳ කැරපොත්තන් පිළිකුල් කරනවා. ඔබේ නිවසේ කැරපොත්තන් ගැවසෙන ස්ථානයක් ඔබ දකිනවා නම් පිපිඤ්ඤා පෙති කිහිපයක් තබන්න.

කොහොඹ

කැරපොත්තන් මර්දනය කරන්න කොහොඹ කියන්නේ ඉතාම හොඳ ක්‍රමයක් . ඔබේ මුළුතැන්ගෙයි හෝ කැරපොත්තන් බෝවෙන ස්ථාන වල කොහොඹ කොළ කිහිපයක් තබන්න. එසේත් නැත්නම් උණු වතුර සමග කොහොඹ යුෂ ස්වල්පයක් ඉසින්න


බේ කොළ

කැරපොත්තන්ගේ පැමිණීම වළක්වන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි බේ කොළ.බේ කොළ කිහිපයක් කුඩුකර කැරපොත්තන් පැමිණෙන ස්ථානවල සහ , මුලුතැන්ගෙයි සින්ක් එක අවට ප්‍රදේශවල සහ වෙනත් තෙත සහිත ස්ථාන අවට ඉසින්න.එහෙම නැත්නම් බේ කොළ කිහිපයක් හොඳින් තම්බා එම වතුර මුළුතැන්ගෙයි අවට ස්ථානවල රාත්‍රී කාලයේ දී ඉස තබන්න

කැරපොත්තන්ගේ කරදරයෙන් මිදෙන්න ඔබ මේ ක්‍රම භාවිතා කලත් ඔබ නිරන්තරයෙන්ම ඔබේ නිවස, නිවස අවට , මුළුතැන්ගෙය ,කැලිකසල බැහැර කරන ස්ථාන   ඉතා පිරිසිදුව තබා ගන්නට ඕනේ. මේ ක්‍රම වලින් ඉතාම සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්නට පුළුවන් වන්නේ එවිටයි. වෙළඳපොලේ ඇති මිල අධික රසායනික ද්‍රව්‍ය භාවිතා කරනවාට වඩා ඔබේ නිවසේම ඇති ද්‍රව්‍ය වලින් ඔබට ඇති මේ කැරපොත්තන්ගේ ගැටලුවෙන් මිදෙන්නට පුළුවන්.

Related Articles

Don't Miss


Latest Articles